මේ පසුගිය සතියේ ඇරඹි 'දකුණෙන් ආ මිනිහෙක්' (Man from the South) කෙටිකතාවේ දෙවන හා අවසාන කොටසයි.
"මටත් ගින්දර ටිකක් දෙන්න පුළුවන්ද?" මම ඇසුවෙමි.
"අයියෝ, මට සමාවෙන්න. මට අමතක උනා ඔයා ළඟ එකක් නෑ කියලා."
මම ලයිටරය ගැනීමට අත දිගු කළෙමි. එහෙත් ඔහු නැගීසිට එය දල්වාදීමට මා වෙත පැමිණියේය.
"ස්තුතියි." මම පැවසුවෙමි. ඔහු ආපසු ඔහු සිටි අසුන වෙත ගියේය.
"කොහොමද, හොඳින් විනෝදවෙන්න ලැබුනද?" මම ඇසුවෙමි.
"හොඳයි. මෙහෙ හරි අපූරුයි."
ඉන්පසුව සියල්ල නිහඬතාවක නිමග්න විය. කුඩා මිනිසා ඔහුගේ විකාර යෝජනාවෙන් තරුණයාගේ මොළය අවුල්කර ඇති බව මට වැටහිණ. ඔහු තම පුටුවෙහි කිසිම හැලහොල්මනක් නැතිව ඉඳගෙන සිටියේය. ඔහුගේ සිත තුළ ආතතියක් ගොඩනැගෙමින් තිබූ බව පැහැදිළිව පෙනෙන්නට තිබුණි. ඊලඟට පුටුවේ එහා මෙහා ඇඹරෙන්නට පටන්ගත් ඔහු පසු පෙදෙස පිරිමදිමින් හා ගෙල පිටුපස අතගාමින් සිට අත් දෙකම දණිස් මත තබා ඇඟිලිවලින් දණිස් කටුව මත තට්ටු කරන්නටත් පටන්ගත්තේය. ටික වේලාවකින් එක් පාදයකින් පොළවට තට්ටු කරන්නට ද පටන්ගත්තේය.
"දැන් ඔයාගේ ඔට්ටුව ගැන තවසැරයක් මට කියන්න." අවසානයේදී ඔහු කියා සිටියේය. "ඔයා කියන්නේ අපි ඔයාගේ කාමරේට ගිහිල්ලා මම ලයිටරය දහසැරයක් එකදිගට පත්තුකළොත් මම කැඩිලැක් එකක් දිනනවා, එක සැරයක් හරි මිස්උනොත් මට මගේ වම් අතේ සුලැඟිල්ල අහිමි වෙනවා, හරිද?"
"සහතිකෙන්ම, ඒක තමයි ඔට්ටුව. හැබැයි මට හිතෙන්නේ ඔයා බයයි කියලා."
"මම පැරදුනොත් අපි මොකද කරන්නේ? ඔබ වෙන්කරගන්නකල් මම ඇඟිල්ල දික්කරගෙන ඉන්න ඕනැද?"
"අපොයි නෑ, ඒක හොඳ දෙයක් නෙවෙයි. ඔයාට ඇඟිල්ල අල්ලාගෙන ඉන්න බෑ කියලා හිතෙන්න බැරිකමක් නෑ. මට කරන්න තියෙන්නේ පටන්ගන්න ඉස්සරලා ඔබේ එක අතක් මේසයට තියලා බැඳලා පිහියක් උඩින් අල්ලාගෙන ඉන්න එක ලයිටරේ මිස් උන ගමන් කොටන්න බලාගෙන."
"කැඩිලැක් එක කොයි අවුරුද්දෙද?" තරුණයා ඇසීය.
"සමාවෙන්න. මට තේරුනේ නෑ."
"මොකද්ද අවුරුද්ද? කැඩිලැක් එක කොච්චර පරණද?"
"ආ! කොච්චර පරණද? ගිය අවුරුද්දෙ, ඔව්, අළුත්ම වගේ කාර් එකක්. ඒත් මට තේරෙනවා, ඔයා ඔට්ටු අල්ලන ජාතියේ කෙනෙක් නෙවෙයි. අමෙරිකන්කාරයින්ගේ හැටිමයි."
