උතුරු ඇලබාමාවේ දුම්රිය පාලමක් මත අඩි විස්සක් පහළින් කඩිසරව ගලායන දියපහර දෙස දෙස නෙත් යොමාගත් මිනිසෙකු සිටගෙන සිටියේය. ඔහුගේ අත් පිටුපසට කර මැණික්කටුව ලඟින් රැහැනකින් ගැටගසා තිබුණි. ගෙල වටා සිරවී සිටින සේ දැමූ ලණුවකි. එය මිනිසාගේ හිසට ඉහලින් වූ ඝනකමින් යුත් හරස් ලීයක බැඳ තිබූ අතර ලණුව ලිහිල්ව ඔහුගේ දණහිස දක්වා එල්ලෙමින් තිබුණි. රේල්පීළි ශක්තිමත් කිරීම සඳහා සවිකොට තිබූ සිල්පර කොට මත අතුරා තිබූ ලෑලි කිහිපයක් ඔහුටත් ඔහුගේ වධකයන් ලෙස ක්‍රියාකළ, සාමාන්‍ය ජීවිතයේදී සහය ෂෙරිෆ්වරයෙකු ලෙස කටයුතු කරන්නට ඇතැයි සිතිය හැකි, සැරයන්වරයෙකුට හා ඔහුගේ අණ යටතේ වූ ෆෙඩරල් හමුදාවේ සොල්දාදුවන් දෙදෙනෙකුට සිටගෙන සිටීම සඳහා වේදිකාවක් සකසා දී තිබිණ. ඔවුන්ට මදක් ඈතින් එම තාවකාලික වේදිකාව මතම තමන්ගේ නිලයට අදාල නිල ඇඳුමින් සැරසී සන්නද්ධව සිටි නිලධාරියෙකු විය. ඔහු කපිතාන්වරයෙකි. පාලමෙහි දෙකෙලවර තම රයිෆල් සංදර්ශනාත්මක ඉරියව්වකින් තබාගත් මුරභටයින් දෙදෙනෙකු විය. ඔවුහු රයිෆලය තම වම් උරහිසට ඉදිරියෙන් සිරස් අතට තබාගෙන පපුව හරහා කෙලින් තබාගත් යටිබාහුව මත රයිෆලයේ කොකා රැඳෙන පරිදි චාරිත්‍රානුකූල එහෙත් සිරුර සෘජුව තබාගැනීමට සිදුවන අස්වාභාවික ඉරියව්වකින් සිටගෙන සිටියහ. පාලම මැද සිදුවන දේ ගැන අවධානයෙන් සිටීම ඔවුන්ගේ රාජකාරියේ කොටසක් නොවූ බව පෙනුනේ ඔවුන් හුදෙක් පාලමේ දෙකෙළවර අවහිර කරමින් සිල්පර මත සිටගෙන සිටියා පමණක් බැවිනි.
එක් මුරභටයෙකු ඉදිරියේ කිසිවෙකුත් පෙනෙන්නට නොවීය. තිබුනේ කැලය මැදින් යාර සියයක් පමණ කෙලින්ම ඉදිරියට ඇදී වංගුවකින් නොපෙනී ගිය රේල්පාර පමණි. නිසැකවම තවත් ඔබ්බට ගියවිට මුරකුටියක් තිබෙන්නට පුළුවන. දිය පහරෙහි අනෙක් ඉවුර මද බෑවුමක් සහිත විවෘත භූමියකි. එම බෑවුමෙහි ගස් කඳන් සිරස් අතට සිටුවා සැදූ දඬුවැටක් වූ අතර ඒ අතරින් රයිෆල් රිංගවීමට කැපූ කවුලු ද පාලමෙහි ආරක්ෂාව ඉලක්ක කොට අටවා තිබූ පිත්තලින් තැනුනු කාලතුවක්කුවක කට එලියට රුවා තිබෙන විවරයක් ද විය. බලකොටුවත් පාලමක් අතර බෑවුම මධ්‍යයෙහි ප්‍රේක්ෂක පිරිසකි. ඒ තනි පේලියකට පහසුවෙන් රඳවා සිටි පාබළ හමුදා ඛන්ඩයකි. ඔවුහු රයිෆල්වල හිස කොටස පොළව මත ද බටය මදක් පසුපසට බරවන සේ දකුණු උරහිස මත ද හරස්කොට තබාගත් දෙඅතින් රයිෆලයේ කඳ මත ද සිටින සේ තබාගෙන සිටියහ. පේළියේ දකුණු කෙළවරෙහි තම කඩුවෙහි තුඩ පොලවට ස්පර්ශ වන ලෙස ද වම් අත දකුණු අත මත ද රඳවාගත් ලෙෆ්ටිනන්වරයෙකු විය. පාලම මැද සිටි හතරදෙනාගේ කණ්ඩායම හැරෙන්නට වෙනත් කිසිවකුගේ සෙලවීමකුදු නොවීය. භට කණ්ඩායම හැඟීම් විරහිත, නිශ්චල දෑස් අයාගෙන පාලම දෙසට මුහුණ පා සිටියහ. දියපහරෙහි ඉවුරු දෙසට මුහුණ පා සිටි මුර භටයින් පාලමෙහි අලංකාරයට සිටවූ පිළිරූ මෙන් දිස්විය. කපිතාන් කිසිදු සංඥා කිරීමකින් තොරව, දෙඅත් බැඳගෙන, නිහඬව තම යටත් නිලධාරීන් ක්‍රියාත්මක වනු නිරීක්ෂණය කරමින් සිටියේය. මරණය යනු, දැනුම් දී පැමිණෙන විට, ඔහු හොඳින් දැනහඳුනාගෙන සිටින්නන් පවා විධිමත් චාරිත්‍ර වාරිත්‍ර පවත්වා පිළිගත යුතු ගෞරවනීය අමුත්තෙකි. හමුදා ආචාර චාරිත්‍රවලට අනුව නිහඬබව හා අචලව සිටීම ගෞරවය දක්වන විධික්‍රමයකි.
