Friday, September 13, 2024

කෝපි කෝප්පය

         මෙය ප්‍රකට අමෙරිකානු ලේඛක Louis L'Amour ගේ One for the Pot නම් කෙටිකතාවේ පරිවර්තනයකි. Louis L'Amour යනු Westerns ලෙස හැඳින්වෙන කලක් පාඨකයින් අතර අතිශය ජනප්‍රිය වු නවකතා රචනා කිරීමෙන් ජනප්‍රිය වූ ලේඛකයෙකි. නවකතා විශාල ප්‍රමාණයක් නිර්මාණය කර ඇති ඔහුගේ නවකතා රැසක් සිනමා නිර්මාණවලට ද පාදක වී තිබේ. දීර්ඝබව සලකා කතාව කොටස් තුනකින් ඉදිරිපත් කරන අතර එහි පළමු කොටසයි මේ. 

                                                    එක          

                                              


ලෝරී රස්ලර්ස්  ස්ප්‍රිං හී දියමංකඩට ලඟා වූ විට  අඩිපාර වැරදී ඇති බව ඇයට තේරුම් ගියාය. 

කඳුකරය හරහා ඩ්‍රයි ක්‍රීක් නැවතුම්පොළ දක්වා වැටී ඇති කෙටි අඩිපාර ගැන ස්ටීව් ඇයට කියාදී තිබුණි. ඔහු ඇයට දුන් අවවාදය වූයේ ඔහුට යම් දෙයක් සිදුවුවහොත් එහි යන ලෙස ය. එහෙත් ජුනිපර්ස් අද්දරින් අශ්වයා දැක්කීමට හෝ රස්ලර්ස් ස්ප්‍රිං හී නතරවීමට එරෙහිව ඔහු ඇයට අනතුරු අඟවා තිබුණි. 

අඩිපාර දිගේ ආපසු ගියහොත් ඇයට මගහැරුනු, නිවැරදිව හැරී යා යුතුව තිබූ තැන සොයාගැනීමට පුළුවන්වීමට ඉඩ තිබේ. එසේ වුවද තවදුරටත් ප්‍රමාද කළහොත් ඇය නැවතුම්පොළට ලඟාවන විට  බොහෝ රෑ බෝවී තිබෙනු ඇත. 

කරන්නට වඩාත් සුදුසු දේ නම් ආපසු ගොවිපළට ගොස් පසුදින අළුයම ස්ටීව් නිවෙසින් බැහැර වූ පසු අලුතින්ම ගමන පටන් ගැනීමයි. එහෙත් ආපසු ගියහොත් ස්ටීව් අතහැර යාමට තරම් ධෛර්යයක් නැවත උපදවාගැනීමට නොහැකි වනු ඇත. දැනටමත් ඇය උවමනාවටත් වඩා ස්ටීව්ට කරදරයක් වී තිබේ.

අශ්වයා සීතල වතුර බොන අතර සෑදලයෙන් බිමට බැසගත් ලෝරී එක් අත්ලකට වතුර ටිකක් ගෙන බීමට උත්සාහ කළාය. මුවට ජලය ගැනීමට කළ වෑයම අසාර්ථක වූ අතර සිදුවූ එකම දෙය නම් මුහුණ ජලයෙන් පෙඟීමත් ඇඳ සිටි බ්ලවුසය මත ජලය ඉහිරීමත් පමණකි. එය බටහිරට පැමිණි දා සිට ඇය අතින් සිදුවූ සියළු වැරදීම්වල සංකේතයක් විය. 

