Monday, May 18, 2026

මරණයක් වෙන්දේසියේ! - II

          

   පටන්ගත්ත හැටි මෙතැනින්     

       

"කට අරිනවා." බුක්ස් පැවසීය. 

ඔහු කට ඇරියේය. රෙමින්ටන් පිස්තෝලයේ කඳ අඟලක් දෙකක් පමණ ඔහුගේ කටට ඇතුළු වී දිව මත රැඳිණ. 

"කට වහගන්නවා. හැබැයි හපන්න එපා. තන පුඩුවක් කියලා හිතාගෙන උරවනවා." 

ඩොබ්කින්ස් ලැබුන අණ පිළිපැද්දේය. 

බුක්ස්ගේ කතා ස්වරය සන්සුන් ය. "දැන්, පේනවනේ මම ආරක්ෂක අගුල පන්නලා තියෙන්නේ. මේකේ කොකා පුංචි තෙරපීමකින් උනත් ගැස්සෙන විදියට හදලා තියෙන්නේ. යන්තමට හරි දැඟලුවොත් රොජර්ස් මහත්මියට ඔහේගෙ මොළේ බිත්තියෙන් සූරලා ගන්න වෙන්නේ සබනුයි වතුරයි දාලා. පරිස්සමින් ඔය සටහන් පොතයි පැන්සලයි පැත්තකින් තියනවා."

වාර්තාකරුවා බෙහෙවින් පරිස්සම් විය.

"හිටගන්නවා, දොර දිහාට පස්සෙන් පස්සට යන්න පටන්ගන්නවා. ගැස්සෙන්න එපා, වෙව්ලන්න එපා, හුස්ම ගන්නවත් එපා. උරවනවා විතරයි. හරිනේ, නැගිටිනවා."

ඩෑන් ඩොබ්කින්ස් සෙමින්, සෙමින් නැගීසිට වෙව්ලමින්, පාවෙන්නාක් බඳුව පසුපසට යන්න පටන්ගත්තේය. ඔහු දෑස පියාගත්තේය. උගුරු දණ්ඩ හැකිලෙන්නට දිගහැරෙන්නට පටන්ගත්තේය. මුවින් කෙඳිරිලි හඬක් පිටවිය. 

"මම දොර අරින්නම්. දිගටම ඔහොම යනවා. පරිස්සමින්." 

පිස්තෝලයේ බටය කටෙහි ඇතිව, දෑස් පියාගෙන, කෙඳිරිලි හඬ නගමින්  දොරෙන් පිටවූ වාර්තාකරුවා කොරිඩෝව දිගේ පසුපසට යන්නට විය. බුක්ස් ද අඩියෙන් අඩිය ඒ අනුව ගමන් කළේය. ඔවුහු විසිත්ත කාමරය පසුකරද්දී සෝෆාව මත වාඩි වී සිටි රොජර්ස් මහත්මිය තිගැස්සී ඉබේම නැගිට සිටියාය. "ඩොබ්කින්ස් මහත්මයා - බුක්ස් මහත්මයා මොකක්ද ඔබ ඔය කරන වැඩේ? දෙයියන්ගේ නාමෙට මොකද . . . ."

"සද්ද කරන්න එපා මැඩම්, අපි අනතුරුදායක තත්ත්වයකට මුහුණ පාලා ඉන්නේ." බුක්ස් අනතුරු ඇඟවීය. 

ගල්ගැසී නැවතුන ඇයගේ අත මුව වෙතට ගියේය. 

ඔවුහු ඉදිරිපස දොර වෙත ලඟා වූහ. දොරගුල වෙත අත යවා එය විවෘත කල බුක්ස් වමතින් දොරවල් දෙකම දෙපසට කර කෙලින් වී රෙමින්ටන් පිස්තෝලයේ බටය සෙමින් වාර්තාකරුවාගේ මුවින් එළියට ගත්තේය. ඩොබ්කින්ස්ගේ දෑස් විවර විය. 

"හැරෙනවා අනිත් පැත්තට."

"කරුණාතරලා, බුක්ස් මහත්මයා. මම සමාව . . . ."

"හැරෙනවා අනිත් පැත්තට."

ඩොබ්කින්ස් හැරුනේය.

"නැමෙනවා ඉස්සරහට."

ඩොබ්කින්ස් දෙකට නැමුනේය.

පිස්තෝලය ඉන බැඳි පටිය තුල රඳවාගත් ඔහු වම් පයට බරදී දකුණු පාදයේ සපත්තුවෙහි අඩිය වාර්තාකරුවාගේ පසුපසට බරකොට තබාගත්තේය.

"ඩොබ්කින්ස්, තමුසේ අනුන්ගේ දේවල්වලට ඇගිලි ගහන, වැදගැම්මකට නැති, පව්ඩර් උලාගත්තු බැල්ලිගෙ පුතෙක්. තමුසෙ ආයෙත් මේ පැත්තෙ කරක් ගහන්න ආවොත් මම උඹව මරනවා." 

ඔහු ඇඟෙහි මුළු වෙර යොදා පාදයෙන් තල්ලුවක් දැම්මේය. ඩොබ්කින්ස් කොතරම් වේගයකින් වීසි වී ගියේද යත් හිස හා උරහිස ඉහලම පඩියෙහි ගැටී පඩිපෙලට ඉහලින් විසි වී ගොස් ලීයෙන් නිමැවී තිබූ පදික මාවත දිගේ රෝල් වී ගොස් පාරට මදක් මෑතින් හතරගාතයෙන් ඇද වැටුනේය. 