මොහොතකට නිහඩව සිටි තරුණයා පළමුව ඉංග්‍රීසි ජාතික තරුණිය දෙස ද ඊලඟට මා දෙස ද බැලීය. "හරි, මම ඔබත් සමග ඔට්ටුව අල්ලනවා." ඔහු ස්ථිර ලෙස පැවසීය.
"හොඳයි." කුඩා මිනිසා සෙමින් එක් වරක් අත්පොළොසන් ගැසීය. "හරි, අපි ඒක දැන්ම කරමු." පැවසූ ඔහු මා දෙසට හැරුනේය. "මහත්මයා, ඔබට පුළුවන් වෙයි, මං කියන්නේ මේ, විනිශ්චය කරන්න." ඔහුට කුඩාවට පිහිටි දීප්තිමත් කලු ඉංගිරියාවක් සහිත කිසිදු වර්ණයක් නොපෙනෙන සුදුමැලි දෑස් පිහිටා තිබුණි.
"ඒ උනත්, ඒක නං පිස්සු ඔට්ටු ඇල්ලීමක්. මම කොහොමත් එච්චර කැමති නෑ මේ වැඩේට." මම පිළිතුරු දුනිමි.
"මමත් කැමති නෑ." ඉංග්‍රීසි ජාතික යුවතිය පැවසුවාය. ඇය කතාකළේ පළමු වතාවට ය. "මට හිතෙන්නේ ඒක මහ පිස්සු විකාර ඔට්ටුවක් කියලා."
"මේ ළමයා පැරදුනොත් ඇඟිල්ල කපලාදානවා කිව්වෙ ඇත්තටමද?" මම ඇසුවෙමි.
"ඇත්තටම ඔව්. ඒ වගේම එයා දිනුවොත් කැඩිලැක් එක දෙනවා. එන්න, අපි දැන් මගේ කාමරයට යමු."
පුටුවෙන් නැගී සිටි ඔහු, "ඉස්සරලා වෙන මොකක් හරි ඇඳුමක් ඇඳගෙන ඉන්නවද?" යනුවෙන් විමසීය.
"නෑ, මම මේ ඉන්න විදියටම එන්නම්." පිළිතුරු දුන් තරුණයා මා දෙසට හැරුනේය. "ඔබත් ඇවිල්ලා විනිශ්චය කරනවා නම් ඒක ලොකු උදව්වක්."
"හොඳයි, මම එන්නම්. ඒත් මේ ඔට්ටු ඇල්ලිල්ලට නම් මම කැමති නෑ." මම පැවසීමි.
"ඔයත් එන්න. ඇවිත් බලා ඉන්න." ඔහු ගැහැණු ළමයාට කීය.
කුඩා මිනිසා අප ආපසු උද්‍යානය හරහා හෝටලය කරා කැඳවා යන්නට පෙරමුණ ගත්තේය. ඔහු උද්‍යෝගයෙන් ද නොඉවසිලිමත්කමින් ද පිරී සිටි බව පෙනුනි. එනිසාමදෝ ඇවිදින විට පා ඇඟිලි තුඩු මත සිටගන්නා තරමට උඩපනිමින් යන ස්වභාවය තවත් වැඩිවී ඇති බවක් දිස්විය.
"මම ඇනෙක්ස් එකක ඉන්නේ. ඉස්සරලා කාරෙක බලන්න කැමතිද?" මේ ළඟමයි තියෙන්නේ.
හෝටලයට ඉදිරිපසින් පිවිසෙන මාර්ගය පෙනෙන තැනකට අප කැටුව ගිය ඔහු නැවතී ඒ අසල නවතා තිබූ ලා කොළ පැහැති කදිම කැඩිලැක් රථයක් පෙන්වීය.
"අර තියෙන්නේ. කොළපාට එක. ඔබ කැමතිද ඒකට?"
