Wednesday, December 20, 2023

ජනපතිවරණයට අපේක්ෂකයෙක්!

 

(cartoon movement වෙතින්)


මා දැනටමත් ස්ථිරවම හිත හදාගෙන ඉවරයි ජනාධිපති තනතුර සඳහා ඉදිරිපත් වන්නට. රටට දැන් අවශ්‍ය වන්නේ ඔහුගේ අතීතයේ ඉතිහාසය කොයි තරම් හාරා ඇවිස්සුවත් ඔහුට හානියක් කරන්න බැරි විදියේ අපේක්ෂකයෙක්. එහෙම උනාම පක්ෂයේ සතුරන්ට ඔහුට විරුද්ධව ඊට කලින් කවුරුවත් අහලා නැති කිසිම දෙයක් අවුස්සලා පෙන්වන්න ඉඩක් ලැබෙන්නේ නෑ. අපේක්ෂකයෙකුගේ තියන නරකම දේවල් ඔබ මුල ඉඳලම දන්නවනං එක එක දේවල් එයාගෙ ඇඟේ එල්ලලා අපකීර්තියට පත්කරන්න ගන්න උත්සාහය එතැනම හිර කරන්න පුළුවන්. මම තරග බිමට බහින්න හදන්නේ ඉතාම පිරිසිදු වාර්තාවක් එක්ක. මම කරලා තියන නරක වැඩ, හොරමැරකං ඔක්කොම මම ම කියන්නයි යන්නේ. ඕනැනං පාර්ලිමේන්තු කමිටුවක් පත්කරලා මගේ ජීවිත කතාවම හොයලා  මම හංගගෙන ඉන්නවා කියලා හිතෙන ඕනෑම රහසක් ගැන හොයලා බලන්න පුළුවන්. 

පළමුවෙන්ම මම පිළිගන්නවා 1850 ශීත සෘතුවේදී මම වාත අමාරුව හැදිලා හිටපු මගේ සීයව බලෙන් ගහකට නැග්ගුවා කියලා. එයාට හොඳටම වයසයි. ගස් නගින්නත් බෑ. ඒත්  මගේ චරික ලක්ෂණයක් වූ හිතක් පපුවක් නැති කුරිරුකම ප්‍රදර්ශනය කරමින් මිනිහව රෑ ඇඳුම පිටින්ම ඉස්සරහ දොරින් එළියට එලෙව්වේ තුවක්කුවක් එල්ල කරලයි. ඒ විතරක් නෙමෙයි මේපල් ගහ දිගේ බඩගාලා එළිවෙනකල් ඒකෙ ඉන්න සැලැස්සුවා.ඒ මදිවට තුවක්කුවේ උණ්ඩයක් තිබුනා කියලා මිනිහගේ කකුල්වලට දැනෙන්න කොකා ගැස්සුවා. මම ඒක කළේ මිනිහා රෑට නින්දෙන් ගොරවන හින්දා. මට තව සීයා කෙනෙක් හිටියනං මම තව සැරයක් ඒකම කරන්න පසුබට වෙන්නෙ නෑ. 

