Thursday, September 19, 2024

කෝපි කෝප්පය

පළමුව කෝපි කෝප්පය එක කියවන්න.                                     

                                              දෙක



ඇය අසු පිටින් රෙඩ් ටෑන්ක් හී ගෙවත්තට ලඟාවන වෙද්දී වටු කුරුල්ලෙකු කෑගසන හඬ ඇයට ඇසින. ස්ටීව් තවම ආපසු  පැමිණ නැත. ඉක්මනින් අශ්වයාගේ සෑදලය ඉවත්කළ ඇය ස්ටීව් කරන ආකාරය මතක් වී අශ්වයා ඉහල සිට පහලට පිිරිමදිමින් පිසදැමුවාය.  

පැයකට පසු දෙවන වරටත් උණු උණුවේ කෝපි සාදා පිළියෙල කළ ඇය ස්ටීව් අසු පිටින් ගෙවත්තට ඇතුළු වනු බලා සිටියාය. ඔහු පිළිගන්නට තමා මෙහි නොසිටින්නට ඉඩ තිබුණා නේද යන සිතුවිල්ලෙන් ඇගේ සිත පෙළෙද්දී ඇයට දැනුනේ වෙනදා නොදැනුන වෙන්වීමේ වේදනාව පිළිබඳ හැඟීමකි. අද ඇයට ඔහු පෙනෙන්නේ වෙන කවරදාටත් වඩා වෙනස් ආකාරයකට ය.  

මේ ඇය ආදරය කළ මිනිසා ය. සිහින් ඉඟකින්, ශාන්ත මුහුණකින්, යන්තමින් සිනාසෙන දෑසකින් හෙබි උස් වූ සිරුරකින් යුතු මේ මිනිසා ය. දොරෙන් ඇතුල්වෙද්දී ඔහුගේ දුඹුරු පැහැ ගත් හිසකෙස් ආලෝකයට දිලිසුනේය. එහෙත් දැන් නම් ඔහුගේ දෑස තුළ සැහැල්ලු පෙනුමක් නැත්තේය. ඒවා කනස්සල්ලෙන් පිරී ඇත. 

"ස්ටීව්, මොකද උනේ?"

ඔහු සැනෙකින් ඇය දෙස බැලුවේ ඇගේ කටහඬෙන් නව ජීවයක් දැනුනාක් මෙනි. පළමු වතාවට ඔහු තම සිතේ තිබෙන බර ඇය සමග බෙදා ගත්තේය. මීට පෙර හැමවිටම ඔහු ඇගේ ප්‍රශ්නකිරීම් මගහැරියේ සියල්ල හොඳින් සිදුවන බව පවසමිනි. "නරක ආරංචියක් අහන්න ලැබුනා. මිලර් නාකියා මිනිහෙක් කුලියට අරන්. කුලියට මිනිස්සු මරණ මිනිහෙක්." 

ඇය ඔහුගේ අතකින් අල්ලා ගත්තාය. "ස්ටීව්? ඔයා හින්දද?" 

ඔහු හිස වනා දොර වසා දැමීය. තොප්පිය ගලවා ඉවත්කළ ඔහු හැරුනේ වතුර බේසම වෙත යන්නට ය. එවිටම ඔහුට කෝපි සුවඳ දැනී බලන විට දැන් වත්කරන ලද කෝපි කෝප්පට ඇස ගැටිණ. 

ඔහු ඇය දෙස බැලීය. "මට ද?"

ඇය හිස වැනුවේ ඔහු එය පානය කරනවාට බයෙන් මෙනි. කොතරම් පුංචි දෙයක් උනත් ඇයට හොඳක් ලැබෙන්නට හෝ දොසක් ලැබෙන්නට තරම් දෙයකි. පුටුව මතට ඇදවැටුන ඔහුගේ මුහුණින් දිස්වූ තෙහෙට්ටුව ඇයට පෙනින. පළමුව කෝපිවල රස බැලූ ඔහු ඊලඟට එය බීමට පටන් ගත්තේය. 

