Saturday, October 11, 2025

දකුණෙන් ආ මිනිහෙක් - I

                    

                                                                    (ඡායාරූපය අන්තර්ජාලය ඇසුරෙනි)                        

වේලාව හයට ආසන්න වෙමින් තිබුණෙන් බියර් එකක් මිලට ගෙන එළිමහනට ගොස් පිහිනුම් තටාකය අද්දර පුටුවකට බරදී සැඳෑ හිරු රැස් විඳින්නට මට සිත්විය. 

බීමහලට ගොස් බියර් එක ගත් මම එයත් ගෙන පිටතට පැමිණ උද්‍යානය හරහා නාන තටාකය දෙසට ඇවිද ගියෙමි.

තණපිටි, අසලියා පාත්ති හා උස් පොල්ගස්වලින් සැදි එය අලංකාර උද්‍යානයක් විය. පොල් ගස් මතින් හමාගිය දැඩි සුළඟට හසු වූ කොළ ගින්නකට හසු වූවාක් මෙන් සර සර හඬින් පිපිරුම් හඬ නැගීය. දුඹුරු පැහැ ගත් විශාල ගෙඩි පිරුනු ඉති කොළවලට යටින් එල්ලී තිබෙනු දැකගත හැකි විය. 

පිහිනුම් තටාකය වටා අසුන් බොහෝ ගණනක් ද සුදු පැහැති මේස හා දීප්තිමත් වර්ණවලින් යුත් දැවැන්ත කුඩ ද තිබූ අතර  පිහිනුම් ඇඳුමින් යුතුව තටාකය වටා වාඩි වී සිටි අව්වට පිළිස්සුනු සමැති මිනිසුන් හා ගැහැණුන් ද වූහ. තටාකයෙහි ද ගැහැණු ළමුන් තිදෙනෙකු හෝ හතරදෙනෙකු සහ පිරිමි ළමුන් දහදොලොස් දෙනෙකු දිය මත එහා මෙහා පනිමින් විශාල රබර් බෝලයක් එකිනෙකා වෙත වීසිකරමින් මහත් වූ ශබ්දයක් නගමින් උන්හ.

මම සිටගත්වනම ඔවුන් දෙස බලා සිටියෙමි. ගැහැණු ළමයින් හෝටලයේ සිටි බ්‍රිතාන්‍ය ජාතිකයන් වූ අතර පිරිමි ළමයින් ගැන යමක් කිව නොහැකි වුවද කතාබහින් ඔවුන් අමෙරිකන් බව හැඟීගියේය. ඔවුන් එම උදයේ වරායට සේන්දු වූ නාවික පුහුණු යාත්‍රාවෙන් ගොඩබට නාවුක කැඩෙට් නිලධාරීන් බව අනුමාන කළ හැකිය. 

එතැනින් ඉවත්ව හිස් අසුන් හතරක් තිබූ කහ පැහැති කුඩයක් යට වාඩි වූ මා බියර් එකක් වත්කරගෙන සිගරැට්ටුවක් දල්වාගෙන සුවපහසුව හරිබරි ගැහුනෙමි.  

බියර් වීදුරුවක් හා සිගරැට්ටුවක් සමග හිරු එළියෙහි වාඩි වී සිටීම අතිශය ප්‍රසන්න අත්දැකීමකි. කොළ පැහැ ජලයෙහි එහා මෙහා දඟලමින් සිටින තටාකයෙහි බැස සිටින්නන් දෙස බලාසිටීම ද ප්‍රසන්න හැඟීමක් දනවයි.

 අමෙරිකානු නාවිකයෝ ඉංග්‍රීසි යුවතියන් සමග අපූරුවට මිත්‍රශීලීබවින් යුතුව හැසිරෙති. ඔවුහු දිය යට කිමිදී අනෙකාගේ කකුල්වලින් උස්සා පෙරලා දමන තරමටම සමීපව සිටිති. 

එවිටම මා හට දැකගන්නට ලැබුනේ කුඩා සිරුරකින් හෙබි වියපත්බවට ලඟාවෙමින් සිටි මිනිසෙක් තටාකය අද්දරින් කඩිසර ලෙස ඇවිදිමින් එන අයුරුයි. ඉතාමත් පිළිවෙළින් තිබූ සුදු ඇඳුම් කට්ටලයකින් සැරසී සිටි ඔහු ඉතා ඉක්මනින් ඇවිද්දේ සෑම පියවරකදීම ඇඟිලි තුඩු මත සිටගන්නා තරම් උඩපනින ස්වරූපයක් දක්වමිනි. ලා කහ පැහැති විශාල පැනමා තොප්පියක් පැළඳ සිටි ඔහු තටාකය අද්දරින් උඩපනිමින් ඇවිද ආවේ ඒ අවට වූ මිනිසුන් හා අසුන් දෙස බලමිනි. 

