මේ ඔබ කියවන්නට යන්නේ Ralph Cotton නම් ලේඛකයා විසින් ලියන ලද Gun Law නම් නවකතාවෙන් උපුටාගත් කොටස් කිහිපයකි. කතාවට පසුබිම් වන්නේ නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ කින්ඩ්‍රඩ් නගරයයි. එහි මාර්ෂල්වරයා ලෙස අළුතින් පත්වන එමර්සන් කර්න් එහි නගරාධිපති වූ කෝක්ලි ද සමග එක්ව නගරය අවි රහිත කලාපයක් කිරීම සඳහා නීතියක් සම්මත කරගනී. ඒ අනුව සියළුම නගරවැසියන් තමන් සතු අවි ආයුධ මාර්ෂල්වරයා වෙත බාර දිය යුතුය. ඒ සඳහා ඔහු සහය මාර්ෂල්වරුන් කිහිපදෙනෙකු ද බඳවාගනී. ඔහුගේ යටි අරමුණ වන්නේ ආයුධ සියල්ල බාරදුන් පසුව නගරයේ ධනය කොල්ලකා පළායාම ය. මේ අතර නගරයේ සතිපතා පළවන පුවත්පත වන 'කින්ඩ්‍රඩ් ස්ටාර්' හි කතුවරයා හා ප්‍රකාශකයා වන එඩ් ඩැන්ඩ්ලි නගරයෙහි සිදුවෙමින් පවත්නා සිදුවීම් තම පුවත්පත තුළින් වාර්තා කිරීමට පියවර ගනියි.
නිව් මෙක්සිකෝ පළාතේ කින්ඩ්‍රඩ් නගරයේ නීතිය ආරක්ෂා කර සාමය පවත්වාගැනීමට අළුතින් පත් වූ මාර්ෂල්වරයා වූ එමර්සන් කර්න් 'කින්ඩ්‍රඩ් ස්ටාර්' පුවත්පත් කාර්යාලයට ගොඩවදින විට අඳුර වැටී තිබිණ. ඕක් ලීයෙන් තැනූ අත්වැටකට ඔබ්බෙන් වූ තමාගේ මේසය අසල වාඩි වී සිටි එඩ් ඩැන්ඩ්ලි කර්න් එනු දැක උපැස් යුවල ඉවතට ගෙන නැගී සිටියේය.
"මාර්ෂල්, මම දැක්කා ඔබේ සහය මාර්ෂල්වරයා නගරවැසියෙක්ව, පෙනුන විදියට, ඔබට අවශ්‍ය ගානට තලලා හදනවා."
"කම්මල්කාරයා ආයුධ පිළිබඳ නීතිය කඩකළා." අත්වැටෙන් ඇතුළු විමට තිබූ දොරටුව වෙත ගමන් කරමින් පැවසීය. "අළුතෙන් නීතියක් සම්මත කරන හැම වෙලාවකම ආදර්ශයක් හැටියට පෙන්වන්න කවුරුහරි ඕනැ වෙනවා. මේ සැරේ ඒකට අහුඋනේ අර්කැල් ෆැනිං." ඔහු තම උරහිස් හකුලුවාලීය. "මිනිහා එයාගේ රාජකාරිය කළා විතරයි."
ඩැන්ඩ්ලි තම මේසය මත වූ පැන්සල හා සටහන් පොත දෙස බලා ඒවා ගැනීමට අත දිගුකළද මොහොතක් කල්පනා කොට අත ආපසු ගත්තේය. "හිනා යන වැඩේ කියන්නේ ෆැනිං තමයි නගරාධිපති කෝක්ලිට ඔය ආයුධ නීතිය සම්මත කරගන්න තදින්ම සහය දුන්නේ." යි පැවසූ ඩැන්ඩ්ලි අත්වැටට පිටුපසින් කාමරයේ විශාල ඉඩක් වසාගෙන සිටි මුද්‍රණ යන්ත්‍රයට අත දිගුකොට, "පත්තරේ ඊලඟ කලාපයේ මම ඒක ගැන ලියන්නයි ඉන්නේ." යයිද කියාසිටියේය.
"හැබෑටම!" කර්න්ගේ හඬෙහි අභියෝගාත්මක ස්වරයක් විය. "කොයි පැත්ත ද ඔහේ ගන්න යන්නේ?"
"කොයි පැත්ත ද?" ඩැන්ඩ්ලි ප්‍රතිචාර දැක්වූයේ කර්න් දෙස නුරුස්නාසුලු බැල්මක් හෙලමිනි. "කොයි පැත්තක්වත් ගන්නෙ නෑ, මාර්ෂල්." යළිත් ඔහු ලෝහයෙන් හා දැවයෙන් තැනූ තින්ත පැල්ලම් ඉහිරුන මුද්‍රණ යන්ත්‍රය දෙසට අත දිගු කළේය. "පත්තරේ පැත්තක් ගන්නෙ නෑ, පත්තරේ කරන්නේ පේන්න තියන කරුණු ඒ හැටියටම මුද්‍රණය කරන එක විතරයි."
