Thursday, September 26, 2024

කෝපි කෝප්පය

පළමු කෝපි කෝප්පය මෙතැනින්   

දෙවෙනි කෝපි කෝප්පය මෙතැනින්

                                              තුන



ඇය අසරුවා දකින විට සන්ධ්‍ය භාගය එළඹී තිබිණ. මොහොතකට ඇයට පෙනුනේ ඒ ස්ටීව් ලෙස ය. ඒත් සමගම ඔහු ගස් අතරින් නොපෙනී ගියේය. කඩිනමින් නැගී සිටි ඈ ජනෙල් පියන වසා දමා තුවක්කුව අතට ගෙන ලාම්පුව නිවා දමා බලා සිටියාය. තවමත් අඳුර වැටී නොතිබුණ බැවින් ඇයට ගෙයින් පිටත පැහැදිළිව දැකගත හැකි විය. 

බොහෝ වේලාවකට පසුව ජනේලයට පිටතින් යන්තමින් ඇසුන සර සර හඬත් සමගම ඇය අත තිබූ තුවක්කුව එසවිණ. මිනිසෙකු දොර ලඟින් මතුවනු දුටු ඇයගේ ඇඟිල්ල තුවක්කුවේ කොකා මත නතර වෙත්ම ඒ ස්ටීව් බව ඇය හඳුනාගත්තාය. 

බියෙන් ත්‍රස්ත වූ ඇය නැගිට සිටියාය. "දෙයියනේ, ස්ටීව්! මම ඔයාට වෙඩි තියන්න තිබ්බා." 

ඔහු මහත් ඕනෑකමකින් ඇය දෙස බැලීය. "තනියම ද ඉන්නේ?" 

"ඔව්, නැතුව? වෙන කව්ද මෙහෙ එන්න ඉන්නේ?" 

නිදන කාමරය වෙත ගිය ඔහු එහි දොර රෙද්ද මෑත් කළේය. ආපසු කුස්සියට පැමිණි ඔහු හාත්පස සිසාරා බැලීමට මොහොතක් නතර විය. "කව්රුහරි අද මේ අවට ගැවසිලා තියනවා. කුඩා අශ්වයෙකුගේ පිටේ යන මිනිහෙක්."

සියල්ල පැහැදිළි කරන්නට විවර කළ මුව එසැනින් වසාගන්නට ඇයට සිදුවිය. හිතවත් මහලු මිනිසා ගැන කියන්නට ගියහොත් ඔවුන් මුණගැසුන හැටි මෙන්ම ඇය ස්ටීව් අතහැර යන්නට සැලසුම් කළ බව ද කියන්නට සිදු වේ. දැන් නම් එය කෙසේවත් කරන්නට හැකි දෙයක් නොවේ. 

ප්‍රශ්නාර්ථයක් රැඳුන දෑසින් ඔහු ඇය දෙස බලා සිටියේය. ඇයගේ දෙගිඩියාව ඔහුගේ සැකය අවුස්සා තිබේ.

"වැරදීමක් වෙන්න ඇති. මම නං කවුරුවත් දැක්කේ නෑ." ඇය වරදකාරී හැඟීමකින් යුතුව කීවාය. 

ඇගේ කටහඬ සෙමින් මැකී ගිය ද ඇය බොරු කීමෙහි දක්ෂයෙකු නොවන බව ඇය දැන සිටියාය. පුටුවක් මතට ඇදවැටුන ස්ටීව් ඇය දෙස බැලූයේ මදක් උරණ වූ විලසිනි. ඔහුගේ බැල්මෙන් ගැලවීම සඳහා ඇය වහ වහා මේසයට කෑම ඇරීමට පටන්ගත්තාය. ඒ අතර අසීරුවෙන් වුවත් කතාවක් අරඹන්නට උත්සාහ කළද ඇගේ වචන අරමුණක් නැතිවම ගිලි ගියේය. 

ඔවුන්ගේ දෑස් මුණගැසුන සෑම විටකම ඔහු උවමනාවෙන්ම ඉවත බලාගත්තේය. 

