Saturday, March 2, 2024

ගිය පණවත් ඇදල ගන්න....

     

(cartoon movement වෙතින්)


    ලිට්සීකර් ගුරු වෘත්තියේ නියැලුන මුල් අවදියේ සේවය කළ එක්තරා පාසැලක ගුරු මණ්ඩලය මාස ගණනාවක් යනතුරු සිතා සිටියේ මා කතෝලික භක්තිකයෙකු ලෙසය. එයට හේතු දෙකක් විය. එකක් නම් ඒ දිනවල ලිට්සීකර් පදිංචිව සිටියේ මීගමුවේ නිසාය. අනෙක් කරුණ නම් කිසි දිනක ලිට්සීකර් පන්සිල් නොගැනීම ය.

ඒ සමගම තවත් කරුණක් මතක් වෙයි. ලිට්සීකර්ගේ මව මෙලොව හැරගිය පසු පාංශකූලයට වැඩි ගමේ පන්සලේ නායක හාමුදුරුවන්ට ද කරන්නට පැමිණිල්ලක් තිබිණ. ඒ මෙසේය. "ඉස්සර නම් මේ ගෙදර උපාසක මහත්තුරු උපාසක අම්මලා නිතර පන්සලට ආවා ගියා. පින්කම්වලට සම්බන්ධ වෙලා අපේ ඕනෑ එපාකම් හොයලා බැලුවා. දැන් එහෙම නෑ. අපි යමක් කරන්නේ අපිත් යමක් බලාපොරොත්තුවෙන් කියලා මතක තියා ගන්න ඕනෑ." ඊට වහා ප්‍රතිචාර දක්වන්නට ඉක්මන් කෝපකාරයෙකු වූ පියාණන්ට අවශ්‍ය වුවද මගේ ආයාචනය නිසා බේරාගත හැකි විය. 

    එසේ වුවද ලිට්සිකර්ගේ බිරින්දෑගේ හිතට හරිගියේ නැත. "අපි පේරු දානයක් අරගෙන දානෙ එහෙම ගිහින් දෙමු." ඒකට ද බෑ කියන්නට බැරි වූ නිසා (බෑ කිව්වා හරිගියේ නෑ) ඒකත් එහෙම උනේය. දැන් ලිට්සිකර් උපාසක මහතා මසකට වරක් දානමානාදිය රැගෙන පන්සලට ගොස් බුද්ධ පූජාව ද තබා හාමුදුරුවන් කියන එකක් ප්‍රතිරාවය කොට ගෙදර එන්නේය. ඒ වැඩේ සිදු උනේ විශ්‍රාම ගියාට පසුවය. ඒ ලිට්සීකර් උපාසක මහතා අවසන් වරට රාජකාරි කළ ස්ථානයේ හැටියට අවුරුද්දේ වැඩි කාලයක් ගෙදර ඇත්තන්ට ද මා දැක ගැනීමේ වාසනාව පහල උනේ සති දෙක තුනකට වරක් නිසාය.  වෘත්තිය ගැන කියන විට තවත් මතක සටහනක් මතු වී එයි. මගේ පළමු රැකියාව වූ ගුරු පත්වීම ලැබුනේ තරඟ විභාගයක අනුහසිනි. ඒ විභාගයට යනදා අම්මා මටත් නොකියා කොහෙන්දෝ යන්තර රාජයෙක් තනවා උදේ පාන්දර පිටත්වන මා අතට දුන්නේ "පුතේ මේකත් අතේ තියාගන්න." කියාය. එදා නම් "මට එපා මම ඕවා විශ්වාස කරන්නේ නෑ." යයි කියා පිටත්වන්නට ශක්තිය තිබුනේය. හැබැයි අද වගේ නම් අම්මාගේ හිත නොරිදවා එය රැගෙන යන්නට ඉඩ තිබිණ. විභාගයෙන් ද ගොඩගිය නියා ප්‍රශ්නයක් උනේ ද නැත. 