මම 1850දි හිටියා වගේම තවමත් අමානුෂිකයි. මම ඉතාම කැමැත්තෙන් පිළිගන්නවා මම ගෙටිස්බර්ග් සටනේදී පැනලා ගියා කියලා. ෆෝජ් නිම්නයේදී යාඥා කිරීම සඳහා කැලයට ගිය වොෂිංටන් අනුකරණය කිරීම සඳහා මා එසේ කළ බව කියා එම සිද්ධියේ බරපතලකම අඩු කිරීමට මගේ මිත්‍රයන් උත්සාහ කළත් එය නිකම්ම ප්‍රයෝගයක් පමණයි. මා  කර්කටක නිවර්තනය දක්වාම පසු නොබලා දිව්වේ සිතේ ඇතිවුන බය නිසයි. මට රට බේරාගැනීමට අවශ්‍ය වෙලා තිබුනා තමයි ඒත් ඒක වෙන කෙනෙකුටත් කරන්න පුළුවන්කම තිබුණා. මම ම අවශ්‍ය නෑ කියලයි මට හිතුනේ. තවමත් මම  හිතන්නේ එහෙමම තමයි. එක් ක්ෂණයක වීරත්වය (bubble reputation) ලඟාකරගත හැක්කේ කාලතුවක්කුවක කට තුලින් පමණක්ම නම් එය කරා යන්නට මම සූදානම්, හැබැයි කාලතුවක්කුවේ උණ්ඩ නැත්නම් විතරයි. තියනවනං මගේ සදාකාලික නොවෙනස් බලාපොරොත්තුව තමයි අතහැරලා දාලා ගෙදර යන එක. සටනකදී නිරතුරුවම මම අනුගමනය කරන පුරුද්ද තමයි අරගෙන ගියාට වඩා මිනිසුන් තුනෙන් දෙකක් ආපසු අරගෙන එන එක. මේක තමයි මට පෙනෙන හැටියට නැපෝලියන් අනුගමනය කිරීමේ උච්චතම අවස්ථාව. 

මුල්‍ය පාලනය ගැන මගේ අදහස් තමයි ඉතාම තීරණාත්මක. හැබැයි උද්ධමනය ගැන උපදෙස් දෙන අය අතර නම් මම ජනප්‍රිය වෙන එකක් නෑ ඒ අදහස් නිසා. මට ගැටළුවක් නෑ ප්‍රමුඛත්වය දෙන්න ඕනෑ කඩදාසි වලින් හදපු සල්ලිවලට ද ලෝහවලින් හදපු සල්ලිවලට ද කියන එක. මගේ ජීවිතයට වැදගත්ම මූලික ප්‍රතිපත්තිය තමයි හම්බවෙන කෝක උනත් ගන්න එක. 

මම මගේ මිදිවැල යට මැරිච්ච නැන්ද කෙනෙක් වැළලුවා කියලා තියන කටකතාව නිවැරදියි. වැලට පොහොර ඕනෑ උනා. මගේ නැන්දා වළදාන්න තිබුනා. මේ උත්කෘෂ්ට අරමුණ වෙනුවෙන් මම ඇය කැපකළා. ඒක නිසා මම ජනාධිපති තනතුරට නුසුදුස්සෙක් වෙනවද? අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එහෙම දෙයක් සඳහන් වෙන්නෙ නෑ. වෙනත් කිසිම පුරවැසියෙක් කවදාවත් මේ තනතුරට නුසුදුස්සෙක් හැටියට සලකලා නෑ මැරිච්ච නෑදෑයින්ගෙන් තමන්ගේ මිදිවැල් සාරවත් කළා කියලා. ඇයි මම විතරක් මේ වගේ විකාර අසාධාරණයක පලවෙනි බිල්ල හැටියට තෝරගන්නේ?  

මම පිළිගන්නවා මම දුප්පත් මිනිහගේ මිත්‍රයෙක් නොවෙයි කියලා. දැං ඉන්න හැටියට මම දුප්පත් මිනිහා සලකන්නේ අපතේ ගිය අමුද්‍රව්‍යයක් හැටියටයි. කෑලිවලට කපලා ටින්වල ඇසිරුවොත් අර මිනීමස් කන ම්ලේච්ඡයෝ ඉන්න දූපත්වලට අපනයනට කරලා ඒ කලාපයත් එක්ක අපගේ අපනයන වෙළඳාම වර්ධනය කරගන්න ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. මගේ පලවෙනි පණිවුඩයෙන්ම මම නිර්දේශ කරනවා මේ විෂය පිළිබඳව නීති හඳුන්වා දෙන්නට.  දුප්පත් කම්කරුවා වියලමු! උන්ගෙන් සොසේජ් පුරවමු! කියන එක තමයි මගේ සටන් පාඨය වෙන්නේ. 