"ස්ටීව්, මොකද වෙලා තියෙන්නේ?"

ඔහු ඇයගේ දෑස් දෙස බැලුවේ නැත. "මොකක්වත් නෑ, ටිකක් මහන්සියි. එච්චරයි." ඔහු නැගී සිටියේය. 

උදෑසන අවදි වූ ඇය උදය ආහාරය සූදානම් කළේ හදවත බියමුසු හැඟීමකින් බරව තිබියදී ය. ස්ටීව් කිසිවක් නොකියා නිහඬවම සිටියේය. ඔහු හිස පීරා අවසන් කර කණ්ණාඩිය වෙතින් ආපසු හැරෙද්දී එක් වරක් පමණක් ඔවුන්ගේ දෙඇස් එකිනෙකට මුණගැසුණි. ඇදීගිය බවක් පෙණුන ඔහුගේ මුහුණෙහි ශෝකී ස්වභාවයක් දිස් විය. ලෝරීට සිතුනේ ඔහු වෙතට දිවගොස් . . . 

"ඔයා පරිස්සමින් ඉන්න." මේසයට වාඩි වෙමින් ඔහු පැවසිය. "කාටවත් ඇතුලට එන්න දෙන්න එපා. මිලර් ලා මොනව කරන්න හිතාගෙන ඉන්නවද දන්නෙ නෑ." 

"අර කියපු මිනිහව දැක්කද?" 

"ෂෝ ද?" ඇය ඔහුගේ කෝප්පයට කෝපි වත්කරන දෙස බලමින් ඔහු හිස සෙලවීය. "නෑ. එයාගෙන් තමයි පරිස්සම් වෙන්න ඕනෑ. මම දැකපු අඩි සළතුණ මිලර්ගෙ අශ්වයාගේ නෙවෙයි. ෂෝ කියන මිනිහා මොනවා කරයිද කියලා හිතන්න බෑ. කියන්න පුළුවන් එකම දේ ඔහු ඉඳියි කියලා බලාපොරොත්තු වෙන්නෙ නැතිම තැනක තමා ඔහු ඉන්නේ කියන එක."                                                            

අශ්වගාලට යන්නට පෙර ඔහු බොහෝ වේලාවක් දොරකඩට වී බලාසිටියේය. ඔහු සිටගෙන සිටියේ ගේ අවට, ගහකොළ හා කඳුගැට දෙස පරීක්ෂාකාරීව බලමිනි. අවසානයේ අකමැත්තෙන් මෙන් එළියට ආ ඔහු බිත්තියට තදින් හේත්තු වී බිත්තිය දිගේම අශ්වගාල දෙසට ඇදුනේය. 

ඇහ හුස්ම නොහෙලා බලාසිටියේ ඔහු නැවත පෙනෙන්නට එන තෙක් ය. එළිමහනට ආ සැනින් ඔහු ගෙය දෙසට බැල්මක් හෙලීය. ඔහු ඇය කෙරේ විශ්වාසය තබන්නේ නැත. ලෝරී මේ වනවිට එය දැන සිටියාය. ඔහු විශ්වාස කළේ . . .  එහෙත් ඔහුට විශ්වාස කළහැක්කේ කුමක්ද? 

එක්වරම ඇය මිදුලට පැන්නාය. "ස්ටීව්!" ඇය ඔහු සිටින තැනට දුවගියාය. "ස්ටීව්! යන්න එපා!" 

ඔහු මදකට නතර උනේය. "වැඩ තියනවා කරන්න. මම අද හැංගුනොත් හෙට මොකද වෙන්නේ? අනිද්දා මොකද කරන්නේ? මට හැමදාම හැංගිලා ඉන්න බෑනෙ. මට යන්න වෙනවා." 

හිරු බසින්නට ඔන්න මෙන්න කියා තිබියදී මහලු මිනිසා ගෙය දෙසට ආවේය. ඔහු පැමිණියේ පා ගමනිනි. සෑම විටම ඔහු අත රැඳෙන රයිෆලය ද ඔහු සමග විය. ගේ දොරකඩට පැමිණි ඔහු ඇයට ඔහුගේ පැමිණීම දැනෙන තෙක් බලාසිටියේය. 

