Wednesday, June 10, 2026
මරණයක් වෙන්දේසියේ III
Monday, May 18, 2026
මරණයක් වෙන්දේසියේ! - II
"කට අරිනවා." බුක්ස් පැවසීය.
ඔහු කට ඇරියේය. රෙමින්ටන් පිස්තෝලයේ කඳ අඟලක් දෙකක් පමණ ඔහුගේ කටට ඇතුළු වී දිව මත රැඳිණ.
"කට වහගන්නවා. හැබැයි හපන්න එපා. තන පුඩුවක් කියලා හිතාගෙන උරවනවා."
ඩොබ්කින්ස් ලැබුන අණ පිළිපැද්දේය.
බුක්ස්ගේ කතා ස්වරය සන්සුන් ය. "දැන්, පේනවනේ මම ආරක්ෂක අගුල පන්නලා තියෙන්නේ. මේකේ කොකා පුංචි තෙරපීමකින් උනත් ගැස්සෙන විදියට හදලා තියෙන්නේ. යන්තමට හරි දැඟලුවොත් රොජර්ස් මහත්මියට ඔහේගෙ මොළේ බිත්තියෙන් සූරලා ගන්න වෙන්නේ සබනුයි වතුරයි දාලා. පරිස්සමින් ඔය සටහන් පොතයි පැන්සලයි පැත්තකින් තියනවා."
වාර්තාකරුවා බෙහෙවින් පරිස්සම් විය.
"හිටගන්නවා, දොර දිහාට පස්සෙන් පස්සට යන්න පටන්ගන්නවා. ගැස්සෙන්න එපා, වෙව්ලන්න එපා, හුස්ම ගන්නවත් එපා. උරවනවා විතරයි. හරිනේ, නැගිටිනවා."
ඩෑන් ඩොබ්කින්ස් සෙමින්, සෙමින් නැගීසිට වෙව්ලමින්, පාවෙන්නාක් බඳුව පසුපසට යන්න පටන්ගත්තේය. ඔහු දෑස පියාගත්තේය. උගුරු දණ්ඩ හැකිලෙන්නට දිගහැරෙන්නට පටන්ගත්තේය. මුවින් කෙඳිරිලි හඬක් පිටවිය.
"මම දොර අරින්නම්. දිගටම ඔහොම යනවා. පරිස්සමින්."
පිස්තෝලයේ බටය කටෙහි ඇතිව, දෑස් පියාගෙන, කෙඳිරිලි හඬ නගමින් දොරෙන් පිටවූ වාර්තාකරුවා කොරිඩෝව දිගේ පසුපසට යන්නට විය. බුක්ස් ද අඩියෙන් අඩිය ඒ අනුව ගමන් කළේය. ඔවුහු විසිත්ත කාමරය පසුකරද්දී සෝෆාව මත වාඩි වී සිටි රොජර්ස් මහත්මිය තිගැස්සී ඉබේම නැගිට සිටියාය. "ඩොබ්කින්ස් මහත්මයා - බුක්ස් මහත්මයා මොකක්ද ඔබ ඔය කරන වැඩේ? දෙයියන්ගේ නාමෙට මොකද . . . ."
"සද්ද කරන්න එපා මැඩම්, අපි අනතුරුදායක තත්ත්වයකට මුහුණ පාලා ඉන්නේ." බුක්ස් අනතුරු ඇඟවීය.
ගල්ගැසී නැවතුන ඇයගේ අත මුව වෙතට ගියේය.
ඔවුහු ඉදිරිපස දොර වෙත ලඟා වූහ. දොරගුල වෙත අත යවා එය විවෘත කල බුක්ස් වමතින් දොරවල් දෙකම දෙපසට කර කෙලින් වී රෙමින්ටන් පිස්තෝලයේ බටය සෙමින් වාර්තාකරුවාගේ මුවින් එළියට ගත්තේය. ඩොබ්කින්ස්ගේ දෑස් විවර විය.
"හැරෙනවා අනිත් පැත්තට."
"කරුණාතරලා, බුක්ස් මහත්මයා. මම සමාව . . . ."
"හැරෙනවා අනිත් පැත්තට."
ඩොබ්කින්ස් හැරුනේය.
"නැමෙනවා ඉස්සරහට."
ඩොබ්කින්ස් දෙකට නැමුනේය.
