අප කුඩා අවදියේ දෙස් විදෙස් ලේඛකයන් හඳුනාගත්තේ සතිඅන්ත පුවත්පත් හා සඟරාවලට හා ගුවන්විදුලියට පින්සිදු වන්නට ය. අප වැඩිහිටියෝ ඒ සඳහා නොමසුරුව දායකවූවෝය. එවන් එක් සඟරාවකි, නවයුගය. ලෝ ප්‍රකට විදෙස් ලේඛකයන් පමණක් නොව අප රටෙහි කීර්තිමත් ලේඛකයින්ගේ නිර්මාණ ද නවයුගය මගින් අපට මුණගැසින. මේ නිර්මාණ අතර අපගේ සිත වෙසෙසින් ඇදගත් විශේෂාංගයකි, කොටස් වශයෙන් පළ වූ නවකතාව. පහත දැක්වෙන්නේ එසේ මා රසවිඳි නිර්මාණයක කුඩා කොටසකි. මෙය පළවූයේ එක්දහස් හැට දශකයේ මුල් භාගයේ ය. මෙය තෝරාගැනීමට විශේෂයෙන් හේතු වූයේ නවයුගයෙහි කොටස් වශයෙන් පළ වූ ගමේ කොල්ලා නම් වූ මෙම නවකතාව හැරෙන්නට එහි රචකයා වූ අමරලාල් එන්. ගමගේ හෝ ඔහුගේ වෙනත් නිර්මාණ පිළිබඳව අසන්නට දකින්නට නොලැබීමයි.
මේ නවකතාවට වස්තු විෂය වන්නේ ගිං ගඟ අසබඩ නිරන්තරව ගංවතුර තර්ජනයට මුහුණ පාන ගමක හැදී වැඩෙන දඟකාර කුඩා ළමුන් දෙදෙනෙකුගේ කතා පුවතකි. එකල ළමා දිවියේ චමත්කාරය, ආර්ථික පීඩාවලින් හා ගංවතුරෙන් බැට කන දුප්පත් ගැමියන්ගේ දිවි පෙවෙත හා ඔවුන් පෙළන පීඩාව වරෙක තම දරුවන් හරහා පිටවන හැටි අපූරුවට මේ නිර්මාණයෙන් නිරූපනය වේ. එනිසාම එය නැවත, නැවත කියවන්නට සිත් දෙන ගුණයකින් යුක්ත ය. මෙහි දැක්වෙන කොටස උපුටා ගත්තේ 1963 මාර්තු 12 දින නිකුත් වූ නවයුගය කළාපයෙනි.
* * *
ගිංතේරිස් ආලින්දයේ බූරු ඇඳ මත වාඩි වී සිය පියා සමග කතා කරමින් සිටියේ ය. නන්දා තේ කෝප්පයක් හා සීනි බෝතලය ද ගෙනැවිත් තාත්තා අතට දී ජයග්‍රාහී ලෙස බලා සිටියා ය. සිරිපාල ඇය දෙස බලා නැවත ඉවත බලා ගත්තේ ය. නන්දා තමා දෙස හොරැහින් බලා සිටිය බව සිරිපාල දුටුවේ ය.
"මගේ . . . හොඳ දුව මේ බෝතලේ ගිහින් තියන්න" යි කියමින් ගිංතේරිස් සිය දියණිය අතට සීනි බෝතලය දුන්නේ ය.
"තාත්තා නංගිට විතරයි ආදරේ. මට ආදරේ නැහැ." සිරිපාල තමාට ම කියා ගත්තේ ය. හේ නිකට අත්ල මත තබාගෙන අඳුරු අහස දෙස බලා සිටියේ ය.
වැහි වළාකුළෙන් බර වූ අහස තාර මෙන් අඳුරු ය. මෙයට මොහොතකට පෙර දිස් වූ සන්ධ්‍යා තාරකාවලිය වළාපෙලින් වැසී ඇත.
"මේ . . . කොල්ලා හින්දා මට නම් නිස්කලන්කයක් නැහැ. මගේ කටත් රිදෙනවා. ඔන්න හොඳ රවුමක් ගහලා බිල්ලා වගේ ඉන්නවා" යි ගිමාරහාමි උස් හඬින් කීවා ය.
