මෙය කලු අමෙරිකානු ලේඛක ජේම්ස් බෝල්ඩ්වින්ගේ රචනයකි. ඔහු ලේඛකයෙකු මෙන්ම සිවිල් අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරිකයෙකු ද විය. Go Tell It on the Mountain, Giovanni's Room, Another Country ඔහු අතින් ලියැවුනු නවකතා කිහිපයකි. 1924 උපන් ඔහු 1987දී මියගියේය. ඔහුගේ ජීවිතයෙන් අවුරුදු නවයක පමණ කාලයක් ඔහු ජීවත් වූයේ පැරිස් නුවර ය.
සිරගත කළ මල් පැලය
බොහෝ කලකට පෙර ප්‍රංශයේ දැවැන්ත සිරගෙදරක සිරගත කෙරුනු අසරණ මිනිසෙක් හිටියා. ඔහුගේ නම ෂාර්නි. ඔහු බොහොම දුකින් සහ පාළුවෙන් තමයි හිටියේ. ඔහුට දැනුනේ මේ ලෝකයේ කිසිම කෙනෙක්ට ඔහු ගැන හැඟීමක් නෑ කියලා.
ඔහුට කියවන්න දෙයක් තිබුනේ නෑ හිරගෙදර පොත් තිබුනේ නැති නිසා. පෑන්, කඩදාසි පාවිච්චි කිරීම තහනම් කරලා තිබුන නිසා ලියන්න විදියක් තිබුනෙත් නෑ. කාලය සෙමින් සෙමින් ඇදිලා ගියා. දවස ගතකරගන්න ක්‍රමයක් තිබුනෙම නෑ. ඔහුගේ එකම විනෝදාංශය වෙලා තිබුනේ ගල් අල්ලලා තිබුන හිරගෙදර අංගනයේ එහාට මෙහාට ඇවිදික එකයි. කරන්න වෙන වැඩක් තිබුනෙත් නෑ, කතාකරන්න කෙනෙක් හිටියෙත් නෑ.
වසන්ත කාලේ එක් අපූරු උදෑසනක ෂාර්නි තමන්ගේ පුරුදු ඇවිදීම කරමින් සිටියා. ඇවිදින ගමන් මීට ඉස්සර දහස්වාරයක් කරලා තිබුන විදිහටම ඔහු බිමට අල්ලලා තිබුන ගල් ගණන් කරා. එහෙම ඇවිදිමින් සිටිය ෂාර්නි එක්වරම නතර උනා. ගල් දෙකක් අතර පස් ටිකක් උඩට මතු උනේ කොහොමද?
ඔහු පාත්වෙලා නැමිල බැලුවා මොකද්ද ඒ කියලා. මොකක් හරි ඇටයක් ගල්දෙකක් අතරට වැටිලා පැළවෙලා. පුංචි කොලපාට දල්ලක් පොලවෙන් උඩට මතුවෙලා. ෂාර්නි ඒක චප්ප කරල දාන්න හිතාගෙන කකුල ඉස්සුවා. එතකොටමයි ඔහු දැක්කේ පුංචි කොළය සිනිදු ආවරණයකින් වැහිලා තියනවා.
"ආ, මේ ආවරණය තියෙන්නේ ඒකෙ ආරක්ෂාවට. මම ඒකට හානියක් කරන්න හොඳ නෑ." එහෙම කිව්ව ඔහු නැවතත් ඇවිදින්න පටන් ගත්තා.
ඊලඟ දවසේ ඇවිදිනකොට අමතක වෙලා පැලය පෑගෙන්නම ගියා. ඔහු පාත්වෙලා ඒ දිහා හොඳට බැලුවා. දැන් කොල දෙකක් තියනවා. පැලය ටිකක් ලොකුවෙලා, කොළපාටත් වැඩිවෙලා. ඔහු පැලයේ හැම කොටසක් දිහාම හොඳින් බලමින් බොහෝ වෙලාවක් එතන හිටගෙන හිටියා.
ඊට පස්සේ හැම උදයකම ෂාර්නි කෙලින්ම ගියේ පුංචි පැලය ළඟට. ඔහුට ඕනැ උනා බලාගන්න ඒක සීතලට හැකිලිලා ද නැත්නම් අව්වට පිච්චිලා ද කියලා දැනගන්න. ඔහුට ඕනැ උනා ඒක කොච්චර ලොකු වෙලාද කියලා බලන්න.
එක දවසක් ඔහු ජනේලයෙන් බලාගෙන හිටියා. හිරගෙදර මුර භටයෙක් අංගනය හරහා ඇවිදගෙන ගියා. ඔහු පැළයට කොයිතරම් ළඟින් අඩිය තිබ්බද කියනව නම් පැළය ඔහුගේ කකුලේ ගෑවුනා. කකුලට පෑගිලා පැලෑටිය පොඩිවෙලා යයි කියලමයි හිතුනේ. ෂාර්නිගේ ඔලුවෙ ඉඳලා කකුලට යනකං මුළු ඇඟම වෙව්ලුවා.
"අයියෝ මගේ පිකියෝලා*!" ඔහුට කෑගැහුනා.