ඇය ඔහුට බැනවදින්නට පටන් ගත්තාය. තල්ලුවෙන් පසු ඔහු එක් දණිස්සක් බිම ඇනී නතර විය. ඇය ඒ තාක් දැක ඇති එක් අයෙකු තවකෙකුට කළහැකි වඩාත්ම ම්ලේච්ඡ, අසාධාරණ ක්‍රියාව එය බවත්, පිරිමියෙකු උනා නම් කරන්නේ අශ්වයින් සඳහා වූ කසයකින් පහරදීම බවත් ඇයගේ මුවින් පිටවිය. එක්වරම විසි වී ගොස් බිත්තියෙහි හැපී නතර වූ ඔහුගේ මුහුණ සුදුමැලි වී රැලි වැටුනේය. මොහොතක් වේදනාවෙන් හිස පහත් කරගෙන සිටගෙන සිටි ඔහු බිම සවියක් ලබාගැනීම සඳහා අත් දෙකම බිත්තිය මත තබා බිත්තිය දිගේ ටිකෙන් ටික තම කාමරය දිසාවට යන්නට විය. ඔහු බිම ඇදවැටෙතැයි බිය වූ ඇය ලඟට පැමිණ ඉන පෙදෙසට අත තැබුවේ ඔහුට සහය වීම පිණිස ය. තමාට තනියම පුළුවන් යයි කෙඳිරිලි හඬක් නැගූ ඔහු ඇයගේ අත ගසා දැම්මේය. විවෘත තිබූ දොර වෙත ලඟා වූ පසු ශක්තිය ගෙන දෑත් දිගු කර ඉදිරියට නැඹුරු වූ ඔහු මුනින්තලාව ඇඳ මත පතිත විය. දොස්තරට දුරකතන පණිවුඩයක් දෙන්න දැයි ඇසූ ඇයට ඔහු හිස සලා නැතැයි පැවසීය. 

"හොඳයි, එහෙම නම් ජේ. බී. බුක්ස් මහත්මයා,  අර පාට අයිනෙ වැටිල ඉන්න අසරණ ඩොබ්කින්ස් මහත්මයාට දැනෙනවට වැඩිය වේදනාවක් ඔබටත් දැනෙන්නෙ නෑ කියලා මම හිතනවා. එහෙම දැනෙනවා නම් ඔබට වෙන්න ඕනැත් එහෙම තමා." බොන්ඩ් රොජර්ස් පැවසුවාය.

මේ බුක්ස් හමුවන්නට ආ එක් පුද්ගලයෙකුගේ අත්දැකීමයි. එහෙත් එසේ ආ අවසාන පුද්ගලයා ඔහු නොවේ. පසුව ආවේ කවුද, ඔවුනට කුමක් සිදුවී ද යන්න ඊලඟට බලමු.  


Saturday, May 16, 2026

මරණයක් වෙන්දේසියේ - I

 

    Glendon Swarthout නම් ලේඛකයා විසින් රචික The Shootist නම් වූ ප්‍රබන්ධය බටහිර ගොපළු නවකතා අතරට එක්වූ සම්භව්‍ය කෘතියක් ලෙස සැලකුම් ලබයි. එනිසා ම මේ කෘතිය පදනම් කරගෙන එනමින් ම සිනමා නිර්මාණයක් ද 1976දී බිහිවිය. එය සුප්‍රකට නළු John Wayne ගේ අවසන් විශිෂ්ට රංගනය ලෙස ද විස්තර කෙරේ. 

කතාව ගොඩනැගෙන්නේ අවි හරඹයෙහි නිපුණයෙකු ලෙස කීර්තිමත් නමක් දිනූ ජේ. බී. බුක්ස් වටා ය. ඔහු මාරාන්තික පිලිකා රෝගයකට ගොදුරු වෙයි. වෛද්‍යවරයා පවසන ආකාරයට එය සුව කළ නොහැකි ය. සිය අවසන් කාලය ගතකිරීම සඳහා වෛද්‍යවරයා සිටින නගරය තෝරාගන්නා ඔහු ඔත්පලව දුක් නොවිඳ කෙසේ  සිය අවසානය කරා යන්නේ දැයි කල්පනා කරමින් පසුවෙයි. ඒ අතර ඔහුගේ පැමිණීම ගැන දැනගන්නා විවිධ පුද්ගලයෝ ඔහුගේ කීර්තිය ඔස්සේ ඔහු සොයා එති. එවන් හමුවීමක් දැක්වෙන අවස්ථාවකි, මේ. 

"බුක්ස් මහත්මයා, ජේ. බී. බුක්ස්, මට ඉතාම සතුටක් සහ ගෞරවයක් ඔබ මුණගැසීමට ලැබීම. මම ඩෑන් ඩොබ්කින්ස්. වැඩකරන්නේ 'ඩේලි හෙරල්ඩ්' පත්‍රයේ." 

අතට අත දුන් ඔව්හු වාඩි වූහ. 

"මම කලිනුත් කියපු විදියට බුක්ස් මහත්මයා, මේක කොහෙත්ම බලාපොරොත්තු නොවුන, කියන්න බැරි තරම් ගෞරවයක්. ස්තුතියි මාව මුණගැහෙන්න කැමති උනාට. බොහොමත්ම ස්තුතියි." 

"ඩොබ්කින්ස් මහත්මයා, කොහොමද දැනගත්තෙ මම එල් පාසෝවල ඉන්නවා කියලා?"