"සිරිපාල . . . මෙහාට වරෙන්. . . ." ගිංතේරිස්ගේ ගොරෝසු කටහඩ ඇසිණ. උස කෙසඟ සිරුරක් ඇහි හෙතෙම සිරිපාල දෙසට ගමන් කළේ ය.
සිරිපාල කරකියා ගන්නට දෙයක් නොමැති වූ හෙයින් බංකුවෙන් නැගිට ගල්ගැසී බලා සිටියේ ය. තම පියාගේ මුහුණ දෙස බැලිය නොහැකි වූ හෙතෙම බිම බලාගෙන ගල්ගැසී බලා සිටියේ ය. මුලු ලොවම තමාට තර්ජනය කරන්නාක් මෙන් දැනී කකුලේ මාපටැඟිල්ලෙන් බිම හාරන්නට විය.
"මොකද බොල බිල්ලා වගේ ඉන්නේ . . . කොහෙද අද උඹ ගියේ . . .? කොයිබද උඹ අද රවුම් ගැහුවේ . . .? ආ . . . බොල. . . ." යි උස් හඬින් පැවසූ හෙතෙම සිරිපාලගේ අතෙන් අල්වා ගති.
සිරිපාලට දෙවියන් සිහි විය. හේ නංගී සිටි කාමරය දෙස බැලුවේ නිතැනිනි. ඕ තමා දෙස බලා සිටිනු සිරිපාල දුටුවේ ය.
"මම නාන්න ගියා විතරයි තාත්තේ . . ." සිරිපාල දෑතින් ඇස් පොඩි කරමින් කී ය.
"උඹ . . . නාන්න ගියා විතරයි . . . ! උඹ රෑ වෙනතුරු නෑවා! ඒ . . . උඹ හිටියොත් මට ඉන්න හම්බ වෙන්නේ නැහැ . . . මම හරිහම්බ කරන දේවල් කාලා බීලා ඉන්නේ නැතිව තෝ රවුම් ගහනවා නෙව . . . ! මේ මදාවි කොල්ලො අල්ලා ගෙන රට දෙවනත් කරනවා . . . ! තොපිට මොනවත් උනොත් උපකාර කරන්න . . . මිනිස්සු ඉන්නව ද?" තල් අත්තට බොරළු ගසන්නාක් මෙන් උස් හඬින් පැවසූ ගින්තේරිස් සිරිපාලගේ තට්ටමට හා දෙපාවලට වේවැලෙන් තැලී ය.
"බුදු . . . තාත්තේ ගහන්න එපා . . . බුදු තාත්තේ . . . මට ගහන්න එපා . . . තවත් ඇවිදින්න යන්නෙ නැතෝ . . . ." සිරිපාල බෙරිහන් දුනි.
"ඒ . . . බොල . . . තවත් ඔරු පදින්න යනව ද . . .? . . . ඒ . . බොල . . . තෝ . . . හිටියොත් මට ඉන්න හම්බ වෙන්නේ නැහැ."
ගිංතේරිස් සිරිපාලගේ දෙපාවලට කෝටු පාරවල් කිහිපයක් ගැසී ය. දෙපයේ හම ඉල්පෙන තුරු තැලී ය.
"බුදු . . . අම්මේ . . . මාව . . . බේරගනියෝ . . ." අත රිදෙන්නට වූ හෙයින් පුතාට තැලීම නැවැත්වූ ගිංතේරිස් "දිවුරපන් . . . තවත් එහෙම කොල්ලො එක්ක රවුම් ගහන්න යනව ද . . .?" යි තර්ජනාංගුලිය දිගු කරමින් ඇසී ය.
"බුදු . . . තාත්තේ . . . යන්නේ නැහැ. . . ." යි සිරිපාල තට්ටම අතගාමින් වේදනාවෙන් විලාප තියමින් කී ය.
"මම අව්වට . . . වේලිලා . . . වැස්සට තෙමිලා දාඩිය මහන්සියෙන් හරිහම්බ කරන්නේ බොලා ඇති දැඩි කරගන්න තමයි. බොට . . . ගෙදරට වෙලා පොත් පාඩම් කරන්න බැරි ද . . .? මීට පස්සෙ එහෙම ගියොත් අඬු දෙක කඩලා ගෙදර දමා තියනවා . . . " යි උස් හඬින් පැවසූ හෙතෙම වේවැල බිත්තියේ එල්ලා බූරු ඇඳ මත දිගා විය.
