Monday, June 17, 2024

සින්ඩි නැති බ්ලොග් ලෝකය



 

කුමන භාෂාවකින් හෝ වේවා බ්ලොග් අඩවියක් අරඹා ලියන්නට පටන්ගන්නා සෑම අයෙකුම තම බ්ලොග් සටහන් වැඩි පාඨක පිරිසක් අතරට යනවාට කැමති ය. එමෙන්ම එසේ එන පාඨක සමූහයා තම අදහස් එහි සටහන් කරනවාට ද කැමති ය. එනිසාම සෑම බ්ලොග් රචකයෙකුම තම බ්ලොග් පාඨක පිරිස වැඩිවෙනවාට කැමැත්ත දක්වති.  

මෙසේ බ්ලොග් පාඨක ප්‍රජාව බ්ලොග් අඩවි කරා ආකර්ෂණය කරගන්නා එක් මාර්ගයක් නම් සින්ඩි නම් කෙටි නමින් හඳුන්වන බ්ලොග් සින්ඩිකේටර් නැත්නම් බ්ලොග් ඇග්‍රිගේටර් ය. කවුරුත් දන්නා පරිදි මේවායින් කෙරෙන්නේ බ්ලොග් අඩවි හැකිතාක් එක් තැනකට රැස්කර පාඨකයින්ට පහසුවෙන් තමන්ට කැමති බ්ලොග් අඩවියක් කරා පිවිසීමේ පහසුව ලඟාකර දීම ය. එයින් සැලසෙන එක් වාසියක් වන්නේ තමන් කළින් දැක නොතිබුුණ බ්ලොග් අඩවියක් පවා දැන හඳුනා ගැනීමේ අවස්ථාව හිමි වීමයි. බ්ලොග් ලියන්නාට හිමිවන වාසිය නම් අලුත් පාඨකයෙක් තම අඩවියට ආකර්ශණය කරගැනීමේ අවස්ථාව උදා වීම ය. 

මේ සින්ඩි මොනවාදැයි දැනගැනීමට අවශ්‍ය නම් "ගුඩ් ඕල්ඩ් ඩේස්" සිට බ්ලොග් ලියන පරණ බ්ලොග්කාරයන්ගේ බ්ලොග් එකකට ගියාම හරි ය. ඒවායේ පසෙකින් එල්ලාගෙන තිබෙන සින්ඩ් ගණනාවක සබැඳි බලාගත හැකි ය. දැන් මේ ලිපිය ලියන්නට මුල පිරුවේ මේ සින්ඩි කීයක් දැන් ක්‍රියාකාරී තත්ත්වයේ තිබෙනවාද යන්න ගැන ඇති වූ සැකය නිසා ය. අතීතයේ තිබූ බොහොමයක් සින්ඩි අද ක්‍රියාත්මක නොවන බව පැහැදිලි ය.

      

එහෙත් මේ දක්වාම යාවත්කාලීන වෙමින් ක්‍රියාකාරී මට්ටමේ තිබූ හෝ තිබෙන සින්ඩි කිහිපයක්ම වෙයි. ඒවාද දැන් අක්‍රිය තත්ත්වයකට පත්ව ඇත්දැයි සැක සිතෙන්නේ ලිට්සීකර් මෑතකදී තම බ්ලොග් අඩවියක් මේවාට එකතු කිරීමට ගත් උත්සාහය අසාර්ථක වූ නිසා ය. සඳකඩපහණ, සිංහල වියුණු එකතුව, මාතලන්ගේ සින්ඩිය, සිතුවිලි සටහන්, කොත්තු යනාදී සින්ඩිවල මුල්පිටු බැලූ විට මේවායේ ඇඩ්මින්වරු කලකින් තම සින්ඩි පැත්තට පා තබා නැති බව පැහැදිළි වේ.



 එමෙන්ම මෙම සින්ඩිවලට පිටින් අහම්බෙන් මෙන් කියවිය යුතු මට්ටමේ බ්ලොග් අඩවි කිහිපයක් ඇස ගැටීමෙන් ද එය තවදුරටත් තහවුරු වේ. මෙම සින්ඩි ඇරඹූ හිතවතුන් ඒවා අරඹන්නට ඇත්තේ සිංහල බ්ලොග් කලාවේ අභිවෘද්ධිය සලකා බව නිසැක ය. එනිසාම ඒවා යාවත්කාලීන කොට පවත්වාගෙන යාමෙන් සිංහල බ්ලොග් අඩවිවලට කරන්නේ අමිල සේවාවක්  බව මතක් කරන්නට කැමැත්තෙමි. එමෙන්ම සිංහල නොවුනාට ශ්‍රී ලාංකිකයින් විසින් ලියන ඉංග්‍රීසි හා දමිළ බ්ලොග් අඩවි කෙරෙහි ද සැලකිල්ලක් දැක්වීම වටින බව අවසාන වශයෙන් මතක් කිරීමට කැමැත්තෙමි.  

5 comments:

  1. සින්ඩිකේටර් වලට අමතරව බ්ලොග් වලම තියෙන බ්ලොග් රෝල් එකත් වැදගත් කාර්‍යයක් සිදු කරනවා. මගේ පෞද්ගලික් බ්ලොග් එකේ , නිතරම ලියන බ්ලොග් වගේම අලුතින් ලියන ඒවත් මම එල්ලගෙන ඉන්නවා. ඒකත් බ්ලොග් ප්‍රවර්ධනයට හොදයි.

    ReplyDelete
  2. ලංකාවෙ බ්ලොග් සංස්කෘතිය 2012 පස්සේ පසුබෑමට ප්‍රධානම සාධකයක් උනේ ලාංකිය බ්ලොග් කරුවන්ගේ සංසදය සින්ඩිකේටරය අක්‍රිය කිරීම. ඉස්සර වැඩිම පාඨක පිරිසක්ආවේ මේවා හරහා. ඊට පස්සේ තිබුන නිකං සින්ඩිය කියල හොද එකක්.ඊට පස්සෙ ලාංකීය සිතුවිලි සිංඩිකේටරය සහ හත්මාලුව . ඒත් බ්ලොග් ලියපු කාටවත් උවමනාවක් තිබුනෙ නැ එකට සම්බන්දවෙලා මේවා පවත්වගෙන යන අයට උපකාරයක් කරන්න

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. මමත් බ්ලොග් කියවන්න හුරු උනේ ඒ සිංඩිය හරහා තමයි.

      Delete
  3. මම හිතන ලෙසට දැනටත් යාවත් කාලින වන සහ වඩාත්ම පුළුල් පරාසයක පැතිරී ඇති සින්ඩිය වන්නේ "සඳකඩ පහන"

    ReplyDelete

කෝපි කෝප්පය

පළමු කෝපි කෝප්පය මෙතැනින්     ‍ දෙවෙනි කෝපි කෝප්පය මෙතැනින්                                               තුන ඇය අසරුවා දකින විට සන්ධ්‍ය භාග...