Friday, December 27, 2024

ගඩොල් කැටයක් කළ වෙනසක්!

 ලෝක ප්‍රකට බ්‍රසීලියානු ලේඛක Paulo Coelhoගේ Stories for Parents, Children and Grandchildren කෘතියෙන් උපුටාගත් කතා කිහිපයකි. 

1. නැතිවුන ගඩොල් කැටේ


(cartoon movement වෙතින්)

වරෙක මා මගේ බිරිඳත් සමග ගමනක යෙදී සිටින අතරතුර මගේ ලේකම්වරියගෙන් ෆැක්ස් එකක් ලැබුණා.

 "කුස්සියේ අළුත්වැඩියාවට අවශ්‍ය වීදුරු ගඩොල්වලින් එකක් අඩුයි. මම මුල් සැලසුමෙත් ගඩොලේ අඩුව නොපෙනෙන්න කුස්සිය අළුත්වැඩියා කරන බාස් අළුතෙන් හැදූ සැලසුමෙත් පිටපත් එවනවා." 

මගේ එක් අතක බිරිඳ සකස්කළ කුස්සියේ සැලසුම; වාතාශ්‍රය ලැබෙන සේ සැලසුම්කළ කවුලුවක් ද සමග එක් රටාවකට ඇඳුන ගඩොල් පේලි. අනෙක් අතේ ගඩොලේ අඩුව විසඳන්න බාස් හදපු සැලසුම; කිසිම රටාවක් නැති හරස්පද ප්‍රහේලිකාවක කොටු වාගේ අවුල් වෙච්ච සැලැස්මක්. 

"ගඩොලක් අළුතෙන් සල්ලි දීලා ගන්න." මගේ බිරිඳ ආපහු ලියලා ඇරියා. ඒක ඒ විදියටම උනා. මුල් සැලසුම අනුවම වැඩේ කෙරුනා. එදා හැන්දෑවෙ මං හුඟක් වෙලා කල්පනා කරමින් හිටියා. මට හිතුනේ එක ගඩොලක අඩුව නිසා අපි කොයිතරම් අපේ ජීවිතවල මුලින් තිබුන සැලසුම් වෙනස්කරනවද කියලා. 


2. ඛලීල් ජිබ්රාන්ගේ කතාවක්

(cartoon movement වෙතින්)


මානසික ආරෝග්‍යශාලාවක එළිමහනේ ඇවිදිමින් සිටිය වෙලාවක මම දැක්කා දර්ශනවාදය පිළිබඳ පොතක් කියවමින් සිටි තරුණයෙක්. ඔහුගේ හැසිරීම් විලාශය හා නිරෝගී පෙණුම නිසා ඔහු අනෙක් රෝගීන්ගෙන් කැපිලා පෙනුනා. 

ඔහුගේ පසෙකින් වාඩිඋන මම මෙහෙම ඇහුවා. "ඔබ මොකද මෙහෙ කරන්නේ?" 
ඔහු මං දිහා බැලුවේ පුදුමයෙන්. ඒත් මම වෛද්‍යවරයෙක් නොවන බව පෙනුනම ඔහු පිළිතුරු දුන්නා.  
"හරි සරලයි. දක්ෂ නීතිඥයෙක් උන මගේ තාත්තට ඕනැ උනේ මමත් එයා වගේ නීතිඥයෙක් වෙනවා දකින්න. ලොකු සාප්පුවක අයිතිකාරයෙක් උන මගේ මාමා කැමති උනේ මම එයා වගේම බිස්නස්කාරයෙක් වෙනවට. අම්ම බලාපොරොත්තු උනේ මම අම්මගේ ආදරණීය තාත්තාගේ ප්‍රතිරූපයක් වෙනවට. අක්කා හැමතිස්සෙම එයාගේ ස්වාමිපුරුෂයා තමයි මට සාර්ථක මිනිසෙකුගේ ආදර්ශයක් විදියට පෙන්නුවේ. අයියා උත්සාහ කළේ මම එයා වගේ දක්ෂ ක්‍රීඩකයෙක් විදියට පුුහුණු කරන්න."

"පාසැලේදී උනෙත් ඒකම තමයි. සංගීත ගුරුවරයත් ඉංග්‍රීසි ගුරුවරයත් එක හිතින්ම හිතාගෙන හිටියේ ඒගොල්ල තමයි අනුගමනය කරන්න සුදුසුම ආදර්ශ කියලා. කිසිම කෙනෙක් තවත් පුද්ගලයෙක් දිහා බලන විදියට මං දිහා බැලුවෙ නෑ. කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් තමන් දිහා බලන විදියට තමයි මං දිහාත් බැලුවේ." 