කර්න්ගේ බැල්ම ද විශාල යන්ත්‍රය දෙසට යොමුවිය. ඩැන්ඩ්ලිගේ බැල්ම ප්‍රසාදජනක වූ අතර මාර්ෂල්ගේ බැල්ම නුරුස්නාසහගත විය.
"ඔය ගඳ ගහන තඩි මැෂිම එළියට දාන්නේ තමුසේ ඒකට කරන්න කියන දේ. ඒකයි මං තව සැරයක් අහන්නේ. තමුසේ කොයි . . . ."
"මේ . . . , නගරාධිපති කෝක්ලි ගැන කියද්දි, කාටහරි එයා ගැන ආරංචියක් හෙම තියනවද? එයා ආපහු කින්ඩ්‍රඩ්වලට එන්නේ කවදද කියලා දන්නවද?" මාර්ෂල්ට කතාව ඉවරකරන්නට නොදී බාධා කළ ඩැන්ඩ්ලි විමසීය.
"මට නං ඒ ගැන අවබෝධයක් නෑ." ඩැන්ඩ්ලිගේ ස්වරයෙහි ව්‍යංගාර්ථයක් ඇත්දැයි යන සැකයෙන් යුතුව කර්න් පිළිතුරු දුන්නේය. ලෝහ දුනු සවිකර තිබූ ගේට්ටුව ඉබේ වැහෙන්නට ඉඩ හරිමින් ඔහු ඕක් අත්වැටෙන් ඇතුළට පිවිසියේය.
"ඇයි ඕක මගෙන් අහන්නේ?"
"ඔබෙන් අහන්නේ නගරාධිපති ළඟට ඉන්න ඉහලම නිලධාරියා ඔබ නිසයි." ඩැන්ඩ්ලි පැවසීය. "මම මගේ රස්සාව කරන එකේ වැරැද්දක් එහෙම ඔබට පෙනෙනවද?"
"නෑ. ඔබේ රස්සාව මම මෙහේ කරන්න හදන දේට බාධාවක් නොවෙන තාක් ප්‍රශ්නයක් නෑ." කියූ කර්න් ඩැන්ඩ්ලිට අඩි කිහිපයක් මෑතින් නතරඋනේය. "මම හිතන්නේ අපි දෙන්නා කරන රැකියාවල හැටියට අපිට හුඟක් දේවල් කරන්න පුළුවන් එකිනෙකාට උදව් කරගන්න. එහෙම උනාම අපි දෙන්නටම පුළුවන් මේ නගරය නිවැරදි පැත්තට ගන්න උදව්කරන්න."
"ම්. . .හු." ඩැන්ඩ්ලි හිස දෙපසට වැනීය. "මගේ පත්තරේ පැත්තක් ගන්නෙ නෑ, මාර්ෂල්. ඊලඟ පත්තරේ ගහනකොට මම අළුත් ආයුධ නීතිය ගැනයි ඒකට මිනිස්සු දක්වන ප්‍රතිචාරයයි ගැන ලියනවා. වෙන්න තියන දේ ඒ විදියටම සිද්ධ උනාවේ."
"ඒක නං හොඳ දෙයක් නෙමෙයි." කර්න් පැවසීය.
"හොඳ දෙයක් නෙමෙයි?" ඩැන්ඩ්ලි දෑස් අයා කර්න් දෙස බැලීය. "මාර්ෂල් මම හැමතිස්සෙම කියන විදියට පත්තර වාර්තාකාරයෙකුගෙනුයි පත්තරෙනුයි ඇති වැඩේ මොකක්ද එයාගේ පුද්ගලික මතය පැත්තක තියලා සිදුවීමක හැම පැත්තම වාර්තා කරන්නෙ නැත්නම්?"
"මට තේරෙනවා. ඒත් මම ඕක දිහා බලන්නේ වෙනස් විදියකට." කර්න් පිළිතුරු දුන්නේය. "පත්තරේකිනුයි වාර්තාකාරයෙකුගෙනුයි ඇති ප්‍රයෝජනය මොකද්ද හරියටම මම කියන විදියට වැඩ කරන්නෙ නැත්නම්."
ඩැන්ඩ්ලි මදක් විශ්මයට පත්වූ විලසින් දෙතොල් දෙපසට පළල්කොට සිනා මුහුණක් පෑවේය. කර්න්ගේ මුහුණට ද එලෙසින්ම සිනහවක් නැගින.
"දෙයියන්ගේ නාමෙට, මාර්ෂල් ඔබ මේ කියන්නේ ඇත්. . ."