මුර භටයා ඔහුට කෑම අරගෙන ආවහම සැර පරුෂ පෙණුමක් තිබුන භටයාට ඔහු ආයාචනා කළා පුංචි පැලයට හානියක් නොකර බේරන්න කියලා. ඔහු හිතුවේ මේ මිනිහා ඔහුට හිනාවෙයි කියලා. ඒත් හිරගෙදර මුරභටයෙක් උනත් මිනිහට කාරුණික හදවතක් තිබුණා.
"ඔබ හිතනවද ඔබේ පුංචි පැලයට මම හානියක් කරයි කියලා?" ඔහු කිව්වා. "ඔබ ඒ පැලය ගැන කොච්චර වදවෙනවද කියලා මං නොදැක්කනම් ඒක මැරෙන්න තිබ්බේ හුඟ කාලෙකට ඉස්සර."
"ඔබ ඇත්තටම හරි හොඳ දෙයක් කරලා තියෙන්නේ." ෂාර්නි කිව්වා.
හැමදාම ඔහු පිකියෝලා, ඒ කියන්නේ එයාගෙ පුංචි පැලේ ලඟට ගිහිල්ලා බලාගෙන හිටියා. හැමදාම පැලය ටික ටික ලොකුවෙලා තවත් ලස්සනට හැදුනා. ඒත් එක දවසක් මුර භටයාගේ බල්ලගේ ලොකු කකුලට යටවෙලා පැලය කැඩෙන්නම ගියා. ෂාර්නිට තමන්ගේ හදවත කඩාවැටුනා වගේ දැනුනා.
"පිකියෝලාට ගෙයක් ඕනෑ. බලන්න ඕනෑ එහෙම එකක් හදන්න පුළුවන්ද කියලා." ඔහු සිතුවා.
ඉතින්, රාත්‍රිය දැඩි ශීතලෙන් යුතු වුවත් කාමරය උණුසුම් කරන්න ඔහුට ලැබෙන දරවලින් දවස ගානේ එක දර කැබැල්ල බැගින් ඔහු පැත්තකට කරලා තියාගත්තා. ඒවා යොදාගෙන ඔහු පැලය වටේට පොඩි ගෙයක් හැදුවා.
පැලය දිහා බලාගෙන ඉන්නකොට ඔහුට එහි දහසක් ලස්සන දේවල් පෙනුනා. ඔහු දැක්කා හැමතිස්සෙම ඒක ඉර දිහාට ටිකක් හැරිලා ඉන්න හැටි. ඔහු දැක්කා කුණාටුවක් එන හැම වෙලාවකම මල් පෙති හකුලාගන්න හැටි.
මලින් පිරුනු මල්වතු ඕනැ තරම් දැකලා තිබුනත් ඒ වගේ දෙයක් ගැන ඔහු කවදාවත් හිතලා තිබුනේ නෑ.
එක දවසක් ඔහු දැලි සහ වතුර කළවම් කරලා ඔහු තින්ත ටිකක් හදාගත්තා. ඔහු සතුව තිබුන ලේන්සුව දිගෑරලා කඩදාසිය හැටියට පාව්ච්චි කළා. උල් කරපු ලී කැබැල්ලක් පෑන හැටියට යොදාගත්තා. මොකටද? ඔහුට හිතුනා ඔහුගේ පුංචි සුරතලා කරන දේවල් ලියලා තියන්න ඕනැ කියලා. ඔහුගේ මුළු කාලයම ගතඋනේ පැලෑටියත් සමග.
"දැක්කද මගේ උතුමාණන් සහ ආර්යාව!" මේ දෙන්නා දකිනවිට මුර භටයා කියන්නට පුරුදුවෙලා සිටියා.
ග්‍රීෂ්ම සෘතුව ගතවෙලා ගියා. පිකියෝලා දවසින් දවසම තවත් ලස්සන උනා. ඒකෙ දණ්ඩක මල් තිහකට වැඩිය පිපිලා තිබුණා.
ඒත් එක දුක්මුසු උදෑසනක ඒක මැලවෙන්නට පටන්ගත්තා. ෂාර්නි දැනගෙන හිටියෙ නෑ මොකද්ද කරන්න ඕනෑ කියලා. ඔහු පැලයට තවත් වතුර දැම්මා. ඒත් ඒක දිගටම මැලවෙන්නට ගත්තා. කොළ වේලිලා යන්නට පටන්ගත්තා. සිරගෙදර මිදුලේ තිබුන ගල් මල්පැලයට වැඩෙන්න ඉඩ දෙන්නෙ නෑ.
ෂාර්නිට තේරුනා ඔහුගේ වටිනා වස්තුව රැකගන්න නම් එක දෙයයි කරන්න ඕනැ කියලා. අපොයි දෙයියනේ! ඒත් ඒක කරන්න පුළුවන් දෙයක්ද? වහාම වටේ තියන ගල්ටික ගලවලා දාන්න ඕනෑ.
ඒත් ඒක හිරගෙදර මුර භටයාටවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. සිරගෙදර නීතිරීති හරි දැඩියි. රටේ ඉහලම නිලධාරීන්ට විතරයි එහෙම දෙයක් කරන්න බලය තිබුණේ.
