Saturday, January 24, 2026

බළලා ගෙට රිංගූ හැටි!

  අද බල්ලන් හා බළලුන් ගෙවල් ආශ්‍රිතව මිනිසුන්ගේ ආදරය හා කරුණාව පමණක් නොව කෘෘරත්වය ද විඳිමින් මිනිසුන් මත යැපෙමින්  ජීවත් වුවද බොහෝ ඈත අතීතයේ උන් කැලෑවේ ජීවත්වන අන් සතුන් මෙන්ම කැලෑ දිවියක් ගතකළ බව විද්‍යාඥයෝ කියති. ඒ පිළිබඳව විවාදයක් නැතත් තවමත් ඒ හා සම්බන්ධ පර්යේෂණ කෙරෙමින් පවතී. මේ සතුන් දෙදෙනා අතරින් ද බළලා බල්ලාට වඩා තවමත් ස්වාධීන ගතිපැවතුම් ප්‍රකට කරන බව උන්ගේ හැසිරීම් රටාව දෙස බලන විට පෙනේ. මේ සතුන් මිනිසාට සමීපවීම පිළිබඳව සිතුවේ විද්‍යාඥයින් පමණක් නොවේ. ජනකතාකරුවා ද පසුකලෙක බිහි වූ නිර්මාණකරුවෝ ද මේ ගැන ප්‍රබන්ධ ගෙතූහ. මේ ද එවැන්නකි. මෙය සිම්බාබ්වේ ජනකතාවක් ලෙස සඳහන් වෙයි. උපුටාගත්තේ Nelson Mandela's Favorite African Folktales නම් ග්‍රන්ථයෙනි. 