පිස්තෝලය ඉන බැඳි පටිය තුල රඳවාගත් ඔහු වම් පයට බරදී දකුණු පාදයේ සපත්තුවෙහි අඩිය වාර්තාකරුවාගේ පසුපසට බරකොට තබාගත්තේය.
"ඩොබ්කින්ස්, තමුසේ අනුන්ගේ දේවල්වලට ඇගිලි ගහන, වැදගැම්මකට නැති, පව්ඩර් උලාගත්තු බැල්ලිගෙ පුතෙක්. තමුසෙ ආයෙත් මේ පැත්තෙ කරක් ගහන්න ආවොත් මම උඹව මරනවා."
ඔහු ඇඟෙහි මුළු වෙර යොදා පාදයෙන් තල්ලුවක් දැම්මේය. ඩොබ්කින්ස් කොතරම් වේගයකින් වීසි වී ගියේද යත් හිස හා උරහිස ඉහලම පඩියෙහි ගැටී පඩිපෙලට ඉහලින් විසි වී ගොස් ලීයෙන් නිමැවී තිබූ පදික මාවත දිගේ රෝල් වී ගොස් පාරට මදක් මෑතින් හතරගාතයෙන් ඇද වැටුනේය.
ඇය ඔහුට දොස් පැවරුවාය. තල්ලුවෙන් පසු ඔහු සිටියේ එක් දණිස්සක් බිම වැදී නතර වූ ඉරියව්වෙනි. කෙනෙකු තවත් අයෙකුට මෙතරම් ම්ලේච්ඡ හා අසාධාරණ ලෙස සළකනු ඇය මින් පෙර දැක නැති බවත් පිරිමියෙකු උනා නම් ඇය කරන්නේ අශ්වයින් සඳහා වූ කසයකින් ඔහුට තැලීම බවත් ඇයට කියවින. එවිටම ඔහු විසි වී ගොස් කරකැවී බිත්තියෙහි හැපී නතර විය. මුහුණ ද සුදුමැලිව ගියේය. මොහොතක් වේදනාවෙන් හිස පහත් කරගෙන සිටගෙන සිටි ඔහු වාරුගැනීම සඳහා අත් දෙකම බිත්තිය මත තබා බිත්තිය දිගේ ටිකෙන් ටික තම කාමරය දිසාවට යන්නට විය. ඔහු බිම ඇදවැටෙතැයි බිය වූ ඇය ලඟට පැමිණ ඉන පෙදෙසට අත තැබුවේ ඔහුට සහය වීම පිණිස ය. තමාට තනියම පුළුවන් යයි කෙඳිරිලි හඬක් නැගූ ඔහු ඇයගේ අත ගසා දැම්මේය. විවෘත තිබූ දොර වෙත ලඟා වූ පසු ශක්තිය ගෙන දෑත් දිගු කර ඉදිරියට නැඹුරු වූ ඔහු මුනින්තලාව ඇඳ මත පතිත විය. දොස්තරට දුරකතන පණිවුඩයක් දෙන්න දැයි ඇසූ ඇයට ඔහු හිස සලා නැතැයි පැවසීය.
"හොඳයි, එහෙම නම් ජේ. බී. බුක්ස් මහත්මයා, අර පාර අයිනෙ වැටිල ඉන්න අසරණ ඩොබ්කින්ස් මහත්මයාට දැනෙනවට වැඩිය වේදනාවක් ඔබටත් දැනෙන්නෙ නෑ කියලා මම හිතනවා. එහෙම දැනෙනවා නම් ඔබට වෙන්න ඕනැත් එහෙම තමා." බොන්ඩ් රොජර්ස් පැවසුවාය.
මේ බුක්ස් හමුවන්නට ආ එක් පුද්ගලයෙකුගේ අත්දැකීමයි. එහෙත් එසේ ආ අවසාන පුද්ගලයා ඔහු නොවේ. පසුව ආවේ කවුද, ඔවුනට කුමක් සිදුවී ද යන්න ඊලඟට බලමු.
Saturday, May 16, 2026
මරණයක් වෙන්දේසියේ - I
Glendon Swarthout නම් ලේඛකයා විසින් රචික The Shootist නම් වූ ප්‍රබන්ධය බටහිර ගොපළු නවකතා අතරට එක්වූ සම්භව්‍ය කෘතියක් ලෙස සැලකුම් ලබයි. එනිසා ම මේ කෘතිය පදනම් කරගෙන එනමින් ම සිනමා නිර්මාණයක් ද 1976දී බිහිවිය. එය සුප්‍රකට නළු John Wayne ගේ අවසන් විශිෂ්ට රංගනය ලෙස ද විස්තර කෙරේ.
කතාව ගොඩනැගෙන්නේ අවි හරඹයෙහි නිපුණයෙකු ලෙස කීර්තිමත් නමක් දිනූ ජේ. බී. බුක්ස් වටා ය. ඔහු මාරාන්තික පිලිකා රෝගයකට ගොදුරු වෙයි. වෛද්‍යවරයා පවසන ආකාරයට එය සුව කළ නොහැකි ය. සිය අවසන් කාලය ගතකිරීම සඳහා වෛද්‍යවරයා සිටින නගරය තෝරාගන්නා ඔහු ඔත්පලව දුක් නොවිඳ කෙසේ සිය අවසානය කරා යන්නේ දැයි කල්පනා කරමින් පසුවෙයි. ඒ අතර ඔහුගේ පැමිණීම ගැන දැනගන්නා විවිධ පුද්ගලයෝ ඔහුගේ කීර්තිය ඔස්සේ ඔහු සොයා එති. එවන් හමුවීමක් දැක්වෙන අවස්ථාවකි, මේ.
"බුක්ස් මහත්මයා, ජේ. බී. බුක්ස්, මට ඉතාම සතුටක් සහ ගෞරවයක් ඔබ මුණගැසීමට ලැබීම. මම ඩෑන් ඩොබ්කින්ස්. වැඩකරන්නේ 'ඩේලි හෙරල්ඩ්' පත්‍රයේ."
අතට අත දුන් ඔව්හු වාඩි වූහ.
"මම කලිනුත් කියපු විදියට බුක්ස් මහත්මයා, මේක කොහෙත්ම බලාපොරොත්තු නොවුන, කියන්න බැරි තරම් ගෞරවයක්. ස්තුතියි මාව මුණගැහෙන්න කැමති උනාට. බොහොමත්ම ස්තුතියි."
"ඩොබ්කින්ස් මහත්මයා, කොහොමද දැනගත්තෙ මම එල් පාසෝවල ඉන්නවා කියලා?"
"ඇයි, සර්. ඒක හැමෝම දන්න දෙයක්නේ. මාව විශ්වාස කරන්න, මේ වගේ ප්‍රවෘත්තියක් ලැව්ගින්නක් වගේ පැතිරෙන්නේ. අද උදේ අපි පත්තරේ දැම්මා ඔබ මෙහෙ සුවදායක ශීත දේශගුණය විඳිමින් රොජර්ස් මහත්මියගෙ නවාතැනේ නතරවෙලා ඉන්නවා කියලා. ඔබ ඒක දැක්කද?"
"නැහැ."
"විශ්වාස කරන්න, පළවෙනි පිටුවෙමයි දැම්මේ."
"මොකද්ද මගෙන් වෙන්න ඕනෑ?"
"මෙහෙමයි, සර්."
වයස විසිගණන්වල අග්ගිස්සෙහි සිටි ඩොබ්කින්ස් කෙසඟ දෙපා ද දිගු නහයක් ද කිබූ කහ පැහැති සපත්තු හා ඉරි වැටුන ඇඳුම් කට්ටලයකින් සැරසුන, නිරතුරුව චංචල වන උගුරු දණ්ඩක් ද තිබූ තරුණයෙකු විය. ඔහු වෙතින් සුවඳ විලවුන් හා ටැල්කම් පව්ඩර් සුවඳ හමා ආවේය.
"ඒ ගැන කතාකරන්න තමයි මම ආවේ බුක්ස් මහත්මයා. සර්, ඔබ සතුටට පත්වෙන්න ඕනෑ ජීවමානව සිටින එකම කීර්තිමත් වෙඩික්කරුවා ඔබ වීම ගැන."
"ජීවමාන?"
"තවමත් ජීවතුන් අතර සිටින."
"ආ, ඒකද?"
"අනිත් හැමදෙනෙක්ම මිය ගිහින්. කණගාටුයි කියන්න - හිකොක්, මාස්ටර්සන්, අර්ප්ස්, බිල් ටිල්ග්මන්, එින්ගෝ, හාඩින්, ඩොක් හොලිඩේ, සෑම් බාස්, රව්ඩි ජෝ ලෝව් - සේරම සුප්‍රකට නම්."
"ඒක ඇත්ත."
"යුගයක අවසානය. හිරු බැස යාම කියන්නත් පුළුවන්. බුක්ස් මහත්මයා, ඔබ තමයි ඉතිරිවෙලා ඉන්න එකම කෙනා. අපි ඒ ගැන ස්තුතිවන්ත වෙන්න ඕනෑ. මං අදහස් කළේ ඔබ මුලු රටේම ප්‍රසිද්ධ කෙනෙක්. මේ කතාව අද උදේ රටේ හැමතැනකටම ගියා. වැදගැම්මක් ඇති ඕනෑම දිනපතා පත්තරයක් ඒක පළකරාවි. ඒත් ඒකෙන් වෙන්නේ කුතුහළය ඇවිස්සෙන එක විතරයි. ඔවුන්ට තවත් වැඩියෙන් ඕන වෙයි. විශේෂයෙන් නැගෙනහිර පැත්තේ පත්තර. ඔබ වාගේ කීර්තිමත් පුද්ගලයෙක් එහේ මිනිස්සුන්ට වීරයෙක්. නිව්යෝර්ක්, බොස්ටන්. ෆිලඩෙල්ෆියා, වොෂිංටන් - මේ හැම තැනකම අපි යවන හැම වචනයක්ම පත්තරවල දායි. බුක්ස් මහත්මයා, අපි දෙන්නට එකතුවෙලා එල් පාසෝ මුළු රටේම ප්‍රසිද්ධ කරන්න පුළුවන්."
"ඩොබ්කින්ස් මහත්මයා, ඔබ තාමත් වටේ කැරකෙනවා විතරයි."
"ඔව් සර්, මෙහෙමයි සර්. මට ලොකු උවමනාවක් තියනවා අවසාන වෙඩික්කාරයා, ජෝන් බර්නාඩ් බුක්ස් ගැන ලිපි මාලාවක් කරන්න."
"මාලාවක්?"
"ඔව්, ඔබ කොපමණ කාලයක් අපිත් එක්ක ඉන්නවද?"
"එච්චර දිග කාලයක් නෙමෙයි."
"හොඳයි, මා ලඟ තියනවා ප්‍රශ්න ලැයිස්තුවක්." වාර්තාකරුවා කුඩා සටහන් පොතක් තම සාක්කුවෙන් එළියට ඇදගත්තේය. "මම ඒවා කලින් ලියාගෙන ආවා. අපිට අදම පටන්ගන්න පුළුවන්, මේ දැන්ම. හෙටත් හමුවෙලා දිගටම කරගෙන යන්න පුළුවන්."
"මොන වගේ ප්‍රශ්න ද?"
"ඉන්න බලන්න." ඩොබ්කින්ස් සටහන් පොත විවෘත කොට පැන්සලක් එළියට ගත්තේය. "ඔබත් දන්න විදියට බුක්ස් මහත්මයා, වෙඩික්කරුවන් ගැන ඕනැ තරම් බාල ගනයේ ප්‍රබන්ධ, ලාබ නවකතා, මිත්‍යා කතා, පට්ටපල් බොරු වගේ දේවල් තියනවා. මම හිතුවා නිවැරදි තොරතුරු එළියට දාන්න ඕනැ කියලා. ඇත්ත කතාව, සත්‍ය තොරතුරු - ඔබ ජීවතුන් අතර සිටින අතරතුර - ඔබට මොකක්වත් වෙන්න ඉස්සරලා. මං බලාපොරොත්තු වෙනවා එහෙම අනතුරක් නොවෙයි කියලා. ඒත් . . ."
"ප්‍රශ්න."
"හරි, හරි, හොඳයි, උදාහරණයක් විදියට අපි පටන්ගනිමු මුල ඉඳලම. ඔබේ තරුණ කාලය. මුලින්ම ඔබ ප්‍රචණ්ඩ ක්‍රියාවලට පෙළඹුන හේතුව."
"ඊලඟට."
"මේවා ප්‍රශ්න ම නෙමෙයි. මාතෘකා කියන්න පුළුවන්. ඊලඟට මට ඕනෑ ඔබේ වෘත්තිය ජීවිතය පිළිබඳ කරුණු ආවරණය කරන්න. සංඛ්‍යාමය තොරතුරු කියන්නත් පුළුවන්. ඔබ ද්වන්ධ සටන් කීයකට මුහුණ දීලා තියනවද, කීදෙනෙක් ඒවගෙ ගොදුරුවෙලා තියනවද කියලා."
බුක්ස් හිස සැලීය.
"වෙඩිතබන්නෙකුගේ මනසේ ස්වභාවය ගැඹුරින් අධ්‍යයනය කරන්න මට අවශ්‍ය වෙලා තියනවා.. මීට කලින් කවුරුවත් ඒ ගැන ගැඹුරින් හිතලා නෑ. ස්වයං ආරක්ෂාව පිළිබඳ හැඟීම කොතරම් වැදගත් ද? මිනීමරුවෙකුගේ සැබෑ චිත්ත ස්වභාවය කොයි වගේ ද? හැමෝම කියන විදියට ඔහු හුදෙකලා උන කෙනෙක් ද? වෙඩි තැබීමකට මුහුණ දෙන වෙලාවට ඔහු සන්සුන් ව සිටින කෙනෙක් ද? ස්වභාවයෙන් ම ඔහු ලේ පිපාසිතයෙක් ද? වැඩේ කරාට පස්සෙ ඒ ගැන මෙනෙහි කරනව ද? තමන්ටම දොස් පවරාගන්නවද? එහෙම නැත්නම්, මරණයත් සමග ජීවත්වෙලා තියන කාලය කොයි තරම් ද කියනව නම් අනිත් අයගේ මරණවලටත් තමන් වෙත ලඟාවිය හැකි මරණය පිළිබඳ හැඟීමටත් හුරු වෙලා ද?"
ඩොබ්කින්ස් නොසිතාම කතා කරමින් සිටියේය. වචනවල අලංකාරයෙන් වශී වී සිටි ඔහු තමාගේ අමුත්තා නැගී සිට ඇඳුම් අල්මාරිය දෙසට යන අයුරු නොදුටු බවක් දිස්විය. එය ආවරණය කර තිබූ තිරය පසෙකට කළ බුක්ස් ඇතුළට අත දැම්මේය.
"අවසාන වශයෙන් මම කැමතියි ඔබේ එක ද්වන්ධ සටනක් උදාහරණයක් හැටියට අරගෙන ඒක පියවරෙන් පියවර, උණ්ඩයෙන් උණ්ඩය විග්‍රහ කරන්න. ඊට පස්සෙ ඔබ අනතුරක් නොවී බේරුනහම ඔබට මොන වගේ හැඟීමක් ද දැනුනේ? ඔබේ සතුරා මාරාන්තික තුවාල ලබලා, ඇස් පිටට නෙරලා, අවසන් හුස්ම හෙලමින් සිටිනවා දකින විට මොන වගේ සිතුවිළි ද සිතට නැගුනේ? අවසන් හුස්ම හෙලන ගමන් ඔහු මොනවද කිව්වේ? ඔබ දුන්න පිළිතුර මොකද්ද? මොන තරම් අපූරු කූටප්‍රාප්තියක්ද? අපට පුළුවන් පාඨකයා ඇහැ අහකට ගන්නෙ . . . ."
වාක්‍යයේ ඉතිරි කොටස ඔහුගේ මුවෙහිම ගිලී ගියේය. දෑස් පිටට නෙරා ආවේය. ඔහුගේ ඇස් ඉදිරිපිට දිලිසෙමින් තිබුනේ පිස්තෝලයක කට ය.
ඊට පස්සේ මොකද උනේ කියන්න ගියොත් දිග වැඩි වෙනවා. ඒක වෙනත් කොටසකින් බලමු.
Saturday, December 13, 2025
ශුද්ධ වූ නගරය
අශ්ව කරත්තය ප්‍රධාන ප්‍රවාහන ක්‍රමය වූ යුගයේ අමෙරිකාවේ පාරක් දිගේ ඇදෙන අශ්ව කරත්තයකි. එහි මගීන් හතරදෙනෙක් සිටිති. එක්වරම අශ්ව කරත්තය නවත්වන රථාචාර්යයා රථය තුළ සිටින මගීන්ට අනතුරු අඟවයි.
Saturday, March 8, 2025
පත්තරකාරයෙක්, පොලිස්කාරයෙක් හා හොරෙක්
මේ ඔබ කියවන්නට යන්නේ Ralph Cotton නම් ලේඛකයා විසින් ලියන ලද Gun Law නම් නවකතාවෙන් උපුටාගත් කොටස් කිහිපයකි. කතාවට පසුබිම් වන්නේ නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ කින්ඩ්‍රඩ් නගරයයි. එහි මාර්ෂල්වරයා ලෙස අළුතින් පත්වන එමර්සන් කර්න් එහි නගරාධිපති වූ කෝක්ලි ද සමග එක්ව නගරය අවි රහිත කලාපයක් කිරීම සඳහා නීතියක් සම්මත කරගනී. ඒ අනුව සියළුම නගරවැසියන් තමන් සතු අවි ආයුධ මාර්ෂල්වරයා වෙත බාර දිය යුතුය. ඒ සඳහා ඔහු සහය මාර්ෂල්වරුන් කිහිපදෙනෙකු ද බඳවාගනී. ඔහුගේ යටි අරමුණ වන්නේ ආයුධ සියල්ල බාරදුන් පසුව නගරයේ ධනය කොල්ලකා පළායාම ය. මේ අතර නගරයේ සතිපතා පළවන පුවත්පත වන 'කින්ඩ්‍රඩ් ස්ටාර්' හි කතුවරයා හා ප්‍රකාශකයා වන එඩ් ඩැන්ඩ්ලි නගරයෙහි සිදුවෙමින් පවත්නා සිදුවීම් තම පුවත්පත තුළින් වාර්තා කිරීමට පියවර ගනියි.
Friday, December 27, 2024
ගඩොල් කැටයක් කළ වෙනසක්!
ලෝක ප්‍රකට බ්‍රසීලියානු ලේඛක Paulo Coelhoගේ Stories for Parents, Children and Grandchildren කෘතියෙන් උපුටාගත් කතා කිහිපයකි.
Sunday, July 7, 2024
ගෙදර
Monday, June 17, 2024
සින්ඩි නැති බ්ලොග් ලෝකය
කුමන භාෂාවකින් හෝ වේවා බ්ලොග් අඩවියක් අරඹා ලියන්නට පටන්ගන්නා සෑම අයෙකුම තම බ්ලොග් සටහන් වැඩි පාඨක පිරිසක් අතරට යනවාට කැමති ය. එමෙන්ම එසේ එන පාඨක සමූහයා තම අදහස් එහි සටහන් කරනවාට ද කැමති ය. එනිසාම සෑම බ්ලොග් රචකයෙකුම තම බ්ලොග් පාඨක පිරිස වැඩිවෙනවාට කැමැත්ත දක්වති.
Saturday, May 18, 2024
රතු පාටින් අකුරු ලියූ හැටි!
පසුගිය දිනෙක සුවිශේෂ වූ පොතක් කියන්නට ලැබිණ. ඒ පොත ගැන වචනයක් නොලිව්වොත් අඩුවක් යයි සිතේ. ඒ ගැන ලියන්නට ද හොඳම දවස අද වෙතැයි සිතමි.
Tuesday, April 23, 2024
හුදෙකලා වූ දූපත් දෙකක අන්දරය
ඔබට විසඳාගත නොහැකි ගැටළුවකට මැදි වී ගොඩඑන්නට නොහැති වී ඇත්නම් කරන්නේ කුමක්ද? මෙයට නොයෙකුත් දෙනා විවිධාකාර වූ පිළිතුරු දෙන්නට පුළුවන. ජීවිතය හැරයාම එයට එක් විසඳුමක් ලෙස දැනෙනවා ද? බොහෝ දෙනෙකුට එවැනි සිතුවිළි පහල නොවන බව සැබෑ ය. එහෙත් අප සමාජයේ එවන් නිෂේධාත්මක සිතුවිළිවල ගොදුරු බවට පත්වන සෑහෙන පිරිසක් සිටින බව නොරහසකි. එසේ සිතූ එක් තරුණයෙකුගේ ඉරණම ගැන කියන්නටයි මේ සූදානම.
Wednesday, April 17, 2024
ක්‍රිකට් කැඩපතෙහි පිළිඹිබු වන ශ්‍රී ලාංකීය හෘද සාක්ෂිය
පසුගිය සති කිහිපය තුල අප කාගේත් අවධානය යොමුවිය යුතුව තිබූ සිදුවීම් මාලාවක් ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ හටගැනෙනු දැකගත හැකි විය. එහෙත් සුපුරුදු පරිදිම ඒ කෙරෙහි සිය ඇස යොමු කළේ ක්‍රිකට් ලෝලීන් පමණි. ඇෆ්ඝනිස්තානයට හා බංග්ලා දේශයට එරෙහිව ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණ සැමරීම හා උද්දාමයට පත්වීම ක්‍රිකට් ලෝලීන්ට ඉඩ තබා ඒ තරඟ මාලා අතර සිදු වූ විවාදාපන්න කරුණකට සිත යොමු කිරීම මේ ලිපියේ අරමුණයි. ඒ සඳහා අප පහත දැක්වෙන සිදුවීම් වෙත අවධානය යොමුකළ යුතු වෙයි.
Saturday, March 16, 2024
එහෙම කිව්වට උනේ මෙහෙමයි!
Saturday, February 24, 2024
මැජික් පෙට්ටියේ පුදුම බලේ!
නව වසරක් උදා වී මාස දෙකකුත් හමාර වන්නට ඔන්න මෙන්න ය. වඩාත් දුෂ්කර වෙතැයි අපේක්ෂිත කාලයක් අභිමුව ඇල්මැරුන සුබපැතුම් ගලා යද්දී උණුසුමක් දැනෙන එකම මාතෘකාව නම් මැතිවරණයයි. මේ වසර මැතිවරණ වර්ෂයක් ලෙස අර්ථකතනය කර ඇති නිසයි ඒ. ඒත් සමගම කුණු සෝදන්නන්, රෙදි සෝදන්නන්, මෙන්ම පුනරුත්පත්තිය ලබන්නන් හා පිනුම් ගසන්නන් ද අඩු නැතිව රඟදෙනු පෙනේ. එහෙත් මේ සූදානම කාගේවත් කිසිම දෙයක් සේදීම නොව මෙවන් වකවානුවක නැරඹිය යුතු යයි සිතෙන සිනමා පටයක් ගැන කතා කිරීමටයි.
Thursday, January 11, 2024
පෙනෙන දේ හා නොදකින දේ
ලෝක ප්‍රකට බ්‍රසීලියානු ලේඛක Paulo Coelho අප රටට ද අමුත්තෙක් නොවේ. ඒ නිසාම ඔහු ගැන හැඳින්වීම් ලිවීම අනවශ්‍යය. මේ ඔහුගේ Stories for Parents, Children and Grandchildren කෘතියෙන් උපුටාගත් කතා තුනකි. පොත කියවන විට තෝරාගත යුත්තේ කුමන කතා දැයි තීරණය කිරීම දුෂ්කර වුවද අවසානයේ මේ කතා තුන තෝරා ගතිමි.
වැල් පෙනෙළ මල!
ප්‍රබන්ධයට වඩා සැබෑවට සිදු වූ අකරතැබ්බ රසවත් ය. හාස්‍යය, ලජ්ජාව මෙන්ම නැවත මතක් කරන විට පොලව පලාගෙන යන්නට සිතෙන සිදුවීම් ද නැතුවා නොවේ. මේ ක...
-
විලියම් ඩබ්ලිව්. ජොන්ස්ටන් නම් ලේඛකයා විසින් ලියන ලද Sixkiller, U.S. Marshal නම් ප්රබන්ධයෙන් උපුටා ගත් කුඩා කොටසකි, පහත දැ...
-
අද බල්ලන් හා බළලුන් ගෙවල් ආශ්‍රිතව මිනිසුන්ගේ ආදරය හා කරුණාව පමණක් නොව කෘෘරත්වය ද විඳිමින් මිනිසුන් මත යැපෙමින් ජීවත් වුවද බොහෝ ඈත අතීතය...
-
පරිච්ඡේදය 1 - නගරය මට වයස අවුරුදු දහඅටක් වෙද්දී ආර්ජන්ටිනාවේ ඇන්දීස් කඳුවැටියේ වූ ලෙනාන් නම් කුඩා නගරයේ පදිංචියට ගියෙමි. ගල් අතුරා සැදුනු ...