"මිනිහගෙ නම බඩ් ෂෝ. දැනටමත් මෙහෙට ඇවිල්ලා ඉන්නේ." 

"ඔයා ඒ මිනිහව දැක්කද?"

"මෙහෙදි නම් දැක්කේ නෑ." ඔහු යළිත් කෝපි කෝප්පට මුවගට ලංකළේය. "එක සැරයක් දැක්කා එල් පාසෝ වලදී, මං බටහිර පළාතට ආපු අලුතම වාගේ. මිනිහව නොදන්න කෙනෙක් නැති තරම්."

"සල්ලිවලට මිනිස්සු මරණවා? කවුරුහරි මරන්න ඕනැ උනහම මිනිහෙක් කුලියට ගන්න පුළුවන්ද?" 

"මේක හරි දරුණු පළාතක් ලෝරි. ඉඩම් අයිතියට යුද්ධයක් පටන් අරන් තියෙන්නේ. අනිත් රටවල මිනිස්සු හමුදාවට බැඳෙනවා වාගේ මෙහෙ මිනිස්සු කුලියට සටන් කරන්න එනවා."

ලෝරී කෝපයට පත්ව සිටියාය. "සල්ලිවලට මිනිස්සු මරන්න? ඒක මිනීමැරීමක්නේ." 

ස්ටීව් වහා හිස ඔසවා බැලීය. "ඔව්, එහෙම වෙන්නේ මිනිහෙකුට හැංගිලා ඉඳලා වෙඩි තිබ්බොත්. ෂෝ කරන්නේ එහෙම නෙමෙයි. ඔහු අහම්බෙන් වාගේ මාව මුණගැහුන බවක් පෙන්නලා කොහෙදි හරි මං ඉස්සරහට එයි. එහෙම ඇවිල්ලා මට අවස්ථාවක් දෙයි." ඔහු වාඩි වී සිටි තැනින් නැගී සිටියේය. "මම මේවා ඔයාට කියන්න වටින්නෙත් නෑ, මේක ගෑනුන්ට දුක් විඳින්න වෙන පළාතක්." 

ඔහු තම අතේ තිබූ හිස් කෝප්පට දෙස බැලීය. "තව කෝපි ටිකක් බොමු ද?"

බොහෝ වේලාවක් ඇය අවදිව වැතිර සිටියාය. නිදා සිටින විට ඔහු පෙනෙන්නේ කුඩා කොලුවෙකු මෙනි. මලානික සඳ එළියෙන් කොට්ටය මත තිබෙන ඔහුගේ මුහුණ ඇයට පෙනේ. අවුල් වූ හිසකෙසින් යුතු වූ ඔහු නොවෙනස් එකාකාරී රිද්මයකින් හුස්ම ගනිමින් සිටී. ක්ෂණයකට ඇති වූ පෙළඹීමකින්  ඔහුගේ කම්මුල ස්පර්ශ කළ ඇය බියට පත්වූ විලසින් වහා අත ඉවතට ගත්තාය. රළු පොරෝනාව තුළට තවත් ගුලි වූ ඇය හදවත වේගයෙන් ගැහෙද්දී දෑස් විවර කරගෙන බලා සිටියාය. 

උදෑසන කෑම අවසන් වූ පසු ඔහු නැගිට රයිෆලය අතට ගත්තේය. ඇය වහා ඔහු නැවැත්වූවාය. "ස්ටීව්, මට පතරොම් තුවක්කුවට පතරොම් දාන හැටි කියලා දෙන්න." 

ඔහු ආපසු හැරී ඇය දෙස නෙත් යොමු කළේය. එක් මොහොතකට ඔවුන්ගේ දෙඇස් මුණගැසින. ඊලඟ මොහොතේ ඔහුගේ කම්මුල් රත් පැහැයට හැරිණ. ආපසු හැරුන ඔහු තුවක්කුව අතට ගත්ත ද ඇගේ දෑස දෙස කෙලින් බැලුවේ නැත. තුවක්කුව ක්‍රියාත්මක කරන ආකාරය ප්‍රවේශමෙන් කියාදුන් ඔහු දොර ළඟට විත් පිටතට ඇඟිල්ල දිගු කළේය. "අර සුදු පාට ගල පේනවද? උන් ආවොත් එතනින් මෙහාට එන්න දෙන්න එපා. ඊට වැඩිය ළඟට ආවොත් වෙඩි තියන්න." 