"ඇයි, සර්. ඒක හැමෝම දන්න දෙයක්නේ. මාව විශ්වාස කරන්න, මේ වගේ ප්‍රවෘත්තියක් ලැව්ගින්නක් වගේ පැතිරෙන්නේ. අද උදේ අපි පත්තරේ දැම්මා ඔබ මෙහෙ සුවදායක ශීත දේශගුණය විඳිමින් රොජර්ස් මහත්මියගෙ නවාතැනේ නතරවෙලා ඉන්නවා කියලා. ඔබ ඒක දැක්කද?"

"නැහැ." 

"විශ්වාස කරන්න, පළවෙනි පිටුවෙමයි දැම්මේ." 

"මොකද්ද මගෙන් වෙන්න ඕනෑ?"

"මෙහෙමයි, සර්." 

වයස විසිගණන්වල අග්ගිස්සෙහි සිටි  ඩොබ්කින්ස් කෙසඟ දෙපා ද දිගු නහයක් ද කිබූ කහ පැහැති සපත්තු හා ඉරි වැටුන ඇඳුම් කට්ටලයකින් සැරසුන, නිරතුරුව චංචල වන උගුරු දණ්ඩක් ද තිබූ තරුණයෙකු විය. ඔහු වෙතින් සුවඳ විලවුන් හා ටැල්කම් පව්ඩර් සුවඳ හමා ආවේය.

"ඒ ගැන කතාකරන්න තමයි මම ආවේ බුක්ස් මහත්මයා. සර්, ඔබ සතුටට පත්වෙන්න ඕනෑ ජීවමානව සිටින එකම කීර්තිමත් වෙඩික්කරුවා ඔබ වීම ගැන." 

"ජීවමාන?" 

"තවමත් ජීවතුන් අතර සිටින."

"ආ, ඒකද?"

"අනිත් හැමදෙනෙක්ම මිය ගිහින්. කණගාටුයි කියන්න - හිකොක්, මාස්ටර්සන්, අර්ප්ස්, බිල් ටිල්ග්මන්, එින්ගෝ, හාඩින්, ඩොක් හොලිඩේ, සෑම් බාස්, රව්ඩි ජෝ ලෝව් - සේරම සුප්‍රකට නම්." 

"ඒක ඇත්ත." 

"යුගයක අවසානය. හිරු බැස යාම කියන්නත් පුළුවන්. බුක්ස් මහත්මයා, ඔබ තමයි ඉතිරිවෙලා ඉන්න එකම කෙනා. අපි ඒ ගැන ස්තුතිවන්ත වෙන්න ඕනෑ. මං අදහස් කළේ ඔබ මුලු රටේම ප්‍රසිද්ධ කෙනෙක්. මේ කතාව අද උදේ රටේ හැමතැනකටම ගියා. වැදගැම්මක් ඇති ඕනෑම දිනපතා පත්තරයක් ඒක පළකරාවි. ඒත් ඒකෙන් වෙන්නේ කුතුහළය ඇවිස්සෙන එක විතරයි. ඔවුන්ට තවත් වැඩියෙන් ඕන වෙයි. විශේෂයෙන් නැගෙනහිර පැත්තේ පත්තර. ඔබ වාගේ කීර්තිමත් පුද්ගලයෙක් එහේ මිනිස්සුන්ට වීරයෙක්. නිව්යෝර්ක්, බොස්ටන්. ෆිලඩෙල්ෆියා, වොෂිංටන් - මේ හැම තැනකම අපි යවන හැම වචනයක්ම පත්තරවල දායි. බුක්ස් මහත්මයා, අපි දෙන්නට එකතුවෙලා එල් පාසෝ මුළු රටේම ප්‍රසිද්ධ කරන්න පුළුවන්."

"ඩොබ්කින්ස් මහත්මයා, ඔබ තාමත් වටේ කැරකෙනවා විතරයි." 

"ඔව් සර්, මෙහෙමයි සර්. මට ලොකු උවමනාවක් තියනවා අවසාන වෙඩික්කාරයා, ජෝන් බර්නාඩ් බුක්ස් ගැන ලිපි මාලාවක් කරන්න."

"මාලාවක්?" 

"ඔව්, ඔබ කොපමණ කාලයක් අපිත් එක්ක ඉන්නවද?"

"එච්චර දිග කාලයක් නෙමෙයි." 

"හොඳයි, මා ලඟ තියනවා ප්‍රශ්න ලැයිස්තුවක්." වාර්තාකරුවා කුඩා සටහන් පොතක් තම සාක්කුවෙන් එළියට ඇදගත්තේය. "මම ඒවා කලින් ලියාගෙන ආවා. අපිට අදම පටන්ගන්න පුළුවන්, මේ දැන්ම. හෙටත් හමුවෙලා දිගටම කරගෙන යන්න පුළුවන්." 

"මොන වගේ ප්‍රශ්න ද?"

"ඉන්න බලන්න." ඩොබ්කින්ස් සටහන් පොත විවෘත කොට පැන්සලක් එළියට ගත්තේය. "ඔබත් දන්න විදියට බුක්ස් මහත්මයා, වෙඩික්කරුවන් ගැන ඕනැ තරම් බාල ගනයේ ප්‍රබන්ධ, ලාබ නවකතා, මිත්‍යා කතා, පට්ටපල් බොරු වගේ දේවල් තියනවා. මම හිතුවා නිවැරදි තොරතුරු එළියට දාන්න ඕනැ කියලා. ඇත්ත කතාව, සත්‍ය තොරතුරු - ඔබ ජීවතුන් අතර සිටින අතරතුර - ඔබට මොකක්වත් වෙන්න ඉස්සරලා. මං බලාපොරොත්තු වෙනවා එහෙම අනතුරක් නොවෙයි කියලා. ඒත් . . ."