වචන ඩැන්ඩ්ලිගේ දෙතොල් අතරින් පිටවන්නටත් පෙර දරාගත නොහැකි තරම් දැඩි වේදනාවක් පපුව තුළට විහිද යනු ඔහුට දැනින. ඔහුගේ දෑස් පහතට හැරී තම පපුව මැදට තදින් හේත්තු වී තිබු මාර්ෂල්ගේ මිටමොලවාගත් අතට යොමු විය.
"ෂ්, ෂ්, ෂ්. කලබල කරන්න එපා." කර්න් මෘදු, සනසාලන ස්වරයකින් පැවසීය.
ඩැන්ඩ්ලි අමාරුවෙන් හුස්මක් ගත්තේය. මාර්ෂල්ගේ මිට මෙලවූ අත මදක් එළියට ඇදී එද්දී ඔහුගේ දෑස් පිටට නෙරා ආවේය. ලේ තැවුරුනු පිහිතලයෙන් අඩක් පපුවෙන් පිටට විත් තිබෙනු ඔහුට පෙනුනේය. එසැනින් එය යළිත් ඇතුළට කිඳාබැස හදවත සොයාගොස් එහි මධ්‍යයේම ඇනී නතර විය.
"ඩැන්ඩි, අපි පොඩ්ඩක් මෙහෙන් වාඩිවෙමු." සන්සුන් ලෙස පැවසූ කර්න් ප්‍රවේසමෙන් ඩැන්ඩ්ලි පුටුව කරා ගෙනගියේ පිහියේ මිට දැඩිව ග්‍රහණයට ගත් අත එලෙසම රඳවා ගනිමිනි. විශාල වී පිටට නෙරා තිබූ දෑස්වලින් ජීවය මැකීයන තෙක්ම පුවත්පත් කතුවරයා අසල සිටගෙන සිටි ඔහු ඉන්පසු පිහියේ මිට අල්ලාගෙන සිටි අත ලිහිල් කොට දිගු හුස්මක් ගත්තේය. තම දෙඅත් දෙස බලා ඩැන්ඩ්ලිගේ ලේ තැවරී නැතිබව තහවුරු කරගත් ඔහු දෙඅත් එකිනෙකින් පිරිමදිමින් කාර්යාලයෙන් පිටව ගියේ වැඩේ හොඳට කෙරුනු බවට සෑහීමකට පත්වෙමිනි.
පුවත්පත් කාර්යාලය පිහිටි වීදියේ අනෙක් පැත්තේ පටු වීදියක අඳුරු සෙවනැලි අතර තරුණයෙකු රැඳී සිටියේය. කුසගින්න වැඩිකමට ඔහුගේ කුස හඬතලමින් තිබිණ. මාර්ෂල් ඉවත්ව නොයනු ඇතැයි යන සිතුවිල්ලෙන් ඔහු නොඉවසිලිිිිිමත් විය. එවර මාර්ෂල් ආපසු ඔහුගේ කාර්යාලය කරා යනු දුටු ඔහු අඳුරු සෙවනැලි අතරින් එළියට පැමිණ පාළුවට ගිය වීදිය හරහා ඇදෙන්නට විය. ඔහුට ඇසුනේ අසල වූ සමාජ ශාලාවෙන් රාත්‍රී අහසට එක් වූ සංගීත රාවය පමණි.
පුවත්පත් කාර්යාලයට ඇතුළු වූ ඔහු ඇඳ සිටි කබාය තුලින් පොලු කැබැල්ලක් එළියට ගෙන ඉදිරියට ගියේය. "කැමැත්තෙන් කරන දෙයක් නෙමෙයි, ඒත් කරන්න දෙයක් නෑ." ඔහු තමාටම කියාගත්තේය. ඔහු ගියේ භීතියට පත් බැල්මකින් කෙලින්ම ඔහු දෙස බලාගෙන ඉඳගෙන සිටි මිනිසා වෙතට ය. එහෙත් ළඟට යත්ම ඩැන්ඩ්ලිගේ පපුවෙහි ඇනී තිබූ පිහිය ද අවට ගලාගෙන ගොස් තිබූ ලේ පැල්ලම ද ඔහුගේ දැසට අසුවිය.
"මගෙ දෙයියනේ! . . ." ඔහු තමාටම මුමුණාගත්තේය. එහෙත් ඔහු මොහොතක්වත් අපතේ යැවුවේ නැත. අත්වැටෙහි ගේට්ටුවෙන් ඇතුලට කඩාවැදුන ඔහු මේසයෙහි ලාච්චු සියල්ල අවුස්සා කොලයක ඔතා තිබූ ඇපල් ගෙඩියක් හා පාන් කැබැල්ලක් සොයාගන්නට සමත්විය. ඩැන්ඩ්ලි මේස ලාච්චුවක දමා තිබූ මාරුකාසි ස්වල්පයක් හා කානු දෙකකින් යුත් කුඩා පිස්තෝලයක් සොයාගන්නා අතරතුර ඔහු ඇපල් ගෙඩිය හා පරණ පාන් කැබැල්ල ගිලදැමීය.