මා අසල නැවතුනු ඔහු තම මදක් අවපැහැ ගැන්වුන, අසමව පිහිටි කුඩා දත් පේලි දෙක පෙන්වමින් සිනාසුනේය. මම ද ප්‍රතිචාර ලෙස සිනාවක් දැක්වූයෙමි. 

"සමාවෙන්න. මම මෙතැන වාඩි උනාට කමක් නැද්ද?"

"සත්තකින්ම. වාඩිවෙන්න." මම කීවෙමි. 

අසුන පිටුපසට එබී එය ආරක්ෂා සහිත දැයි බැලූ ඔහු එහි වාඩිවී දෙපා හරහට සිටින සේ තබාගත්තේය. සමින් සැදූ ඔහුගේ සුදු පැහැති කබායෙහි සෑම තැනකම වාතාශ්‍රය ලැබෙනු පිණිස කුඩා සිදුරු හදා තිබුනේය. 

"අපූරු සැන්දෑවක්." ඔහු පැවසීය. "ජැමෙයිකාවේ කොයි හැන්දෑවත් අපූරුයි තමා." ඔහුගේ වචන උච්චාරණය ඉතාලි ද ස්පාඤ්ඤ ද යන්න කිව නොහැකි වුවත් ඔහු දකුණු අමෙරිකානුවෙකු බවට නම් මට සෑහෙන විශ්වාසයක් ඇතිවිය. සමීපව දකින විට ඔහු වයසින් වැඩි අයෙකු බව ද පෙනුනි. බොහෝ විට අවුරුදු හැට අටක් හැත්තෑවක් පමණ වන්නට ඇත. 

"ඔව්, හරිම අපූරුයි තමා, නැද්ද?" මම පැවසීමි. 

"එතකොට මේ අය කවුද කියලා ඇහුවට කමක් නැද්ද?" මේ අය හෝටලේ අය නෙමෙයි. ඔහු තටාකයේ නාමින් සිටි අය දෙසට ඇඟිල්ල දිගු කළේය. 

"මං හිතන්නේ ඒ අය අමෙරිකානු නාවිකයෝ. ඒ ගොල්ල නාවිකයින් වෙන්න පුහුණු වෙන අමෙරිකානුවන්."

"ඇත්තටම ඇමෙරිකන්කාරයෝ තමයි. වෙන කවුද මේ ලෝකේ ඔය තරම් සද්ද කරන්නේ? ඔබ අමෙරිකන් නෙමෙයි, නැද්ද?" 

"නෑ, මං එහෙම නෑ." මම පැවසුවෙමි. 

එක්වරම අමෙරිකන් ශිෂ්‍ය භටයෙක් අප ඉදිරියේ පහළ විය. තටාකයෙන් තෙමුනු සිරුරෙන් ජලය බේරෙමින් තිබුණි. ඉංග්‍රීසි යුවතියක් ද ඔහු සමග ඔහුගේ පසෙකින් සිටගෙන සිටියාය. 

"මේ පුටුවල කවුරුවත් ඉන්නවද?" 

"නෑ." මම පිළිතුරු දුනිමි. 

"මම වාඩි උනාට කමක් නැද්ද?"

"එන්න, වාඩිවෙන්න."

"ස්තූතියි." පැවසූ ඔහු වාඩි වී අත තිබූ සාළුවක් දිගහැර එතුළින් සිගරැට් පැකට්ටුවක් හා ලයිටරයක් එළියට ගත්තේය. ඔහු ගැහැණු ළමයාට සිගරැට් පිළිගැන්වුවද ඇය එය ප්‍රතික්ෂේප කළාය. ඊලඟට ඔහු එය මට දිගුකළ අතර මම එකක් ගත්තෙමි. "ස්තූතියි, එපා. ඒත් මම සුරුට්ටුවක් බිව්වොත් හොඳයි." කුඩා මිනිසා කීය. ඔහු කිඹුල් සමින් සැදූ කොපුවක් එළියට ඇද ඉන් සුරුට්ටුවක් ගෙන කුඩා කතුරක් ද සහිත පිහියක් ගෙන ඉන් සුරුට්ටුවේ කෙළවර කපාදැමීය.

"ඉන්න, මම පත්තු කරන්නම්." අමෙරිකන් තරුණයා තම ලයිටරය දිගු කළේය. 

