ගුවනින් ආ අසරුවා -එක මෙතැනින්
යුද්ධයකදී සතුරකු මරාදැමීම- තමාගේත් තම සටන් සඟයින්ගේත් ආරක්ෂාවට අතිශය තීරණාත්මක වූ රහසක් විශ්මිත ලෙස හෙලිකරගත් සතුරකු- ඒ හෙලිකරගත් දැනුම නිසාම ඔහුගේ මුළු හමුදාවේම සිටින සෙබල සංඛ්‍යාවටත් වඩා භයානක වූ සතුරකු මරා දැමීම දරුණු වූත් තිරශ්චීන වූත් ක්‍රියාවක් ද? කාටර් ඩ්රූස් මරණාසන්න වූවකු සේ සුදුමැලි විය.
එහෙත් ඒ වැඩි වෙලාවකට නොවේ. තව මොහොතකින් ඔහුගේ මුහුණ පොලවෙන් ඉහලට එසවුනේය. ඔහුගේ අත් රයිෆලයේ තිබූ තැන්වලම යළි රැඳුනේය. දඹරැඟිල්ල තුවක්කුවේ කොකා වටා එතුනේය. මනස, හදවත, දෑස් පැහැදිළි ය. හෘද සාක්ෂිය, තර්ක බුද්ධිය නිරවුල් ය. සතුරා අල්ලාගැනීමට තැත්කිරීම කළහැකි දෙයක් නොවේ. ඔහුට අනතුරු ඇඟවුවහොත් සිදුවන්නේ අතිශය තීරණාත්මක තොරතුර ද රැගෙන ඔහු තම කඳවුර වෙත පළායාම ය. සොල්දාදුවාගේ රාජකාරිය නිශ්චිත ය. සැඟව සිට කරන වෙඩි තැබීමකින් ඔහු මරාදැමිය යුතුය. අනතුරු ඇඟවීමකින් තොරව, මරණයට සූදානම් වීමට මොහොතක හෝ ඉඩක් නොතබා, යාඥාවක් සිත තුළ පැනනැගෙන්නට තරම්වත් වේලාවක් නොදී ඔහු ඉරණම් ගමන යැවිය යුතුය. ඒත් . . . තවමත් බලාපොරොත්තුවක් තබාගත හැකි ය. සමහරවිට ඔහු කිසිවක් නිරීක්ෂණය නොකලා වන්නට පුළුවන. ඔහු භූ දර්ශණයේ අලංකාරබවින් වශීකෘතව එය විඳිමින් සිටිනවා විය හැකි ය. ඉඩ දුනහොත් ඔහු හැරී ආ මග ඔස්සේම ආපසු යන්නට ඉඩ තිබේ. සත්තකටම ඔහු පසුබසින මොහොතේ රහස් තොරතුරු දැනසිටින්නේදැයි දැනගත හැකි ය. විනිවිද පෙනෙන ජලය හරහා මුහුදු පතුල බලන්නාක් මෙන් හිස් අවකාශය හරහා නිම්නයෙහි පතුල දෙස නෙත් යොමුකරන්නට ඩෘෘස් පොළඹවන්නට ඇත්තේ අසරුවාගේ අචල අවධානය යොමුව තිබූ ආකාරයට විය හැකි ය. ඔහුට දැකගන්නට ලැබුනේ කොළ පැහැති තණබිම හරහා වක්‍රාකාරව ඇදී එන මිනිසුන් සහ අසුන් පේලියකි. එක් මෝඩ අණ දෙන නිලධාරියෙක් තමන් යටතේ සිටින සොල්දාදුවන්ට සියයක් පමණ වූ ඔවුන්ගේ අශ්වයින් ගිරි මුදුන් මත සිට පැහැදිළිව දැකගත හැකි වන සේ නිදහසේ ජලය කරා ගෙනයන්නට අවසර දී තිබේ.