තරුණයා කුඩා පිස්තෝලය අත්ල මත තබා උණ්ඩ පුරවා ඇත්දැයි එහා මෙහා හරවා බැලුවේය. පුංචි උනත් ආයුධයක් ලැබුන එක ලොකු දෙයක් යන සිතුවිල්ල ඔහුගේ සිතට නැගින. පොලුකැබැල්ල පසෙකට විසිකර දැමූ ඔහු නැගීසිට කාසි ටික සාක්කුවට දමාගත්තේය. මහල්ලා සතුව තිබූ පතරොම් තුවක්කුව තිබුනේ නම් මීට වඩා හොඳ වුවත් වර්ජිල් ටුට්ල් එය අත්හැර දමන්නට කැමති වූයේ නැත.
දිගු හුස්මක් ගත් තරුණයා ඇපල් ගෙඩියෙන් ඉතිරිව තිබූ මැද නාරටි කැබැල්ල ද ගිල දැමීය. කුඩා පිස්තෝලය සාක්කුවෙහි රුවාගෙන සාක්කුව අතින් සකසාගත් ඔහු ආපසු හැරී කඩිනමින් පිටුපස දොරටුව වෙත ගොස් පටු වීදියට පිවිසියේය. නගරයෙන් බැහැරව යාමට පෙර අද රාත්‍රියේ කරන්නට ඔහුට බොහෝ දේ තිබේ. "මීට පස්සෙ නම් බඩගින්නේ ඉන්නෙ නෑ. ඒක නම් සහතිකයි."
හිමිදිරි පාන්දර අඳුර තුළින් ඇසුන වෙඩි හඬ තුනක් කාර්යාලයෙහි පසුපස කාමරයේ කුඩා ඇඳක නිදාසිටි මාර්ෂල් කර්න් ඉන් බිමට විසිකිරීමට සමත් විය. වහා තම දෙපා බූට් සපත්තු කුට්ටමෙහි ඔබාගත් ඔහු අසල බිත්තියට හේත්තුකර තිබූ රයිෆලය අතට ගත්තේය.
ගොඩනැගිල්ලේ පසුපස බිත්තියට යාබද හිස් සිර කුටියක නිදා සිටි ට්‍රයිබෝල්ඩ් කූපර් ඔහු වැතිර සිටි බ්ලැන්කට්ටුව මතින් ඉවතට පැන සැනෙකින් දොරටුවෙන් එලියට ආවේය. අනෙක් සහය මාර්ෂල්වරු හතරදෙනා ද ඔහු අනුගමනය කරමින් රයිෆල් හා රිවෝල්වර් අත්වලට ගනිමින් මාර්ෂල්ගේ කාර්යාලයේ ප්‍රධාන කාමරය වෙත දුව ආහ.
"ඒක සාධාරණ ප්‍රශ්නයක්, යකාම ගහන්න!" කූපර් බුරා පැන්නේය.
"මගෙ එකත් එහෙමයි." කර්න් ගෙරවීය.
රයිෆලයේ පතරොම් ගැබට උණ්ඩ පිරවූ ඔහු නිදිමත පිරි දෑසින් යුතුව බිත්තියේ එල්ලා තිබූ ඉටිපන්දම් ලාම්පු එළියේ ආධාරයෙන් අනෙක් අය දෙස බැලීය.
"හැමෝම ඇවිල්ලා ඉන්නේ, මාර්ෂල්." කැට්ලෝ පැවසීය. ඔහුට පිටුපසින් ඔහුගේ සොහොයුරු ෆිල්බර්ට් හා බක් ද මියුල් ජෙනින්ස් ද සිටගෙන සිටියහ. අපිරිසිදු පෙනුමකින් යුතු වූ සද්දන්ත වෙඩික්කරුවා තවමත් වේදනාවෙන් පෙලෙමින් බෙල්ල ඇදකරගෙන උරහිස් හකුලුවාගෙන උන්නේය. අන්තිමටම කාමරයට ඇතුළු වූ ඩෙන්ටන් බෙන්ඩර් වමතින් ලිහිල් ලෙස රයිෆලය ගෙන කෙලින් සිටීම සඳහා දකුණතින් සිරකුටියේ දොරටුවේ යකඩ කූරු තරයේ අල්ලාගෙන සිටියේය.
"ජේසන් කැට්ලෝ, තමුසෙ එනවා මාත් එක්ක යන්න. කම්මල්කාරයාට තමුසෙ කරපු වැඩේට පින්සිද්ධ වෙන්න දැන් හැමෝම තමුසෙට බයයි." පැවසූ කර්න් එසැනින් පහල වූ සිතුවිල්ලක් මෙන් යළිත්, "අනෙක් අය තුවක්කුත් තියාගෙන ලෑස්ති වෙලා ඉන්නවා, මුන් අපට විරුද්ධව කැරලිගහන්න සූදානම් වෙලා ඉන්නවද දන්නෙ නැති නිසා." යයි පැවසීය.
