අර්නස්ට් හෙමින්වේ ගේ A Day's Wait නම් කෙටිකතාවේ පරිවර්තනයකි.
අප තවමත් ඇඳ මත සිටියදී ඔහු ජනෙල් පියන් වසන්නට කාමරයට ආවේය. ඔහු අසනීප ගතියකින් පෙළෙන බව මට දැනුනි. ඔහු වෙව්ලමින් සිටි අතර මුහුණ සුදුමැලි වි තිබුණි. වේදනාව ගෙනදෙන ක්‍රියාවක යෙදෙන්නාක් මෙන් සෙමින් ඇවිද්දේය.
"ෂාට්ස්, මොකද වෙලා තියෙන්නේ?"
"මගේ ඔළුව කකියනවා."
"ආපහු ගිහිල්ලා ඇඳේ හාන්සි උනා නම් හොඳයි."
"ඕන නෑ, මට අමාරුවක් නෑ."
"ඇඳට යන්න. මම ඇඳුම් ඇඳගෙන බලන්න එන්නම්."
එහෙත් පහත මාලයට එද්දී මා දුටුවේ ඇඳුම් ඇඳගෙන ගිනි උඳුන අසල වාඩි වී දැඩි සේ ගිලන්ව, වේදනාවෙන් පීඩිතව සිටි වයස අවුරුදු නමයක දරුවෙකි. නළලට අත තබා බලද්දී ඔහුට උණ ගැනී ඇති බව දැනගත හැකි විය.
"ඇඳට යන්න. ඔයාට සනීප නෑ."
"මට අමාරුවක් නෑ." ඔහු පැවසීය.
වෛද්‍යවරයා පැමිණි පසු ඔහුගේ උෂ්ණත්වය පරීක්ෂා කර බැලීය.
"කීයද?" මම ඇසුවෙමි.
"එකසිය දෙකයි."
පහත මාලයේ සිටි වෛද්‍යවරයා ඖෂධ වර්ග තුනක් පාට තුනකින් යුත් බෙහෙත් කරල්වලින් ලබාදී ඒවා පාවිච්චි කිරීම සඳහා උපදෙස් ද තබා ගියේය. එකක් උණ බැසීම සඳහා ද තවත් එකක් විරේකයක් ලෙස ද තුන්වැන්න අම්ල තත්ත්වය පාලනය කිරීම සඳහා ද විය. ප්‍රතිශ්‍යා විෂබීජ පවතින්නේ අම්ල තත්ත්වයන් යටතේ පමණ කැයි ඔහු පැහැදිළි කළේය. ප්‍රතිශ්‍යාව පිළිබඳව හැමදෙයක්ම දැනසිටි බව පෙනුන ඔහු උණ එකසිය හතර ඉක්මවා නොගිය හොත් කරදර වීමට කිසිවක් නොමැති බව ද පැවසීය. මෙය මෘදු ප්‍රතිශ්‍යා තත්ත්වයක් බව ද නියුමෝනියාව වළක්වා ගතහොත් කිසිදු අවදානමක් නොමැති බව ද ඔහුගේ අදහස විය.
කාමරයට පැමිණ දරුවාගේ උෂ්ණත්වය ලියා තබා කරල් වර්ග දියයුතු වේලාව සඳහන් සටහනක් සකස් කළෙමි.
"ඔයාට අහගෙන ඉන්න පොතක් කියවන්නද?"
"කමක් නෑ, ඔයා කැමති නං." ළමයා පැවසීය. ඔහුගේ මුහුණ බෙහෙවින් සුදුමැලිව තිබූ අතර ඇස් යට කළුපැහැ ගැන්වී තිබුණි. ඇඳෙහි නිශ්චලව වැතිර සිටි ඔහු අවට සිදුවන දේවල් පිළිබඳ සංවේදී නොවන බවක් දැක්වීය.
මම හවර්ඩ් පයිල්ගේ 'මුහුදු කොල්ලකරුවන්ගේ පොත' කෘතියෙන් කොටසක් හඬනගා කියවූයෙමි. එහෙත් ඔහු මා කියවන දෙයට ඇහුම්කන් නොදෙන බව මට පෙණින.
"ඔයාට දැන් කොහොමද, ෂාර්ට්ස්?" මම ඔහුගෙන් ඇසුවෙමි.
"තවම නං තිබුනා වගේමයි." ඔහු පැවසීය.