අසරණ ෂාර්නිට නින්ද ගියේ නෑ. පිකියෝලා මැරිලා යයි. දැනටමත් මල් මැලවිලා ගිහිල්ලා. වැඩි දවසක් යන්න ඉස්සරලා කොළත් නටුවලින් ගැලවිලා වැටෙයි.
එක්වරම ෂාර්නිට හොඳ අදහසක් ආවා. ඔහු නැපෝලියන් මහා අධිරාජයාටම කියනවා මල් පැලය බේරලා දෙන්න කියලා.
ඒත් ඒක ෂාර්නිට කරන්න අමාරු වැඩක්. තමන්ගේ වෛරයට ලක්උන, තමාව මේ හිරගෙදරට දාලා සිරකරපු පුද්ගලයාගෙන් උදව්වක් ඉල්ලට එක. ඒත් පිකියෝලා වෙනුවෙන් ඔහු තීරණය කරා ඒක කරන්න.
ඔහු ඔහුගේ පුංචි කතාව ලේන්සුව මත ලිව්වා. ඊලඟට ඒක නැපෝලියන් වෙත ගෙනියන්න පොරොන්දු උන පුංචි ගෑනු ළමයෙක් අතට දුන්නා. අනේ! එතකල් පුංචි පැලේ තව දවස් කීපයක් ජීවත් උනොත්!
ඒ ගමන ඒ ගෑනු ළමයට මොන තරම් දුර ගමනක් ද? ෂාර්නිටත් පිකියෝලාටත් මොන තරම් නීරස දිගු කාලයක් ද?
ඒත් අන්තිමේදී හිරගෙදරට පණිවුඩයක් ආවා. ගල් ගලවා ඉවත්කරන්න අවසරය ලැබුනා. පිකියෝලා බේරුනා!
ෂාර්නි පැලෑටියට දක්වපු සැලකිල්ල ගැන අධිරාජයාගේ කරුණාවන්ත ආර්යාවට අසන්න ලැබී තිබුණා. ඇයට පැලයේ අලංකාරය ගැන ලියලා තිබුණ ලේන්සුව දක්නට ලැබුනා.
"ඇත්තටම මේ වගේ මිනිසෙක් සිර ගෙදරක තියාගෙන ඉන්න එක හොඳ දෙයක් නෙමෙයි." ඇය කිව්වා.
ඉතින් අන්තිමේදී ෂාර්නිට නිදහස ලැබුනා. ඉතින් තවදුරටත් ඔහු දුකින් පිරුන ආදරය අහිමි කෙනෙකු උනේ නෑ. ඔහුට තේරුම් ගියා කොහොමද දෙවියන් ඔහුටත් ඔහුගේ පැලයටත් දයාව දැක්වූයේ කියලා, රළු මිනිසෙකුගේ හදවත තුළ වුවත් කාරුණිකබව හා නිර්ව්‍යාජකම තියෙන්න පුළුවන් කියලා. පිකියෝලා සැබෑ ආදරණීය මිතුරෙකු ලෙස හැමදාමත් ඔහුගේ සිතේ වැජඹුනා.
ජේම්ස් බෝල්ඩ්වින්
* පිකියෝලා යනු 1836දී ජෝසප් ක්ෂේවියර් බොනිෆස් (X.B. Saintine) නම් ලේඛකයා විසින් Picciola The prisoner of Fenestrella or, captivity captive නමින් ලියන ලද නවකතාවකි. එයට මිනිසාගේ හුදෙකලාව, ආත්ම පරීක්ෂණය හා මිනිසා හා ස්වභාව ධර්මය අතර පවතින සබැඳියාව තේමා වෙයි. එම නවකතාවට අනුව නැපෝලියන්ට විරුද්ධව කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට ෂාර්නි ආදිපාදවරයා සිරගත කරනු ලබයි. එහිදී ඔහුගේ කුටියේ අතුරන ලද ගල් දෙකක් අතර වැඩුන පැලෑටියක් ඔහුට දක්නට ලැබෙයි. එය පිකියෝලා නමින් නම් කර රැකබලා ගන්නා ඔහුට එය ස්වභාවධර්මයේ බලයේත් අප්‍රතිහත ධෛර්යයේත් සංතේතයක් වෙයි.
අධිරාජයාගේ කරුණාවන්ත ආර්යාව කිව්වෙ ජොසෆීන් වෙන්න ඇති නේද?
ReplyDeleteවෙන ආර්යාවක් ගැන මාත් අහලා නම් නෑ.
Deleteකදිමයි!
ReplyDeleteජොසෆින් වගේ කෙනෙක් එහෙම දෙයක් කරන්න් ඉඩ තියනවා . නැපෝලියන් ආදරෙන් උමුතු වෙලා හිටිය්යාත් එක්කනේ එයා එක්ක . මේකේ අදහස නම් සිරගෙයක බලාපොරොත්තු විරහිත මනුස්සයෙකුට වුනත් චාන්ස් එක්ක කොහේ හරි හැඟවිලා තියනවා කියන එක .
ReplyDelete