"නෝනා, මට ඔබත් සමග කතාවක් තියනවා කරන්න." 

"ඉක්මනට මෙතැනින් යන්න. ස්ටීව් ඔබේ අඩි සලකුණු දැක්කා. එයා මං කියන දේ පිළිගන්නෙ නෑ." 

"මං හම්බඋනා කියලා කිව්වද? මගේ හැඩරුව විස්තර කළාද?" 

"නෑ, මං කිව්වේ කවුරුවත් දැක්කෙ නෑ කියලා. එයා මාව විශ්වාස කළේ නෑ." 

"මට ඇතුළට එන්න ඕනෑ නෝනා. මම කාටවත් නොපෙනී ඉන්න ඕනෑ." 

ඔහු දෙස බැලූ ඇයට වියලි ගියාක් මෙන් දුඹුරු පැහැ ගැන්වුන සමෙහි දක්නට ලැබුන අසාමාන්‍ය දරදඬු ස්වභාවය දුටුවාය. ඇය පසුබට උනේ මොහොතකට පමණි. දොර ලඟින් මෑත් වූ ඇය ඔහුට ඇතුළට එන්නට ඉඩ දුන්නාය. 

"ඔබ අපට උදව් කරනවද?"

"මම උදව් කරන්නම්." 

"බඩ් ෂෝ ආවත්?"

"ඔව්, මිනිහට විරුද්ධව උනත්." උපහාසයක් මුසු වූවාක් වැනි ස්වරයකින් ඔහු පැවසීය. 

එවිටම ඔවුන්ට අශ්වයාගේ පා ගැටෙන හඬ ඇසුණි. ඒ තනිව  පැමිණෙන අශ්වයෙකි. ඔහු වේගයෙන් පැමිණෙමින් සිටියේය. කොහෙදෝ තැනකින් වෙඩි හඬක් නැගින. යළිත් වෙඩි වැලක් පත්තු වී නැවත එක් වෙඩි හඬක ශබ්දය ඇසුනි. 

මහලු මිනිසා උහුලාගත නොහුනු කෝපයකින් ශාප කරමින් ඉදිරියට පැන යළිත් පසුබැස්සේය. 

ඒ ස්ටීව්ගේ අශ්වයා ය. ස්ටීව් බොනට් සෑදල කොක්කෙහි එල්ලී සිටියේය. අසුපිටින් බසින්නට උත්සාහ කළ ඔහු නොවැටී බේරුනේ යන්තමිනි. ඔහුගේ කමිසයේ, මුහුණේ හා කමිස අතේ තිබූ ලේ පැල්ලම් දුටු ලෝරී සංත්‍රාසයට පත්වූවාය. ඉදිරියට පැන්න ඔහු දොරකඩ පය පැකිලී වැටෙන්නට යද්දී උදව් කරන්නට ඇයට අවස්ථාවක් ලැබෙන්නටත් පෙර ඔහු දොරින් ඇතුළට රිංගාගත්තේය. "ලෝරී!" ඔහු ගොරෝසු වූ කටහඬකින් කෑගැසිය. "තුවක්කුව! උන් එනවා." දොරෙහි දාරය අල්ලාගෙන බාගෙට හැරුන ඔහුගේ දෑසට මේසය අසල සිටගෙන සිටි මිනිසා ලක්විය. 

එක්වරම ඔහුගේ මුහුණට නිසංසලබවක්, අමුතු සන්සුන්බවක් නැගෙනු ලෝරීට පෙනින. තුවාලයකින් තොරව හොඳින් තිබූ ඔහුගේ වම් අත ඉනෙහි රඳවාගෙන සිටි රිවෝල්වරයට ඉහලින් රැඳී තිබුණි. රිවෝල්වරයේ මිට හරවා තිබුනේ දකුණතින් කෙරෙන ඇදීමකට පහසු ආකාරයට ය. එය බෙහෙවින් අවදානම් සහගත වූ ක්‍රියාවකි. 