නිම්නයෙහි වූ දර්ශණයෙන් ඉවතට ගත් ඩෘෘස්ගේ දෑස ගුවනෙහි රැඳී සිටි මිනිසා සහ අශ්වයා වෙත යළිත් යොමු වූයේ රයිෆලයෙහි කුරුමාණම තුළිනි. එහෙත් මෙවර ඔහුගේ ඉලක්කය වූයේ අශ්වයා ය. සිය පියාගෙන් වෙන්ව ආ මොහොතේ ඔහුගේ මුවින් පිටවූ වචන දේව භාෂිතයක් සේ ඔහුගේ මතකයෙන් ඉස්මතුව නැගී රැව්දුන්නේය. "කුමන තත්වයක් යටතේ වුවත් ඔබේ රාජකාරිය යයි ඔබට හැඟෙන දේ ඉටුකරන්න." ඔහු තැන්පත් විය. ඔහුගේ මුව අධිෂ්ඨානශීලී එහෙත් දරඳඩු නොවන ලෙස වැසී තිබුනේය; ස්නායු ක්‍රියාකාරිත්වය නිදා සිටින ළදරුවකුගේ මෙන් ශාන්ත විය; සිරුරේ එකම මාංශ පේශියකවත් ගැස්මක් ඇති නොවීය; ඉලක්කය ගත් මොහොතේ නතර වනතෙක් හුස්ම ඉහල පහල යාම ක්‍රමවත්ව කෙරුනේය. රාජකාරිය ජය ලබා තිබිණ; "නිසල වන්න, නොසැලී සිටින්න." අධ්‍යාත්මය සිරුරට පැවසීය. ඔහු අතින් රයිෆලය ක්‍රියාත්මක විය.
ඒ මොහොතේම ෆෙඩරල් හමුදාවේ නිලධාරියෙක් අළුතින් යමක් කිරීමේ ආශාවෙන් හෝ වටපිටාව ගැන දැනගැනීමේ බලාපොරොත්තුවෙන් හෝ නිම්නයේ සැඟවුනු තැනක වූ කූඩාරමින් එළියට බැස අරමුණක් නැතිව දෙපා තබමින් කඳු ශිඛරය පාමුල පිහිටි කුඩා විවෘත බිමක බෑවුමෙහි අද්දරට පැමිණ ඔහුගේ ගවේෂණය තවදුරටත් කරගෙන යාමෙන් කුමන දෙයක් සොයාගැනීමට ලැබේදෝයි සිතමින් සිටියේය. ඔහු ඉදිරියෙන් සැතපුම් කාලක පමණ ඈතින්, බැලූ බැල්මට පෙනෙන ලෙස ගලක් දමා ගැසිය හැකි තරම් දුරකින් දැවැන්ත ගිරි ශිඛරය පයින් ගස් මායිමට ඔබ්බෙන් අහස කරා නැගී සිටිනු දැකගත හැකි විය. ඔහුට ඉහලින් එය කෙතරම් උසකට නැගී සිටියේද යත් පසුබිමින් වූ අහසෙහි තද පාටින් විෂම ලෙස අඳින ලද ඉරක් සේ දිස් වූ එහි මුදුනත දැකගන්නට දෙනෙත් යොමු කිරීම ඔහුගේ හිසෙහි කරකැවිල්ලක් ඇතිකළේය. ඔහු සිටි තැනින් දකුණට වන්නට තරමක් දුරින් පිහිටි එය මුදුනෙහි සිට අඩක් පහලට පැමිණෙන තෙක් වූ නිල් අහස මත සුපැහැදිළි ලෙස ද එතැන් සිට එහි පාමුළ සැදි පයින් තුරුමුදුන් තෙක් ඒ තරම්ම නිල් පැහැයෙන් ඈතින් වූ කඳු පෙළට පසුබිම්ව ද සුපැහැදිළි සිරස් පැතිකඩක් මවා පෑවේය. බැලූවිට කරකැවිල්ල සැදෙන තරම් උසකින් පිහිටි කඳු මුදුණ දෙස දෑස් එසවූ ඔහුට දක්නට ලැබුනේ විශ්මයජනක වූ දර්ශණයකි. අසෙකු පිට නැගි මිනිසෙක් ගුවන හරහා පහතින් වූ නිම්නය වෙත පාවී එමින් සිටියේය!