"ආයුධ නැති කැරැල්ලක්, ෂිඃ! නින්දත් කඩාගෙන ඇහැරිලා ඉන්න තරම්වත් වටින දෙයක් නෙමෙයි." ෆිල්බර්ට්ගේ මුවින් පිටවිය.
"අපිව ඇහැරෙව්වේ ඒකට නම් ආයෙත් ඒ වගේ ඇහැරවන්න තියන්නෙ නෑ." ජේසන් කීවේ සැරපරුස හඬකිනි. ඔහු උරහිසෙහි රඳවාගෙන සිටි රිවෝල්වරය රඳවන බඳපටිය ඉන දක්වා වැටෙන්නට සලස්වා එහි ගාංචුව තදකර රිවෝල්වර කොපුව හා රිවෝල්වරය නිසි පරිදි සකසාගෙන එය නොසෙල්වෙන සේ බඳින නූල් කැබැල්ල කඩිනමින් කලව වටා බැඳගත්තේය.
"අපි යමු." කර්න් පැවසීය.
ඔවුන් දෙදෙන අඳුරු වීදියට පිවිසියේ මංසන්ධියට එපිටින් පිහිටි සාප්පුව ඉදිරිපිට රැඳී සිටි මිනිසුන් කණ්ඩායම විසින් ඉහලට ඔසවාගෙන සිටි පන්දම් හා ලන්තෑරුම් එළි දෙස නෙත් යොමාගෙන ය.
ඔවුන් එතැනට ලඟාවෙද්දී "ඔන්න මාර්ෂල් එනවා." යි හඬක් නැගින.
"කරදර වෙන්න දෙයක් නෑ, මාර්ෂල් කර්න්. අපි බැල්ලිගෙ පුතාව අල්ලගත්තා." එහා මෙහා වැනෙමින් තිබූ ලන්තෑරුමක් යටින් තවත් හඬක් කෑගැසීය.
"සූදානමින් ඉන්නවා, ඩිපියුටි. මේ මොට්ට මෝල්ලු ටික මොනව කරන්න ලෑස්ති වෙනවද දන්නෙ නෑ." තමා අසලින් ඉක්මන් ගමනින් ඇවිද යමින් සිටි කැට්ලෝට කර්න් පැවසීය.
ඔබේ ආරක්ෂාවට මම ඉන්නවා, මාර්ෂල්. ජේසන් විශ්වාසයෙන් යුතුව පිළිතුරු දුන්නේය.
"මොන විදිහේ බැල්ලිගෙ පුතෙක් ගැනද ඔය කියන්නෙ?" කර්න් වීදියේ කටහඬ ඇසුනු දෙසට හැරී විමසීය.
"රෑ තිස්සෙ අපේ කඩසාප්පු මංකොල්ල කන බැල්ලිගෙ පුතා ගැන." වීදියෙන් නැගුන කටහඬකින් පිළිතුරු ලැබුනේය.
කර්න් සහ කැට්ලෝට දකින්නට ලැබුනේ ඔවුන්ට යාර කිහිපයක් ඉදිරියෙන් බිම දිග බාවා සිටි කෙසඟ මිනිසෙකි. ඉහලට නැගි පොරෝ මිටක් මිනිසාගේ පසුපස තදින් වැදී නතර වූයේ මිනිසාගේ මුවින් විලාපයක් නංවමිනි.
"හරි, හරි, ඕක දැන් නවත්වන්න." කර්න් පැවසුවේ කැට්ලෝ ද සමග ආලෝකමත්ව තිබූ ස්ථානයට පැමිණ දුහුවිල්ලෙන් පිරි අපිරිසිදු බිම වැතිර සිටි තරුණයා දෙස බලමිනි.
"නවත්වන්ඩම තමයි වටින්නේ!" ඇල්බර්ට් ෂැග්ස් නම් වූ බාබර්වරයා පැවසූයේ ආවේගය පාලනය කරගත නොහැකිව වෙවුලන්නට පටන්ගත් කටහඬකිනි. "මේ ජරා අවජාතකයා එඩ් ඩැන්ඩ්ලිව මරලා එයාගේ පිස්තෝලය හොරකම් කරගෙන මංකොල්ල කනවා."
"ඒත් අපි මිනිහව නැවැත්තුවා. මගේ සාප්පුවේදී අල්ලගත්තේ." පැවසූ වෝල්ටර් ස්ටීවන්ස් ඉදිරියට පා තබා භීතියට පත්ව සිටි තරුණයාට ඉහලින් පොරෝ මිට එසවීය.
"මම කිව්වා ඕක නවත්වන්න කියලා, ස්ටීවන්ස්." පැවසූ කර්න් ඉදිරියට පැන තරුණයා මත පතිත කරන්නට පෙර සාප්පු හිමියා අත වූ පොරෝ මිට අල්ලාගත්තේය.