"හෙලෝ බඩ්." ඔහු සන්සුන් ස්වරයකින් පැවසීය. 

ලෝරීගේ මුවින් වේදනාව පිරුනු තියුණු හඬක් නික්මින.

"හෙලෝ, ස්ටීව්." 

 මිනිසා ස්ටීව් දෙස බලමින් එලෙසම රැඳී සිටියේය.

"කරන්න ආපු දේ කරන්න. ඔබ මට අවස්ථාවක් දීලනෙ තියෙන්නේ. මම ලෑස්තියි." 

ඔහු දෙස බැලූ බඩ් බැරෑරුම් ලෙස හිස සැලීය. "ඇත්තෙන්ම ඔව්, ස්ටීව්. මම දැනගෙන සිටියා ඔබ ඕනෑම වෙලාවක සූදානමින් ඇති කියලා." ඔහු තවමත් බලා සිටියදී ලෝරීට ඔරලෝසුවේ ටික්, ටික් හඬ ද පරීක්ෂාකාරී අසරුවන් ද රැගෙන සෙමින් සෙමින් ඉදිිරියට ඇදෙන අශ්වයින්ගේ හඬ ද ඇසිණ. 

"ඔබ වාසනාවන්ත මිනිහෙක්, ස්ටීව්." බඩ් සන්සුන් ලෙස පැවසීය. "ඔබට ඉන්නවා බය නැති, අපූරු බිරිඳක්." පැහැදිළිව පෙනෙන සේ ප්‍රවේශම්කාරීව හෙමින් සැරේ ඉවතට හැරුනු ඔහු දොරෙන් පිටතට ගොස් දෙපා ඈතින් තබාගෙන සිටගත්තේය. අශ්වයින් ඉදිරියට එන ශබ්දය ද නවතින හඬ ද ඔවුන්ට ඇසිණ. ඇහුම්කන් දෙන අතරම ලෝරී දෙස බැලූ ස්ටීව් තුවක්කුව අතට ගෙන එය ඔසවා අල්ලාගත්තේය. 

"හොඳයි, ලූ." බඩ් ෂෝ කතාව ඇරඹුවේය. "ඔහොමම ඔතන නතර උනොත් හොඳයි."

"ඔබ කියපු වචනයක් වෙනස් කරන කෙනෙක් කියල දැනගෙන හිටියේ නෑ, බඩ්." තරබාරු ලූ කතා කළේ ප්‍රවේශමිනි. 

"මම කිව්වනේ වැඩේ අතහැරලා දැම්මා කියලා." බඩ් කතා කළේ සැහැල්ලු ස්වරයකිනි. "මම ඔබට පැහැදිළි කරලා කිව්වා." 

"පැත්ත මාරු කරන කතාවක් කිව්වෙ නෑනෙ." 

"එහෙම නම් දැන් අහගන්නවා. මම පැත්ත මාරු කලා. ඒ ඇයි කියලා දැනගන්න ඕනැ නම් කියන්නම්. කාරනා දෙකක් හින්දා මම පැත්ත මාරු කළේ. කොන්ද නැති බයගුල්ලෝ හතරදෙනෙක් කුලියට මිනිහෙක් මරන්න පවරලා තනියම ඉන්න එක මිනිහෙකුට හැංගිලා ඉඳලා වෙඩි තියනවා. ඒක එක කාරණයක් විතරයි."

ඔහු සිටගෙන සිටින අයුරු ඔවුන්ට පෙනේ. ඔහු පරණ වූ කමිසයට යටින් දිස්වෙන ඇට පෑදුන උරහිසින් යුත් කෙසඟ මහලු මිනිසෙකි. රයිෆලය ගෙතුල තබා එළියට ගිය ඔහු ඔවුන්ට මුහුණ දී සිටගෙන සිටින්නේ උණ්ඩ හයක් පිරවිය හැකි රිවෝල්වර දෙකක් ඉන පටියෙහි රඳවාගෙන ය. 

