ලෝකයේ සෑම රටකම එම රට පාලනය කරන ව්‍යවස්ථාවක් හා නීති පද්ධතියක් වෙයි. එසේ අවශ්‍ය වන්නේ එම රටෙහි ජීවත්වන සියළුම පුරවැසියන්ට කිසිම වෙනසකින් තොරව සාධාරණව සැළකුම් ලැබීමේ අයිතිය තහවුරු කිරීමට යයි සරලව කිව හැකි ය. විශේෂයෙන් මිිනිසා බිහි වී ගෝත්‍ර ලෙස ජීවත් වූ කාලයේ පටන්ම ඔවුනොවුන් අතර ඇති වූ ගැටුම් සමනය කරගැනීමට හා නැවත ගැටුම් ඇතිවීම වලක්වා ගැනීමට කුමන හෝ ක්‍රියාමාර්ගයක් අනුගමනය කළහ. බොහෝ විට එය ගෝත්‍ර නායකයාගේ හෝ ගෝත්‍රය විසින් පත්කරගන්නා ලද මණ්ඩලයක තීරණය විය හැකිය. මෙසේ ඇරඹුන නීතියෙහි පාලනය අද වනවිට ඉතා දියුණු මට්ටමකට පත්වී ඇත. එසේ මිනිසාගේ පරිනාමයත් සමගම ඔහු පාලනය කෙරෙන නීති පද්ධතිය ද සංවර්ධනය නොවුනේ නම් මිනිසාත් තිරිසනාත් අතර වෙනසක් නොමැති තත්ත්වයකට පත්වන්නට ඉඩ තිබිණ. එසේ වුවද එක් එක් රටෙහි නීතිය එම රටෙහි පාලකයින්ගේ හා ජනතාවගේ ආකල්පවලට හා බුද්ධි මට්ටමට සාපේක්ෂව ක්‍රියාත්මක වන ස්වභාවයක් පෙන්නුම් කරන බව ද නිරීක්ෂණය කළ හැකි ය.
පුද්ගලයෙකු සිරදඬුවමකට යටත් කිරීමේ අරමුණ කුමක්ද? නිශ්චිත කාලසීමාවක් සඳහා වරදකරන ලද පුද්ගලයා සමාජයෙන් ඈත්කර තැබීමයි. එක් අතකින් එසේ කිරීමෙන් වරදකරුගේ සමාජ විරෝධී ක්‍රියාවල අහිතකර බලපෑමෙන් සමාජයට වියහැකි හානිය වලක්වා ගැනීම අපේක්ෂා කරන අතර අනෙක් අතින් නැවත එවැනි වැරදි ක්‍රියාවල නිරත විය නොහැකි පරිසරයක රඳවා තැබීම මගීන් තමන් අතින් සිදුවූ වරද ගැන අවබෝධයෙන් යුතුව නැවත එවැනි වරදකට නොපෙළඹෙන මානසික පරිවර්තනයකට පත්වීමට අවස්ථාව ලබාදීම අරමුණු කෙරේ. ආර්ථික පීඩනය නිසා වරදට පෙළඹුන සිරකරුවන් වෘත්තිය පුහුණුවකට යොමුකර දඬුවම් කාලයෙන් පසු ශක්තිමත් ආර්ථික පසුබිමක් ගොඩනගා ගතහැකි මගක් පාදා දීමට ද මෙම කාලය ප්‍රයෝජනයට ගත හැකි ය. කරන ලද වරදෙහි ස්වභාවය අනුව වින්දිතයාගේ පාර්ශවයෙන් සිදුවිය හැකි ආවේගශීලී ප්‍රතික්‍රියාවලින් වරද කරන ලද පුද්ගලයා හා ඔහුගේ හෝ ඇයගේ සමීපතමයින් ආරක්ෂා කිරීම ද මෙයින් සිදුවන්නේ වරද කරන ලද පුද්ගලයාට සුදුසු දඬුවම ලැබීම ගැන වින්දිතයා ද සෑහීමකට පත්වන බැවිනි.
