මවිසින් පරිවර්තනය කරන ලද කවි පංති දෙකක් මෙහි ඉදිරිපත් කරමි. පළමු එක ලැංග්ස්ටන් හියුස්ගේ Life is Fine ය. මගේ නිත්‍ය සහෘදයන්ට මේ ලේඛකයා අමුත්තෙකු නොවේ. ඒ මා මීට පෙර ඔහුගේ නිර්මාණ ඉදිරිපත්කර ඇති බැවිනි. එනිසා ලේඛකයා පිළිබඳ හැඳින්වීමක් මෙතැන ඇතුළත් නොකරමි. අවශ්‍ය අයට එය මෙතැනින් බලාගත හැකිය.
දෙවැන්න සිග්ෆ්‍රීඩ් සසූන් (Siegfried Sassoon) විසින් ලියන ලද Suicide in the Trenches ය. ඔහු පළමු ලෝක යුද්ධයේ දී යුුද පෙරමුණෙහි සටන් කළ බ්‍රිතාන්‍ය ජාතික සොල්දාදුවෙකි. සටන් පෙරමුණෙහි ඔහු දැක්වූ එඩිතරබව හා දක්ෂතාව නිසා ඔහුට කපිතාන් තනතුර දක්වා උසස් වීමට හැකි විය. අද ඔහුු ලොව ප්‍රකට වී ඇත්තේ ශ්‍රේෂ්ඨ කවියෙකු වශයෙනි. ඔහුගේ බොහෝ කවි යුද පෙරමුණෙහි සෙබලුන් අත්විඳි කෘෘරත්වය විස්තර කරන අතර යුද්ධයට වගකිවයුත්තන්ගේ ව්‍යාජ දේශප්‍රේමිත්වය උපහාසයට ලක් කරයි. සිය හමුදා ජීවිතයේ අවසාන භාගයේ දී යුද පෙරමුණට යාම ප්‍රතික්ෂේප කිරීම නිසා යුද නීතියට අනුව දඬුවමකට ලක්කර හැකි වුවද ඒ වෙනුවට මනෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔහු රෝහලකට යොමු කරන ලදී. මිතුරු සොල්දාදුවෙකුගේ වෙඩි පහරකට අහම්බෙන් ලක්ව තුවාල ලබන ඔහු පසුව වෛද්‍ය හේතු දක්වා හමුදා සේවයෙන් ඉවත් විය.
ජීවිතය සුන්දරයි!
(Freepik AI අනුග්‍රහයෙන්)
ගඟ ළගට ගිය මම
වාඩි ගෙන ඉවුරේ
වෑයම් කළත් සිතන්නට බැරි විය කරන්නට එය
පැන ගිලුනෙමි ගඟෙහි.
වෑයම් කළත් සිතන්නට බැරි විය කරන්නට එය
පැන ගිලුනෙමි ගඟෙහි.
වරක් උඩ ආ මම නැගූයෙමි මරහඬක්
දෙවරක් උඩ ආ මම හැඬූයෙමි මහ හඬින්
සීතල නොවුනා නම් වතුර ඒ තරමටම
මැරෙන්නට තිබුණි මට ගිලී ඒ ජලයෙහි
දෙවරක් උඩ ආ මම හැඬූයෙමි මහ හඬින්
සීතල නොවුනා නම් වතුර ඒ තරමටම
මැරෙන්නට තිබුණි මට ගිලී ඒ ජලයෙහි
ඒත් ඒ තරමටම සීතලයි ඒ ජලය! හරිම හරි සීතලයි!
ගොඩඋනා ලිෆ්ට් එකට
ගියා තට්ටු දහසයක් උඩ පොලවෙ සිට
සිහිපත් කරලා මගේ කෙලි පොඩ්ඩ
හිතුවා පනින්නට බිමට.
සිටි තැනම සිටගෙන නැගූයෙමි මරහඬක්
සිටි තැනම සිටගෙන හැඬූයෙමි මහ හඬින්
ඒක එච්චර උස නොවුනා නම්
මැරෙන්නට තිබුණි මට පැන එතැන සිට බිමට
ඒත් ඒ තරමටම උස වැඩියි පොලවෙ සිට! උසම උස තැනක් එය
ඉතින් තාමත් මම ජීවතුන් අතර ඉන්න හින්දා
මං හිතන්නේ දිගටම ජීවත් වෙන එක තමයි හොඳ
මට මැරෙන්න තිබුනා ආදරය වෙනුවෙන්
ඒත් ඉපිද ඇත්තේ මා ජීවත් වෙන්නමයි
ඇසුනත් ඔබට මා නගනු මරහඬ දිනෙක යම්
දුටුවත් ඔබ මා හඬනු මහ හඬින් යළි
සිහිනයක්මයි ඒක මගෙ චූටි කෙල්ලේ
ඇහැ ගැටුනොතින් ඔබට මා මැරෙන්නට යනවා නැවත
ජීවිතය සුන්දරයි! වයින් මෙන් සුන්දරයි! ජීවිතය සුන්දරයි!
ලැංග්ස්ටන් හියුස්
* * *
යුද අගලේදී අහිමි කරගත් දිවිය
දැන සිටියා මා තරුණ යුද භටයෙක් අහිංසක,
ජීවිතය දෙස බලා සිනාසුන නොතේරෙන සතුටකින්,
පාළු, හුදෙකලා රාත්‍රිය සුව නින්දකින් පහන් කළ,
ලාක් කුරුල්ලා සමහ හිමිදිරි පාන්දර ගී ගැයූ.
ශීත සෘතුවේ යුද අගල් තුළ බියෙන්, කලකිරීමෙන්,
පිපුරුම් හඬ මැදින් මැක්කන් පිරි ගතින්, පිපාසිතව රම් බිඳකට,
මොලය හරහා උණ්ඩයක් යවාගත්තාට පසු,
නෑ කතා කළේ ඔහු ගැන කවුරුවත් යළි කවමදාවත්.
සතුට උතුරන මුහුණින්, දීප්තිය විහිදෙන දෑසින් රොද බැඳී,
ඔල්වරසන් හඬ නගන්නනි පෙලපාළියෙන් යන සොල්දාදු ගැටයින්ට,
රිංගාගෙන යළිත් ගෙට යාඥා කරල්ලා කිසි දිනක දැන නොගන්නට,
තුරුණු වියත් සතුටු සිනාවත් ගිලී අතුරුදන් වී යන නරකාදිය ගැන.
සිග්ෆ්‍රීඩ් සසූන්
* * *
සිතට දැනෙන අකුරු!
ReplyDelete++++++++++++++++සුපිරි
ReplyDelete