එය හොඳින් සිතට ගත්බව පෙන්වමින් ඇය හිස වැනුවාය. යළිත් ඇය දෙස බැලූ ඔහු එක්වරම ඇයගේ උරහිස් ග්‍රහණයට හසුකර ගත්තේය. "ලෝරී, ඔයා තමා හරියන කෙනා." සන්සුන් එහෙත් සැලෙන හඬින් ඔහු පැවසීය. "ලෝරී, ඔයා තමා හරියන කෙනා." 

ඇයට අශ්වයාගේ ශබ්දය ඇසුනේ දොර තුලින් එළිමහන ද නිවස තෙක් දිවෙන අඩිපාර ද පෙනෙන සේ වාඩිවී සිටියදී ය. වහා නැගී සිටි ඇය මසමින් සිටි ඇඳුම පසෙක දමා ගැහෙන හදවතින් යුතුව දොර වෙත ගියාය. 

දකින්නට ලැබුනේ මීයෙකුගේ අළු පැහැයෙන් යුතු අශ්වයෙකු මත නැගී ගත් හුදෙකලාව සිටි තනි මිනිසෙකි. වැරහැලි වූ ඇඳුම් ඇඳගත් මහලු මිනිසෙකු වුවද ඔහු පටු වාටියක් සහිත අළුත් තොප්පියක් පැළඳ සිටියේය.

 කැලෑරොද අද්දර නතර වූ ඔහු එක් අතක් රයිෆලය මත රඳවාගෙන දොර දෙසට ඇස් හරවාගෙන අසු මතම හිඳගෙන සිටියේය. ඔහුගේ ඇස් සෙමින් මුළු ගෙවත්ත පුරාම ගමන් කළේය.  තමා දෙසට ද ඔහුගේ ඇස් එල්ල වී ඇති බවට වූ හැඟීමකින් ඇගේ සිත පෙළුනද ඔහුගේ බැල්ම සෑම අස්සක් මුල්ලක් නෑරම විහිද ගියේය. 

ඉන්පසුව ඔහු අශ්වයා ඉදිරියට දක්කා නතර වී ඇය දෙස බැලුවේය. "කොහොමද, නෝනා මහත්මයා? මම අශ්වයා පිටින් බැස්සට කමක් නැද්ද?"

"බැහැලා ඇතුලට එන්න." ඔහු අසු පිටින් බැස අශ්වයාට එසේම ඉන්නට ඉඩ හැර දොර දෙසට ආවේය. "මේ පැත්තෙන් යන ගමන්. අර හදපු කෝපි වලින් ටිකක් බීල බලන්න හිතුනා." 

ඔහු ඇතුළු වී වාඩි වූ පසු ඇය කෝපි කෝප්පයක් පිළිගන්වා ඔහුගේ ඉරියව් දෙස උනන්දුවෙන් බලා සිටියාය. ඔහු කෝපි උගුරක් කටට ගෙන රස බලා හිස ඉහල පහල වැනීය. "තව චුට්ටක් කෝපි එකතු කරා නම් නෝනා, හරියටම හරි." 

පිළිවෙළකට තිබූ කුඩා කුටිය දෙස ද පිටත ගෙවත්ත වෙත ද ඔහුගේ ඇස් යොමු විය. ගව ගාල්  ශක්තිමත්ව අලුතින් හදා තිබූණි. ගෙපැල ස්ථිරව, සවිමත්ව ගොඩනැගූවකි. අශ්වගාල ද ඕනෑවට එපාවට සැදූවක් නොවේ. 

"ලූ මිලර් ලොක්කා ගැන ආරංචියක් නැද්ද?" 