ඇය නැගී සිටිත්දී දුටුවේ  අතට බර කරගත් රයිෆලයක් රැගත් මිනිසෙකු බඩවැටිය අද්දර රැඳී සිටින අයුරු ය. ඔහු කොපමණ වේලාවක් එතැන සිටියේදැයි නොදන්නා නමුදු සැනෙකින් ඇගේ සිතට දැනුනේ මෙතැන කොතරම් පාළු තැනක් ද හා  ඇය කොහි සිටින්නේදැයි ස්ටීව් පවා දන්නේ නෑ නොවේද යන්නයි. ඇය සතු එකම ආයුධය සෑදල බෑගයේ තිබෙන පිස්තෝලයයි. හිසකෙස් සුදු පැහැ ගැන්වුන මහලු, කෙසඟ මිනිසෙකු වූ ඔහුගේ මුහුණෙහි ඇය දුටුවේ මිනිස් මුහුණක ඇය දැක ඇති අනුකම්පා විරහිතම දෑසයි.  හිරුඑළිය විසින් තද පැහැ ගැන්වූ මහලු සම මත ජීවිත කාලයක් පුරා අත්විඳි කටුකබව විසින් සියුම් රැලි ඇඳ තිබිණ. එබී ගිය පැතලි නහය නොවන්නට පිටට නෙරූ කම්මුල් ඇට සහිත පටු මුහුණ ඔහුට ගෙනදුන්නේ උකුස්සෙකුගේ බඳු පෙනුමකි. නිල් පැහැති කමිසය සුදුමැලි වී තිබූ අතර පරණ කලිසම අබලන් ය. අලුත්බවක් තිබුණේ සිහින් වාටියක් සහිත තොප්පියේ පමණි. 

ඔහු කතා නොකළේ ය, ඇය දෙස නෙත් යොමා බලාසිටියා පමණි. 

"මට කෙටි පාර මගෑරුණා." එතරම් සන්සුන් ලෙස කතා කිරීමට හැකිවීම පිළිබඳව ඇයට පුදුම සිතිණ. "මම ඩ්‍රයි ක්‍රීක් නැවතුම්පොළට යන්නේ."

ඔහුගේ දෑස ඇගේ මුහුණින් සෑදලය පිටුපස තිබූ කාපට් බෑගය වෙත යොමුවිය. එහි තිබුණේ ඇය රෙඩ් ටෑන්ක් ගොවිපලට හා ස්ටීව් වෙත එනවිට ගෙනා ඇයට අයත් දේවල් කිහිපයක් පමණි. 

"බොනට්ගෙ ගෑනි නේද, ඔහේ?"  අවසානයේ ඔහු සිහින්, හැඟුම් විරහිත හඬකින් පැවසුවේය. 

ඇගේ නිකට ඉහලට එසවිණ. "එයාගේ බිරිඳ." 

"අතෑරලා යනවද?" 

ඇගේ සිත තුළ නොරිස්සුම්බවක් ඇතිවිය. "ඔහේට ඒකෙ වැඩක් නෑනෙ."

"බය උනා කියලා දෝසයක් කියන්න බෑ." 

"එහෙම නෙමෙයි." ඇය එයට එරෙහිව කතා තළාය. "ඒක එහෙම නෙමෙයි උනේ." 

ඔහුගේ දෑස් වියපත්ව තිබුණේ කැළයෙහි අඩිපාරවල් මෙන්ම මිනිසුන්ගේ හා ගැහැනුන්ගේ සිතුවිළි ද කියවීම නිසාම ය. ඇය කිව්වේ බොරුවක් නොවේ. පලායාමට ඇය  පොළඹවා ඇත්තේ බයට වඩා වැඩි යමකි. දොම්නස, අසාර්ථකවීම පිළිබඳ හැඟීම හා සිත පෙළන වේදනාව ඔහුට තේරුම් ගියේය. 

ඔහු දකුණු දෙසට හිසෙන් ඉඟි කළේය." කැබින්එක අතන. කෝපි වත්කරලා තියෙන්නෙ."  

පසුව ඇය මවිත වූයේ ඇයට ඔහු පසුපස එන්නට සිත් දුන්නේ මන්ද කියා ය. සමහර විට ඇය බය නැතිබව ඔහුට පෙන්වීමට විය හැකියි. එසේත් නැත්නම් ඇගේ බලාපොරොත්තුව කරා ඇය රැගෙන යාම සඳහා ඇය මේ ප්‍රදේශයෙන් වෙන්කරන අවසාන පාලම තරණය කිරීමට ඇගේ ඇති දෙගිඩියාව විය හැකි ය.