"ප්‍රශ්න."

"හරි, හරි, හොඳයි, උදාහරණයක් විදියට අපි පටන්ගනිමු මුල ඉඳලම. ඔබේ තරුණ කාලය. මුලින්ම ඔබ ප්‍රචණ්ඩ ක්‍රියාවලට පෙළඹුන හේතුව." 

"ඊලඟට."

"මේවා ප්‍රශ්න ම නෙමෙයි. මාතෘකා කියන්න පුළුවන්. ඊලඟට මට ඕනෑ ඔබේ වෘත්තිය ජීවිතය පිළිබඳ කරුණු ආවරණය කරන්න. සංඛ්‍යාමය තොරතුරු කියන්නත් පුළුවන්. ඔබ ද්වන්ධ සටන් කීයකට මුහුණ දීලා තියනවද, කීදෙනෙක් ඒවගෙ ගොදුරුවෙලා තියනවද කියලා." 

බුක්ස් හිස සැලීය. 

"වෙඩිතබන්නෙකුගේ මනසේ ස්වභාවය ගැඹුරින් අධ්‍යයනය කරන්න මට අවශ්‍ය වෙලා තියනවා.. මීට කලින් කවුරුවත් ඒ ගැන ගැඹුරින් හිතලා නෑ. ස්වයං ආරක්ෂාව පිළිබඳ හැඟීම කොතරම් වැදගත් ද? මිනීමරුවෙකුගේ සැබෑ චිත්ත ස්වභාවය කොයි වගේ ද? හැමෝම කියන විදියට ඔහු හුදෙකලා උන කෙනෙක් ද? වෙඩි තැබීමකට මුහුණ දෙන වෙලාවට ඔහු සන්සුන් ව සිටින කෙනෙක් ද? ස්වභාවයෙන් ම ඔහු ලේ පිපාසිතයෙක් ද?  වැඩේ කරාට පස්සෙ ඒ ගැන මෙනෙහි කරනව ද? තමන්ටම දොස් පවරාගන්නවද? එහෙම නැත්නම්, මරණයත් සමග ජීවත්වෙලා තියන කාලය කොයි තරම් ද කියනව නම් අනිත් අයගේ මරණවලටත් තමන් වෙත ලඟාවිය හැකි මරණය පිළිබඳ හැඟීමටත් හුරු වෙලා ද?"

ඩොබ්කින්ස් නොසිතාම කතා කරමින් සිටියේය. වචනවල අලංකාරයෙන් වශී වී සිටි ඔහු තමාගේ අමුත්තා නැගී සිට ඇඳුම් අල්මාරිය දෙසට යන අයුරු නොදුටු බවක් දිස්විය. එය ආවරණය කර තිබූ තිරය පසෙකට කළ බුක්ස් ඇතුළට අත දැම්මේය.   

"අවසාන වශයෙන් මම කැමතියි ඔබේ එක ද්වන්ධ සටනක් උදාහරණයක් හැටියට අරගෙන ඒක පියවරෙන් පියවර, උණ්ඩයෙන් උණ්ඩය විග්‍රහ කරන්න. ඊට පස්සෙ ඔබ අනතුරක් නොවී බේරුනහම ඔබට මොන වගේ හැඟීමක් ද දැනුනේ? ඔබේ සතුරා මාරාන්තික තුවාල ලබලා, ඇස් පිටට නෙරලා, අවසන් හුස්ම හෙලමින් සිටිනවා දකින විට මොන වගේ සිතුවිළි ද සිතට නැගුනේ? අවසන් හුස්ම හෙලන ගමන් ඔහු මොනවද කිව්වේ? ඔබ දුන්න පිළිතුර මොකද්ද? මොන තරම් අපූරු කූටප්‍රාප්තියක්ද? අපට පුළුවන් පාඨකයා ඇහැ අහකට ගන්නෙ . . . ."

වාක්‍යයේ ඉතිරි කොටස ඔහුගේ මුවෙහිම ගිලී ගියේය. දෑස් පිටට නෙරා ආවේය. ඔහුගේ ඇස් ඉදිරිපිට දිලිසෙමින් තිබුනේ පිස්තෝලයක කට ය. 

ඊට පස්සේ මොකද උනේ කියන්න ගියොත් දිග වැඩි වෙනවා. ඒක වෙනත් කොටසකින් බලමු.

Friday, April 3, 2026

සිහිනයක් විකිණීමට තිබේ



 පරිච්ඡේදය 1 - නගරය

මට වයස අවුරුදු දහඅටක් වෙද්දී ආර්ජන්ටිනාවේ ඇන්දීස් කඳුවැටියේ වූ ලෙනාන් නම් කුඩා නගරයේ පදිංචියට ගියෙමි. ගල් අතුරා සැදුනු මේ නගරයේ මා බලාපොරොත්තු හැමදේම මා බලාපොරොත්තු වූවාටත් වඩා හොඳින් තිබුණි. 

Saturday, January 24, 2026

බළලා ගෙට රිංගූ හැටි!