සිරිපාල දෙකකුල් අතගාමින් හැඬුවේ ය. වේදනාවෙන් හැඬුවේ ය. බිම වාඩි වී හැඬුවේ ය.
"අපොයි. . . අපරාදෙ කොල්ලට ගැස්සෙව්වා. . . . මන් . . . මොනවා කරන්න ද . . .? උගේ තියන හිතුවක්කාරකමට . . ." යි සිතූ ගිමාරහාමි සිරිපාලගේ දෙපය අතගෑවා ය.
ඔහුගේ දෙපාවල පහර වැදුන තැන් ඉල්පී නිල්වී තිබිණ.
"ඔහේ තමයි ඔය කොල්ලා නරක් කරන්නේ." ගිංතේරිස් කෝපයෙන් පැවසී ය.
"මෙහෙමත් ගහනවද දෙය්හාමුදුරුවනේ ?" උගේ කකුල් රතුවෙලා.
"මාව යකා අවුස්සන්නෙ නැතිව ඔතනින් යනවද?" දැන් බණ දෙසන්න එනවා.
ගිංතේරිස් සිය බිරිඳට ඔරවා බැලී ය. ගිමාරහාමි කිසිවක් කතා නොකර මුළුතැන් ගෙට ගියා ය.
* * *
සිරිපාල මදක් කල්පනා කළේය. ඔහුට තාත්තා සිහි විය. තාත්තා වේවැලක් රැගෙන තමා ඉදිරියෙහි පසුවන්නා සේ දැනිණ. හේ හිස් බැල්මෙන් යුතුව ඈත වෙල්යාය දෙස බලා සිටියේ ය.
"ඒක හරිම වැඩක් නොවැ. . . . මොකො ද වත්ත පහළට ගියහම වෙන්නේ අපේ වත්ත පහළ බට පඳුර ළඟට නෙව යන්නේ?"
"හා. . . . එහෙනම් යමු. . . ."
ඔවුහු වත්ත පහළ බට පඳුර දෙසට ගමන් කළහ. සිරිපාලගේ වත්ත හා ගුණදාසලාගේ වත්ත වෙන් වී තිබෙනුයේ විශාල ඇල්දීසියා වැටකිනි. ඝනව වැඩී ඇති ඇල්දීසියා වැට නිසා සිරිපාලගේ නිවසේ සිටින්නෙකුට ගුණදාසගේ නිවස නොපෙනෙයි.
ඇල්දීසියා වැට අයිනට ගිය සිරිපාල දණහිසට දෑත් තබා නැඹුරු වී නිවසෙහි කිසිවකු සිටීදැ යි බැලී ය. අම්මා පෙනෙන තෙක් මානයක නොසිටීම සිරිපාලගේ සිතට සැනසුමකි.
සිරිපාල බට තුවක්කුවක් සාදා ගත්තේ ය. එහෙත් ඔහුට ගිරිතිල්ලා ගෙඩි සොයා ගත යුතුව ඇත. එසේ නැතහොත් කුඩා පුවක් ගෙඩි සොයා ගත යුතු ය. මේ සඳහා ඔවුන්ට වන රොදෙහි මද දුරක් ඇවිදීමට සිදු වේ. නිතර ම වන රොදෙහි වේවැල් කැඩීම සඳහා ඇවිදින පුරන් අප්පුට අසුවුව හොත් ගෙදරට කේලාම් කියනු සිකුරු බව සිරිපාලට සහතික ය.
"ඉතින් ගුණේ . . . ගිරිතිල්ලා හොයන්නේ කොහොම ද?"
අපි . . . යමු . . . බැද්දට"
"අපොයි බැහැ . . . එහේ ගිහිල්ලා අහු උනොත් පුරන් අප්පු අපේ තාත්තාට කියාවි. එතකොට . . . මගේ කකුල් දෙකේ බිබිලි නැගපු තැන් වේලෙන්න තවත් දවස් ගණනක් ගත වේවි."