පැරණිබවක් ඉසිලුව ද ගෙපැල පිරිසිදුව, පිළිවෙළක් ඇතිව තබාගෙන සිටින බවක් පෙනුනි. කිහිපදෙනෙකුට නිදාගත හැකි ලෙස තැනුනු තට්ටු ඇඳන්වලින් එකක් හැරෙන්නට අනිත් ඒවා හිස්ව තිබුණි. එම ඇඳ පිළිවෙළකට සකසා තිබූ අතර කාමරයේ වූ උපකරණ කිහිපය පිරිසිදුව නියමිත තැන්වල එල්ලා තිබුණිි. 

එනැමල් කෝප්ප දෙකක් පිරවූ ඔහු එයින් එකක් ඇය ඉදිරිපිට තැබීය. කෝපි කෝප්පයේ රස බැලූ ඇයට පළමුවරට ඊර්ෂ්‍යාසහගත හැඟීමක් සිතට දැනුනි. ඇයට කරගන්නට බැරිම වූ දේ නම් මෙයයි. එය ඇය වඩාත්ම කනස්සල්ලට පත්කළ කරුණ ද වෙයි. ඇයට රසට කෝපි හදන්නට බැරි ය. අඩු වශයෙන් තමන්ට බොන්නට හැකි තරමටවත් හදාගන්නට බැරි ය. 

ඇය  බටහිර පෙදෙසේ වැසියෙකුට බිරිඳ වන්නට තරම් හැඩගැසී නැතිබව තේරුම්ගන්නට ඇයට වැඩි කලක් ගත නොවී ය. එහෙත් එය පසුව නිවැරදි කළහැකි වැරදීමක් නොවී ය. 

අශ්වයාගේ පිටෙහි වූ තුවාලය දුටු වේලාවේ ස්ටීව්ගේ වෙනස් වූ මුහුණ ඇයට මතක් උනේ හදවතට දැනුනු තියුණු වේදනාවක් ද සමගයි. සෑදලය පැළඳවීමට  බ්ලැන්කට්ටුව එළිමේදී නොසැලකිලිමත්කම නිසා ඇතිවූ රැල්ලක් එයට හේතුව වී තිබුණි. තවත් වරෙක ඔහුගේ අමතර පිස්තෝලය ඇගේ අතින් ඉබේ පත්තු උනේ ඇගේ පාදය යන්තමින් බේරමිනි. එවේලේ ඇය කෙරෙහි වූ ඔහුගේ කෝපය සීමාරහිත විය.  ඔහු නින්දට ගිය පසු එදින රාත්‍රියේ වැඩි කොටසක් ඇය ගතකළේ අඬමිනි. 

"පුදුමයි ඔබ සැමියා අතහැරලා යන්න හිතපු එක. බයගුල්ලෙක් කියලා හිතුවේ නෑ,  ලූ ලොක්කවත් තුවක්කුව පෙන්නලා එලවගත්තනේ." 

ඇය හිස ඔසවා බැලුවේ ඔහු එය දැනසිටීම ගැන විමතියට පත්වෙමිනි. "මං මොකටද මිනිහට බය වෙන්නේ? අනිත් එක තුවක්කුවේ පතරොම් දාලා තිබුනෙත් නෑ." 

හැඟීම් විරහිත දෑස හාස්‍යය බඳු හැඟීමකින් මොහොතකට දිලිසුනේය. "ලූ ඒක දැනගත්තම නං උඩ පනියි. ඔබ මිනිහව සම්පූර්ණ මෝඩයෙක් කරලා." 

ඔහු කෝපි පෝච්චිය යළිත් ගින්දර මත තැබුවේය. "බය නැතිකම තියෙන්න ඕනෑ එහෙම දෙයක් කරන්න. ලූ කියන්නේ අහිංසකයෙක් නෙමෙයි. මිනිස්සු කීපදෙනෙක් මරලා තියනවා." 