"ලස්සන කාරෙකක්." තරුණයා කීය.
"හරි, දැන් අපි ගිහිල්ලා ඔබට ඒක දිනාගන්න පුළුවන් ද කියලා බලමු."
අපි ඔහු පසුපසින් ඇනෙක්සියට ඇතුළු වී පඩිපෙළකින් උඩට නැග්ගෙමු. ඔහු දොර අගුල් විවෘත කළ පසු අප හැමදෙන ප්‍රසන්න පෙනුමක් තිබූ විශාල ද්විත්ව නිදන කාමරයකට ඇතුළු වූයෙමු. කාන්තාවන් උඩට අඳින ගවුමක් එක් ඇඳක් පාමුල බිම වැටී තිබුණි.
"ඉස්සරලම අපි මාර්ටිනි පොඩ්ඩක් අරගෙන ඉමු." ඔහු පැවසීය.
බීම තිබුනේ ඈත කෙළවරේ කුඩා මේසයක් මත ය. ඒවා මිශ්‍ර කරගැනීමට පහසුවන ලෙස සකස්කර තිබුනේය. මිශ්‍ර කරන බඳුනක්, අයිස් හා වීදුරු ගණනාවක් ද එහි දක්නට ලැබුනි. මාර්ටිනි හැදීම අරඹන අතරම ඔහු සීනුව නාද කළේය. දොරට තට්ටුකරමින් කලු ජාතික මෙහෙකාරියක ඇතුළු විය.
"ආ!" යයි පැවසූ ඔහු ජින් බෝතලය පසෙක තබා මුදල් පසුම්බියක් සාක්කුවෙන් ඉවතට ගෙන පවුමේ නෝට්ටුවක් එළියට ගත්තේය. "කරුණාතරලා ඔබ මට පොඩි වැඩක් කරල දෙන්න ඕනෑ." පවුමේ නෝට්ටුව ඔහු මෙහෙකාරිය අතට දුන්නේය.
"ඕක තියාගන්න. අපි දැන් මෙතැන පුංචි සෙල්ලමක් කරන්නයි යන්නේ. ඔබ ආසසු ගිහිල්ලා මට ඕනැ කරන බඩු දෙකක්, නෑ, තුනක් හොයලා ගෙනත් දෙන්න ඕනෑ. මට ඕනෑ ඇණ ටිකක්, මිටියක්, මස් කපන පිහියක්. ඔබට කුස්සියෙන් ඉල්ලාගන්න පුළුවන් සතුන් කපන අය පාවිච්චි කරන මස් පෙතිගහන පිහියක්. ඔබට ඒක කරන්න පුළුවන් නේද?"
"මස් කපන පිහියක්!" මෙහෙකාරිය තම දෑස් ලොකු කරමින් දෙඅත් ඉදිරියට ගෙන එකිනෙක තදින් ග්‍රහණය කරගත්තාය. "ඔබ කියන්නේ ඇත්තම මස් කපන පිහියක්ද?"
"ඔව්, ඔව්, එහෙම තමයි. කරුණාකරලා මට මේවා හොයලා දෙන්න ඔබට පුළුවන්නේ."
"ඔව්, සර්, මම උත්සාහ කරලා බලන්නම්, සර්. මම කොහොම හරි ගෙනත් දෙන්නම්." ඇය පිටව ගියාය.