ගුණදාස සිනාසුනේ ය. කොක් හඬලා සිනාසුනේ ය. නිමේෂයෙකින් ගල් ගැසුනාක් මෙන් සිටිය හෙතෙම තම සිනහව ඈතට ඇසුනේ දැයි සැක කළේ ය.
"ඒ . . . සිරිපාල . . . මන් සිනා උන එක ගෙදර පැත්තට ඇහුන ද දන්නෙ නෑ."
ළමයින් දෙදෙනා කලබලයෙන් වට පිට බැලූහ. ඇල්දීසියා අත්තක් "ක්‍රාස් . . . ක්‍රාස්" හඬ නැගී ය. සිරිපාල එය දෙස මද වේලාවක් දෙසවන යොමු කළේ ය. "ඒ . . . හුළඟට වැනෙන සද්දෙ" හේ තමාට ම කියා ගත්තේ ය. "තොගේ කකුල් දෙක කඩලා ගෙයි දමා තියනවා" ඔහුගේ යටි සිතෙහි හොල්මන් කළේ ය. වේවැලක් රැගත් තාත්තා ඔහුගේ මනසෙහි දර්ශනය විය. දෙපා වෙවුලා පණ නැතිව ජීවය තමා වෙතින් පලායන්නා සේ ඔහුට දැනිණ.
ගුණදාස සමග ගමන් කරමින් සිටිය නමුදු ඔහුගේ දෙපා ක්‍රියා කළේ යන්ත්‍රානුසාරයෙන් මෙනි.
"ෂ්හාහ් . . . අර ගහේ ජම්බු ඉදිලා . . ." ජම්බු ගස දෙසට අත දිගු කළ ගුණදාස මහත් ප්‍රීතියෙන් කීවේ ය.
ලා දළු ලා මනහරව දිස් වූ පිනි ජම්බු ගසෙහි කොලයක් කොලයක් පාසා එල්ලී ඇති රෝස පැහැති ජම්බු පොකුරු සමූහය දුටු ගුණදාසගේ කටෙහි කෙළ ඉනුවේ ය.
සිරිපාල ජම්බු ගස දෙස බැලුවේ කුඩා කල ජම්බු කා දැන් එහි රස හෝ නීරස බව බැලීමට අදහස් නොකරන අසූ හැවිරිදි මහල්ලකු ලෙස ය.
"දවසක් දා . . . ජම්බු ගහකට ගිහිල්ලා කකුල සූරාගත්තාය කියා තාත්තා මට ගැහුවා." සිරිපාල සිය කකුලෙහි තවමත් ඇති කැලල දෙස බැලුවේ නිතැනිනි. දැන්ම . . .මෙතැනින් යන්න ඕන. හදිසියෙන් කවුරුවත් එහෙම දැක්කොත් මම ජම්බු ගහට ගියාය කියලා තාත්තාට කියාවි. . . ." සිතූ සිරිපාල ගුණදාසගේ අතින් අල්වාගෙන ගමන් කළේ ය.
"එහෙනම්.. . කොස් ගහ යටට යමු." ගුණදාස යෝජනා කළේ ය.
"හා . . . එතන නම් හොඳයි. ඒ දවස්වල කොස් ගහ යට හරියට . . . ගිරිතිල්ලා තිබුනා."
ළමයි දෙදෙනා වත්ත පහළ කොස් ගහ දෙසට ගමන් කළහ. ඝනව වැඩී ගිය අතුපතර ඇති මේ කොස් ගහට සිරිපාලලාගේ වතගොත හොඳට ම මතක ය. ගස වටේට සිවු දෙසින් ම උස්ව වැඩුණ බෝවිටියා, වැරණිය, මා දම් හා හිඹුටු වැල් වලින් ගසේ කඳ වැසී ඇත. මේ නිසා ගස මුලට ගිය ළමයින් කිසිවකුට නොපෙනේ.
"අන්න. . . . ගුණේ. . . . . හරි ජාති පැනි වරකා ගෙඩියක් තියනවා. . . ."
"ඇත්ත තමයි. . . . අර කාක්කො කාලා තියෙන්නේ. ඔයා බිම ඉන්න. මම ගිහින් කඩන්නම්."
"නැහැ. . . . ඉස්සර වෙලා ගිරිතිල්ලා කඩමු. මට හරි ආසයි මේ බට තුවක්කුව හොඳ ද බලන්න."