"ඔහු මිනීමරුවෙක්?" 

"තුන්දෙනෙක් නැත්නම් හතරදෙනෙක්." ඔහු පයිප්පය පුරවන අතර ඇස් කොනින් ඇයගේ මුහුණ දෙස බැලීය. එය ලොකු, කලු පැහැති දැස්වලින් හෙබි හදවතක හැඩය ගත් කුඩා මුහුණකි. ඇය රූමත් ගැහැනියක සතු හැඩැති සිරුරකින් යුතු වුවත් මෙවන් පලාතකට කුඩා මෙන්ම සියුමැලි වැඩි යයි ඔහුට සිතිණ. එහෙත් ඔහුගේ මව ද කුඩා සිරුරකින් යුත් ගැහැනියක වූ අතර දුෂ්කර දේශසිමාවට මායිම් වූ ගමක දරුවන් දසදෙනෙකු හදන්නට ඇය සමත් වූවාය. "බය නැත්නම් ඇයි අතෑරලා දාලා යන්නේ?" ඊලඟ මොහොතේ ඔහුගේ දෑස් කෙළවර රැලිවැටුන අතර "මට අමතක උනා. ඒක මට වැඩක් නෑනෙ." යි උපහාසය මුසු ස්වරයකින් පැවසීය. 

"එයාට මගෙන් වැඩක් නෑ." ඇගේ කලු පැහැති දෑස් ලොකු විය. "එයාට ඕනෑ එයාට උදව් කරන්න පුළුවන් කෙනෙක්. මම කරන එකම දේ එයාට කරදරයක් වෙන එක විතරයි." 

මහලු මිනිසා කල්පනාකාරීව තම පයිප්පය දෙස බැලීය. තුවක්කුවක් අතැතිව සිටි ඇය නිසා ලොකු ලූට හා මිලර්ලාට ගොවිපොළ ගිනිබත් කරන්නට නොහැකි විය. රෙඩ් ටෑන්ක් වෙත ඔවුන් ගියේ ඒ සඳහා ය. 

ටිකින් ටික ඇගේ කතාව එළියට ආවේය. දිගු කාලයක් ඇගේ පියා පෙලූ අසනීප තත්වය ඔවුන්ගේ සියළුම ඉතිරිකිරීම් දියකර හැරියේය. ඔහුගේ මරණයෙන් පසු ඇය පුවත්පත් දැන්වීමක් හරහා බිරිඳක් බවට පත්විය. අශ්වරථයෙන් බැසගත් ඇය සිතෙහි හිරුඑළිය විසින් දුඹුරු පැහැ ගන්වන ලද මුහුණක් ඇති උස, නිහඬ තරුණ මිනිසා  අමුතු විදිහේ කම්පනයක් ඇති කළේය. ඔහුට බිරිඳක් අවශ්‍ය වූ අතර ඇයට නිවසක් අවශ්‍ය විය. එය ඒ තරම්ම සරල දෙයක් විය. ඔව්හු කිසිදිනක ආදරයක් ගැන කතා නොකළහ. 

"දැන් එයා ගැන ආදරයක් තියනවද?" 

ඒ ප්‍රශ්නය ඇගේ සිත තුළ තිගැස්මක් ඇතිකළේ ඇය ඒ ගැන සිතා නොතිබූ බැවිනි. සිත කම්පනයට පත් කළ ද එක්වරම ඇයට එය ප්‍රත්‍යක්ෂ විය. "ඔව්. එහෙම තමයි."

මහලු මිනිසා කිසිවක් නොකියා නිහඬ විය. ඇය අවට ගස්වල සෙවනැලි කුටියෙන් පිටත මිදුලේ වැටී තිබූ අයුරු බලා සිටියාය. පෙරදින රාත්‍රියේ නිවසට පැමිණි ස්ටීව්ගේ මුහුණ ඇයට සිහිවිය. ඇය දුටු විට ඔහුගේ ඇස්වල යම් අමුත්තක් ඇතිවිය. එය සහනයක් ද, සතුටක් ද නැත්නම් වෙනත් යමක් ද?  