පෙනෙන්නට තිබූ ආකාරයට එල්ලා මැරීමට නියමිතව සිටි මිනිසාට වයස තිස්පහක් පමණ වන්නට ඇත. බාහිර ස්වරූපයෙන් ඔහු මනින්නට හැකි නම් ඔහු ගොවියෙකුගේ පෙනුම තිබූ සිවිල් වැසියෙකි. ඔහු කෙරෙන් දකින්නට තිබුනේ ප්‍රසන්න පෙනුමකි. සෘජු නහය, එකට තදව පිහිටි මුව, පුළුල් නළල් තලය හා ඉන් පිටුපසට පීරන ලදුව සිරුරට හොඳින් සිරව සිටින සේ අඳින ලද සැට්ට කබායේ කර දක්වා වැටුන කොණ්ඩය ඔහුගේ මේ පෙනුමට හේතුව තිබුණි. ඔහුට උඩු රැවුලක් ද උල්ව ගිය යටි රැවුලක් ද තිබූ අතර කම්මුල් වල රැවුල දක්නට නොතිබුණි. බෙල්ල වටා තොණ්ඩුවක් දැමුණු අයෙකුගෙන් බලාපොරොත්තු විය නොහැකි අන්දමේ කාරුණික පෙනුමක් ඔහුගෙන් දිස් විය. පැහැදිළිවම පෙනෙන්නට තිබූ පරිදි මේ නම් දරුණු මිනීමරුවෙකු නොවේ. ලිහිල් හමුදා නීතියෙහි විවිධාකාර වූ පුද්ගලයින් එල්ලා මැරීමට ඉඩකඩ සැලසී ඇත. සත්පුරුෂයින් ද එයින් බැහැර නොවේ.
කළයුතුව තිබූ සූදානම සම්පූර්ණ වූයෙන් සොල්දාදුවන් දෙදෙන සිටි තැනින් ඉවතට පා තබා මෙතෙක් තමන් සිටගෙන සිටි ලෑලි කැබලි ඉවත් කර ගත්හ. කපිතාන් වෙත හැරුන සැරයන් ඔහුට ආචාර දක්වා එම නිලධරයාට පසුපසින් ස්ථානගත වූ අතර නිලධරයා එක් පියවරක් පසෙකට තැබීය. මේ ස්ථානගතවීම්වලින් සිදුවූයේ මරණීය දණ්ඩනයට නියම වූ මිනිසා හා සැරයන් සිල්පර තුනක දිගින් යුතු වූ ලෑල්ලේ දෙකෙලවර සිටිගෙන සිටින සේ පිහිටුවීම ය. සිවිල් වැසියා සිටගෙන සිටි කෙළවර සතරවන සිල්පරය දක්වා දිගු වුවද එහි ගෑවී නොගෑවී මෙන් අවසන් විය. මේ ලෑල්ල සමබරව පැවතුනේ අනෙක් කෙළවර සිටගෙන සිටි කපිතාන්වරයාගේ බර නිසා ය. දැන් ඒ තැන සිටින්නේ සැරයන්වරයා ය. පෙර එතැන සිටි නිලධරයාගේ සංඥාවකින් දැන් එතැන සිටින්නා පසෙකට පියවර තබනු ඇති අතර එසැනින් ලෑල්ලෙහි සමබරතාව ගිලිහී ගොස් මරණයට නියම වූ මිනිසා සිල්පර දෙක අතරින් පහතට වැටෙනු ඇත. යොදා තිබූ උපක්‍රමය ඔහුට දැනුන ආකාරයට සරල හා ප්‍රතිඵලදායී එකක් විය. ඔහුගේ මුහුණ ආවරනය කර නොතිබූ අතර දෑස බැඳ තිබුණේ ද නැත. අවදානම්සහගත ලෙස රැඳී තිබූ තම දෙපා වෙත මොහොතකට යොමු වූ ඔහුගේ දෑස් ඊලඟට ගමන් කළේ තම දෙපාවලට යටින් සුලි ගසමින් වේගයෙන් ගලායන ජලපහර දෙස ය. කරකැවෙමින්, උඩ විසිවෙමින් පාවී යන දඬු කැබැල්ලක් මත ඔහුගේ දෑස් නැවතුනි. ඔහුට දැනුනේ එය ඉතාමත් අලස ලෙස පාවී යන බව ය. මොන තරම් උදාසීන ජලපහරක් ද!