ඇඳෙහි පාමුල වාඩිවූ මා ඊලඟ බෙහෙත් කරළ දීමට වේලාව පැමිණෙන තෙක් පොත කියවූයෙමි. ඔහු නින්දකට වැටීම සිදුවිය යුතුව තිබුනත් මා හිස ඔසවා බලන විට ඇඳ පාමුල දෙස අමුතු ආකාරයකට ඔහු බලාසිටිනු පෙණින.
"ඇයි පොඩ්ඩක් නිදාගන්න උත්සාහ කරන්නේ නැත්තේ? බෙහෙත් බොන්න වෙලාව එනකොට මං ඇහැරවන්නම්."
"නෑ, මං ඇහැරලාම ඉන්නම්."
"තාත්තා, මාත් එක්ක මෙතැන ඉන්න ඕනැ නෑ ඒක ඔයාට කරදරයක් නම්." ටික වේලාවකට පසු ඔහු පැවසීය.
"නෑ, ඒක මට කරදරයක් නෙවෙයි."
"නෑ මං කිව්වේ ඉන්න එකෙන් හිතට කරදරයක් දැනෙනව නම් ඉන්න අවශ්‍ය නෑ කියලයි."
ඔහුගේ සිත මදක් අවුල් වී ඇතැයි සිතූ මම එකොළහට දීමට නියම කර තිබූ කරල් දීමෙන් පසු මද වේලාවකට නිවෙසින් බැහැර වීමි. එය දීප්තිමත්, සීතල දිනයක් විය. බිම මිදුන හිම කැටිවලින් වැසී තිබුන හෙයින් පත්‍ර රහිත ගස්, පඳුරු, කප්පාදු කරන ලද පඳුරු, තණකොළ හා ශාඛ රහිත බිම යන සියල්ලෙහිම අයිස් ආලේප කර ඔප දැමුවාක් මෙන් විය. මම කුඩා අයිරිෂ් බලුපැටවා ද කැටුව මිදීගිය දිය පහරක් අද්දරින් වූ මාවත දිගේ උඩහට ඇවිද ගියෙමි. එහෙත් වීදුරු මෙන් ඔප වැටුන මතුපිට සිටගෙන සිටීම හෝ ඇවිදීම අසීරු කාර්යයක් විය. රත්පැහැති බල්ලා වැටී ලිස්සා ගිය අතර මම දෙවරක්ම තදින් වැටුනෙමි. වරක් තුවක්කුව මා අතින් ගිලිහී අයිස් මත ඉවතට ලිස්සා ගියේය.
උස්ව පිහිටි ඉවුරක එල්ලී තිබූ පඳුරක් යට සිටි වටු රංචුවක් එළියට ගැනීමට අපි සමත් වීමු. ඉවුරට ඉහලින් උන් නොපෙනී යද්දී ඉන් දෙදෙනෙකු මරාදමන්නට මට හැකිවිය. රංචුවේ සිටි සමහර කුරුල්ලෝ ගස්වල වැසූ අතර වැඩි දෙනෙක් කපා ගොඩගසා තිබූ අතු ගොඩවල් අතරට වැදී ගත්හ. උන් ඉවතට පලවා හැරීමට අයිස්වලින් ආවරණය වී තිබූ අතු ගොඩවල් මතට කිහිපවරක් පැනීමට සිදුවිය. අයිස්වලින් වැසී ලිස්සන සුළු අතුගොඩ මත අඩමානයට සිටගෙන සිටියදී එළියට එන උන්ට වෙඩිතැබීම අසීරු දෙයක් විය. මට දෙදෙනෙකු මරාදැමීමට හැකි වූ අතර පස්දෙනෙකු මගහැරිණ. ගෙදරට මෙතරම් සමීපව වටුකුරුළු රංචුවක් සිටීමත් වෙනත් දිනයක දඩයම් කිරීම සඳහා විශාල සංඛ්‍යාවක් ඉතිරිව සිටීමත් පිළිබඳ සතුටින් ආපසු හැරුනෙමි.
නිවසට පැමිණි මට අනෙක් අය පවසා සිටියේ ළමයා කිසිවෙකුටත් කාමරයට ඇතුළුවීමට ඉඩදී නැති බවයි.
"ඔයාට ඇතුළට එන්න බෑ. මට හැදිලා තියන ලෙඩේ ඔයාට බෝවෙන්න දෙන්න බෑ." ඔහු පැවසීය.