කුඩා මිනිසා අප හැමටම මාර්ටිනි පිළිගැන්වූයේය. අපි ඒවා තොලගාමින් එහි සිටගෙන සිටියෙමු. පාට මැකී ගිය දුඹුරු පැහැති නාන කලිසමක් ඇඳ සිටි හිරු එළියට පිළිස්සී සැදුනු ලප කැළැල් සහිත මුහුණක් හා උල් වූ නාසයක් සහිත තරුණයා, තම බීම වීදුරුවට උඩින් නිරන්තරයෙන් තරුණයා දෙස බලමින් සිටි ලා නිල් පැහැති නාන ඇඳුමකින් සැරසුන හොඳින් වැඩුන සිරුරකින් හා ලා පැහැ ගත් කෙස් වැටියකින් යුත් තරුණිය, කදිම සුදු ඇඳුම් කට්ටලයකින් සැරසී මාටිනි බඳුන තොලගාමින් සිටගෙන සිටින අතරතුර ලා නිල් පැහැති නාන ඇඳුමින් සිටින තරුණිය දෙස බලා සිටින කිසිදු වර්ණයක් නොපෙනෙන දෑසින් යුත් කුඩා මිනිසා යන මේ සියල්ලන් කෙසේ වටහාගත යුතු දැයි මට සිතාගත නොහැකි විය. පෙනෙන අයුරින් මේ මිනිසා ඔට්ටුව පිළිබඳව බරපතල ලෙස සිතනවාක් මෙන්ම ඇඟිල්ල කපාදැමීම ගැන ද බලවත් උවමනාවක් දක්වන බව පෙනුනි. ඒත්, තරුණයා පැරදුනොත්? අවුල් ගොඩයි. අපට සිද්දවෙනවා මිනිහට දිනාගන්න බැරිඋන කැඩිලැක් එකේම එයාව ආරෝග්‍යශාලාවට අරගෙන යන්න. ඒක නං අපූරු වැඩක් වෙයි. ඇත්තටම, ඒක හරිම අපූරු වැඩක් නෙමෙයිද? මට පේන විදියට නං කිසිම වැඩකට නැති මරි මෝඩ වැඩක්.
"ඔයාට හිතෙන්නෙ නැද්ද මේක මහ මෝඩ ඔට්ටුවක් කියලා?" මම ඇසීමි.
"මම හිතන්නෙ ඒක හොඳ ඔට්ටුවක්." තරුණයා පිළිතුරු දුන්නේය. ඔහු ඒ වනවිටත් ලොකු මාර්ටිනි වීදුරුවකට වගකියා තිබුනේය.
"මම නං කියන්නේ ඒක පිස්සු විකාර ඔට්ටුවක් කියලා." තරුණිය කීවාය. "ඔයා පැරදුනොත් මොකද වෙන්නේ?"
"මොකවත් වෙන්නේ නෑ. හිතල බැලුවම මගේ මතකයේ නෑ ජීවිතේ කවදාවත් වම් අතේ සුළැඟිල්ල මට ඕනැ වෙලා තියනවද කියලා. මේ තියෙන්නේ ඒක." තරුණයා තම ඇඟිල්ල අතින් අල්ලාගත්තේය. "මේ තියෙන්නේ ඒක, ඒක මට මොකක්වත්ම කරලා දීල නෑ මේ වෙනකල්. ඇයි ඉතින් මං ඒකට ඔට්ටුවක් අල්ලන්නෙ නැත්තෙ? මං හිතන්නේ ඒක හොඳ ඔට්ටුවක් කියලා."
කුඩා මිනිසා සිනාවක් මුවට නංවාගෙන බීම මිශ්‍ර කරන බඳුන ගෙන අපගේ වීදුරු නැවතත් පිරවීය.
"පටන්ගන්න ඉස්සරලා මම කාරෙකේ යතුර මේ . . . මේ . . . විනිශ්චයකාරයාට දෙනවා." පැවසූ ඔහු සාක්කුවෙන් මෝටර් රථ යතුරක් ගෙන එය මා අතට දුන්නේය. "ලියකියවිලි, වාහනයේ හිමිකාරිත්ව ලියවිලි, රක්ෂණ සහතික වාහනයේ ලාච්චුව ඇතුලේ."
එවිට කලු ජාතික මෙහෙකාරිය යළි පැමිණියාය. ඇයගේ එක් අතක මස් විකුණන වෙළඳුන් මස්වල කටු කැපීමට ගන්නා වර්ගයේ කුඩා පිහියක් ද අනෙක් අතේ මිටියක් හා ඇණ දැමූ මල්ලක් ද විය.