එසේ සිර දඬුවමක් විඳ නිදහස ලබා සමාජයට පිවිසෙන්නා නිදහස් පුද්ගලයෙකු ලෙස සමාජය විසින් පිළිගෙන සමාජයේ ඔහුට හිමි තැන සම සිතින් ලබාදීමේ සදාචාරාත්මක හැසිරීම ද සමාජය වෙතින් අපේක්ෂා කෙරේ. එහෙත් මේ සියල්ල මෙලෙසම අප රටෙහි සිදුවන්නේදැයි කෙනෙකුට ප්‍රශ්න කළ හැකි ය. පිළිතුර 'නැත' යන්න ය. යම් පමනකට එය ඉටුවෙනවා විය හැකි වුවද එය කිසිසේත් සෑහීමකට පත්විය යුතු තත්ත්වයක් නොවේ. මේ ලිපිය වෙන්නේ ද ඒ නිසා ම ය.
අප රටෙහි සියළු ආකාරයේ මාධ්‍ය හා සමාජය විසින් අපරාධවල නියැලෙන්නන් සම්බන්ධයෙන් අනුගමනය කරන ආකල්ප සමුදායක් තිබෙන බව පෙනේ. ඒවා බාහිරින් පෙනෙන පරිදි මෙසේ සාරාංශගත කළ හැකි ය. ගුරුවරු වැරදි කරන්නේ නැත. වැරදි කරන්නේ "ගුරා" ලා ය. හාමුදුරුවරු ද වැරදි නොකරති. කරන්නේ "චීවරධාරීහු" ය. සමාජයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් නැත. ඉන්නේ "කුඩ්ඩන්" ය. සමාජයේ පිළිකුලට ලක්වන ලිංගික අපයෝජනය, මත්ද්‍රව්‍ය බෙදාහැරීම, මිනීමැරුම් වැනි වැරදිවලට අත්අඩංගුවට පත්වන්නන් වෙනුවෙන් නීතිඥයින් පෙනී සිටීම වැරදි ය. නීතිය හා සාමය සුරැකීමේ කර්තව්‍යයට අදාල ප්‍රධාන ආයතනවලින් එකක් වන පොලීසියේ කොතරම් අඩුපාඩු හා දූෂණ ක්‍රියා තිබුනත් පාතාල ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදෙන්නන් ආයුධ සෙවීම සඳහා රැගෙන යාම නිවැරදි ක්‍රියාවකි. එයින් ඔවුන් නීතියේ හිල්වලින් රිංගා ගැලවීයාම වළකින අතර නඩු ඇසීමක් අනවශ්‍ය නිසා රජයේ මුදල් නාස්තිය මෙන්ම කාලය අපතේ යාම ද වලක්වාගත හැකි ය. එපමණක් නොව තමන් බලයට පත් වූ විට කුඩුකාරයින්ට මරණීය දණ්ඩනය පමුණුවන බව සපත කරන දේශපාලන නායකයින් ද වෙති.