මේවා තමයි මා ගැන වාර්තා කරන්න පුළුවන් නරකම දේවල්. මේ දේවල් පදනම් කරගෙන තමයි මම රට ඉස්සරහට එන්නේ. මගේ රටට මාව ඕනෑ නැත්නම් මම ආපසු යනවා. හැබැයි මම මාවම  නිර්දේශ කරගන්නවා පූර්ණ දුෂ්චරිතයෙන් ආරම්භ කරලා අවසානය වෙනකල්ම අතිශය කුරිරු විදියට වැඩකරන රටට වඩාත්ම ගැළපෙන පුද්ගලයා හැටියට. 

මීට - සැමුවෙල් ලැංග්හෝන් ක්ලෙමන්ස් නොහොත් මාර්ක් ට්වේන් (1879)

12 comments:

  1. කොතනින් කොටලා පිවිසුනත් එන්නෙ එකම තැනට. අවුලක් නෑ.
    මේ බ්ලොග් එකේ කලර් ස්කීම් එක ඇහැට ප්‍රියමනාපයි.

    මාක් ට්වේන්ගෙ මෙහෙම සැටයර් ලිවිල්ලක් දැක්කමයි.🙏👌

    ReplyDelete
    Replies
    1. ඉස්සරලම කෙටුවට ස්තූතියි. මේක ගත්තේ Andy Borowitzගෙ The Fifty Funniest American Writers පොතින්. මමත් නිකං දෙන තැනකින් තමයි බාගත කරගත්තේ

      Delete
    2. ට්වේන් කියුබ ගිය ඇයි

      Delete
  2. බොහොම හොදයි...බ්ලොග් එක මගේ බ්ලොග් රෝලට දා ගත්තා...

    මාක් ට්වේන් කියන්නේ ලියන්න ආරූඬ කරගත්ත නමක් තමයි. ඇත්ත නම තමයි පොස්ට් එකේ ලියලා තියෙන්නෙ..ඇත්තටම මාක් ට්වේන් කියන්නේ ගංගා බෝට්ටු වල යෙදෙන ටෙක්නිකල් ටර්ම් එකක්...ගගේ ගැඹූර ගැන කියැවෙන....මාක් ට්වේන් බෝට්ටු ඩ්‍රයිවර් කෙනෙක්...එයා ලියන්න පටන් ගන්න කොට මේ නම ආරුඬ කර ගත්තා.. - MAYYA

    ReplyDelete
  3. අලුත් එකට මගේ හදපිරි මෙව්ව එක✌
    ලියවිල්ලෙ තාලය හොඳා. මේකෙ දිගටම මේ විදිහෙ පරිවර්ථනද යන්නෙ

    ReplyDelete
    Replies
    1. නෑ. මගේ ඔලුවට එන ඒවත් ලියලා දානවා.

      Delete
  4. බ්ලොගේ කොලම් 3ක් වැඩි නැද්ද. මං මේ නිකමට ඇහැව්වෙ. එක සයිඩ් බාර් එකක් විතරක් තිව්නොත්... ලොකු ඉඩක් හම්බුවෙනව පෝසට් එකට.

    ඒත් ගොඩක් අය ෆෝන් වලින් බලන නිසා ඒ ගැන හිතන්න ඔනත් නෑ. නිකමට හිතුන දේ කිව්වෙ 😁

    ReplyDelete
    Replies
    1. බ්ලොග් තීම් එක දාගත්තා. වැඩි වෙනස්කම් කරන්න දැනුම අඩුයි. තියන එකත් අවුල් වෙයි කියලා එහෙමම තියාගත්තා.

      Delete
  5. රසත් පිරුණු හරබර තොරතුරු මේවා
    අලුත් තැනත් දැකලා යන්නට ආවා...

    ලස්සනයි .
    ජයවේවා !!!

    ReplyDelete

හුදෙකලා වූ දූපත් දෙකක අන්දරය

ඔබට විසඳාගත නොහැකි ගැටළුවකට මැදි වී ගොඩඑන්නට නොහැති වී ඇත්නම් කරන්නේ කුමක්ද? මෙයට නොයෙකුත් දෙනා විවිධාකාර වූ පිළිතුරු දෙන්නට පුළුවන. ජීවිතය ...