"අනිත් එක තමයි තමන්ගේ ස්වාමියාට රසට කෝපි ටිකක් හදල දෙනවට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැති අහිංසක කාන්තාවක්. මේ අහිංසක කාන්තාවගේ ආදරය ලැබුන මේ මිනිහා, මට හිතෙන හැටියට, කැලේ වල් බල්ලන්ට කන්ඩ වෙඩි තියලා දානවට වැඩිය වටිනාකමක් තියන හොඳ මිනිහෙක්." 

තරබාරු ලූ කතාකළේ කෝපයෙන් කර්කශ වූ හඬකිනි. "ඔය විදිහෙ කතා ඉවසගෙන ඉන්න අපි ලෑස්ති නෑ, බඩ්. තමුසෙගෙන් උනත්."

"ඉවසන්න වෙනවා." මහලු මිනිසාගේ කටහඬෙහි ඉවසිමක් හෝ පිළිකුලක් ගැබ් නොවීය. "ඉවසගෙන ඉන්න වෙනවා. ඒත් මට හිතෙනවා එහෙම ඉවසගෙන ඉන්නෙ නැත්නම් හොඳයි කියලත්."  

ගොම්මං අඩ අඳුරෙහි හිටිවනම සිටගෙන ඔහු ඔවුන් ආපසු හැරී යන දෙස බලා සිටියේය. ස්ටීව් වෙතට සමීප වූ ලෝරී ඔහු වටා දමාගත් අත ඇයට නොදැනුන ද මහලු මිනිසා ආපසු දොර දෙසට හැරී එබෙන විට ද තිබුනේ එලෙසම ය. 

"ලාම්පුව පත්තු කරන්න ලෝරී." ඔහු මෘදු ලෙස කීවේය. "අපි ඔය තුවාල වෙලා තියන උරහිසට මොකද කරන්න පුළුවන් කියලා බලමු." 

                                                             සමාප්තයි 

4 comments:

  1. රහයි හොඳයි නියමයි තෙතමනය තිබේ
    මිනිසත් බවෙහි අරුමෙත් මෙහි ගැබ්ව තිබේ
    කියවන විටදි ඇස් තෙත් වෙනවාද ඉබේ
    අවසානෙදියි ඇරඹුණෙ ආදරයෙ හබේ

    ReplyDelete
  2. වයසක මිනිසා "බඩ්" වේදැයි සැකයක් ආවත්, කතාව රසවිඳින්න ඒක බාධාවක් වුනේ නෑ. එක, දෙක හොඳයි. සබන් හදන හැටි කොටසක් තිබ්බෙත් නෑ, මේ අවසාන කොටසෙ සිදුවීම් ඉක්මන් වැඩි වගේ හිතෙන්නෙ නැත්ද?

    ReplyDelete
    Replies
    1. ලේඛකයා කෙටිකතාවකට උචිත ලෙස සිදුවීම් ගොඩනැගුවා වෙන්න පුළුවන්. ඔහුගේ දක්නට ලැබුන එක් ලක්ෂණයක් තමයි එකම කතාව කෙටි කතාවක්, කෙටි නවකතාවක් හෝ දිගු නවකතාවක් ලෙස ගොඩනැගිම. පළමුව කෙටි නවකතා ලෙස ගොඩනගා පසුව දිගු නවකතාවක් ලෙස විකාශය කරද්දී මුල් කෘතියේ නොගැලපෙන තැන් පෙනෙන්නට පුළුවන්. තෙසේ උනත් බඩ්ගේ සැබෑ අනන්‍යතාව හෙළිවීමට ඉඩදීමෙන් පාඨකයා විශ්මයට පත්කිරීමත් ලේඛකයාගේ අරමුණක් වන්නට ඇති.

      Delete

කෝපි කෝප්පය

පළමු කෝපි කෝප්පය මෙතැනින්     ‍ දෙවෙනි කෝපි කෝප්පය මෙතැනින්                                               තුන ඇය අසරුවා දකින විට සන්ධ්‍ය භාග...