  අද බල්ලන් හා බළලුන් ගෙවල් ආශ්‍රිතව මිනිසුන්ගේ ආදරය හා කරුණාව පමණක් නොව කෘෘරත්වය ද විඳිමින් මිනිසුන් මත යැපෙමින්  ජීවත් වුවද බොහෝ ඈත අතීතයේ උන් කැලෑවේ ජීවත්වන අන් සතුන් මෙන්ම කැලෑ දිවියක් ගතකළ බව විද්‍යාඥයෝ කියති. ඒ පිළිබඳව විවාදයක් නැතත් තවමත් ඒ හා සම්බන්ධ පර්යේෂණ කෙරෙමින් පවතී. මේ සතුන් දෙදෙනා අතරින් ද බළලා බල්ලාට වඩා තවමත් ස්වාධීන ගතිපැවතුම් ප්‍රකට කරන බව උන්ගේ හැසිරීම් රටාව දෙස බලන විට පෙනේ. මේ සතුන් මිනිසාට සමීපවීම පිළිබඳව සිතුවේ විද්‍යාඥයින් පමණක් නොවේ. ජනකතාකරුවා ද පසුකලෙක බිහි වූ නිර්මාණකරුවෝ ද මේ ගැන ප්‍රබන්ධ ගෙතූහ. මේ ද එවැන්නකි. මෙය සිම්බාබ්වේ ජනකතාවක් ලෙස සඳහන් වෙයි. උපුටාගත්තේ Nelson Mandela's Favorite African Folktales නම් ග්‍රන්ථයෙනි. 

Friday, December 26, 2025

වැස්ස හා තෙතමනය

                         


සතියක් කියන්නේ දිග කාලයක්, නැද්ද? 

Saturday, December 13, 2025

ශුද්ධ වූ නගරය

 අශ්ව කරත්තය ප්‍රධාන ප්‍රවාහන ක්‍රමය වූ යුගයේ අමෙරිකාවේ පාරක් දිගේ ඇදෙන අශ්ව කරත්තයකි. එහි මගීන් හතරදෙනෙක් සිටිති. එක්වරම අශ්ව කරත්තය නවත්වන රථාචාර්යයා රථය තුළ සිටින මගීන්ට අනතුරු අඟවයි.

"මහත්වරුනි, තව ටිකක් ඉස්සරහට ගියාම නගරයක් තියනවා. ඒත් අපි අශ්ව කරත්තය එතැන නවත්වන්නෙ නෑ. ඇත්තම කියනව නම් කිසිම රථයක් එතැන නවත්වන්නෙ නෑ. හෝලි රූඩ් නගරය හරහා අපි හැකි උපරිම වේගයෙන් යනවා. හයියෙන් අල්ලගෙන යාඥා කරන්න දන්නවනම් යාඥා කරන්න."

Thursday, November 6, 2025

මැරෙන සැටි මම පෙන්වමි!

                

විලියම් ඩබ්ලිව්. ජොන්ස්ටන් නම් ලේඛකයා විසින් ලියන ලද Sixkiller, U.S. Marshal නම් ප්‍රබන්ධයෙන් උපුටා ගත් කුඩා කොටසකි, පහත දැක්වෙන්නේ.

මේ කතාවට පසුබිම් වන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ සිවිල් යුද්ධයට පසු යුගයයි. ජෝන් හෙන්රි හා හෙක්ටර් ක්‍රෝ ඩෝග් දෙදෙනටම පොදු ලක්ෂණයක් විය. එනම් දෙදෙනාම රතු ඉන්දියානු හා යුරෝපීය දෙමව්පියනට දාව උපන් අය වීමයි. එහෙත් සිවිල් යුද්ධයේදී එක් පාර්ශවයක් වෙනුවෙන් සටන් වැදි ඔවුන් දෙදෙනාගේ සමානකම් එතැනින් නිම වෙයි. සිවිල් යුද්ධය නිම වී කලකට පසුව ඔවුන් දෙදෙන යළි හමු වූ ආකාරයයි මේ. 

             

විලී බක් මෙන්ම හෙක්ටර් ක්‍රෝ ඩෝග් ද යුද්ධයෙන් පසුව ආපසු පැමිණියේ නීතිගරුක පුරවැසියෙකු වීමට නොහැකිව හෝ ඒ සඳහා කැමැත්තක් නොදක්වමිනි. ක්වන්ට්‍රිල්ගේ ආක්‍රමණික කණ්ඩායමට බැඳී සිටි කාලයේ ක්‍රෝ ඩෝග් මිනීමැරුම් හා සොරකම්වලට ලැදියාවක් ඇතිකරගෙන තිබුණි. යුද්ධයෙන් පසුව ද ඒ රසය තෘප්තිමත් කරගැනීමට ඔහු පසුබට නොවීය. යුද්ධයෙන් පසු ජෝන් හෙන්රිට ක්‍රෝ ඩෝග් මුණ නොගැසුනේ ඉන්දියානු වාසභූමියට ඔහු ආපසු නොපැමිණි හෙයිනි. ඔහුගේ නීතිවිරෝධී ක්‍රියා බොහොමයක් සිදු උනේ කැන්සාස්වල ය. මේ ක්‍රියා නිසා කැන්සාස් ප්‍රාන්තයට වඩාත්ම අවශ්‍යව සිටි අපරාධකරුවන්ගෙන් කෙනෙකු බවට ඔහු පත්ව සිටියේය. 