අසරුවා, වඩාත් අනතුරුදායක ඇදවැටීමක් වළකනු වස් අශ්වයාගේ නාස් ලනුව තදින් ග්‍රහණයට ගෙන සෑදලය මත හමුදාමය ස්වරූපයෙන් සෘජු වූ ද අචල වූ ද කයින් යුතුව වාඩිවී සිටියේය. හිස්වැස්මක් නොවූ ඔහුගේ හිසින් ඉහලට විහිදුනු දිගු කෙස්කළඹ කුරුළු පිහාටුවක් විලසින් සුළඟේ ලෙළදෙමින් තිබුණි. ඔහුගේ දකුණු අත අශ්වයාගේ ඉහලට එසවුන කේශර කළඹෙහි සැඟව තිබුනේය. පොලව මත කුර ගටමින් ගමන්ගන්නා ලෙසින්ම සත්වයාගේ සිරුර සමබරව දිස්විය. උගේ චලනය පෙන්වූයේ ජවයෙන් යුතු පිම්මක විලාසයයි. එසේ වුවද නිලදරුවා බලාසිටිත්දීම උගේ සියළුම පාද ඉදිරියට දික්වී පිම්මකින් බිමට පතිතවන ඉරියව්වක් දැක්වීය. එහෙත් මේ අහසින් කෙරෙන ගමනකි!
අසෙකු පිට නැගි මිනිසෙකු අහසින් යන මේ දර්ශණයෙන් විමතියටත් භීතියටත් පත් නිලධාරියා තමා යම්කිසි නව හෙලිදරව්වක් කිරීමට දෙවියන් විසින් තෝරාගෙන ඇත්දැයි යන අඩමානයෙන් යුතුව සිතට නැගුන සිතුවිලිවල පීඩනය දරාගත නොහැකිව දෙපා අඩපන වී බිම ඇදවැටුනේය. ඒ මොහොතේම මෙන් ගස් පොඩිපට්ටම් කරමින් යමක් වැටෙන ශබ්දය ඔහුට ඇසුනේය. දෝංකාරයක් නොනගාම ශබ්දය නෑසී ගොස් සියල්ල නිශචල විය.
නිලධාරියා වෙව්ලමින් නැවතත් තම දෙපාවලට වාරු දී සිටගත්තේය. කකුලේ පහල කොටසේ අස්ථිය මත ඇතිව තිබූ සීරීම් තුවාලයකින් දැනුන වේදනාව පිළිබඳ හැඟීම ඔහුගේ ගල්ගැසී තිබූ ඉන්ද්‍රියයන් යළි ප්‍රකෘති තත්වයට පත් කළේය. සිහි එළවාගත් ඔහු ගිරි ශිඛරය පාමුල සිට සැතපුම් බාගයක් පමණ දුරින් වූ තැනකට, මිනිසා වැටෙන්නට ඇතැයි ඔහු අනුමාන කළ තැනකට වක් වූ මගක් ඔස්සේ දිවගිය ද වියයුතු පරිදිම එතැන දකින්නට කිසිවක් නොවීය. ඔහුගේ දෑස් ඉදිරිපිට එක් ක්ෂණයකට පහලවූ අසිරිමත් දර්ශණයෙහි පෙනෙන්නට තිබූ ලාලිත්‍යයෙන් හා සැහැල්ලුබවින් ද වියහැකි අවසාන ප්‍රතිඵලය පිළිබඳ හැඟීමෙන් ද ඔහුගේ කල්පනා ශක්තිය කොතරම් ව්‍යාකූල වීද යත් ගුවනින් ආ අසරුවාගේ ගමන් මාර්ගය සෘජුව පහළට යොමුව තිබූ බව ද ඔහු සොයන දෙය ඇත්තේ ගිරි ශිඛරය පාමුළම බව ද වටහාගන්නට ඔහුට නොහැකි විය. පැය භාගයකට පසුව ඔහු නැවතත් කඳවුර කරා ආපසු පැමිණියේය.