"හරිම හොඳයි. ඔබ ඔක්කොම ගෙනාවා. ස්තූතියි, ස්තූතියි. දැන් ඔබට යන්න පුළුවන්." මෙහෙකාරිය දොර වසන තෙක් බලාසිටි ඔහු උපකරණ සියල්ල එක් ඇඳක් මත තබා, "දැන් අපි සූදානම් වෙමු නේද?" යයි පවසා තරුණයා දෙසට හැරී, "කරුණාකරලා මට ටිකක් උදව්කරන්න මේ මේසෙ අල්ලන්න. අපි ඒක ටිකක් මෙහාට ගමු." යි පැවසීය.
එය හෝටල් කාමරයක සාමාන්‍යයෙන් තිබෙන මේසයකි. අඩි හතරේ තුනේ සෘජුකෝනාශ්‍රාකාර මේසයක් වූ ඒ මත තින්ත පොඟවන පෑඩ් එකක්, තින්ත, පෑන් හා කඩදාසි ද විය. ඔවුහු එය බිත්තිය අයිනෙන් මෑත්කොට තබා එහි තිබූ දෑ ඉවත් කළහ.
"දැන් ඕනැ පුටුවක්." පැවසූ ඔහු පුටුවක් ගෙන මේසය පසෙකින් තැබීය. ළමයින්ගේ සාදයකදී ක්‍රීඩා සංවිධානය කරන පුද්ගලෙයෙකු මෙන් ඔහු බෙහෙවින් කඩිසර හා උද්‍යෝගිමත් ලෙස ක්‍රියාකළේය. "ඊලඟට ඇණ, ඇණටික ගහලා ඉන්න ඕනෑ." ඇණ අතට ගත් ඔහු මිටියෙන් ගසමින් ඒවා මේසය මතුපිට සවිකිරීමට පටන්ගත්තේය.
අපි; තරුණයා, තරුණිය සහ මම මාර්ටිනි වීදුරු අතැතිව කුඩා මිනිසා වැඩ කරන දෙස බලමින් සිටගත්වනම සිටියෙමු. ඔහු එකිනෙකට අඟල් හයක් ඈතින් මේසට මත ඇණ දෙකක් ගසනවා අපි බලා සිටියෙමු. ඔහු ඒවා සම්පූර්ණයෙන්ම යටට යනතෙක් ගැහුවේ නැත; ඒවායේ උඩ කොටස මතුපිටට නෙරා සිටින සේ ඉතිරි කළේය. ඊලඟට ඇඟිලිවලින් අල්ලා සොලවා ඒවායේ ශක්තිමත්බව බැලීය.
ඕන කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ බැල්ලිගෙ පුතා මේ වැඩේ කළින් කරල තියනවා කියලා. මම මටම කියාගතිමි. කිසිදු පැකිළීමක් නැත. මේසය, ඇණ, මිටිය, මස් කපන පිහිය; හරියටම දන්නවා ඕනැ මොනවද, ඒවා පිළියෙල කරගන්නෙ කොහොමද කියලා.
"දැන්, තව අපිට ඕනෑ නූල් ටිකක් විතරයි." ඔහු කියා සිටියේය. නූල් සොයාගත් ඔහු "හරි, අන්තිමේදී අපි දැන් ලෑස්තියි. ඔබ කරුණාතරලා මේසෙ ලඟින් වාඩිවෙනවද?" යි තරුණයා දෙසට හැරී පැවසීය.
වීදුරුව පසෙකින් තැබූ තරුණයා ඉඳගත්තේය.
"දැන් වම් අත තියන්න මේ ඇණදෙක අතරින්. ඇණ තියෙන්නේ මට ඔයාගේ අත හරියට තියලා ගැටගහන්න විතරයි. දැන් මම ඔයාගෙ අත මේසෙට තියලා තදවෙන්න ගැටගහනවා."