ගුණදාස ගිරිතිල්ලා පඳුරට ගොඩ වී මේරූ ගෙඩි කඩා සරොම් පටට දමා ගත්තේ ය. කලකට පසු මෙතරම් විශාල ගිරිතිල්ලා හමු නොවූ බව ඔහුට සහතික ය. හේ වහාම ගසින් බැස බට තුවක්කුවට ගෙඩියක් දමා කොස් ගෙඩියට එල්ල කර වෙඩි තැබී ය.
"ටුක්" හඬින් කොස් ගෙඩිය මත ගිරිතිල්ලා උණ්ඩය වැදුන හැටි දුටු සිරිපාල, "ආයි . . . .ආයි . . . . හරි තමයි . . . . හරි තමයි" උස් හඬින් සිනාසුනේ ය.
"තුවක්කුව . . . . පංකාදුයි. . . . හුඟක් හඬ තියනවා." ගුණදාස ප්‍රීතියෙන් කීය.
"ගුණේ, වරකා සුවඳ නම් එනවා. . . ." සිරිපාල නාස්පුඩු නලියවමින් පැවසී ය.
"මේ ගහේ වරකා හොඳ ඇති නේ ද?"
"ඇයි. . . . ඔයා කෑවෙ නැතෑ. මී පැණි වගෙයි. මෙන්න මගේ කටට කෙලත් උනනවා. . . . ඉතින් කොහොම ද කඩන්නේ?"
"හ්ම්. . . . ඕකත් මහ කජ්ජක් ද. . . .? මන් ගිහින් කඩන්නම්. ඔයා බිම ඉන්න" යි පැවසූ ගුණදාස පුවක් කොළ කිහිපයක් අඹරා වළලල්ලක් සාදා ගත්තේ ය. කොස් ගස සමීපයෙන් පිහිටි පුවක් ගස දිගේ බඩ ගෑ හෙතෙම කොස් අත්තට ගොඩ විය. "බුදු සරණයි. . . . දෙවි පිහිටයි." තම දෙපා වෙව්ලන්නට වූ විට හේ තොල් මතුළේ ය.
"හෝව්. . . හෝව්. . . ගුණේ පොඩ්ඩක් ඉන්න. ගෙඩිය කඩලා දානකොට අම්මට ඇහුනොත් දුවගෙන ඒවි. ඒක හින්දා මන් ගිහිල්ලා අම්මා ඉන්නව ද කියා බලා එන්නම්."
සිරිපාල ඇල්දීසියා වැට සමීපයට ගොස් තම වත්තට ඇතුළු වී ගෙය දෙස බලා සිටියේය.
"හා. . . . ආ. . . . අය්යේ. . . . අය්යේ. . . අනේ මටත් තුවක්කුවක් හදා දෙන්නකො. . . . අනේ රත්තරන් අය්ය වගේ ඔය ඉනේ තියන තුවක්කුව මට දෙන්නකො." මෙතෙක් වේලා සිය සොහොයුරා ගිය අත සොයමින් වත්ත පහළ ඔබ මොබ යමින් සිටි නන්දා ඔහු දුටු විගසම කීවා ය. ඕ සිය සොහොයුරා දෙසට දුව ගියා ය.
නංගී අමනාප කර ගෙන තමන්ට වරකා කෑමට ඉඩ නොලැබෙන බව සිරිපාලට සහතික ය. ඇය අමනාප කර ගෙන වරකා කෑවොත් හැන්දෑවට වේවැල් පහරවල් හත අටක් ද ලැබෙන බව ඔහු නොදන්නේ නොවේ. සිරිපාල නංගීට ද බට තුවක්කුවක් සාදා දී ගුණදාස සිටිය තැනට ගියේ ය.
"නංගී ගෙදර යන්න. . . . ඒක නොවෙයි. . . . කෝ නංගියේ අම්මා. . .?"
"අම්මා. . . . එහා පැත්තට වෙලා පැදුරක් වියනවා."
"ඩුහ්. . . ." අනුකරණයෙන් වරකා ගෙඩිය බිම ඇද වැටුනේ ය.