කොෆිවිල් නගරයට පිටත වූ පාලමක් අසල ඔහු නැවතී බලා සිටියේ සෙඩාන් දක්වා ගමන් කරන රාත්‍රී අශ්ව කෝච්චිය පැමිණෙන තෙක් ය. අශ්ව කෝච්චියට සවිකර තිබුනේ ආලෝක ධාරා දෙකක් සෘජුව නිකුත් කරන කැටපත් පරාවර්තක සවිකරන ලද ලාම්පු ය. එම ලාම්පුවල ආධාරයෙන් ක්‍රෝ ඩෝග්ට අශ්ව රථය ලඟාවෙනු බලාගතහැකි විය. එසේ වුවද ඔහු හරියටම පාර මැද සිටගෙන සිටියොත් හැරෙන්නට අශ්ව රථයේ සිටින්නවුන්ට ඔහු දර්ශනය වීමට තරම් ප්‍රබල ආලෝකයක් ඉන් විහිදෙන්නේ නැතිබව ක්‍රෝ ඩෝග් දැන සිටියේය. 

රථය ලංවත්ම එහි රියැදුරු විසිල් කරන නාදය ද අශ්වයින්ට කතාකරන හඬ ද ක්‍රෝ ඩෝග්ට ඇසුනි. පාලම මතින් යන්නට රථය වේගය අඩුකරත්ම ක්‍රෝ ඩෝග් පාර අයිනේ සිට මැදට පැන්නේය. 

"නවත්තනවා ඔහොම! විසිකරනවා තැපැල් මල්ල මෙහාට." ක්‍රෝ ඩෝග් කෑගැසුවේය.  

රියැදුරා රථය නවතාගත්තත් ආරක්ෂක භටයා නැගී සිට තුවක්කුව ක්‍රෝ ඩෝග් වෙත එල්ල කළේය. ඔහු කොකා ගැස්සුවේය. එහෙත් තුවක්කුව පත්තු උනේ නැත. 

"හා!" කෑගැසූ ක්‍රෝ ඩෝග් දෙවරක් කොකා ගැස්සීය. වෙඩි දෙකින් නිකුත් වූ ගිනිදැල් අකුනුසැරයකදී නිකුත්වන විදුලි එළි මෙන් එක් ක්ෂණයකට රථයේ එක් පසෙක චිත්‍රයක් ඇන්දාක් මෙන් විහිදී ගියේය.

රථය ඇතුලෙහි සිටි එක් මගියෙකු වූයේ මෝසස් ගැරට් ය. ඔහු එක්සත් ජනපදයේ නියෝජ්‍ය මාර්ෂල්වරයෙකු වුවත් මෙදින ඔහු සෙඩාන් වෙත ආපසු එමින් සිටි මගියෙකු පමණක් විය. නැවැත්වීම සඳහා කෙරුනු ඉල්ලීමත් සමගම සිදුවන්නේ කුමක් දැයි වහාම තේරුම්ගත් ඔහු තම ඇඟිල්ල තොල් හරහා තබා නිශ්ශබ්දව සිටින ලෙස අනෙක් මගීන්ට අනතුරු අඟවා මංකොල්ලකරුවා සිටි දෙසට විරුද්ධ පසින් රථයෙන් එලියට බැසගත්තේය. තම පිස්තෝලය අතැතිව ඔහු අශ්ව රථය වටෙන් පැමිණ එහි පසුපසට ආවේ හෙක්ටර් ක්‍රෝ ඩෝග් උඩට නැග තැපැල් මල්ල ගන්නට උත්සාහ කරද්දී ම ය. 

පිස්තෝලය ආපසු කොපුවේ දමාගෙන සිටි ක්‍රෝ ඩෝග් තැපැල් මල්ල ඩැහැගැනීමට කොතරම් අවධානයක් යොමුකර තිබුනේ ද යත් ගැරට්  පිටුපසින් එනු ඔහු දැක්කේ නැත. ගැරට් ඔහු පසුපසින් සිටින බව පළමුවරට ඔහුට දැනුනේ ගැරට් ඔහුට කතාකළ පසු ය. 

"බැහැලා මෙහාට එනවා." ගැරට් පැවසීය. 

 තම අත පිස්තෝලය දෙසට දිගු වුවද ගැරට් ඔහුගේ පිස්තෝලයේ කොකා මානන හඬ ඇසුන පසු ක්‍රෝ ඩෝග් එම උත්සාහ අත්හැර දැමීය. 

"ඔව්, කමක් නෑ. ගන්නවා ආයුධය අතට. පනපිටින් ඉන්නවට වඩා මැරිලා ඉද්දී ඔහේව ගෙනියන එක ලේසියි." ක්‍රෝ ඩෝග් බිමට බැස ආපසු හැරෙන්නට පෙර ගැරට් ඔහුගේ පිස්තෝලය ක්‍රෝ ඩෝග්ගේ හිස මත වැරෙන් පතිත කරේ ඔහු සිහිසුන් කරවමිනි. 

"පාර්කින්සන් මහත්මයා?" ගැරට් රථයේ සිටි අනෙක් පිරිමි මගියාට කතා කළේය. "මට උදව්කරන්න මේ මිනිහා බඩු මලු දාන කෑල්ලට පටවන්න. ඊට පස්සේ මම මිනිහට මාංචු දාන්නම්."

හෙක්ටර් ක්‍රෝ ඩෝග්ගේ අපරාධ රැල්ල අවසානයකට පැමිණ තිබුනි. එක්සත් ජනපද මධ්‍යම රජයට අයත් තැපැල් මල්ලක් සොරකම් කළ නිසා එය බරපතල දඬුවම් හිමිවන වරදක් විය. ක්‍රෝ ඩෝග්ගේ නඩුව අසනු ලැබූයේ ඉසාක් පාර්කර්ගේ නඩුකාරයාගේ උසාවියේදී ය. බොහෝ කලකට පෙර ඔහු කිසිදා එල්ලා මරනු ලැබීමටකට ලක්නොවන බව ඔහුගේ ගෝත්‍රයේ වෙදරාළ අනාවැකියක් පලකර තිබුනත් ඔහු වරදකරු වී මරණීය දණ්ඩනයට නියම විය. 