එකමත් එක කාලෙක බැළලියක් කැලෑවේ තනිවම ජීවත් උනා. ටික කාලයක් ගියාට පස්සේ මේ බැළලිට තනිවම ජීවත්වෙලා එපා උනා. ඇය කැලෑවේ හිටපු තවත් බළලෙක් ස්වාමිපුරුෂයා හැටියට තෝරාගත්තා. ඌත් මේ බැළලිට කැමති උනා මේ තමයි කැලෑවේ හිටපු ලස්සනම බැළලි කියලා හිතපු නිසා.  දවසක් මේ දෙන්නා කැලෑව මැදින් ඇවිදගෙන යද්දී එකපාරටම කැලෑවෙ හිටපු කොටියෙක් මේ දෙන්නා මැදට පැන්නා. කොටියගෙ ඇඟේ වැදුන බළලා වැටිලා දූවිලිගොඩේ රෝල්වෙලා ගියා. මේක දැකපු බැළලිට ලැජ්ජා හිතුනා. "මං හිතාගෙන හිටියේ මේ බළලා තමයි කැලෑවේ හොඳම සතා කියලා. කොටියනේ කැලෑවේ බලවත්ම සතා." කියලා ඇයට සිතුනා. එහෙම හිතපු බැළලී කොටියත් එක්ක ජීවත්වෙන්න ගියා. 
දෙන්නත් එක්ක කාලයක් සතුටින් හිටියා. ඒත් එක දවසක් කැලේ මැදින් යද්දී එක පාරටම සිංහයෙක් පැනලා කොටියව මරාගෙන කෑවා. බැළලිය  කල්පනා කළා, "මං හිතාගෙන හිටියා වැරදියි. සිංහයනේ කැලේ ශක්තිමත් ම සතා." මෙහෙම හිතපු බැළලිය සිංහයත් එක්ක යාළුවෙලා ඌත් එක්ක වාසය කරන්න ගියා. මේ දෙන්නත් කාලයක් සතුටින් එකට ජීවත් උනා. ඒත් තවත් දවසක දෙන්නත් එක්ක කැලෑවේ සැරිසරමින් ඉන්නකොට විශාල සත්ත්වයෙකුගේ ඡායාවක් මේ දෙන්න ඉදිරියෙන් පෙනීහිටියා. ඒ දැවැන්ත අලියෙක්. ඌ එක කකුලක් සිංහයාගේ ඇඟ උඩ තියලා තදකළා විතරයි සිංහයා චප්ප වෙලා ගියා. 
"අයියෝ! කැළේ ඉන්න හොඳම සතා සිංහයා මං හිතාගෙන හිටපු එක වැරදියිනේ. අලියා තමයි හොඳම සතා." මෙහෙම හිතපු බැළලිය අලියත් එක්ක ජීවත්වෙන්න ගියා. ඌ අලියගේ පිට උඩට පැනලා කන්දෙක මැද්දෙන් බෙල්ල උඩ වාඩිවෙලා පුරු, පුරු ගගා හිටියා.
එදා ඉඳලා දෙන්නත් එක්ක බොහොම සතුටින් කැලේට වෙලා හිටියා. ඒත් තවත් දවසක ගඟ අයිනේ තිබුන උසට වැඩුන තණකොළ යායක් මැද්දෙන් යනකොට එක්වරම 'ඩූම්!' ගාලා මහ විශාල ශබ්දයක් නැගුනා. අලියා එක්වරම බිම ඇදගෙන වැටුනා. බැළලිය කළබල වෙලා වටපිට බලනකොට දැක්කා පුංචි මිනිහෙක් තුවක්කුවකුත් අතේ තියාගෙන හිටගෙන ඉන්නවා. 
"අපොයි දෙයියනේ! අලියා නෙමෙයිනේ කැලේ ඉන්න හොඳම සතා. මිනිහා තමයි හොඳම සතා."
 මෙහෙම හිතපු බැළලිය මිනිහා පස්සෙන්ම මිනිහගේ පැළට ගිහින් වහලෙට පැනලා හෙවිල්ලලා තිබුන කොළඅතු උඩට වෙලා හිටියා. "අන්තිමේදී මේ පාර තමයි මට කැලේ ඉන්න හොඳම සතා හම්බඋනේ." බැළලිය තමන්ටම කියාගත්තා. 
ඊට පස්සේ බැළලිය හරිම සතුටින් මේ අතුපැළේ ජීවත්වෙන්න පටන්ගත්තා. ඒ විතරක් නෙමෙයි ගමේ හිටපු මීයොත් අල්ලන්න පටන්ගත්තා. එක දවසක් පැළේ වහල උඩට වෙලා අව්ව තපිමින් ඉන්නකොට ඌට ගේ ඇතුළෙන් ලොකු සද්දයක් ඇහෙන්න පටන්ගත්තා. මිිනිහගෙයි ගෑනිගෙයි කටවල්වල සද්දෙ එන්න එන්නම වැඩිවෙන්න පටන්ගත්තා. 
"වර! . . . වර! . . . චට බටාස්! . . ." කියලා ඇහුන සද්දෙකුත් එක්ක මිනිහා දොරෙන් එළියට විසිවෙලා මිදුලෙ දූවිලි ගොඩේ රෝල්වෙලා ගියා. 
"හා! . . . හා! දැන් මම දන්නවා කැලෑවේ බලවත්ම සතා මොකාද කියලා. ඒ තමයි ගැහැනිය." බැළලියට ඉබේම කියවුනා. ඌ හිමීට වහළයෙන් බැහැලා ඇවිත් ගේ ඇතුළට ගිහිල්ලා ලිප ළඟින් ඉඳගත්තා. එදා ඉඳලා අද වෙනකල් ඌ එතැන තමයි ඉන්නේ.  

No comments:

Post a Comment

බළලා ගෙට රිංගූ හැටි!

   අද බල්ලන් හා බළලුන් ගෙවල් ආශ්‍රිතව මිනිසුන්ගේ ආදරය හා කරුණාව පමණක් නොව කෘෘරත්වය ද විඳිමින් මිනිසුන් මත යැපෙමින්  ජීවත් වුවද බොහෝ ඈත අතීතය...