ඔහු නූල තරුණයාගේ මැණික් කටුව වටා ඔතා තවත් කිහිප වාරයක් අතෙහි මහතට ඇති කොටසේද ඔතා ඇණවලට තබා තදකොට ගැටගැසුවේය. ඔහු කොතරම් හොඳින් එය කළාද කිවහොත් ගැටගසා නිමවූ පසු අත ඉවතට ඇදගැනීමට තරුණයාට කිසිම ඉඩක් තිබුනේ නැත. එහෙත් ඔහුට ඔහුගේ ඇඟිලි සෙලවීමට ඉඩ තිබුණි.
"දැන්, කරුණාකරලා අත මිටමොලවා ගන්න පුංචි ඇගිල්ල ඇරෙන්න. පුංචි ඇඟිල්ල දිගෑරලා මේසෙ උඩ තියෙන්න අරින්න ඕනෑ."
"නියමයි! නියමයි! දැන් අපි ලෑස්තියි. දකුණු අතින් ඔබට පුළුවන් ලයිටරය පත්තුකරන්න. ඒත්, කරුණාකරලා තව පොඩ්ඩක් ඉන්න."
ඇඳ වෙතට පැන්න ඔහු පිහිට අතට ගත්තේය. ආපසු පැමිණි ඔහු මස් කපන පිහිය ද අතැතිව මේසය පසෙකින් සිටගත්තේය.
"ඔක්කොම ලෑස්තිද? විනිශ්චය කරන මහත්මයා ඔබ සංඥාව දෙන්න ඕනෑ පටන්ගන්න."
ලා නිල් පැහැති නාන ඇඳුමින් සිටි ඉංග්‍රීසි යුවතිය හරියටම තරුණයාගේ පුටුව පිටුපසින් සිටගෙන සිටියාය. ඇය එතැන සිටගෙන සිටියා මිස වදනකුදු තෙපළුවේ නැත. තරුණයා දකුණතින් ලයිටරය අල්ලාගෙන, පිහිය දෙස නෙත් යොමාගෙන නිශ්චලව වාඩිවී සිටියේය. කුඩා මිනිසා මා දෙස බලාසිටියේය.
"ඔබ සූදානම්ද?" මම තරුණයාගෙන් ඇසීමි.
"මම ලෑස්තියි."
"ඔබ?" කුඩා මිනිසාගෙන් ද ඇසුවෙමි.
"හොඳින්ම", පැවසූ ඔහු පිහිය ඉහලට ඔසවා තරුණයාගේ ඇඟිල්ලට අඩි දෙකක් පමණ උඩින් අල්ලාගෙන සිටියේ කොටන්නට සූදානමිනි. එදෙස බැලූ තරුණයා බියෙන් හැකුලුනේ හෝ කට සෙලෙව්වේ හෝ නැත. ඇහිබැම ඔසවා නුරුස්නා බැල්මක් හෙලුවා පමණි.
"හරි, එහෙමනම් පටන්ගමු." මම පැවසීමි.
"ඔබ කාටත් ඇහෙන්න හයියෙන් ගණන් කරනවද මම මේක පත්තු කරන වාර ගණන?" තරුණයා විමසීය.
"ඔව්, මම ඒක කරන්නම්." මම පිළිතුරු දුනිමි.
ඔහු මහපටැඟිල්ලෙන් ලයිටරයේ උඩවැස්ම ඔසවා එම ඇඟිල්ලෙන්ම කුඩා රෝදය ක්ෂණිකව කරකැවීය. ගිනිගලින් පුළිඟු විහිදී තිරයට ඇවිලී කුඩා කහපැහැති දැල්ලක් විහිදුවමින් දැවුනේය.
"එකයි!" මම හඬනැගීමි.
ඔහු දැල්ල කටින් පිඹ නොනිවා ලයිටරයේ උඩවැස්මෙන් එය වසාලීය. තත්පර පහක් පමණ ගතවන්නට හැර ඔහු එය යළිත් විවෘත කළේය.
ඔහු ඉතාමත් තදින් රෝදය කරකැවීය. කුඩා දැල්ලක් විහිදුවමින් යළිත් වරක් තිරය ඇවිලුනි.
"දෙකයි!"