දැන් අප නැවතත් මේ ලිපියේ මුලට ගොස් ආරම්භයේදී අප සඳහන් කළ ගෝත්‍රික සමාජවල ගති සිරිත් ගැන යළිත් අවධානය යොමුකිරීම වටින්නේය. මේ සඳහා මා යොදාගන්නේ විද්‍යාඥයෙකු, ඉතිහාසඥයෙකු මෙන්ම ලේඛකයෙකු ද වන පුලිට්සර් සම්මානලාභී Jared Diamond විසින් පළකරන ලද The World Until Yesterday - what Can We Learn From Traditional Societies? නම් කෘතියෙන් උපුටාගන්නා ලද උදාහරණයකි. ඔහු තම කෘතියේ සුඩානයේ නිවර් (nuer) නම් ගෝත්‍රයක් ගැන සඳහන් කරයි. 1930 දී කරන ලද අධ්‍යයනයකට අනුව ජනගහණය 200,000 පමණ වූ මෙම ගෝත්‍රික කණ්ඩායමට පත්කරගන්නා ලද නායකයෙකු සිටි අතර ඔවුහු සහජයෙන්ම ඉක්මනින් කේන්ති ගන්නා එනිපාම නිතරම ප්‍රචණ්ඩ ක්‍රියාවලට පෙළඹෙන ස්වභාවයක් පෙන්නුම් කළ ජන කණ්ඩායමකි. ඔවුන් අතර පැවති ගැටුම් නිරාකරණය කරගැනීමේ පිළිගත් ක්‍රමය වූයේ මුගුරු උපයෝගී කරගනිමින් එක් අයෙකු බරපතල තුවාළ ලබන තෙක් හෝ අනෙකුත් ගම්වැසියන් මැදිහත් වී දෙපසට කරන තෙක් හෝ සටන් කිරීමයි.
නුවර් ගෝත්‍රිකයින් අතර බරපතලම අපරාධය ලෙස සැලකෙන්නේ මිනීමැරීමයි. එය ලෙයින් වන්දි ගෙවිය යුතු බද්ධ වෛරයක ආරම්භය වෙයි. තමන් පලිගැනීමේ ඉලක්කය බවට පත්වන බව දන්නා මරණයට වගකිය යුතු තැනැත්තා වහාම කරන්නේ ගෝත්‍රික නායකයාගේ නිවසෙහි ආරක්ෂාව පැතීමයි. එහි සිටින තාක් ඔහුට ආරක්ෂාව සැලසෙන්නේ ගෝත්‍රික නායකයාගේ නිවසට ප්‍රහාර එල්ල නොකරන නිසා ය. එසේ වුවද ඒ අවට රැකවල් ලා සිටින වින්දිතයාගේ පාර්ශවය වැරදීමකින් හෝ වරදකරුවා එළියට ආවොත් පහර දීම සඳහා සූදානමින් සන්නද්ධව සිටිති. නායකයා සති කිහිපයක් බලා සිටින්නේ දෙපසේම ආවේගශීලී හැසිරීම් මදක් සමනය වන තෙක් ය. ඊට පසු දෙපාර්ශවය සමගම සාකච්ඡා කරන ඔහු වන්දියක් ලබාදීම මගින් ප්‍රශ්නය සමතයකට පත්කිරීමට මැදිහත් වෙයි. බොහෝවිට මරණයකට වන්දිය වන්නේ ගවයින් 40-50 අතර ප්‍රමාණයකි. මෙහි සඳහන් වන විශේෂම කරුණ වන්නේ ගෝත්‍රික නායකයාට මෙහිදී තීන්දුවක් ලබාදීමේ හෝ අණ කිරීමේ බලතල නොමැති බවයි. ඔහුගේ කාර්යභාරය වන්නේ හුදෙක් ගැටුමට මැදිව සිටින දෙපාර්ශවය එක් තැනකට කැඳවා ගැටුම ඇරඹීමට පෙර පැවති තත්ත්වයට යාම සඳහා පෙළඹවීමක් කිරීමයි.
දැන් නූතන දියුණු සමාජයක වෙසෙන අප සැකකරුවන්, වරදකරුවන් හා දඬුවම නිමකර සමාජගත වන පුද්ගලයින් කෙරෙහි දක්වන අපගේ ආකල්ප හා අප අනුමත කරන ක්‍රියාමාර්ග අර නොදියුණු ගෝත්‍රික සමාජයේ අනුගමනය කෙරෙන පිළිවෙත් හා සසඳා වඩා ඉදිරියෙන් සිටින්නේ කුමන පාර්ශවයදැයි නිගමනයකට එළඹීම අසීරු නොවේ.
* * *
A very timely discourse!!!
ReplyDelete