Monday, May 18, 2026

මරණයක් වෙන්දේසියේ! - II

          

   පටන්ගත්ත හැටි මෙතැනින්     

       

"කට අරිනවා." බුක්ස් පැවසීය. 

ඔහු කට ඇරියේය. රෙමින්ටන් පිස්තෝලයේ කඳ අඟලක් දෙකක් පමණ ඔහුගේ කටට ඇතුළු වී දිව මත රැඳිණ. 

"කට වහගන්නවා. හැබැයි හපන්න එපා. තන පුඩුවක් කියලා හිතාගෙන උරවනවා." 

ඩොබ්කින්ස් ලැබුන අණ පිළිපැද්දේය. 

බුක්ස්ගේ කතා ස්වරය සන්සුන් ය. "දැන්, පේනවනේ මම ආරක්ෂක අගුල පන්නලා තියෙන්නේ. මේකේ කොකා පුංචි තෙරපීමකින් උනත් ගැස්සෙන විදියට හදලා තියෙන්නේ. යන්තමට හරි දැඟලුවොත් රොජර්ස් මහත්මියට ඔහේගෙ මොළේ බිත්තියෙන් සූරලා ගන්න වෙන්නේ සබනුයි වතුරයි දාලා. පරිස්සමින් ඔය සටහන් පොතයි පැන්සලයි පැත්තකින් තියනවා."

වාර්තාකරුවා බෙහෙවින් පරිස්සම් විය.

"හිටගන්නවා, දොර දිහාට පස්සෙන් පස්සට යන්න පටන්ගන්නවා. ගැස්සෙන්න එපා, වෙව්ලන්න එපා, හුස්ම ගන්නවත් එපා. උරවනවා විතරයි. හරිනේ, නැගිටිනවා."

ඩෑන් ඩොබ්කින්ස් සෙමින්, සෙමින් නැගීසිට වෙව්ලමින්, පාවෙන්නාක් බඳුව පසුපසට යන්න පටන්ගත්තේය. ඔහු දෑස පියාගත්තේය. උගුරු දණ්ඩ හැකිලෙන්නට දිගහැරෙන්නට පටන්ගත්තේය. මුවින් කෙඳිරිලි හඬක් පිටවිය. 

"මම දොර අරින්නම්. දිගටම ඔහොම යනවා. පරිස්සමින්." 

පිස්තෝලයේ බටය කටෙහි ඇතිව, දෑස් පියාගෙන, කෙඳිරිලි හඬ නගමින්  දොරෙන් පිටවූ වාර්තාකරුවා කොරිඩෝව දිගේ පසුපසට යන්නට විය. බුක්ස් ද අඩියෙන් අඩිය ඒ අනුව ගමන් කළේය. ඔවුහු විසිත්ත කාමරය පසුකරද්දී සෝෆාව මත වාඩි වී සිටි රොජර්ස් මහත්මිය තිගැස්සී ඉබේම නැගිට සිටියාය. "ඩොබ්කින්ස් මහත්මයා - බුක්ස් මහත්මයා මොකක්ද ඔබ ඔය කරන වැඩේ? දෙයියන්ගේ නාමෙට මොකද . . . ."

"සද්ද කරන්න එපා මැඩම්, අපි අනතුරුදායක තත්ත්වයකට මුහුණ පාලා ඉන්නේ." බුක්ස් අනතුරු ඇඟවීය. 

ගල්ගැසී නැවතුන ඇයගේ අත මුව වෙතට ගියේය. 

ඔවුහු ඉදිරිපස දොර වෙත ලඟා වූහ. දොරගුල වෙත අත යවා එය විවෘත කල බුක්ස් වමතින් දොරවල් දෙකම දෙපසට කර කෙලින් වී රෙමින්ටන් පිස්තෝලයේ බටය සෙමින් වාර්තාකරුවාගේ මුවින් එළියට ගත්තේය. ඩොබ්කින්ස්ගේ දෑස් විවර විය. 

"හැරෙනවා අනිත් පැත්තට."

"කරුණාතරලා, බුක්ස් මහත්මයා. මම සමාව . . . ."

"හැරෙනවා අනිත් පැත්තට."

ඩොබ්කින්ස් හැරුනේය.

"නැමෙනවා ඉස්සරහට."

ඩොබ්කින්ස් දෙකට නැමුනේය.

පිස්තෝලය ඉන බැඳි පටිය තුල රඳවාගත් ඔහු වම් පයට බරදී දකුණු පාදයේ සපත්තුවෙහි අඩිය වාර්තාකරුවාගේ පසුපසට බරකොට තබාගත්තේය.