ජෝන් හෙන්රි තමාගේ නඩුව සඳහා පෙනීසිටීමට පැමිණියේ හරියටම ඒ වේලාවේ ය. ඔහු පැමිණෙන විට ක්‍රෝ ඩෝග් එල්ලා මැරීම සඳහා සූදානම් කර තිබුනි. ඔහුගේ කකුල් එකට කර බැඳ අත්  දෙක ද දෙපසට සිරවන සේ බැඳ එල්ලුම් ගසට නංවා සිටි අතර එක්සත් ජනපද මාර්ෂල් ජෝන් සාර්බර් දැඩි හිරු රශ්මියෙන් පීඩිතව දහදිය වගුරුවමින් සිරකරු පසෙකින් සිටගෙන සිටියේය.  එම හිරු රශ්මියම විඳිමින්  ප්‍රේක්ෂකයින් සියගණනක් එල්ලුම් ගස දෙස බලාගෙන සිටගෙන සිටියහ. එක් කලු වලාවක් අහසෙහි තිබූ නමුදු හිරු රශ්මියෙන් යම් සහනයක් සලසන්නට තරම් එය විශාල නොවීය. බලකොටුවේ තාප්පවලට පිටින් නවතා තිබූ අශ්ව කරත්ත, දුනු කරත්ත හා අශ්වයින් මිනිසුන් කොතරම් දුර සිට එල්ලා මැරීම බලන්නට පැමිණ ඇත්ද යන්නට සාක්ෂි දැරීය. ඉන් සමහරක් පෙරදින රාත්‍රියේම පැමිණ පිට්ටනියෙහි රාත්‍රිය ගතකර තිබුනේ කැන්සාස්, ආර්කන්සාස්, කොලරාඩෝ හා ඉන්දියානු බල ප්‍රදේශය යන සෑම තැනකම මිනීමැරුම් හා මංකොල්ලකෑම් නිසා අපකීර්තිමත් නමක් හිමිකරගෙන සිටි ක්‍රෝ ඩෝග් නම් මිනිසා එල්ලා මරණයට පත්කරනු දැකගැනීමට ය. 

"අර බලන්නකෝ මේ ගිනිගහන අව්වේ දාඩිය පෙරාගෙන හිටගෙන ඉන්න මෝඩ මිනිස්සු දිහා, හරියට දුවගන්න බැරුව හතිදාන අශ්වයෙක් වගේ." ක්‍රෝ ඩෝග් පැවසීය. 

"ඔබ හිටගෙන ඉන්නෙත් ඒ අව්වෙම තමා." මාර්ෂල් සාර්බර් පිළිවදන් දුන්නේය. 

"ඔව්, ඒත් ඔබට අමතක වෙලා මම තව වැඩි වෙලා මෙතන ඉන්නෙ නෑ කියලා." ක්‍රෝ ඩෝග් පිළිතුරු දුන්නේ මහ හඬින් නැගූ කර්කශ සිනහවක් ද සමග ය. 

අඩි පහයි අඟල් හතරකට වඩා නූස් වූ ක්‍රෝ ඩෝග් මිටි අයෙකු වුවද හොඳින් වැඩුන මාංශ පේශි වලින් යුත් ශක්තිමත් පුද්ගලයෙකු විය. උඩ සිට රැස්ව සිටි පිරිස දෙස බලද්දී ජෝන් හෙන්රි දැකීමෙන් ඔහු විශ්මයට පත්විය.  

"මේ බලන්නකො වැඩේ. මගේ පරණ යාළුවා ජෝන් හෙන්රි සික්ස්කිලර් නේද මේ?" ඔහු පෝරකය මත සිට කතාකළේය. "ඔබේ පරණ යාළුවා මැරෙන හැටි බලන්න නේද ආවේ, ජෝන් හෙන්රි?" 

"මමත් හරියට ඒ වෙලාවටම ආව වගේ පේන්නේ, හෙක්ටර්." ජෝන් හෙන්රි පැවසීය. 

"ඒක නෙමෙයි, ජෝන් හෙන්රි, ඔබට මතකද මම එක සැරයක් කිව්වා මම කවදාවත් එල්ලුම් ගස් යන්නෙ නෑ කියලා?" ක්‍රෝ ඩෝග් ඇසීය.

"මට මතකයි." 

"එහෙම කිව්වේ මම කවදාවත් එල්ලුම් ගස් යන්නේ නෑ කියලා සෑම් බ්ලැක්හෝස් මට කියපු හින්දයි. මතකයි නේද මිනිහව? අර නාකි වෙදරාළ?" 

"මට මතකයි." ජෝන් හෙන්රි පිළිතුරු දුන්නේය. 

"ඔව්, මට හිතෙන්නේ ඔය නාකි බැල්ලිගෙ පුතා දැන් මෙතැන හිටියනං කියලා. මම එල්ලුම් ගස් යන්නෙ නෑ කියලා කියන්න මිනිහට මම ඩොලර් එකක් ගෙව්වා. ඒත් මම දැන් එල්ලිලා මැරෙන්නයි යන්නේ. මම මගේ සල්ලි ආපහු ඉල්ලගන්නවා. ඒක තමයි මම කරන්නේ." පැවසූ ක්‍රෝ ඩෝග් යළිත් සිනාසුනේය. "හැබෑටම, ඒ ඩොලර් එකෙන් දැන්  මට වෙන යහපතක් නෑනෙ, නේද? ඒත් මං එල්ලෙන කොට ඒක මගේ සාක්කුවේ තියනවට මම කැමතියි. මම නරකාදියට ගියහම සමහර විට මට හොඳට සීතල කරපු බියර් එකක් ගන්න පුළුවන් වෙයි." 