ඔහු වෙත ගිය මා හට දැකගත හැකි වූයේ මා පිටව යන අවස්ථාවේ සිටි අයුරින්ම සුදුමැලි මුහුණින්, කම්මුල්වල ඉහලට වන්නට උණ නිසා රත්පැහැ ගැන්වී, තවමත් කලින් සිටියාක් මෙන්ම ඇඳෙහි පාමුල දෙස දෑස් දල්වාගෙන සිටින බවයි.
මම ඔහුගේ උෂ්ණත්වය මැන බැලූයෙමි.
"කීයක් තියනවද?"
"සීයක් විතර ඇති." මම කිව්වමෙි. එය එකසිය දෙකයි දශම හතරක් විය.
"ඒක එකසිය දෙකට තිබුනෙ." ඔහු පැවසීය.
"කව්ද කිව්වෙ?"
"දොස්තර."
"ඔයාගේ උෂ්ණත්වය වරදක් නෑ. ඒක වදවෙන්න තරම් දෙයක් නෙවෙයි."
"මම වදවෙන්නෙ නෑ. ඒත් මට කල්පනා නොකර ඉන්න බෑ."
"හිතන්න යන්න එපා. සැහැල්ලුවෙන් ඉන්න."
"සැහැල්ලුවෙන් තමයි ඉන්නේ." කියූ ඔහු කෙලින් බලා සිටියේය. නිසැකවම ඔහු කුමක් හෝ දෙයක් ගැන හැඟීමක් සිත යට සඟවාගෙන සිටින බව පෙනුනි.
"වතුර ටිකක් එක්ක මේක බොන්න."
"ඒකෙන් හොඳක් වෙයි කියලා හිතනවද?"
"ඇත්තටම, ඒකෙන් හොඳ වෙයි."
අසුනක වාඩි වූ මම මුහුදු කොල්ලකරුවන් ගැන වූ පොත විවෘත කොට කියවීම ඇරඹීමි. එහෙත් ඔහු එයට සවන් නොදෙන බව පෙනුන පසු කියවීම නැවතීමි.
"මම කොයි වෙලාවෙ මැරෙයි කියලද ඔබ හිතන්නේ?" ඔහු විමසීය.
"මොකක්ද කිව්වේ?"
"මං මැරෙන්න තව කොච්චර වෙලා යයිද?"
"ඔයා මැරෙන්නෙ නෑ. මොකද ඔයාට වෙලා තියෙන්නේ?"
"ඔව්, මම මැරෙන්නයි යන්නේ. මට ඇහුනා එයා කියනවා එකසිය දෙකයි කියලා."
"උණ එකසිය දෙකට තිබුනට මිනිස්සු මැරෙන්නෙ නෑ. ඒක මෝඩ කතාවක්."
"මම දන්නවා ඒක එහෙම වෙනවා කියලා. ප්‍රංශයේ පාසැල් යද්දී ළමයි මට කිව්වා අංශක හතලිස් හතර උනාම ඔබට ජීවත්වෙන්න බෑ කියලා. මට එකසිය දෙකක් තියනවා."
උදෑසන නමයේ සිට මුළු දවසම ඔහු මියයෑමට බලාපොරොත්තුවෙන් සිට ඇත.
"අනේ, අහිංසක ෂාර්ට්ස්. පැහිච්ච, පුංචි ෂාර්ට්ස්. ඒක හරියට හැතැප්මයි කිලෝමීටරුයි වාගේ." මම පැවසූවෙමි. "ඔයා මැරෙන්නෙ නෑ. ඒක වෙනස් විදියේ උෂ්ණත්වමානයක්. ඒකෙ සාමාන්‍ය උෂ්ණත්වය තිස් හතයි. මේ වර්ගයේ අනූඅටයි."
"ඔයාට හොඳටම විශ්වාස ද?"
"සත්තකටම." මම කියා සිටියෙමි. "ඒක හරියට සැතැප්මයි කිලෝමිටරුයි වාගේ. අපි කාරෙකේ සැතපුම් හැත්තෑවක් යනකොට ඒක කිලෝමීටර්වලින් කීයක් වෙනවද?"
"ආ, ඒකද?" ඔහු කීය.
එහෙත් ඇඳ පාමුල දෙසට යොමුව තිබූ ඔහුගේ බැල්ම සෙමින් ලිහිල් විය. අන්තිමේදී ඔහු සිරකරගෙන සිටි පීඩනය ද ලිහිල් විය. ඊලඟ දවස වනවිට එය හොඳටම සංසිඳී තිබූ අතර ඔහු කිසිත් වැදගැම්මකට නැති සුළු දේවලට පවා කෑගසන්නට පටන්ගෙන තිබුනේය.
No comments:
Post a Comment