වෙනත් කිසිවෙකුත් වචනයකුදු කතා කළේ නැත. තරුණයා ලයිටරය මතම ඇස් රඳවාගෙන සිටියේය. පිහිය ඉහලට ඔසවාගෙන කුඩා මිනිසා ද බලාසිටියේ ලයිටරය දෙස ය.
"තුනයි!"
"හතරයි!"
"පහයි!"
"හයයි!"
"හතයි!" නිසැකවම එය ඉතා හොඳ වර්ගයේ ලයිටරයකි. ක්ෂණික දැල්වීම ලොකු පුළිඟුවක් නිකුත් කළ අතර තිරය ද ඊට සරිලන දිගකින් යුක්ත විය. උඩවැස්ම දැල්ල මතට මහපටැඟිල්ලෙන් තල්ලුකරනු මම බලා සිටියෙමි. ඊලඟට විරාමයකි. නැවතත් මහපටැඟිල්ලෙන් උඩවැස්ම එසවේ. එය සම්පූර්ණයෙන්ම මහපටැඟිල්ල යොදාගෙන කරන ක්‍රියාවලියකි. සියල්ල කළේ මහපටැඟිල්ලයි. මම හුස්මක් ගෙන අටයි යනුවෙන් කීමට සැරසුනෙමි. මහපටැඟිල්ලෙන් රෝදය කරකැවින. ගිනිපුළිඟු විහිදින. කුඩා දැල්ල මතුවිය.
"අටයි!" මගේ මුවින් පිටවිය. මා එසේ කියත්ම දොර විවෘත විය. අප සියල්ලෝම හැරී බලත්ම දුටුවේ කුඩා සිරුරකින් යුත්, කළු පැහැති හිසකෙස් ඇති, තරමක් වයස්ගත වූ කාන්තාවක් දොරකඩ සිටගෙන සිටින බව ය. තත්පර කිහිපයක් එසේ සිටි ඇය "කාලෝස්! කාලෝස්!" යනුවෙන් කෑ ගසමින් ඉදිරියට පැන්නාය. ඔහුගේ අතේ මැණික් කටුවෙන් අල්ලාගෙන පිහිය උදුරාගෙන ඇඳ මතට වීසිකළ ඇය සුදු කබායේ කරපටියෙන් අල්ලා කුඩා මිනිසා ග්‍රහණයට ගෙන ස්පාඤ්ඤ බසට නෑකම් කියන භාෂාවකින් මහ හඬින් වේගවත්ව කතාකරමින් දැඩිලෙස ඔහුව සොලවන්නට පටන්ගත්තාය. ඇය කොතරම් වේගයකින් ඔහු සෙලවූයේද යත් ඔබට ඔහු නොපෙනී යන තරම් විය. ඔහු යන්තමින් දර්ශණය වන නොපැහැදිළි ඡායාවක් මෙන් දිස්විය. හරියටම කරකැවෙන රෝදයක ස්පෝක් කම්බි මෙනි.
මොහොතකින් ඇයගේ වේගය බාල වූ පසු නැවතත් කුඩා මිනිසා පෙනෙන්නට පටන්ගති. කාමරය හරහා ඔහු ඇදගෙන ගිය ඇය උඩුකුරුව සිටින සේ ඇඳක් මතට තල්ලු කළාය. ඇහිපිල්ලම් ගසමින් බෙල්ල මත හිස හරියට තිබෙන්නේ දැයි බැලීමට මෙන් හිස හරවා බලමින් ඔහු ඇඳෙහි ගැට්ට මත වාඩිවිය.
"මට හරි කණගාටුයි. මට කියන්න බැරි තරම් කණගාටුයි මේ වගේ දෙයක් සිදුඋන එක ගැන." කාන්තාව පැවසුවාය. ඇයට බොහෝදුරට නිවැරදි ඉංග්‍රීසි කතාකිරීමට පුළුවන්කම තිබුණි.