මේ නිලධරයා බුද්ධිමත් මිනිසෙකි. විශ්වාස නොකළ හැකි තරම් වූ විට සත්‍යයක් වුව ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිය යුතුබව ඔහු දැනසිටියේය. තමා දුටු දෙය ගැන කිසිවක් ඔහු කිසිවෙකුටවත් හෙලිකරේ නැත. එසේ වුවද තොරතුරු සොයා ඔහු ගිය ගමනින් ඔවුන්ගේ මෙහෙයුමට වාසිදායක වන යමක් නිරීක්ෂණය කළේදැයි අණ දෙන නිලධාරියා විමසූවිට ඔහු පිළිතුරු දුන්නේය.
"ඔව්, සර්. දකුණු දිසාවෙන් නිම්නය දක්වා පහළට ඒමට හැකි මාර්ගයක් නෑ."
තොරතුරු වඩාත් හොඳින් දැන සිටි අණ දෙන නිලධාරියාගේ මුවගට සිනාවක් නැගින.
වෙඩිල්ල තැබූ පසු කාටර් ඩෘෘස් නම් යුද භටයා රයිෆලයට යළිත් උණ්ඩ පුරවා නැවතත් ඔහුගේ මුරසේවය ඇරඹීය. විනාඩි දහයක් ඉක්ම යන්නටත් පෙර ෆෙඩරල් හමුදාවේ සාජන්වරයෙක් පරිස්සම් සහගතව දෑත් දෙපා මත බඩගාමින් ඔහු වෙත පැමිණියේය. ඩෘෘස් හිස හැරවූවේවත් ඔහු දෙස බැලුවේවත් නැත. හඳුනාගත් බවට සළකුණකුදු නොදක්වා නිශ්චලව හිටිවනම වැතිර සිටියේය.
"ඔබ වෙඩි තැබුවද?" ඔහු කෙඳිරිලි හඬින් විමසීය.
"ඔව්."
"මොකකටද?"
"අශ්වයෙකුට. අර ඈත පේන කඳු මුදුනේ ඌ හිටගෙන හිටියේ. ඔබට පෙනෙනවා ඇති තවදුරටත් ඌ එතන නෑ කියලා. ඌ කඳු මුදුනින් පහළට වැටුනා."
භටයාගේ මුහුණ සුදුමැලි වුවද වෙනත් කිසිම හැඟීමක සේයාවක්වත් ඔහුගේ මුහුණෙහි නොවීය. පිළිතුරු දීමෙන් පසුව මුහුණ ඉවතට හරවාගත් ඔහු නිහඬබව රැක්කේය. සාජන්හට සිදුවූ කිසිවක් වටහාගැනීමට නොහැකි විය.
"මෙහෙ බලනවා ඩෘෘස්." මොහොතක නිහඬතාවයකින් පසුව සාජන් පැවසීය. "කිසිම දෙයක් හංගන්න හදන එකේ තේරුමක් නෑ. මම අණකරනවා වාර්තාකරන්න කියලා. ඒ අශ්වයාගේ පිටඋඩ කවුරුහරි හිටියද?"
"ඔව්."
"කවුද?"
"මගේ තාත්තා."
සිය දෙපා මත නැගී සිටගත් සාජන් සිටිතැනින් ඉවතට ඇවිද ගියේය. "මගේ දෙයියනේ!" ඔහුගේ මුවින් පිටවිය.
හපොයි . රාජකාරිය දේව කාරියට වඩා උතුම්ය කතාව සිහි කරවන්නක් . මගේ අතින් කවදාවත් සිදු නොවන්නක් .
ReplyDeleteමගේ දෙයියනේ!!!!!!!!!!!!!!!!!!
ReplyDelete//"කුමන තත්වයක් යටතේ වුවත් ඔබේ රාජකාරිය යයි ඔබට හැඟෙන දේ ඉටුකරන්න."//
අතිජාත; සුජාත පුත්‍රයෙක්!