  මේ සියල්ල යළිත් සිහි උනේ මේ දිනවල අසනීපයෙන් පසුවෙන ලිට්සීකර් යළිත් උභතෝකෝටිකයකට මැදි වී ඇති  නිසා ය. ඒ උදරාබාධයක් නිසා ය. ලිට්සීකර්ට දැනෙන විදියට නම් එය ගැස්ට්‍රයිටිස් ආමාශයකට විෂබීජයක් ඇතුල් කලා හා සමාන ය. දොස්තර මහතා සිතුවේ ද එලෙසම බව දී ඇති බෙහෙත් වර්ගවලින් පෙනේ. හැබැයි සුවවීම මන්දගාමී ය. මෙය දරාගත නොහැකි ගෙදර ඇත්තෝ ද බෙහෙතට එහා ගිය යමක් කළහොත් හොඳ බව වටහා ගත්හ. එයටම හරි යන්නට උන්දෑගේ පුංචි මස්සිනාට හූනියම් දේවතාවුන් වහන්සේගේ පිහිටෙන් ලෙඩ රෝග සුව කරන වරමක් ලැබී ඇත. ලිට්සීකර්ටත් හොරෙන් වැඩේ ලෑස්ති උනේය. ලිට්සීකර් ද සුපුරුදු පරිදි බැරිබව කියා සිටියත් පස්සේ ගෙදර සාමයත් මස්සිනාගේ හොඳ හිතත් ආරක්ෂා කරගනුවස් අන්තිම මොහොතේ වැඩේට එකඟ උනේය. 

    මස්සිනා පොඩ්ඩට එන්න කාලවේලා නැති නිසා (හොඳ වෙලාවට) වැඩේ කෙරුනේ ටෙලිකොම් එකේ පිහිටෙනි. ආතුරයා බුදුගුණ සිහිකොට පන්සිල් සමාදන් වී පළමුව දකුණු අත වම් උරහිස බෙල්ල මුල ද පසුව ලෙඩ රෝග තිබෙන උදර ප්‍රදේශයේ ද තබාගෙන සිටියදී ගුරුතුමා ජංගම දූරකථනයේ පිහිටෙන් මතුරා පසුව වතුර බෝතලයක් අතට ගන්නා ලෙස උපදෙස් දුන්නේය. (බිරින්දෑ තොමෝ ඒවා කළින් ලෑස්ති කර තිබුනාය.) එය අතේ තබගෛන සුද්ධ සූනියම් ගම්බාර දේවතා උන්නාන්සේගේ පිහිට ප්‍රාර්ථනා කළ යුතුය. ඒ අතර පඬුරක් ද ගැටගසා බුදුපිළිමය අසල තබන්නේය. පසුව දැනගන්නට ලැබුනේ අමනුෂ්‍ය ප්‍රානයක් තුස තුළට ඇතුළුව සිට ඇති බවය. දේවතා උන්නාන්සේගේ බලයෙන් ඌ දැන් එළියට දාලාය. අවසානයේ දේවතා උන්නාන්සේට පින් අනුමෝදන් කොට දවසට දෙවරක් අර ජීවම් වතුර බෝතලයේ පියනෙන් දෙක බැගින් උදේ හවස (උතුර බලාගෙන) බොන ලෙසට උපදෙස් ලැබිණ. ඒ ගමන්ම දේවතාවුන් වහන්සේට ද පින් පැමිණවිය යුතුය. අවසානයේ ලැබුන වැදගත්ම උපදෙස වූයේ නොවරදවා මෙතෙක් ගනිමින් සිටි වෛද්‍ය ප්‍රතිකාර නොකඩවා ගතයුතු බවය. මේ පිහිටෙන් ගැලපෙන වෛද්‍යවරු මුණගැසෙන බව ද දැන්වීය. දැන් ඉතින් ලිට්සීකර්ගේ දවස ගෙවෙන්නේ එහෙමය. ඒවා කරන අතරතුර බ්ලොගයට කොටා අතරමග නවතා වැසිකිළි දුවන අවස්ථා ද එමටය. මේ සියළු වතාවත් දැඩි විශ්වාසයෙන් කළයුතු බවද අවධාරණය කෙරිණ. ලිට්සීකර්ට තේරෙන හැටියට අමාරුම වැඩේ ඒකය. සිතට නොදැනෙන විශ්වාසයක් කෙසේ ඇතිකරගන්නේ ද කියාය. ගෙදර එක්කෙනා නම් කියන්නේ "විශ්වාස නොකළට කමක් නෑ. ඒවා කරන කොට විශ්වාසයෙන් කරන්න." කියාය. ඒ ක්‍රමය තවම ප්‍රගුන කරගන්නට බැරි විය.