ඔහු ඇයගේ කෝප්පය යළි පිරවීය. "අතහැරලා ගිහාම සිතට සහනයක් දැනෙනවද? ඔහුට මොනව හිතෙයි ද අද රෑට ගෙදර ආවහම?" 

ඇය මුවින් පිටවීමට තතැනූ වේදනාව යටපත් කරගත්තාය. "මම ඉන්නවට වැඩිය නැති එකෙනුයි එයාට හොඳක් වෙන්නේ." 

"කවුරුවත් නැති හිස් ගෙදරකට එන එකේ තියන හොඳේ මොකක්ද?  ආදරෙයි කියලා එයාට කියල තියනවද?" 

"නැහැ."

"එයා කියලා තියනවද?" 

"ඒත් නෑ." 

"මිනිහා වැරදියි. මමත් එහෙන් මෙහෙන් ගෑනු ගණනාවක්ම දැනගෙන ඉඳලා තියනවා. ඒගොල්ලන්ට ආදරෙයි කියලා කියන්න, ටිකක් හුරතල් කරන්න, ඉඳලා හිටලා බලාපොරොත්තු නොවෙන වෙලාවක ඒ අය කැමති දෙයක් කරන්න. ඒගොල්ල බෙල්ල උනත් කඩාගනියි ඔබ වෙනුවෙන්." 

උණුසුමින් පිරි සැඳෑ කාලයේ කොට්න්වුඩ් ගස්වල ලා කොල පැහැති කොළ එකිනෙක ඇතිල්ලී සර සර හඬ නැංවීය. "මටත් මේ වගේ රසට කෝපි හදන්න පුළුවන් නම්." 

"වෙනදා තරම් හොඳ නෑ." මේසයේ කෙළවරට වන්නට ඔහු තබා තිබූ රයිෆලය ඇයගේ නෙතට ලක්විය. එය තබා තිබුනේ දොර දෙසට ඉලක්ක වන පරිදි ය. "මනුස්සයෙක් ගෙදර එනකොට උණුසුම් කෝපි ටිකක් තියන එක හොඳ දෙයක්." 

වාඩි වී සිටි පුටුවේ පසුපසට බර වූ ඔහු නැවත පයිප්පය දල්වා ගත්තේය. "ඔබ යන්න ගියා කියලා ඔහු දන්නවද?" 

"නැහැ." 

"මිලර් ලා ආපහු ආවොත්  ගොවිපළ ගිනිතියන්න පුළුවන්." 

"ඒ මිනිස්සු ආපහු එන එකක් නෑ." 

එවන් නොදැනුවත්කම්වලට ඔහුගේ පිළිතුර වූයේ අවඥාසහගත ලෙස නාසයෙන් පිටකළ ශබ්දයකි. "නෝනා ,මේ තියෙන්නේ යුද්ධයක්. හරක් හදන්න ඉඩම් අයිති කරගන්න කරන සටනක්. ඔහුගේ පැත්ත ගන්න ඉන්නේ ඔබ විතරයි. ඒත් ඔබ අතඇරලා දාල යනවා." 

"මගෙන් එයාට කිසිම වැඩක් නෑ. මෙහේ ගෑනියෙක් තමන්ගේ ස්වාමියාට කරන්න ඕනැ දේවල් එකක්වත් මට කරන්න බෑ." 

"ඔබට පුළුවන් ඔහු එනකොට ගෙදර ඉන්න. කිසිම මිනිහෙක් කැමති නෑ තනියම නැගී සිටින්න. තමන් තවත් මොකක් හරි දෙයක් වෙනුවෙන් සටන් කරනවා කියලා දැනෙන එක මිනිහෙකුට ලොකු සැනසීමක්."