"නෑ." ඇය සැනෙකින් ඔහු දෙස බැලුවාය. "මේ අහන්න, ඔබ අහල තියනවද බඩ් ෂෝ කියලා මිනිහෙක් ගැන? එයා මිනීමරුවෙක්, කුලියට මිනිස්සු මරණ කෙනෙක්." 

මහලු මිනිසා කල්පනාකාරීව තම උඩුරැවුල කරකැවීය. "බඩ් ෂෝ? නම නං අහලා පුරුදුයි වගේ." අඩක් වැසුනු හැඟීම් විරහිත දෑසින් ඔහු ඇය දෙස බැලුවේය. "මිනීමරුවෙක් කිව්වා? කොහෙදි ද ඔය කතාව අහන්න ලැබුනේ?"

"ස්ටීව් මට කිව්වේ අද. එයා කිව්වා මේ බඩ් ෂෝ කියන මිනිහා අනික් අයට වැඩිය වෙනස් කියලා. මිනිහෙක් මරන්න ඉස්සරලා පුළුවන් නම් බේරෙන්න අවස්ථාවක් දෙනවලු. ඒත් ඒකෙන් වැඩක් වෙනවා කියලා මට නම් හිතෙන්නෙ නෑ." 

"මේ බලන්න." ඇය ඔහු දෙසට නැඹුරු වූවාය. "නීතියෙන් මගෑරලා හැංගිලා ඉන්න අය ඔබ දන්නවා. එහෙම නැත්නම් ඔබ රස්ලර්ස් ස්ප්‍රිංවල ඉන්නෙ නෑ. ස්ටීව් කියනවා ඒ වගේ අය තමයි එහෙ ගැවසෙන්නෙ කියලා. ඔබට පුළුවන් නම් මට බඩ් ෂෝ මුණගැහිලා කතා කරන්න අවස්ථාවක් හදලා දෙන්න." 

කෝපි බි හමාර කළ ඔහු සිගරැට්ටුවක් ඔතන්නට පටන් ගත්තේය. ගැහැනියකගේ මෙන් වූ ඔහුගේ සිහින් දුඹුරු පැහැගත් ඇඟිලි දෙස ඇය බලාසිටියාය. දුම්කොල එක් කුඩා තීරුවක්වත් බිම ඉහිරුනේ නැත. එතූ සිගරැට්ටුවේ කොලය අලවාගැනීම සඳහා එය දිවට ලං කළ ඔහු ඇය දෙස බැලුවේය. "මොකක් කරන්නද මිනිහව හම්බ වෙන්නේ?"

ඇයට ඔහු සමග කතා කිරීමට අවශ්‍යව තිබිණ. "කාටවත් ඒ තරම් නපුරු . . . මං කියන්නේ මිනිහෙකුට වෙඩි තියන එක හරි දෙයක් නෙමෙයි. ස්ටීව් කියන්නේ හොඳ කෙනෙක්. එයාට ඕනෑ ගෙයක් හදා ගන්න විතරයි. එච්චරයි. එයාට ඕනෑ දරුවො හදන්න." ඇය මේ සියල්ල පැහැදිළි කරද්දී ඔහු ඇයට බාධා කළේය. 

"මං හිතන්නේ මෙහෙන් පැනලා යන එක ඔබ හිතෙන් අතෑරලා තියෙන්නේ?" 

ඇගේ මුහුණ රතු විය. "මට පිස්සු හැදිලා තියෙන්න ඇති. එයාට මාව ඕනෑ. ඔබ ඒක පිළිගන්නවා නේද? මං කියන්නේ එයාට ඇත්තටම මාව ඕනැ කියලා ඔබට හිතෙනවා නේද?" 

කතාව අවසන් කරද්දී ඇයගේ ස්වරයේ තිබුණේ ආයාචනාත්මක ස්වභාවයකි. 

"මිනිහෙකුට ගෑනියෙක් ඕනෑ. කැමති නං විශ්වාස කරන්න, ගෑනියෙක් නැතිව මිනිහෙකුට මිනිහෙක් වෙන්න බෑ. ස්ටීව් ගත්තම මිනිහට ඕනෑ හරියටම ගැළපෙන ගෑනියක්. ස්ටීව් ඒ වගේ කෙනෙක්." 