    මේ සියළු කරුණු කාරනා වලින් වැටහුනේ අපට හරි යයි සිතෙන දේ සමාජයේ බහුතරයේ මතය නොවේ නම්, එයට එරෙහිව සිටී නම් අපට අත්‍යවශ්‍ය බව හැඟෙන සමාජීය සබඳතා රැකගනිමින්  හරි යයි අපට සිතෙන විදියට කිරීම කොතරම් අමාරු ද යන්නය. හරියටම කළොත් ගෙදර සාමයත් සිතේ සැනසිල්ලත් නෑකමත් යන සියල්ල නැතිව යන්නේය. ඊට වඩා මේ ක්‍රමය හොඳයි කියා ද සිතේ. මේ ටික වුවද බය නැතුව කෙටුවේ ගෙදර එකෙකුවත්, නෑ පිරිවරින් එකෙකුවත්, අලගිය මුලගිය තැන්වල එකෙකුවත් මා මේ ලියන බ්ලොග් සටහන් කියවන්නට තියා ඒ ගැන හිතන්නේවත් නැති බව සහසුද්දෙන්ම දන්නා නිසා ය. එකම බය නම් මෙය හූනියම් දේවතාවුන් වහන්සේගේ ඇස ගැටේදැයි කියා ය.     








8 comments:

  1. වවුලගේ ගෙදර ගියාම එල්ලිලා ඉන්න ඕනේ නියමය තමයි ඕක....විශ්වාස ඇදහිලි ප්‍රශ්ණ කරන කොට ඒවාට නිග්‍රහ කරලා පටන් ගත්තොත් ඒ වා අදහන පුද්ගලයට ඇතිවෙන්නෙ කෝපයක්...ඒත් හෙමිහිට ඒවගේ ඇතිලේ තියෙන මුග්ධ ගම ඒත්තු ගන්වන්න පුලුවන් ඉවසිලිමත්ව...මට හිතෙන විදියට

    ReplyDelete
    Replies
    1. කොහොමටවත් ඒතතු ගන්වන්න බැරි තැන නිහඬ වෙන එක තමයි හොඳම දේ.

      Delete
  2. යන්ත්‍ර රාජයන්ගෙ පිහිට පතන්න පටන් ගත්තොත් අශ්වබල පන්දාහක යන්ත්‍ර රාජයෙක් යෙදෙව්වත් හිතට මදි වේවි.

    ReplyDelete
  3. හේ හේ. මේ බ්ලොග් එක මොකක්ද? මම දැක්කේ අහම්බෙන්. මේක අර බක් ගේ කතාව යන බ්ලොග් එක අතරේ සම්බන්ධයක් තියෙනවද? ගැස්ට්‍රයිටිස් ගැන හෙම හොඳ පොතක් තියනවා. පුලුවන්නම් අරගෙන කියවන්න. Acid Watcher Diet - Dr Jonathan Aviv

    ReplyDelete
    Replies
    1. මගේ බ්ලොග් රෝලේ තියනව. කලින් ඇවිත් තියෙනවනේ

      Delete
    2. මගේ ඔලුව පොඩ්ඩක් අවුල් වෙලාද කොහෙද. මම බ්ලොග් අඩවි දෙකක් මාරු කරගෙන. සොරි 😀

      Delete
    3. දෙකම ලිට්සීකර්ගෙම තමයි. සිතුවිළි රළබිඳුම කොටස් වශයෙන් යන කතාවට යොදාගන්නා නිසා මේක පටන්ගත්තා එදිනෙදා බ්ලොග් පෝස්ට් දාන්න. කියපු පොත නම් හොයාගත්තා. හිමීට කියවලා බලන්න ඕනෑ. ස්තූතියි තොරතුරට.

      Delete

හුදෙකලා වූ දූපත් දෙකක අන්දරය

ඔබට විසඳාගත නොහැකි ගැටළුවකට මැදි වී ගොඩඑන්නට නොහැති වී ඇත්නම් කරන්නේ කුමක්ද? මෙයට නොයෙකුත් දෙනා විවිධාකාර වූ පිළිතුරු දෙන්නට පුළුවන. ජීවිතය ...