"මේක හරිම නරක දෙයක්." ඇය තවදුරටත් පැවසුවාය. "මං හිතන්නේ මගේ තමයි වැරැද්ද. විනාඩි දහයකට තනියම ඉන්න ඇරලා මං කොණ්ඩෙ හෝදගන්න ගියා. ඒ ටිකට එයා ආයෙත් ඒ වැඩේ කරලා." ඇය බෙහෙවින්ම කණගාටු වන බවක් හා පසුතැවෙන බවක් දක්නට ලැබිණ.
තරුණයා තම අත මේසයෙන් ලිහාගනිමින් සිටියේය. ඉංග්‍රීසි ජාතික කරුණිය හා මම කිසිවක් නොකියා සිටගෙන බලා සිටියෙමු.
"ඔහු හරිම කරදරයක්. දකුණේ අපි ජීවත් උන දිහා ඔහු එක එක මිනිස්සුන්ගෙන් ඇඟිලි හතලිස් හතක් අරගෙන තියනවා, කාර් එකොළහක් පැරදිලා තියනවා. අන්තිමට ඒගොල්ල තර්ජනය කළා මෙයාව කොහේ හරි හිරකරලා තියනවා කියලා. ඒකයි මං මෙයාව මෙහාට එක්කරගෙන ආවේ."
"අපි පොඩි ඔට්ටුවක් ඇල්ලුවා විතරයි." ඇඳ මත සිටි කුඩා මිනිසා තොල්මැතිරීය.
"මං හිතන්නේ එයා ඔයත් එක්ක කාරෙකක් ඔට්ටු අල්ලන්න ඇති." කාන්තාව පැවසීය.
"ඔව්, කැඩිලැක් එකක්." තරුණයා පිළිතුරු දුන්නේය.
"එයාට කාරෙකක් නෑ. ඒක මගේ. ඒක ඔක්කොටොම වඩා නරකයි, ඔට්ටු අල්ලන්න මොකක්වත්ම නැතිව ඔයත් එක්ක ඔට්ටු අල්ලන එක. මට ලැජ්ජයි, හරිම කණගාටුයි මේ වෙච්ච දේ ගැන." ඇය ඉතාමත් හොඳ කාන්තාවක් ලෙස පෙනිණ.
"හොඳයි, මෙන්න එහෙමනම් ඔබේ කාරෙකේ යතුර." මම එය මේසය මත තැබුවෙමි.
"අපි පොඩි ඔට්ටුවක් ඇල්ලුවා විතරයි." කුඩා මිනිසා තොල්මැතිරීය.
"එයාට මොකක්වත් ඉතිරිවෙලා නෑ ඔට්ටු අල්ලන්න." කාන්තාව කීවාය. "එයාට මේ ලෝකෙ කිසිම දෙයක් නෑ. මොකවත් නෑ. ඇත්තම කියනවනං හුඟ කාලෙකට ඉස්සර මම්ම තමයි ඒවා ඔක්කොම එයාගෙන් දිනාගත්තේ. ඒකට කල් ගතඋනා, දිග කාලයක්. අමාරු වැඩක්. ඒත්, අන්තිමේදී මම ඒ ඔක්කොම දිනුවා." තරුණයා දෙස බැලූ ඇය සිනාවක් පෑවාය. එය ශෝකය ගැබ්වූ මද සිනාවක් විය. සමීපයට ආ ඇය මේසය මත වූ යතුර ගන්නට අත දිගු කළාය. මා එය, ඇගේ අත, දැක්කේ එවිට ය. එහි තිබුණේ එක් ඇඟිල්ලකුත් මහපටැඟිල්ලත් පමණි.
* * *
මෙම කතාව කලකට පෙර රූපවාහිනී නිර්මාණ කිහිපයකටම පාදක වී ඇතිබව යූටියුබ් වෙත ගොස් බැලූ විට පෙනීයයි. ඉන් එකක් ඇල්ෆ්‍රඩ් හීච්කොක් විසින් නිර්මාණය කර ඇත. පහත අමුනා ඇත්තේ Tales of the Unexpected නම් කතාමාලාවට මෙම කතාව යොදාගෙන කර ඇති නිර්මාණයයි.

https://www.youtube.com/watch?v=qUR9716Zm7c
ReplyDelete