"ඩොබ්කින්ස්, තමුසේ අනුන්ගේ දේවල්වලට ඇගිලි ගහන, වැදගැම්මකට නැති, පව්ඩර් උලාගත්තු බැල්ලිගෙ පුතෙක්. තමුසෙ ආයෙත් මේ පැත්තෙ කරක් ගහන්න ආවොත් මම උඹව මරනවා." 

ඔහු ඇඟෙහි මුළු වෙර යොදා පාදයෙන් තල්ලුවක් දැම්මේය. ඩොබ්කින්ස් කොතරම් වේගයකින් වීසි වී ගියේද යත් හිස හා උරහිස ඉහලම පඩියෙහි ගැටී පඩිපෙලට ඉහලින් විසි වී ගොස් ලීයෙන් නිමැවී තිබූ පදික මාවත දිගේ රෝල් වී ගොස් පාරට මදක් මෑතින් හතරගාතයෙන් ඇද වැටුනේය. 

ඇය ඔහුට බැනවදින්නට පටන් ගත්තාය. තල්ලුවෙන් පසු ඔහු එක් දණිස්සක් බිම ඇනී නතර විය. ඇය ඒ තාක් දැක ඇති එක් අයෙකු තවකෙකුට කළහැකි වඩාත්ම ම්ලේච්ඡ, අසාධාරණ ක්‍රියාව එය බවත්, පිරිමියෙකු උනා නම් කරන්නේ අශ්වයින් සඳහා වූ කසයකින් පහරදීම බවත් ඇයගේ මුවින් පිටවිය. එක්වරම විසි වී ගොස් බිත්තියෙහි හැපී නතර වූ ඔහුගේ මුහුණ සුදුමැලි වී රැලි වැටුනේය. මොහොතක් වේදනාවෙන් හිස පහත් කරගෙන සිටගෙන සිටි ඔහු බිම සවියක් ලබාගැනීම සඳහා අත් දෙකම බිත්තිය මත තබා බිත්තිය දිගේ ටිකෙන් ටික තම කාමරය දිසාවට යන්නට විය. ඔහු බිම ඇදවැටෙතැයි බිය වූ ඇය ලඟට පැමිණ ඉන පෙදෙසට අත තැබුවේ ඔහුට සහය වීම පිණිස ය. තමාට තනියම පුළුවන් යයි කෙඳිරිලි හඬක් නැගූ ඔහු ඇයගේ අත ගසා දැම්මේය. විවෘත තිබූ දොර වෙත ලඟා වූ පසු ශක්තිය ගෙන දෑත් දිගු කර ඉදිරියට නැඹුරු වූ ඔහු මුනින්තලාව ඇඳ මත පතිත විය. දොස්තරට දුරකතන පණිවුඩයක් දෙන්න දැයි ඇසූ ඇයට ඔහු හිස සලා නැතැයි පැවසීය. 

"හොඳයි, එහෙම නම් ජේ. බී. බුක්ස් මහත්මයා,  අර පාට අයිනෙ වැටිල ඉන්න අසරණ ඩොබ්කින්ස් මහත්මයාට දැනෙනවට වැඩිය වේදනාවක් ඔබටත් දැනෙන්නෙ නෑ කියලා මම හිතනවා. එහෙම දැනෙනවා නම් ඔබට වෙන්න ඕනැත් එහෙම තමා." බොන්ඩ් රොජර්ස් පැවසුවාය.

මේ බුක්ස් හමුවන්නට ආ එක් පුද්ගලයෙකුගේ අත්දැකීමයි. එහෙත් එසේ ආ අවසාන පුද්ගලයා ඔහු නොවේ. පසුව ආවේ කවුද, ඔවුනට කුමක් සිදුවී ද යන්න ඊලඟට බලමු.  


1 comment:

  1. බුක්ස් හොඳ මිනිහෙක් නොවුනත්, අවස්ථාවාදී ඩොබ්කින්ස් ඊටත් වඩා නරුමයෙක්. ඔහොම "එන්ටයිටල්" ලෙස හැසිරෙන අයව දැකලා තියනවා. වැරදිද මන්දා, ආතල් "කුරිරු" සතුටක් දැනුනා.👌💐😋

    ReplyDelete

මරණයක් වෙන්දේසියේ! - II

               පටන්ගත්ත හැටි මෙතැනින්               "කට අරිනවා." බුක්ස් පැවසීය.  ඔහු කට ඇරියේය. රෙමින්ටන් පිස්තෝලයේ කඳ අඟලක් දෙකක්...