"ඕක වැඩකරන්නේ නෑ මේ හුළඟේ." 

"ෂුවර්, ඒක වැඩ කරනවා. ඒක ඕන වෙලාවක වැඩ කරනවා." 

කුඩා මිනිසා පත්තු නොකළ සුරුට්ටුව මුවින් ඉවතට ගෙන හිස එක් පැත්තකට ඇලකොට තරුණයා දෙස බැලීය. 

"ඕනැ වෙලාවක?" ඔහු සෙමින් තොල්මැතිරීය. 

"සත්තකටම, කවදාවත් වැරදිලා නෑ. මං අතේ තියෙද්දි කොහොමටත් නෑ."

කුඩා මිනිසාගේ හිස ඒවන විටත් පැත්තට ඇලවී තිබූ අතර ඔහු තවමත් තරුණයා දෙස බලාසිටියේය. "හොඳයි, හොඳයි, එතකොට ඔබ කියන්නේ මේ අපූරු ලයිටරේ කවදාවත් පත්තු නොවී තියෙන්නෙ නෑ, ඒක ද ඔබ කියන්නේ?" 

"සත්තකින්ම, ඒක එහෙම තමයි." තරුණයා පැවසීය. හිරු එළියට පිළිස්සී සැදුනු ලප කැළැල් සහිත දිගු මුහුණකින් ද කුරුල්ලෙකුගේ හැඩය ඇති තියුණු නහයකින් ද යුතු වූ ඔහුට වයස දහනමයක් හෝ විස්සක් වන්නට ඇත. ඔහුගේ පපුව හිරු එළියට එතරම් පිළිස්සී නොතිබුණ නමුත් එහි ද ලප කැළැල් හා ලා රත්පැහැයට හුරු කෙස් රොදවල් කිහිපයක් දැකගත හැකි විය. ඔහු දකුණතින් ලයිටරය අල්ලාගෙන එහි රෝදය ගැස්සීමට සූදානමින් සිටියේය. ඔහු  "ඒක වරදින්නේ නෑ."යි සිනාසෙමින් කීවේ ඔහු උවමනාවෙන්ම ඔහුගේ පුංචි පුරාජේරුව අතිශයෝක්තියට නැගූ නිසා ය. "මම සහතික වෙනවා ඒක වරදින්නේ නෑ කියලා." 

"කරුණාතරලා චුට්ටක් ඉන්න." සුරුට්ටුව රැඳි අත, අත්ල පිටට සිටින සේ ඉහලට එසවුනේ රථවාහන නවත්වන්නට තැත් කරන්නාක් මෙනි. "එක විනාඩියක් ඉන්න." ඔහුට තිබුනේ අස්වාභාවික, ඒකාකාරී මෘදු කටහඬකි. ඒ මුලු කාලය තුලම ඔහු සිටියේ තරුණයා දෙස නෙත් යොමාගෙන ය. 

"අපට ඒක ගැන පොඩි ඔට්ටුවක් අල්ලන්න බැරිද?" ඔහු තරුණයා දෙස බලා සිනාසුනේය. "පුංචි ඔට්ටුවක් අල්ලමු ද ඔබේ ලයිටරය පත්තු වෙනවද, නැද්ද?" කියලා

"සත්තකින්ම, ඇයි බැරි? මම කැමතියි ඔට්ටුවක් අල්ලන්න." 

"ඔබ කැමති ද ඔට්ටු අල්ලන්න?"

"සත්තකින්ම, මම ඕනැ වෙලාවක කැමතියි ඔට්ටු අල්ලන්න." 

මිනිසා මදක් නිහඬ වී තම සුරුට්ටු දෙස ඕනෑකමින් බැලීය. ඔහු හැසිරෙමින් සිටි ආකාරය එතරම් මගේ සිත් නොගත් බව සඳහන් කළ යුතුය. පෙනෙන්නට තිබූනේ ඒ වනවිටත් ඔහු මෙයින් කුමක් හෝ දෙයක් මතුකර තරුණයා ලැජ්ජාවට පත්කිරීමට තැත් කරන බවකි. එමෙන්ම මට දැනුන තවත් දෙයක් නම් ඔහුටම සීමාවූ කුමක් හෝ දෙයක් රහසින් රසකරමින් සිටින බවයි.

"මමත් කැමතියි ඔට්ටු අල්ලන්න. ඇයි අපි මේකට හොඳ ඔට්ටුවක් අල්ලන්නෙ නැත්තෙ? හොඳ ලොකු ඔට්ටුවක්?" ඔහු තරුණයා දