Sunday, June 7, 2026

මරණයක් වෙන්දේසියේ - III



තුන්වැන්න කියවීමට පෙර . . .

මරණයක් වෙන්දේසියේ - I

මරණයක් වෙන්දේසියේ -II



"කවුද කෙනෙක් ඇවිල්ල ඉන්නවා ඔබ හමුවෙන්න, බෙකම් කියලා කෙනෙක්."

බුක්ස් මුහුණෙහි සබන් පෙණ තවරමින් සිටියේය. "මොකටද මාව හම්බවෙන්න ඇවිත් තියෙන්නේ?"

"එයා කවුද කියලා මං කියන්නයි හැදුවේ. මම හොඳට දන්නවනෙ ඔබට තරහ යන හැටි ගැන. මට තාම මැවිල පේනවා අර වාර්තාකාර තරුණයා පඩිපෙළට උඩින් වීසිවෙලා ගිය හැටි."

"ඉතින්?"

"මිනිහා අවමංගල්‍ය කටයුතු කරන කෙනෙක්."

බුක්ස් බුරුසුව හා සබන් බඳුන පසෙක තබා ආපසු හැරී ඇය දෙස බැලුවේය.

"මේ නගරයේ තුන්දෙනෙක් ඉන්නවා. මෙයා තමා ප්‍රසිද්ධ ම එක්කෙනා. මට හිතෙනවා එයා ටිකක් ඕනැවට වැඩියි කියලා. අකමැති නම් කතා නොකර ඉන්න පුළුවන්."

ඔහු නැවතත් කණ්ණාඩියට ඔරවමින් සබන් තවරන්නට පටන් ගත්තේය. "ඊයෙ රෑ හිම වැටුනා." ඔහු පැවසීය.

"ඔව්, ඒ උනාට උදේ වෙනකොට දියවෙලා තිබ්බා." ඔහු සිතන අයුරු ඇයට ඇසෙන්නාක් මෙන් විය.

"ෂෙරිෆ් තිබිඩෝ කිව්වා රෑට ගේ පිටපැත්තේ මිනිහෙක් මුරට දානවා කියලා. එහෙම කරලද?"

"ඔව්, මිනිහා ගෙවත්තෙ උඩහටයි පහලටයි ඇවිදින එකයි කරන්නේ. වැඩි හරියක් කරන්නේ ගහකට හේත්තු වෙලා බලා ඉන්න එක. ඒකෙන් කොච්චර වැඩක් වෙනවද කියලා මට තේරෙන්නෙ නෑ."

"ඒක ඔබට කරදරයක් නම් මම තිබිඩෝට කියන්නම් අයින් කරන්න කියලා."

"නෑ, ඒකට කමක් නෑ."

ඔහු සබන් තැවරීම අවසන් කළේය.

"හරි, මිනිහව ඇතුළට එවන්න."

ඇය පසුබටව බලා සිටියාය.

"බය වෙන්න එපා. අපිට සුහදව කතාකරන්න පුළුවන්. මිනිහා එන්න ඇත්තෙ මට ස්තුතිකරන්න වෙන්න පුළුවන්."

"ඔබට ස්තුති කරන්න?"

පෙණ පිරුන ඔහුගේ මුහුණින් නැගුන සිනාව කර්කශ විය. "ඔහුගේ වෘත්තීය වෙනුවෙන්."

අමුත්තා කාමරයට ඇතුළුවෙද්දී ඔහු මුවහත බැලීමට මෙන් දැලිපිහියක් අත්ලෙහි අතුල්ලමින් සිටියේ යම් ඇඟවීමක් කිරීමට ද මෙනි. "එන්න ඇතුළට. වාඩිවෙන්න."

"ස්තූතියි." අත තිබූ දැලිපිහිය දුටු බෙකම් ලැබුන පිළිගැනීම ගැන සැකයෙන් සිටගත් වනම සිටියේය. "මම ගොඩවැදිලා යන්න ආපු එක ගැන අමනාපයක් නැතිව ඇති කියලා හිතනවා, බුක්ස් මහත්මයා. මම ඕනැවට වැඩිය කලින් ආවා කියලා හිතෙනව ද දන්නෙ නෑ."

"කොහෙත්ම නෑ. මම කැමතියි බිස්නස් කරන කෙනෙක් ඒ ගැන උනන්දුවෙන් වැඩ කරනවට."

කලු පැහැති ඇඳුමක් ඇඳ සිටියේ වුවද බෙකම් තරබාරු පෙනුමකින් යුත් ඌරෙකුගේ මෙන් පැතිරුන හකුපාඩාවලින් යුත් ශක්තිමත් පෙනුමකින් යුත් පුද්ගලයෙකු විය. ඔහුගේ චෛතසික ස්වභාවය හුරුව තිබුනේ දෙයාකාරයකට ක්‍රියා කිරීමට ය. එනම් කොයි මොහොතක හෝ සිදුවිය හැකි මරණය සඟවාලන උද්‍යෝගිමත්බව හා ජීවිතයේ අනියතබව පිළිබඳ හැඟීමෙන් මතුවන සන්සුන්බවයි. ඔහු මේ දෙකම වරින්වර පළඳින සපත්තු ජෝඩු දෙකක් මෙන් මාරු කළේ එවායින් උපරිම ප්‍රයෝජන ලබමිනි.

"බුක්ස් මහත්මයා මං පිළිගන්නවා මට අහන්න ලැබුනා කියලා ඔබේ ශාරීරික තත්ත්වය පිළිබඳ යම් යම් කණගාටුදායක කරුණු කිහිපයක්. මා පැමිණියේ මගේ හදපත්ලෙන්ම නැගෙන කණගාටුව ප්‍රකාශ කරන්නයි."

බුක්ස් රැවුල බෑම ඇරඹීය.

"ඊටපස්සෙ?"

"ඊටපස්සෙ ඔබත් සමග යම්කිසි කාරණයක් සාකච්ඡා කරන්න. කළයුතුව තිබෙන යම් යම් සැලසුම් තිබෙනවා. ප්‍රායෝගිකව සිතන මිනිස්සු කල්ඇතිවම ඒවා කරනවා. අපි මැරෙන මිනිස්සුනෙ බුක්ස් මහත්මයා, අපි හැමකෙනෙක්ම. කල්පනාවෙන් වැඩ කළොත් අපි . . ."

"මොකද්ද ඔබේ යෝජනාව?"

"ඉතාමත් සරල ව්‍යාපාරික යෝජනාවක්, සර්. ඔබ ඉතාම ගරුකටයුතු, ප්‍රකට පුද්ගලයෙක්. අවමංගල්‍ය කටයුතු කරන්නා සතුටින් පැවසීය. ඔබේ අවමංගල්‍ය කටයුතු කිරීමෙන් මගේ අවමංගල්‍ය සේවාවේ විශිෂ්ඨත්වය තහවුරු වෙනවා. ඇත්තම කියනව නම් සල්ලි දීලවත් කරගන්න බැරි තරමේ ප්‍රචාරක කටයුත්තක්. ඒ නිසා මං කැමතියි ඔබ වෙනුවෙන් පිරිනමන්න වඩාත්ම විද්‍යාත්මකව කෙරෙන එම්බාම් එකක්, කුමන දේශගුණික හෝ භූගෝලීය සාධක යටතේවත් ශතවර්ෂයකට කිසිම හානියක් වෙන්නෙ නැති බවට සහතික කරන ලෝකඩ මිනීපෙට්ටියක්, මගේ හොඳම අවමංගල්‍ය රථය, ඔබේ කැමැත්තෙන් තෝරාගන්නා ඕනෑම පූජකවරයෙකුගේ සේවය, අවම වශයෙන් ශෝකවන්නන් දෙදෙනෙකුගේවත් සේවය, හොඳම කිරිගරුඬවලින් හදන සොහොන් කොතක්, ඔබේ තත්ත්වයට ගැලපෙන ස්ථානයක ඔබ කැමති ප්‍රමාණයේ බිම් කැබැල්ලක් සහ නිරන්තරයෙන් එය නඩත්තු කරන බවට සහතිකයක්."

"ගාස්තුව කීයද?"

"සම්පූර්ණයෙන්ම නොමිලේ, ඔබට ලැබෙන වරප්‍රසාදයක්."

"ඔබට කීයක් වියදම් කරන්න වෙනවද ඒ වෙනුවෙන්?"

"සමාවෙන්න ඕනෑ කියනවට. ඔබ විහිලු කරනවා වගේ. ඉතාම විශාල මුදලක් මට වැය වෙනවා. මම සහතික කරනවා . . . ."

"ඌරෙකුගෙ පුකේ තමයි තමුසේ ඕක කරන්නේ."

"මට තේරුනේ නෑ, සර්."

දැලිපිහිය නැවතූ බුක්ස් කණ්ණාඩියෙන් පෙනෙන අවමංගල්‍යකරුගේ පිළිබිඹුව දෙස බලා සිටියේය. එලෙසම අවමංගල්‍යකරු ද ඔහු ඉදිරියෙහි වූ අඩක් පෙණකැටි වලින් ද අඩක් තර්ජනාත්මක බවින් ද පිරුනු වෙඩික්කරුගේ මුහුණෙහි ඡායාවෙන් වශී වූ බවක් පෙනෙන්නට තිබුණි.

"බෙකම්, මෙන්න මේකයි තමුසේ කරන්නේ. හාඩින් මැරුනට පස්සෙ මිනිහට කරපු දේමයි. මම ඒ ගැන කියවලා තියනවා. තමුසෙ මාව ප්‍රදර්ශනයට තියලා බලන්න දෙයි මිනිස්සුන්ගෙන් ශත පණහයි, ළමයින්ගෙන් ශත දහයයි ගානෙ අය කරලා. මිනිස්සුන්ගේ උනන්දුව නැතිවෙලා ගියාට පස්සෙ මගේ දත්වලට අල්ලලා තියන රත්තරන් ගලවගෙන ගෝනි කඩමාල්ලක ඔතලා කොහේ හරි තියන වලකට දාලා පස් දාලා වහයි."

"බුක්ස් මහත්මයා මම සහතික ---"

"මට සහතික වෙනවා? මොකද්ද ඒකෙන් ඇති වැඩේ, තමුසෙගෙ යකාට ගිය දියරවලින් මගේ නහර පිරුනට පස්සෙ? කවුද එහෙම කරනව කියලා වගබලා ගන්නේ?'

අවමංගල්‍යකරුවා සිය දෙපා මත ඇඹරුනේ මේ වෙලාවේ පැළඳ සිටිය යුත්තේ කුමන සපත්තු ජෝඩුව දැයි සිතාගත නොහැකිව ය.

දැලිපිහිය එසවූ බුක්ස් යළිත් රැවුල බෑම ඇරඹීය. "නෑ බෙකම්, මෙහෙමයි කෙරෙන්න ඕනෑ. මට තමුසෙ සහතික වෙන්න ඕනෑ මාව හොඳ තැනක වලදමන බවට. ඒක පසුවට. ඊට ඉස්සර මට තමුසෙට ලැබෙන ආදායමින් කොටසකුයි සොහොන් කොතකුයි ඕනෑ. දැන් අතට සල්ලි. සොහොන් කොත දවස් දෙකක් ඇතුළත ලැබෙන්න සලස්වන්න ඕනෑ. මට අවශ්‍ය හොඳ තත්ත්වයේ කුඩා ප්‍රමාණයේ එකක්. ඒකෙ කොටලා තියෙන්න ඕනැ - ජෝන් බර්නාර්ඩ් බුක්ස් - 1849 - 1901 කියලා. දේව දූතයෝ නෑ, වෙන වල්පල් නෑ. තේරුණාද?"

"මට නම් එහෙම වැඩ පිළිවෙළක් හරිම අප්‍රසන්නයි. ඒ කියන්නේ---"

"එහෙම නැත්නම් මම ඔබේ තරගකරුවන් එක්ක කතාකර ගන්නම්."

"ඔබ හරිම දරදඬු මිනිහෙක්, බුක්ස් මහත්මයා."

"දරදඬු නෙමෙයි, කල්පනාවෙන් වැඩකරන කියන එකයි හරි. මැරුන මිනිස්සුන්ට වඩා පණ තියන මිනිස්සු හොඳට කේවල් කරනවා." මුහුණ සෝදාගත් බුක්ස් තුවායකින් තෙත මාත්තු කළේය. "මට දැන් දෙන්න ඩොලර් පණහක්."

බෙකම් නාසයේ අග කොනිති ගැසුවේය. "ඒ ගාන හොඳටම වැඩියි. සොහොන් කොතක් දීලා පණහකුත් දුන්නහම මට ඉතිරිවෙන දෙයක් නෑ. මම ගණන් හදලා බැලුවා. මගේ අනුමානය නම් තුන්සියයකට වඩා මෘතශරීරය බලන්න එන්නෙ නෑ."

"තුන්සීයක්? ඔබ මාව අඩු තක්සේරුවකට දාලා කතාකරන්නේ."

"මං පිළිගන්නවා ඔබව මරන්න ඇවිල්ලා වෙඩි කාපු ෂූප්, නෝර්ටන් දෙන්නාගෙන් ලොකු සේවයක් උනා. ඔබට පුළුවන් නම් වෙඩිතියන්න තවත්---"

"මං බලන්නම් මොකද කරන්න පුළුවන් කියලා."

"මට දෙන්න පුළුවන් උපරිම ගාන තිහයි, සර්."

"හතළිහයි. ගිහිල්ලා පත්තරේ දැන්වීමක් දානවා."

"හොඳයි, හතළිහයි එහෙනම්."සුසුමක් හෙලූ බෙකම් තම පොකට්ටුව වෙත අත යවා විස්සේ නෝට්ටු දෙකක් ගෙන බුක්ස් අත තැබීය. "මම දැන්මම ගල් වඩුවට කියන්නම් කොතේ වැඩ පටන්ගන්න කියලා."

"දවස් දෙකක් ඇතුළත හරි ඊට ඉස්සෙල්ලා හරි. මට වැඩි කාලයක් නෑ."

පසුම්බිය යළිත් සාක්කුවේ රුවාගත් අවමංගල්‍යකරුවා ශෝකී විලාසයෙන් හිස සැලී ය. "මගේ හිතට හරි වේදනාවක් ඒක අහන්න ලැබීම, බුක්ස් මහත්මයා. හරිම කණගාටුයි."

Wednesday, May 27, 2026

අන්තරංග

 වෘත්තාන්ත බ්ලොග් අඩවිය ලියන බ්ලොග්කාරයා නම වෙනස්කළ බවද මෙතැන් සිට සියළු කටයුතුවලදී අන්තරංග නමින් හැඳින්වෙන බව ද ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී, සමාජවාදී සිංහල බ්ලොග් කලාපයේ සැරිසරන සියල්ලන් වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ. 

Tuesday, May 26, 2026

ඉවත ලෑම


 නව විදුහල්පතිවරයා පැමිණ ඇති බවට වූ වැදගත් ප්‍රවෘත්තිය පාසැල පුරාම පැතිර ගියේය. ඇයට එය අසන්නට ලැබුනේ ගුරුවරියන් සඳහා වූ විවේක කාමරයේදී එදිනට නියමිත වූ පාඩම් දෙස අවසන් වතාවටත් බලමින් සිටි අවස්ථාවේදී ය. ඔහුට සුබපැතීම සඳහා අනෙකුත් ගුරුවරුන් හා එකතුවීමත් අතට අත දීමත් මගහැරිය හැකි දෙයක් නොවී ය. ඇගේ සිරුරම කිළිපොලා ගියේය. එහෙත් කළ හැකි දෙයක් නොවී ය.

Monday, May 18, 2026

මරණයක් වෙන්දේසියේ! - II

          

   පටන්ගත්ත හැටි මෙතැනින්     

       

"කට අරිනවා." බුක්ස් පැවසීය. 

ඔහු කට ඇරියේය. රෙමින්ටන් පිස්තෝලයේ කඳ අඟලක් දෙකක් පමණ ඔහුගේ කටට ඇතුළු වී දිව මත රැඳිණ. 

"කට වහගන්නවා. හැබැයි හපන්න එපා. තන පුඩුවක් කියලා හිතාගෙන උරවනවා." 

ඩොබ්කින්ස් ලැබුන අණ පිළිපැද්දේය. 

බුක්ස්ගේ කතා ස්වරය සන්සුන් ය. "දැන්, පේනවනේ මම ආරක්ෂක අගුල පන්නලා තියෙන්නේ. මේකේ කොකා පුංචි තෙරපීමකින් උනත් ගැස්සෙන විදියට හදලා තියෙන්නේ. යන්තමට හරි දැඟලුවොත් රොජර්ස් මහත්මියට ඔහේගෙ මොළේ බිත්තියෙන් සූරලා ගන්න වෙන්නේ සබනුයි වතුරයි දාලා. පරිස්සමින් ඔය සටහන් පොතයි පැන්සලයි පැත්තකින් තියනවා."

වාර්තාකරුවා බෙහෙවින් පරිස්සම් විය.

"හිටගන්නවා, දොර දිහාට පස්සෙන් පස්සට යන්න පටන්ගන්නවා. ගැස්සෙන්න එපා, වෙව්ලන්න එපා, හුස්ම ගන්නවත් එපා. උරවනවා විතරයි. හරිනේ, නැගිටිනවා."

ඩෑන් ඩොබ්කින්ස් සෙමින්, සෙමින් නැගීසිට වෙව්ලමින්, පාවෙන්නාක් බඳුව පසුපසට යන්න පටන්ගත්තේය. ඔහු දෑස පියාගත්තේය. උගුරු දණ්ඩ හැකිලෙන්නට දිගහැරෙන්නට පටන්ගත්තේය. මුවින් කෙඳිරිලි හඬක් පිටවිය. 

"මම දොර අරින්නම්. දිගටම ඔහොම යනවා. පරිස්සමින්." 

පිස්තෝලයේ බටය කටෙහි ඇතිව, දෑස් පියාගෙන, කෙඳිරිලි හඬ නගමින්  දොරෙන් පිටවූ වාර්තාකරුවා කොරිඩෝව දිගේ පසුපසට යන්නට විය. බුක්ස් ද අඩියෙන් අඩිය ඒ අනුව ගමන් කළේය. ඔවුහු විසිත්ත කාමරය පසුකරද්දී සෝෆාව මත වාඩි වී සිටි රොජර්ස් මහත්මිය තිගැස්සී ඉබේම නැගිට සිටියාය. "ඩොබ්කින්ස් මහත්මයා - බුක්ස් මහත්මයා මොකක්ද ඔබ ඔය කරන වැඩේ? දෙයියන්ගේ නාමෙට මොකද . . . ."

"සද්ද කරන්න එපා මැඩම්, අපි අනතුරුදායක තත්ත්වයකට මුහුණ පාලා ඉන්නේ." බුක්ස් අනතුරු ඇඟවීය. 

ගල්ගැසී නැවතුන ඇයගේ අත මුව වෙතට ගියේය. 

ඔවුහු ඉදිරිපස දොර වෙත ලඟා වූහ. දොරගුල වෙත අත යවා එය විවෘත කල බුක්ස් වමතින් දොරවල් දෙකම දෙපසට කර කෙලින් වී රෙමින්ටන් පිස්තෝලයේ බටය සෙමින් වාර්තාකරුවාගේ මුවින් එළියට ගත්තේය. ඩොබ්කින්ස්ගේ දෑස් විවර විය. 

"හැරෙනවා අනිත් පැත්තට."

"කරුණාතරලා, බුක්ස් මහත්මයා. මම සමාව . . . ."

"හැරෙනවා අනිත් පැත්තට."

ඩොබ්කින්ස් හැරුනේය.

"නැමෙනවා ඉස්සරහට."

ඩොබ්කින්ස් දෙකට නැමුනේය.

පිස්තෝලය ඉන බැඳි පටිය තුල රඳවාගත් ඔහු වම් පයට බරදී දකුණු පාදයේ සපත්තුවෙහි අඩිය වාර්තාකරුවාගේ පසුපසට බරකොට තබාගත්තේය.

"ඩොබ්කින්ස්, තමුසේ අනුන්ගේ දේවල්වලට ඇගිලි ගහන, වැදගැම්මකට නැති, පව්ඩර් උලාගත්තු බැල්ලිගෙ පුතෙක්. තමුසෙ ආයෙත් මේ පැත්තෙ කරක් ගහන්න ආවොත් මම උඹව මරනවා." 

ඔහු ඇඟෙහි මුළු වෙර යොදා පාදයෙන් තල්ලුවක් දැම්මේය. ඩොබ්කින්ස් කොතරම් වේගයකින් වීසි වී ගියේද යත් හිස හා උරහිස ඉහලම පඩියෙහි ගැටී පඩිපෙලට ඉහලින් විසි වී ගොස් ලීයෙන් නිමැවී තිබූ පදික මාවත දිගේ රෝල් වී ගොස් පාරට මදක් මෑතින් හතරගාතයෙන් ඇද වැටුනේය. 

ඇය ඔහුට දොස් පැවරුවාය. තල්ලුවෙන් පසු ඔහු සිටියේ එක් දණිස්සක් බිම වැදී නතර වූ ඉරියව්වෙනි. කෙනෙකු තවත් අයෙකුට මෙතරම් ම්ලේච්ඡ හා අසාධාරණ ලෙස සළකනු ඇය මින් පෙර දැක නැති බවත් පිරිමියෙකු උනා නම් ඇය කරන්නේ අශ්වයින් සඳහා වූ කසයකින් ඔහුට තැලීම බවත් ඇයට කියවින. එවිටම ඔහු විසි වී ගොස්  කරකැවී බිත්තියෙහි හැපී නතර විය. මුහුණ ද සුදුමැලිව ගියේය. මොහොතක් වේදනාවෙන් හිස පහත් කරගෙන සිටගෙන සිටි ඔහු වාරුගැනීම සඳහා අත් දෙකම බිත්තිය මත තබා බිත්තිය දිගේ ටිකෙන් ටික තම කාමරය දිසාවට යන්නට විය. ඔහු බිම ඇදවැටෙතැයි බිය වූ ඇය ලඟට පැමිණ ඉන පෙදෙසට අත තැබුවේ ඔහුට සහය වීම පිණිස ය. තමාට තනියම පුළුවන් යයි කෙඳිරිලි හඬක් නැගූ ඔහු ඇයගේ අත ගසා දැම්මේය. විවෘත තිබූ දොර වෙත ලඟා වූ පසු ශක්තිය ගෙන දෑත් දිගු කර ඉදිරියට නැඹුරු වූ ඔහු මුනින්තලාව ඇඳ මත පතිත විය. දොස්තරට දුරකතන පණිවුඩයක් දෙන්න දැයි ඇසූ ඇයට ඔහු හිස සලා නැතැයි පැවසීය. 

"හොඳයි, එහෙම නම් ජේ. බී. බුක්ස් මහත්මයා,  අර පාර අයිනෙ වැටිල ඉන්න අසරණ ඩොබ්කින්ස් මහත්මයාට දැනෙනවට වැඩිය වේදනාවක් ඔබටත් දැනෙන්නෙ නෑ කියලා මම හිතනවා. එහෙම දැනෙනවා නම් ඔබට වෙන්න ඕනැත් එහෙම තමා." බොන්ඩ් රොජර්ස් පැවසුවාය.

මේ බුක්ස් හමුවන්නට ආ එක් පුද්ගලයෙකුගේ අත්දැකීමයි. එහෙත් එසේ ආ අවසාන පුද්ගලයා ඔහු නොවේ. පසුව ආවේ කවුද, ඔවුනට කුමක් සිදුවී ද යන්න ඊලඟට බලමු.  


Saturday, May 16, 2026

මරණයක් වෙන්දේසියේ - I

 

    Glendon Swarthout නම් ලේඛකයා විසින් රචික The Shootist නම් වූ ප්‍රබන්ධය බටහිර ගොපළු නවකතා අතරට එක්වූ සම්භව්‍ය කෘතියක් ලෙස සැලකුම් ලබයි. එනිසා ම මේ කෘතිය පදනම් කරගෙන එනමින් ම සිනමා නිර්මාණයක් ද 1976දී බිහිවිය. එය සුප්‍රකට නළු John Wayne ගේ අවසන් විශිෂ්ට රංගනය ලෙස ද විස්තර කෙරේ. 

කතාව ගොඩනැගෙන්නේ අවි හරඹයෙහි නිපුණයෙකු ලෙස කීර්තිමත් නමක් දිනූ ජේ. බී. බුක්ස් වටා ය. ඔහු මාරාන්තික පිලිකා රෝගයකට ගොදුරු වෙයි. වෛද්‍යවරයා පවසන ආකාරයට එය සුව කළ නොහැකි ය. සිය අවසන් කාලය ගතකිරීම සඳහා වෛද්‍යවරයා සිටින නගරය තෝරාගන්නා ඔහු ඔත්පලව දුක් නොවිඳ කෙසේ  සිය අවසානය කරා යන්නේ දැයි කල්පනා කරමින් පසුවෙයි. ඒ අතර ඔහුගේ පැමිණීම ගැන දැනගන්නා විවිධ පුද්ගලයෝ ඔහුගේ කීර්තිය ඔස්සේ ඔහු සොයා එති. එවන් හමුවීමක් දැක්වෙන අවස්ථාවකි, මේ. 

"බුක්ස් මහත්මයා, ජේ. බී. බුක්ස්, මට ඉතාම සතුටක් සහ ගෞරවයක් ඔබ මුණගැසීමට ලැබීම. මම ඩෑන් ඩොබ්කින්ස්. වැඩකරන්නේ 'ඩේලි හෙරල්ඩ්' පත්‍රයේ." 

අතට අත දුන් ඔව්හු වාඩි වූහ. 

"මම කලිනුත් කියපු විදියට බුක්ස් මහත්මයා, මේක කොහෙත්ම බලාපොරොත්තු නොවුන, කියන්න බැරි තරම් ගෞරවයක්. ස්තුතියි මාව මුණගැහෙන්න කැමති උනාට. බොහොමත්ම ස්තුතියි." 

"ඩොබ්කින්ස් මහත්මයා, කොහොමද දැනගත්තෙ මම එල් පාසෝවල ඉන්නවා කියලා?"

"ඇයි, සර්. ඒක හැමෝම දන්න දෙයක්නේ. මාව විශ්වාස කරන්න, මේ වගේ ප්‍රවෘත්තියක් ලැව්ගින්නක් වගේ පැතිරෙන්නේ. අද උදේ අපි පත්තරේ දැම්මා ඔබ මෙහෙ සුවදායක ශීත දේශගුණය විඳිමින් රොජර්ස් මහත්මියගෙ නවාතැනේ නතරවෙලා ඉන්නවා කියලා. ඔබ ඒක දැක්කද?"

"නැහැ." 

"විශ්වාස කරන්න, පළවෙනි පිටුවෙමයි දැම්මේ." 

"මොකද්ද මගෙන් වෙන්න ඕනෑ?"

"මෙහෙමයි, සර්." 

වයස විසිගණන්වල අග්ගිස්සෙහි සිටි  ඩොබ්කින්ස් කෙසඟ දෙපා ද දිගු නහයක් ද කිබූ කහ පැහැති සපත්තු හා ඉරි වැටුන ඇඳුම් කට්ටලයකින් සැරසුන, නිරතුරුව චංචල වන උගුරු දණ්ඩක් ද තිබූ තරුණයෙකු විය. ඔහු වෙතින් සුවඳ විලවුන් හා ටැල්කම් පව්ඩර් සුවඳ හමා ආවේය.

"ඒ ගැන කතාකරන්න තමයි මම ආවේ බුක්ස් මහත්මයා. සර්, ඔබ සතුටට පත්වෙන්න ඕනෑ ජීවමානව සිටින එකම කීර්තිමත් වෙඩික්කරුවා ඔබ වීම ගැන." 

"ජීවමාන?" 

"තවමත් ජීවතුන් අතර සිටින."

"ආ, ඒකද?"

"අනිත් හැමදෙනෙක්ම මිය ගිහින්. කණගාටුයි කියන්න - හිකොක්, මාස්ටර්සන්, අර්ප්ස්, බිල් ටිල්ග්මන්, එින්ගෝ, හාඩින්, ඩොක් හොලිඩේ, සෑම් බාස්, රව්ඩි ජෝ ලෝව් - සේරම සුප්‍රකට නම්." 

"ඒක ඇත්ත." 

"යුගයක අවසානය. හිරු බැස යාම කියන්නත් පුළුවන්. බුක්ස් මහත්මයා, ඔබ තමයි ඉතිරිවෙලා ඉන්න එකම කෙනා. අපි ඒ ගැන ස්තුතිවන්ත වෙන්න ඕනෑ. මං අදහස් කළේ ඔබ මුලු රටේම ප්‍රසිද්ධ කෙනෙක්. මේ කතාව අද උදේ රටේ හැමතැනකටම ගියා. වැදගැම්මක් ඇති ඕනෑම දිනපතා පත්තරයක් ඒක පළකරාවි. ඒත් ඒකෙන් වෙන්නේ කුතුහළය ඇවිස්සෙන එක විතරයි. ඔවුන්ට තවත් වැඩියෙන් ඕන වෙයි. විශේෂයෙන් නැගෙනහිර පැත්තේ පත්තර. ඔබ වාගේ කීර්තිමත් පුද්ගලයෙක් එහේ මිනිස්සුන්ට වීරයෙක්. නිව්යෝර්ක්, බොස්ටන්. ෆිලඩෙල්ෆියා, වොෂිංටන් - මේ හැම තැනකම අපි යවන හැම වචනයක්ම පත්තරවල දායි. බුක්ස් මහත්මයා, අපි දෙන්නට එකතුවෙලා එල් පාසෝ මුළු රටේම ප්‍රසිද්ධ කරන්න පුළුවන්."

"ඩොබ්කින්ස් මහත්මයා, ඔබ තාමත් වටේ කැරකෙනවා විතරයි." 

"ඔව් සර්, මෙහෙමයි සර්. මට ලොකු උවමනාවක් තියනවා අවසාන වෙඩික්කාරයා, ජෝන් බර්නාඩ් බුක්ස් ගැන ලිපි මාලාවක් කරන්න."

"මාලාවක්?" 

"ඔව්, ඔබ කොපමණ කාලයක් අපිත් එක්ක ඉන්නවද?"

"එච්චර දිග කාලයක් නෙමෙයි." 

"හොඳයි, මා ලඟ තියනවා ප්‍රශ්න ලැයිස්තුවක්." වාර්තාකරුවා කුඩා සටහන් පොතක් තම සාක්කුවෙන් එළියට ඇදගත්තේය. "මම ඒවා කලින් ලියාගෙන ආවා. අපිට අදම පටන්ගන්න පුළුවන්, මේ දැන්ම. හෙටත් හමුවෙලා දිගටම කරගෙන යන්න පුළුවන්." 

"මොන වගේ ප්‍රශ්න ද?"

"ඉන්න බලන්න." ඩොබ්කින්ස් සටහන් පොත විවෘත කොට පැන්සලක් එළියට ගත්තේය. "ඔබත් දන්න විදියට බුක්ස් මහත්මයා, වෙඩික්කරුවන් ගැන ඕනැ තරම් බාල ගනයේ ප්‍රබන්ධ, ලාබ නවකතා, මිත්‍යා කතා, පට්ටපල් බොරු වගේ දේවල් තියනවා. මම හිතුවා නිවැරදි තොරතුරු එළියට දාන්න ඕනැ කියලා. ඇත්ත කතාව, සත්‍ය තොරතුරු - ඔබ ජීවතුන් අතර සිටින අතරතුර - ඔබට මොකක්වත් වෙන්න ඉස්සරලා. මං බලාපොරොත්තු වෙනවා එහෙම අනතුරක් නොවෙයි කියලා. ඒත් . . ."

"ප්‍රශ්න."

"හරි, හරි, හොඳයි, උදාහරණයක් විදියට අපි පටන්ගනිමු මුල ඉඳලම. ඔබේ තරුණ කාලය. මුලින්ම ඔබ ප්‍රචණ්ඩ ක්‍රියාවලට පෙළඹුන හේතුව." 

"ඊලඟට."

"මේවා ප්‍රශ්න ම නෙමෙයි. මාතෘකා කියන්න පුළුවන්. ඊලඟට මට ඕනෑ ඔබේ වෘත්තිය ජීවිතය පිළිබඳ කරුණු ආවරණය කරන්න. සංඛ්‍යාමය තොරතුරු කියන්නත් පුළුවන්. ඔබ ද්වන්ධ සටන් කීයකට මුහුණ දීලා තියනවද, කීදෙනෙක් ඒවගෙ ගොදුරුවෙලා තියනවද කියලා." 

බුක්ස් හිස සැලීය. 

"වෙඩිතබන්නෙකුගේ මනසේ ස්වභාවය ගැඹුරින් අධ්‍යයනය කරන්න මට අවශ්‍ය වෙලා තියනවා.. මීට කලින් කවුරුවත් ඒ ගැන ගැඹුරින් හිතලා නෑ. ස්වයං ආරක්ෂාව පිළිබඳ හැඟීම කොතරම් වැදගත් ද? මිනීමරුවෙකුගේ සැබෑ චිත්ත ස්වභාවය කොයි වගේ ද? හැමෝම කියන විදියට ඔහු හුදෙකලා උන කෙනෙක් ද? වෙඩි තැබීමකට මුහුණ දෙන වෙලාවට ඔහු සන්සුන් ව සිටින කෙනෙක් ද? ස්වභාවයෙන් ම ඔහු ලේ පිපාසිතයෙක් ද?  වැඩේ කරාට පස්සෙ ඒ ගැන මෙනෙහි කරනව ද? තමන්ටම දොස් පවරාගන්නවද? එහෙම නැත්නම්, මරණයත් සමග ජීවත්වෙලා තියන කාලය කොයි තරම් ද කියනව නම් අනිත් අයගේ මරණවලටත් තමන් වෙත ලඟාවිය හැකි මරණය පිළිබඳ හැඟීමටත් හුරු වෙලා ද?"

ඩොබ්කින්ස් නොසිතාම කතා කරමින් සිටියේය. වචනවල අලංකාරයෙන් වශී වී සිටි ඔහු තමාගේ අමුත්තා නැගී සිට ඇඳුම් අල්මාරිය දෙසට යන අයුරු නොදුටු බවක් දිස්විය. එය ආවරණය කර තිබූ තිරය පසෙකට කළ බුක්ස් ඇතුළට අත දැම්මේය.   

"අවසාන වශයෙන් මම කැමතියි ඔබේ එක ද්වන්ධ සටනක් උදාහරණයක් හැටියට අරගෙන ඒක පියවරෙන් පියවර, උණ්ඩයෙන් උණ්ඩය විග්‍රහ කරන්න. ඊට පස්සෙ ඔබ අනතුරක් නොවී බේරුනහම ඔබට මොන වගේ හැඟීමක් ද දැනුනේ? ඔබේ සතුරා මාරාන්තික තුවාල ලබලා, ඇස් පිටට නෙරලා, අවසන් හුස්ම හෙලමින් සිටිනවා දකින විට මොන වගේ සිතුවිළි ද සිතට නැගුනේ? අවසන් හුස්ම හෙලන ගමන් ඔහු මොනවද කිව්වේ? ඔබ දුන්න පිළිතුර මොකද්ද? මොන තරම් අපූරු කූටප්‍රාප්තියක්ද? අපට පුළුවන් පාඨකයා ඇහැ අහකට ගන්නෙ . . . ."

වාක්‍යයේ ඉතිරි කොටස ඔහුගේ මුවෙහිම ගිලී ගියේය. දෑස් පිටට නෙරා ආවේය. ඔහුගේ ඇස් ඉදිරිපිට දිලිසෙමින් තිබුනේ පිස්තෝලයක කට ය. 

ඊට පස්සේ මොකද උනේ කියන්න ගියොත් දිග වැඩි වෙනවා. ඒක වෙනත් කොටසකින් බලමු.

Friday, April 3, 2026

සිහිනයක් විකිණීමට තිබේ



 පරිච්ඡේදය 1 - නගරය

මට වයස අවුරුදු දහඅටක් වෙද්දී ආර්ජන්ටිනාවේ ඇන්දීස් කඳුවැටියේ වූ ලෙනාන් නම් කුඩා නගරයේ පදිංචියට ගියෙමි. ගල් අතුරා සැදුනු මේ නගරයේ මා බලාපොරොත්තු හැමදේම මා බලාපොරොත්තු වූවාටත් වඩා හොඳින් තිබුණි. 

Saturday, January 24, 2026

බළලා ගෙට රිංගූ හැටි!

  අද බල්ලන් හා බළලුන් ගෙවල් ආශ්‍රිතව මිනිසුන්ගේ ආදරය හා කරුණාව පමණක් නොව කෘෘරත්වය ද විඳිමින් මිනිසුන් මත යැපෙමින්  ජීවත් වුවද බොහෝ ඈත අතීතයේ උන් කැලෑවේ ජීවත්වන අන් සතුන් මෙන්ම කැලෑ දිවියක් ගතකළ බව විද්‍යාඥයෝ කියති. ඒ පිළිබඳව විවාදයක් නැතත් තවමත් ඒ හා සම්බන්ධ පර්යේෂණ කෙරෙමින් පවතී. මේ සතුන් දෙදෙනා අතරින් ද බළලා බල්ලාට වඩා තවමත් ස්වාධීන ගතිපැවතුම් ප්‍රකට කරන බව උන්ගේ හැසිරීම් රටාව දෙස බලන විට පෙනේ. මේ සතුන් මිනිසාට සමීපවීම පිළිබඳව සිතුවේ විද්‍යාඥයින් පමණක් නොවේ. ජනකතාකරුවා ද පසුකලෙක බිහි වූ නිර්මාණකරුවෝ ද මේ ගැන ප්‍රබන්ධ ගෙතූහ. මේ ද එවැන්නකි. මෙය සිම්බාබ්වේ ජනකතාවක් ලෙස සඳහන් වෙයි. උපුටාගත්තේ Nelson Mandela's Favorite African Folktales නම් ග්‍රන්ථයෙනි. 

මරණයක් වෙන්දේසියේ - III

තුන්වැන්න කියවීමට පෙර . . . මරණයක් වෙන්දේසියේ - I මරණයක් වෙන්දේසියේ -II "කවුද කෙනෙක් ඇවිල්ල ඉන්නවා ඔබ හමුවෙන්න, බෙක...