"අන්තිමේදී මං තීරණය කළා මේ මානසික ආරෝග්‍යශලාවට ඇතුලවෙන්න. අඩුගානෙ මෙහෙදි මට මං වගේ වෙන්න පුළුවන්." 


3. රට හදන හැටි 

                                                                                               (cartoon movement වෙතින්)

සිෂැන්ග් චීනය පුරාම ඇවිදිමින් කොන්ෆියුසියස් හොයාගෙන ගියා. රට පුරාම කැළඹිලි ස්වභාවයක් පැතිරිලා තිබුණා. ඔහු බියට පත්උනා කොයි මොහොතක හරි ලේ වැගිරීම් සිදුවෙයි කියලා. ඔහුට දැකගන්න ලැබුණා කොන්ෆියුසියස් අත්තික්කා ගහක් යට වාඩිවෙලා භාවනා කරමින් ඉන්නවා. 

ඔහු කොන්ෆියුසියස්ට කතා කළා. "ගුරුතුමනි, රජයට ඔබේ සහය අත්‍යවශ්‍ය වෙලාවක් මේක. මුළු රටම අවුල් ජාලයක් වෙලා තියෙන්නේ." 

කොන්ෆියුසියස්ට එය ඇහුණ බවක් පෙනුනෙ නෑ.ඔහු දිගටම භාවනා කළා.  

"ගුරුතුමනි, ඔබතුමා අපට ඉගැන්නුවා අලස විදියට නිිකං ඉඳගෙන ඉන්න එපා තියලා. ඔබ කිවිවා මේ මුළු ලෝකයටම වගකියන්න ඕනෑ අපි කියලා." 

"මම රට වෙනුවෙන් යාඥා කරනවා. ඊට පස්සේ ගිහිල්ලා මේ මාවත කෙළවර ගෙදර ඉන්න මිනිසාට උදව් කරනවා. අපිට කරන්න හැකියාව ඇති දේ කිරීමෙන් අප හැමෝටම යහපතක් කරනවා. එහෙම නැතිව ලෝකය බේරාගන්න හැටි ගැන කතා කර කර සිටීමෙන් අපටවත් පලක් වෙන්නෙ නෑ. දේශපාලනය කරන්න මාර්ග දහස්ගණනක් තියනවා. ඒකට මට රජයට සම්බන්ධ වෙන්න ඕනැ නෑ." කොන්ෆියුසියස් පිළිතුරු දුන්නා. 


4. ඇහුම්කන් දීමේ කලාව


  (cartoon movement වෙතින්)

ශිරාෂ් නගරයේ සිටි සාදි නම් පඬිවරයා තම ගෝලයෙකුත් සමග පාරක් දිගේ ගමන් කරමින් සිටිද්දී දැක්කා මිනිසෙක් ඔහුගේ බූරුවා ඉදිරියට දක්කාගෙන යන්න හදනවා. ඒත් බූරුවා අඩියක්වත් ඉස්සරහට තිබ්බෙ නෑ. ඒ මිනිසා තමාගේ කටට එන හැම නරක වචනයක්ම කියලා බූරුවාට බැනවැදුනා. 

"මෝඩයෙක් වෙන්න එපා." සාදි පඪිවරයා කිව්වා. "බූරුවා කවදාවත් ඔබේ භාෂාව ඉගෙනගන්නේ නෑ. ඔබ සන්සුන් වෙලා උගේ භාෂාව ඉගෙනගන්න උත්සාහ කරන්න." 

එතැනින් ඉවත්වෙලා යන ගමන් ඔහු තම ගෝලයා දෙසට හැරුනා. "බූරුවෙක් එක්ක වාදයකට යන්න ඉස්සරලා දැන් ඔබ දැකපු සිද්ධිය හොඳින් මතක තියාගන්න."  

 

2 comments:

  1. කතා තුනම අපූරුයි 👌! හරියට නස්රුදීන්ගෙ කතා වගෙ.
    තව කතා නැද්ද. තියෙනවනං ඊළඟ post ඒකෙන් හරි පුළුවන් වෙලාවක හරි දාන්න.

    ReplyDelete
    Replies
    1. මීට පෙරත් කතා තුනක් ඉදිරිපත් කරලා තියනවා "පෙනෙන දේ හා නොපෙනෙන දේ" නමින්.

      Delete

ගඩොල් කැටයක් කළ වෙනසක්!

  ලෝක ප්‍රකට බ්‍රසීලියානු ලේඛක  Paulo Coelho ගේ  Stories for Parents, Children and Grandchildren  කෘතියෙන් උපුටාගත් කතා කිහිපයකි.