"ඒයි. . . . යෝධයා. . . . මාත් එනකන් ඉන්න ඕන. තනියම කන්න හදනව ද?" පුවක් ගස මුදුනේ සිට පහළට බහිමින් සිටි ගුණදාස සිහින් හඬින් කීවේ ය.
"හරිම. . . . ජාති වරකා ගෙඩිය. ෂ්හා. . . . මී පැණි වගෙයි" වරකා මදුලක් කටේ තබමින් සිටි සිරිපාල කීවේ ය.
"අනේ අයියේ මටත් වරකා මදුලක් දෙන්න" කොස් ගස මුලට දුව ගිය නන්දා කෙල හලමින් කීවා ය.
"හා. . . හා. . . . නංගිට මේවා හොඳ නැහැ. ඉක්මනට ගෙදර යන්න. අම්මා දැන් හොයනවා ඇති."
සිරිපාල වරකා මදුලු කීපයක් ගිල දැම්මේ ය. "අනේ අය්යේ මටත්. . . . එක. . . වරක. . . . මදුලක්. . . දෙන්න."
"නංගිට හොඳ නැහැ."
"ආ. . . . ඊයෙ එගොඩහ නැන්දලාගෙ ගෙදරින් වරකා ගෙනා වෙලාවෙ අම්ම මටත් දුන්නා."
"මේ. . . . නංගී බොරු කියන්නෙ නැතිව ඉන්න. නංගිට පණු බෙහෙත් දුන්න බව නම් මන් දන්නවා." කියමින් සිරිපාල සිනාසුනි.
"එහෙනම්. . . මන් අම්මට කියනව. . ." ඕ මුහුණ පුළුටු කර ගත්තා ය.
සිරිපාල යටි සිතින් පසු බා සිටියේ ය. අම්මා කෝපයෙන් ඔහු දෙස බලා සිටින බව මනසෙහි දර්ශණය විය. "මේ මදාවිකාරයෙක් හදලා නිස්කලන්කයක් නැහැ. හැමදාම කට කැඩෙනකන් කෑ ගහනවා. . . . මූට. . . . කියන කට බිම ඇන ගන්නවා නම් හොඳයි. හපොයි දෙය්යනේ මගේ පපුවට දෙන වේදනාවක්." අම්මාගේ සුපුරුදු යාතිකාව ඔහුට සිහි විය.
හේ මොහොතක් ගල් ගැසී බිම බලාගෙන සිටියේ ය. නංගීට වරකා මදුලක් නොදුන්නොත් මෙදින මහත් අකරතැබ්බයකට මුහුණ පෑමට සිදුවන බව ඔහු දනී. "නංගීට වරකා අගුණයි මන් මොනව කරන්න ද? දැන් ඉතින් මොනව කරන්න ද?" කල්පනා කළ හෙතෙම, "එහෙනම්.. . එක වරකා මදුලක් කන්න. . . හැබැයි වැඩිය දෙන්නෙ නැහැ." යි පවසා නන්දාට වරකා මදුලක් දුන්නේ ය.
"හරි ජාති නෙව." නන්දා මහත් ප්‍රීතියෙන් කීවා ය.
"ජාති තමයි. . . ! නංගී. . . විජහට ගෙදර යන්න. දැන් අම්මා හොයනවා ඇති."
නන්දා පුවක් අරඹ උඩින් දිව ගියා ය.
"සිරිපාල. . . . මෙන්න මගේ අතේයි කටේයි හැම තැන ම කොහොල්ලෑ ගෑවිලා."
සිරිපාල කුස්සියට දුව ගොස් භූමිතෙල් ලාම්පුව ගෙන ගුණදාසට දුන්නේ ය.
හදිසියේ ඇති වූ "සිරි. . . සිරි" පොද වැස්සට නන්දා තෙමුනා ය.
"ඇයි. . . දරුවො. . . බොට මොනව වෙලා ද. . .? මේ පොද වැස්සට තෙමෙන්න හොඳ ය. හපොයි උලව්වේ. . . මුන්ට වෙලා තියන දෙයක හැටි." ගිමාරහාමි සරොම් මාල්ලක් ගෙන දියණියගේ හිස පිස දැම්මා ය.
කැප්පිටියාගොඩ අමරලාල් එන්. ගමගේ
* * *
No comments:
Post a Comment