"ක්‍රෝ ඩෝග්, අන්තිම වශයෙන් කියන්න දෙයක් තියනවද?" මාර්ෂල් සාර්බර් විමසීය. 

"මම ආවෙ මැරෙන්න, මම කතා පවත්වන්න ආවෙ නෑ." 

ක්‍රෝ ඩෝග් සාර්බර් දෙස බැලීය. ඊලඟට රැස්ව සිටි සුදු, කලු හා ඉන්දියානු මිනිසුන්ගෙන් සමන්විත වූ පිරිමින්, ගැහැනුන් හා ළමයින් සමූහය දෙස බැලීය. නැවතත් ජෝන් හෙන්රි දෙස බලා සිනාවක් පෑවේය. 

"මම ඔට්ටුවක් අල්ලනවා ඔබ දැන් හිතනවා ඇති ඔබටත් මෙතන ඉන්න තිබුනා නං කියලා මේකෙ ලීවර් එක අදින්න, එහෙම නේද, ජෝන් හෙන්රි?" 

"අර රියදුරයි එයාගේ ආරක්ෂක භටයයි මරලා ඔබමයි ඔතැනට එන්න මග පාදාගත්තේ, හෙක්ටර්." 

"මාත් හිතනවා මම එහෙම කළා කියලා. ඒත් ඒ වෙලාවෙ කරන්න තිබුන එකම දේ එච්චරයි. Da gi yo ‘we ga. Ko ‘hi i ga ge ‘ga,” ක්‍රෝ ඩෝග් පැවසීය. "මට වෙහෙසයි. මම අද ගෙදර යනවා."

 “Donada ‘govi—සමු ගනිමු,” ජෝන් හෙන්රි පිළිතුරු දුන්නේය. 

"ඒක නෙමෙයි, මාව එල්ලනවා කියලා කිව්වා නේද?" ක්‍රෝ ඩෝග් සාර්බර්ගෙන් ඇසීය. 

"ඒක තමයි මම කරන්න යන්නේ." මාර්ෂල් සාර්බර් පිළිතුරු දුන්නේය. 

"එහෙනම් මොන නරකාදියකට ද තවත් කැරකෙන්නේ? මේ ඇවිල්ලා ඉන්න මිනිස්සුන්ගේ බලාපොරොත්තු කඩකරන්නද හදන්නේ? ඒගොල්ල හොඳ ෂෝ එකක් බලන්න ඇවිත් තියෙන්නේ. මම තමයි ප්‍රධාන නළුවා. මේ පිස්සු වැඩ ඔක්කොම නවත්තලා ඒක කරමු." 

සාර්බර් අළුගෝසුවා දෙස බලා හිස සැලීය. අළුගෝසුවා ලීවරය අදිත්ම ලණුව දිග තිබෙන තෙක් ක්‍රෝ ඩෝග්  පහළට ඇදවැටෙද්දී ඔහුගේ බෙල්ල එක් පසෙකට ගැස්සී ඇදී ගියේය. 

ඒත් සමගම මහත් බියකරු සිදුවීමක් සිදුවිය. ක්‍රෝ ඩෝග් සිටගෙන සිටි උගුල්දොර ඇරෙත්ම මහත් වූ හඬකින් පුපුරාගිය අකුණකින් පොලව දෙදරා ගියේ පෝරකයෙහි අගුළුදොර ඇරෙන ශබ්දය සම්පූර්ණයෙන්ම යටපත් කරමිනි. බලකොටුවට ඉහලින් රැඳී තිබූ හිරු මුවාකරන්නට තරම්වත් විශාල නොවූ කලු වලාකුළ අකුණු සැරයක් එවන්නට සමත්ව තිබුනේය. ක්‍රෝ ඩෝග් පහලට ඇදවැටෙත්ම ඔහුට අකුණු සැරය වැදුනි. ඔහුගේ සිරුරින් ගිනිපුළිඟු වීසි විය. එල්ලා මැරීම බලන්නට රැස්ව සිටි සෙනග අතුරින් බොහෝ දෙනෙක් කම්පනයට හා බියට පත්ව කෑගසන්නට වූහ. ළමයින් හඬන්නට පටත්ගහ. සමහර කාන්තාවෝ  ක්ලාන්ත වූහ. වැදුන අකුණු සැරයෙන් තවමත් දුම් දමමින් තිබූ ක්‍රෝ ඩෝග්ගේ සිරුර ලණුව අග්ගිස්සෙහි එල්ලෙමින් තිබුනේය.  

"යකාටම ගියාවේ! නාකි වෙදරාළ කියපු දේ හරිගියා එහෙනම්. ක්‍රෝ ඩෝග් මැරුණේ අකුණු සැරය වැදිලා! ලණුව හිරවෙන්න වෙලාවක් ලැබුනේ නෑ." ජෝන් හෙන්රිගේ මුවින් පිටවිය. 

  

මරණයක් වෙන්දේසියේ! - II

               පටන්ගත්ත හැටි මෙතැනින්               "කට අරිනවා." බුක්ස් පැවසීය.  ඔහු කට ඇරියේය. රෙමින්ටන් පිස්තෝලයේ කඳ අඟලක් දෙකක්...