"සමාවෙන්න මාර්ෂල්, ඒත් බලන්න මගේ සාප්පුවේ දොර දිහා." පැවසූ ස්ටීවන්ස් ඔහුගේ අත සාප්පුවේ ඉදිරිපස දොර දෙසට දිගුකළේය. කඩා විවෘත කොට තිබූ දොරෙන් විසිවූ ලී කැබලි හා කුඩා ලී පතුරු පදික වේදිකාව පුරා විසිර තිබිණ.
"මට තේරෙනවා. එඩ් ඩැන්ඩ්ලිව මැරුවා කියලද කිව්වේ?" අසමින් කර්න් බිම වැටී සිටි තරුණයා එලෙසම තබාගැනීම සඳහා තම පය රැඳි බූට් සපත්තුව ඔහුගේ ඇඟ මත තැබීය.
"මිනිහම තමයි කළේ මාර්ෂල්." බාබර් ෂැග්ස් පිළිතුර දීමට ඉදිරිපත් විය. "පපුවට පිහියෙන් ඇනලා. ඩැන්ඩ්ලි මේසෙ ලඟ ඉඳගත්ත හැටියටම මැරිලා ඉන්නවා, පිහියකුත් පපුවෙ ඇනිච්ච ගමන්."
"මම කාවවත් මැරුවෙ නෑ." තරුණයා කීය.
"කට වහනවා." කර්න්ගේ මුවින් පිටවිය.
"මේ අර වයසක වර්ජිල්ව ගෙදර එක්ක යනවා කියලා කියපු කොල්ලා නේද?" පන්දම් හා ලන්තෑරුම් එළියෙන් තරුණයා දෙස හොඳින් බැලූ ජෝන් ඇඩ්මෝර් විමසීය.
"දෙයියන්ගෙ නාමෙට! ඇත්තම නේන්නං, ජෝන්. මට හිතාගන්න බෑ අර අසරණ වයසක මනුස්සයා, වර්ජිල් එක්ක මොනවද කරන්න ගියේ කියලා."
තරුණයා මුහුණ බිමට හරවාගෙන කිසිකෙුත් දෙස බැලීමෙන් වැලකී සිටියේය.
"මට මේක හම්බඋනා මිනිහා ලඟ තිබිලා." පැවසූ ෂැග්ස් සාක්කුවෙන් එලියට ගත් කුඩා පිස්තෝලය මාර්ෂල් වෙත දිගුකළේය.
"මාර්ෂල්, ඕක ඩැන්ඩ්ලිගේ. එයා ඕක හැමතිස්සෙම ලාච්චුවේ තියාගෙන හිටියේ. එයාගෙ නමේ මුල් අකුරු ඕකෙ මිටේ කොටලා තියනවා." ස්ටීවන්ස් පවසා සිටියේය.
"මම දන්නවා මාර්ෂල් එයා ඕක බාරදෙන්නයි හිටියේ. ඒත් වෙලාවක් ලැබුනේ නෑ." ෂැග්ස් පැවසීය.
දැල්වෙන මද ආලෝකයෙන් කුඩා පිස්තෝලය පරීක්ෂා කළ කර්න්ට අවියෙහි මිට මත ගොරහැඩි ලෙස කොටා තිබූ E. D. අකුරු දැකගත හැකි විය.
"මදැයි ඔයින් ගියා . . ." ඔහු තමන්ටම මුමුණාගත්තේ සිතට නැගුනු සිතුවිළි මුහුණෙන් පිළිබිඹු නොකිරීමට ප්‍රවේශම් වෙමිනි. "අසරණ එඩ් ඩැන්ඩ්ලි මැරිලා, එහෙනම්."
"ඔව්, ඒත් වාසනාවකට අපට එයාව මරපු තක්කඩියා අල්ලාගන්න පුළුවන් උනා." ස්ටීවන්ස් පැවසීය.
"ඇත්ත. වාසනාවට තමයි එහෙම දෙයක් උනේ." කියූ කර්න් පහතට නැමී තරුණයා අල්ලා දෙපයින් සිටුවීය. මිනිසා දෙපා මත නැගී සිටි සැනින් කර්න් තම රයිෆල් බටයෙන් දරුණු ප්‍රහාරයක් ඔහුගේ දකුණු කකුලේ විළුඹට එල්ල කළේය. මහ හඬින් කෑ ගැසූ තරුණයා වැටෙන්නට ගියද කර්න් ඔහු වැටෙන්නට නොදී අල්ලාගත්තේය.
"යාළුවා, මම එහෙම කළේ ඔහේගෙ ජීවිතේ බේරලා දෙන්නයි. මම දන්නවා තමුසෙ වගේ තරුණ ඈයො පැනලා දුවන්න කොච්චර කැමතිද කියලා. ඔය කැඩිච්ච විළුඹ නිසා බේරිලා යන්න හදලා වෙඩිකන එකෙන් බේරෙන්න පුළුවන්."
තරුණයා වේදනාවෙන් කෙඳිරිගාන්නට විය.