"ඒත් ඔබ කිව්වා එයාව දන්නෙ නෑ කියලා?" 

"නෑ, මම හරියටම දන්නෙ නෑ. ඒත් අනිත් අය කතාකරන දේවල් ඇහෙනවනේ." එක්වරම ඔහුගේ කටහඬ නුරුස්නා ස්වභාවයක් ගත්තේය. "නෝනා, ස්ටීව් කියන්නේ ලේසියෙන් මැරෙන කෙනෙක් නෙවෙයි, බඩ් ෂෝ අතින් හරි වෙන කෙනෙක් අතින් හරි. ඔබ හිතන්නේ මිලර් ලා ඔහුව මැරුවෙ නැත්තෙ මොකක් හින්දා කියලද? මිලර් පවුලේ හතරදෙනෙක් ඉන්නවා. ඇයි ඒ ගොල්ල ඒක කරන්නෙ නැත්තේ?" 

ගිනිකූරක් ගැසූ ඔහු සිගරැට්ටුව පත්තු කරගත්තේය. "මිලර් ලා උත්සාහ කරා ඒක කරන්න. මිලර්ලගේ පවුලේ පස්දෙනෙක් හිටියා. ඔබේ සැමියා එක්කෙනෙක් මැරුවා, අනෙත් එක්කෙනා රෝහලට යැව්වා."                        

ස්ටීව් මිනිහෙක් මරලා තියනවා. එසේ වුවද දිනකට දෙකකට පෙරදී සිදුවන්නට ඉඩ තිබූ පරිදි එය ඇය කම්පනයට පත්කළ පුවතක් වූයේ නැත. කුලියට මිනිසුන් මරන්නෙකු වුවද පහත් කොට සලකන්නට ඔහු පසුබට වීමට හේතුව මෙය වන්නට ද පුළුවන. 

මහලු මිනිසා නැගී සිටියේය. "මම යන්නම් නෝනා මහත්තයා, ආයෙ වෙලාවක එන්නම්කෝ." 

"පොඩ්ඩක් ඉන්න." ඇය ඉක්මන් ගමනින් කුඩා අල්මාරිය වෙත ගොස් බිස්කට් දීසියක් අතට ගත්තාය. "මම මේ දැන් මේවයි පාන් ටිකකුයි හැදුවේ. අරගෙන යන්න." අල්මාරියෙන් දුඹුරු පැහැයෙන් යුත් පාන් ගෙඩියක් ගත් ඇය බිස්තට් ද සමග එය මල්ලකට දැමුවාය. "මේ මට කරන්න පුළුවන් එක දෙයක්." ඇයගේ නිකට මදක් ඉහලට එසවිණ. "මට පාන් හදන්න පුළුවන්." 

කල්පනාවෙන් බර වූ නෙතින් මහලු මිනිසා ඇය දෙස බැලුවේය. "ස්තූතියි, නෝනා මහත්මයා. මේක මට ගොඩක් වටිනවා. බොහොම කාලෙකට පස්සෙ කවුරු හරි මට යමක් දුන්න පළවෙනි වතාව." 

"අමතක කරන්න එපා, ඔබ පොරොන්දු උනා ආයෙ ඇවිල්ලා මට සබන් හදන හැටි කියලා දෙනවා කියලා." 

එවර නම් ඔහුට සැබැවින්ම සිනා පහළ විය. "ඔව්, ඔව්. මං පොරොන්දු උනා නේන්නං." 

ඔහු පිටව ගිය පසු අඩිපාර දෙස මද වේලාවක් බලාසිට නැවත වාඩි වී සිටි පුටුව වෙත ආ ඇය කලින් කරමින් සිටි වැඩය යළි පටන් ගත්තාය. 

1 comment:

  1. කතාව නියමයි . මමත් සබන් හදන්න දන්නවා නෙව .

    ReplyDelete

කෝපි කෝප්පය

පළමුව කෝපි කෝප්පය එක කියවන්න.                                                                                     දෙක ඇය අසු පිටින් රෙඩ් ටෑ...