ඇය නිහඬව සිටින විට ඔහු සන්සුන් ලෙස කතා කළේය. "උන්ට ඕනෑ එයාව මරලා දාන්න. මිලර්ලට ඒකයි ඕනැ වෙලා තියෙන්නේ."                               

"මරන්න?" ඇය කම්පනයට පත්වූවාය. "ඇයි, නීතිය . . ."

හැඟීම් රහිත දෑසකින් ඔහු ඇය දෙස බැලුවේය. "මේ රටේ නීතිය තියෙන්නේ මිනිහෙක්ගේ ඉනේ තියන පිස්තෝල කොපුව ඇතුලේ. ඔය මිලර්ලා ස්ටීව් බොනට් ගැන කිසිම හොඳකින් නෙමෙයි ඉන්නේ. ඒ වගේ කෙනෙක් මරන්න ඕන උනහම කෙනෙක් කුලියට ගන්නවා ඒක කරන්න. ඔබේ සැමියා කෙලින් වැඩ කරන බය නැති කෙනෙක්." 

මෙවර ඔහු කතා කළේ දැඩි නොඉවසිලිමත් ගතියකිනි. "ඔබ එයාගේ බිරිඳ විතරක් නෙමෙයි. එයාගේ එකම හිතමිත්‍රයා. ඔබ අතහැර දාලා යනවා ඔහුට ඔබ අවශ්‍යම වෙලා ඉන්නකොට."  

 ඔහු දොර දෙසට යන්නට හැරුනේය. "සික්ස් ෂූටර් ගැප් පැත්තෙන් යන්න ඕනැ නෑ. වයසක ස්ටොක්ටන් පාවිච්චි කරපු අඩිපාරක් මේ පිටුපස්සෙන් තියනවා. ජුනිපර්ස් පැත්තට යන්නෙ නැතිව ඒ අඩිපාර දිගේම යන්න. හරියටම අශ්වරථ නැවතුම්පලට යන්න පුළුවන්. ලිට්ල් ඩ්‍රයි වලට කිට්ටුවෙන් නැවතුම්පලට වැටෙන්නේ." 

ඇය කිසිත් නොකියා ටික වේලාවක් නිශ්චලව සිටියාය. "මේ වගේ රසට කෝපි හදන හැටි මට කියලා දෙන්න පුළුවන් ද?" 


9 comments:

  1. ලස්සන කතාවක් වගේ

    ReplyDelete
  2. තවත් වෙස්ට් කතාවක්!
    අපූරැයි. සමහර වෙලාවට ඕනැ කරන පොටෝවක් හොයා ගැනීමම හරිම අමාරැයි. ඒකට අපූරැ විසඳුමක් AI ✌

    ReplyDelete
    Replies
    1. යංතං මාට්ටු කරගන්නේ. සියුම් තැන් හදාගන්න අවබෝධය මදි.

      Delete
  3. වැරදුණු නමුත් මඟ ඒ බව දැනුණාම
    වුණු වැරදීම නිසි ලෙස දැනගත්තාම
    මේකයි පාර කියලා - මඟ පෙන්නුවම
    යමු ඒ පාරෙ - අපි කවුරුත් නොබියවම

    ReplyDelete
  4. කතාව ගැන විතරක්ම නෙවෙයි වගේ මේ කියන්නේ.

    ReplyDelete
  5. අහා! අදයි ආවෙ මේ පැත්තෙ. කදිමයි. බලා ඉන්නවා දෙවැන්න එනතුරු!

    ReplyDelete
    Replies
    1. ආවාට තුති. දෙවැනි කොටස දවස් හතකින්.

      Delete
  6. +++++++++++++👌💐💐💐💐💐👌🙏😁😊

    ReplyDelete

කෝපි කෝප්පය

පළමු කෝපි කෝප්පය මෙතැනින්     ‍ දෙවෙනි කෝපි කෝප්පය මෙතැනින්                                               තුන ඇය අසරුවා දකින විට සන්ධ්‍ය භාග...