"මාර්ෂල්, ඔබ හරි කරුණාවන්තයිනෙ." ජේසන් කැට්ලෝ පැවසුවේ මුවෙහි සිරකරගත් සිනාවක් ද සමග ය. "මම මිනිහව ගෙනිහිල්ලා හිරකූඩුවක දාන්නද?"
"හිරකූඩුවකට?" ෂැග්ස් හඬනැගීය. "මොකටද? පරාලෙකට ලණුවක් දාල එල්ලන්නයි වටින්නේ, මේ රෑම. මම කියන්නේ මේ දැන්ම කරමු කියලා!"
"ඕන ඔට්ටුවක්, මම කතාකළේ තමුසෙට කියලනෙ ඔහේ හිතුවේ, නැද්ද බාබර්?" මිත්‍රශීලීබවක් ඇඟවෙන මද සිනාවක් පෑ ජේසන් කැට්ලෝ ෂැග්ස් ඉදිරියට පැමිණ ඔහුගේ උරහිසට තට්ටුවක් දමා අත එලෙසම උරහිස මත තිබෙන්නට හැරියේය.
"ඔව්, මේ . . . නෑ, නෑ මං අදහස් කළේ නෑ කියන එකයි." ෂැග් කීවේ කම්මල්කරුවා මේ සහය මාර්ෂල් සමග කතාවට ගොස් අමාරුවේ වැටීමට ගතඋනේ කොතරම් සුලු වෙලාවක්ද යන්න මතක් විමෙනි. "මම ආපසු කිසිදෙයක් කියන්නෙ නෑ." ඔහු පවසා සිටියේ යටහත් පහත් ලෙස ය.
"අන්න හරි, කොච්චර හොඳද?" පැවසූ ජේසන් නැවත කර්න් දෙසට හැරී, "මොකද කියන්නේ මාර්ෂල්? හිරකූඩුවට දාන්නද?" යි විමසීය.
"ඔව්, අරගෙන යනවා, ඩිපියුටි." කර්න් පිළිතුරු දුන්නේය. ඒ මොහොතේම සිදුවූ දේ ගැන යළි සිතාබැලූ ඔහුට වැටහුනේ සිදුවන්නට හැකි හොඳම දෙය නම් නගරවැසියන් විසින් තරුණයා එල්ලා මරාදැමීම බවයි. මේ දරුණු ගණයේ හොරා එල්ලාදැමූ පසුව කිසිවෙකුත් එඩ් ඩැන්ඩ්ලි මරාදැමූයේ කවුරුන්දැයි තවත් වරක් සිතන්නට පෙළඹෙන්නේ නැත.
"මිනීමරුවා, වරෙන් යන්න." යයි පැවසූ ජේසන් කොරගසමින් සිටි තරුණයා මාර්ෂල්ගේ කාර්යාලය දෙසට තල්ලු කළේ රැස්ව සිටි නගරවැසියන්ගෙන් ප්‍රශ්න කිරීමට කර්න්ට ඉඩහරිමිනි.
"මම කාවවත් මැරුවෙ නෑ." තරුණයා කොරගසමින් ඇවිදින අතර ජේසන් කැට්ලෝට කීය. "මම දිව්රලා කියන්නේ මම යනකොටත් එයාගෙ පපුවට පිහියෙන් ඇනලා තිබ්බේ."
"ඒකෙන් මට වැඩක් තියනවා කියලා හිතනවද?" පැවසූ ජේසන් යළිත් ඔහු ඉදිරියට තල්ලුකළේය. "තමුසෙගෙ වල්ල ගැලවිලා යන්න වෙඩි තියන්නයි වටින්නේ මගේ නින්ද කැඩුවට."
"ෂෙරිෆ් හිටියා එතැන." තරුණයා පැවසීය. "මට සිද්ධඋනා එයා යනකල් ඉන්න හොරකම් කරන්න ඇතුළට යන්න. ෂෙරිෆ් තමයි එයා මරළ තියෙන්නේ. එහෙම තමයි වෙන්න ඇත්තේ. එයා විතරයි ඇතුළෙ හිටියේ."
"කොල්ලෝ, උඹ මාත් එක්ක බොරු කියන්නේ." ජේසන් කීවේ සිනාහඬක් ද මුවින් නගමිනි.
"නෑ, මම නෙමෙයි මැරුවේ, මම දිව්රන්නං, මම නෙමෙයි." තරුණයා බැගෑපත් විය. "මම කියන එක විශ්වාස කරන්න. ෂෙරිෆ් තමයි මිනිහ මැරුවේ."
"තමුසෙ දන්නවද තමුසෙ බොරු කියන්නේ කියලා මං දන්නෙ කොහොමද කියලා?" ඔහු ඉදිරියට තල්ලුකරමින් ජේසන් සිනාවක් නැගුවේය. "ඔහේ ෂෙරිෆ් කියලා කියන කෙනා ෂෙරිෆ්කෙනෙක් නෙමෙයි. එයා නගරාරක්ෂක මාර්ෂල්කෙනෙක්."