ඔහු දෑස් වසාගත්තේ තම අවසන් සිතුවිළි ඔහුගේ බිරිඳ හා දරුවන් කෙරෙහි යොමුකරන්නට ය. උදෑසන හිරු එළිය පතිත වී රන්වන් පැහැය ගත් ජලතලය, දිය පහරේ මදක් පහලට වන්නට කනස්සලු ස්වභාවයෙන් ඉවුරු වසා පැතිර තිබූ මිහිදුම, බලකොටුව, සොල්දාදුවෝ, ලී දඬු කැබැල්ල යන මේ සියල්ල ඔහුගේ සිත අවුල්කර එය එක් අරමුණක තබාගැනීම අපහසු කර තිබිණ. දැන්, අළුතෙන් තවත් බාධාවක් මතුව ඇති බව ඔහුට දැණින. ඔහුගේ ආදරණීයයන් පිළිබඳ සිතුවිළි මැඩගෙන, ඔහුට නොතකා සිටිය නොහැකි, එමෙන්ම තේරුම්ගත නොහැකි අයුරින් තියුණු ලෙස හා පැහැදිළිව, කම්මල්කරුවෙකුගේ මිටිය කිනිහිරෙහි වදින විටදී මෙන්, ලෝහ එකිනෙක ගැටී නැගෙන හඬක් රිද්මයානුකූලව මතුව එයි. ඒ හඬ කුමක්ද, එය නැගෙන්නේ බොහෝ දුර ඈතක සිට ද, නැතිනම් ළඟින් ද යනුවෙන් සිතූ ඔහුට හැඟුනේ එය ඒ දෙවිදියටම විය හැකි බවයි. එය එකාකාරී එහෙත් මරණයක් ඇඟවීම සඳහා නාද කරන පල්ලියේ සීනුව මෙන් මන්දගාමීව නැවත නැවතත් ඇසිණි. හඬ නැගෙන සෑම වාරයක්ම ඔහු බලාපොරොත්තුවෙන් සිටියේ නොරිස්සුම්කාරී හැඟීමකිනි; කුමක් නිසා දැනෙන්නේ දැයි තේරුම්ගත නොහැකි වූ සැකසංකා සහිත හැඟීමකිනි. ඒ අතරතුර නිහඬතාව රජයූ විරාමය උමතුබව ඇතිකරවන තරමටම ටිකෙන් ටික දිගු වූයේය. හඬෙහි අක්‍රමවත්බව වැඩි වෙත්ම එහි ප්‍රබලතාව මෙන්ම තියුණුබව ද වැඩි විය. ඒ හඬ පිහිතුඩකින් හාරන්නාක් බඳු වේදනාවක් කනෙහි ඇතිකළේය. තමාගේ මුවින් මරහඬක් නැගෙතැයි ඔහු බියට පත්විිය. ඔහුට ඇසුනේ ඔහුගේම ඔරලෝසුව නැගූ ටික්, ටික් හඬයි.
දෑස් විවර කළ ඔහුට යළිත් පහත ගලායන ජලය දැකගැනීමට හැකිවිය. "මට අත්දෙක ලිහාගත හැකිනම් තොන්ඩුව ගලවා දමා දියපහරට පැනගැනීමට හැකි වේවි." ඔහු සිතීය. "ගැඹුරට කිමිදීමෙන් මට උණ්ඩවලින් ගැලවීමට හැකි වේවි. වේගයෙන් පිහිනා ඉවුරට ගොඩවී කැලය තුළට වැදීමෙන් ගෙදරට ළඟාවිය හැකියි. දෙවියන්ට ස්ත්‍රෝත්‍ර වේවා! මගේ ගෙදර තවමත් ඔවුන් අල්ලාගෙන ඇති මායිමෙන් පිටත තිබෙන්නේ. මගේ බිරිඳත් පොඩිඑවුන් ටිකත් තවමත් ආක්‍රමණිකයාගේ ඉදිරිපෙළට ඔබ්බෙනුයි සිටින්නේ." මෙහිදී වචනවලට පෙරලීමට සිදුවූ මේ සිතුවිළි දණ්ඩනයට නියම වූ මිනිසාගේ මොළයෙන් උපදිනවාට වඩා එයට නිරායාසයෙන් ගලා එන අතරතුර කපිතාන් සැරයන් දෙස බලා හිස ඉහළ පහළ සෙලවීය. සැරයන්වරයා ඉවතට පියවර තබා සිටි තැනින් ඉවත් විය.
* * *
කතාව මෙතෙකින් නිම නොවේ. සිදුවූයේ කුමක් දැයි දෙවෙනි කොටසින් බලමු.
Solid !!
ReplyDeleteThanks for the swift response
Delete