"ඒ මොකක්ද? . . ." තරුණයා කිසිවක් තේරුම්ගත නොහැකිව අවුල් වූ බැල්මක් හෙලීය. "තේරුමක් නැති කතාවක්නෙ. මට තේරෙන්නෙ නෑ."
ජේසන් තවමත් සිනා නගමින් හිස සැලීය. "මම විහිලුවක් කළේ කොල්ලෝ." ඔහුගේ මුවින් පිටවිය. "තමුසෙට තේරුම්ගන්න බැරිද තමුන්ව අමාරුවකට වැට්ටුවාම?"
" ඩිපියුටි, මං කියන දේ අහන්න. මම ඔහුව මැරුවෙ නෑ." තරුණයා යළි කියා සිටියේය.
"මම ඕන ඔට්ටුවක් අල්ලන්නම්, තමුසෙ මිනිහගෙන් කිසිම දෙයක් හොරකම් කළෙත් නෑ නේද?" ජේසන් කැට්ලෝ කට ඇදකළේය.
"ඔව්, ඇත්ත. මම මිනිහගෙන් හොරකම් කරා තමයි. මම හොරකම් කළේ ඇපල් ගෙඩියකුයි පරණ වෙච්ච පාන් කෑල්ලකුයි. මම බඩගින්නෙ හිටියේ. ඔබ කවදාවත් බඩගින්නෙ ඉඳලා නැද්ද?"
"ඇයි නැත්තෙ? ඉඳල තියනවා." කැට්ලෝ පැවසීය. මම මේ දැනුත් බඩගින්නේ ඉන්නේ. ඒත් මට මොකවත් කන්න විදිහක් නෑ තමුසේ හිරගෙදරට දක්කගෙන යන්න තියන හින්දා. ඔහු වේගයෙන් තරුණයා ඉදිරියට තල්ලුකොට අඳුරු අපිරිසිදු වීදිය දිගේ ඔහු නොන්ඩි ගසමින් ඇවිදගෙන යනු බලා සිටියේය.
පසුවදන
දහනමවන ශතවර්ෂයේ අමෙරිකාවේ ගොපළු ජීවිත සදනම් කරගෙන ලියැවුනු මේ නවකතා සුරංගනා කතාවලින් වෙනස්වන්නේ සුලු වශයෙනි. එහෙත් වැඩිහිටි අප තවමත් සුරංගනා කතාවලට කැමති අයුරින්ම මේවාට ද පෙම් බඳින කොටසක් සිටිති. මා ද එම ගණයට අයත් වුවත් මෙය ඉදිරිපත් කරන්නේ ඒ නිසාම නොවේ. දුර්වල නීති පද්ධතියක් යටතේ අපරාධකරුවන් පවා ආරක්ෂක නිලධාරීන් ලෙස කටයුතු කළ, උණ්ඩයේ ශක්තියෙන් යුක්තිය තීරණය වූ ඒ යුගය පසුබිම් කරගෙන ප්‍රබන්ධගත වී ඇති සමහර සිදුවීම් ශක්තිමත් නීති පද්ධතියක් හා විධිමත් ආයතන ව්‍යුහයක් පවතින අප රටේ නම් තවමත් සිදුවන බවක් පෙනීයන නිසා ය. මීට පෙර ද මේ තේමාව යටතේ කිහිපයක් මා ඉදිරිපත් කළ වග මෙහි සඳහන් කිරීම ප්‍රයෝජන වේ යයි සිතමි. කැමති අයෙකුට නැවත කියවීම සඳහා ඒවායේ පිවිසුම් පහත දක්වමි. මේ කතාංගය තරමක් දිගු වී ඇති නමුදු කොටස් දෙකකට කැඩීමෙන් එහි රසයට හා අරුතට හානියක් වෙතැයි සිතෙන බැවින් එකවර ඉදිරිපත් කරමි.
1. ඡන්දය, ගැලපෙන අපේක්ෂකයා හා මස්කට්ට.
2. හරක් දැක්කීම
මේ වගේ කතා ගොඩක් කියවල තියනවා වයිල්ඩ් වෙස්ට් එක ගැන . වැඩියෙන්ම කළු ජාතිකයන් බොරුවට අල්ලලා හිර ක්රණ හැටි ගැන සහ මරණ දඬුවම් දුන එක ගැන . ලංකාවේ නීති පද්ධතිය ශක්තිමත් නැහැ . නිතිය රකින අයම ඒවා උල්ලංගනය කරනවා . පරිවර්තනය නම් එක්සලන්ට්
ReplyDeleteඔව්, මෙතැන හොරෙක් නගර ප්‍රධානියෙක් වෙලා නගරය හොරකම් කරන්න සැලසුම් කරන හැටි තමයි තියෙන්නේ.
ReplyDelete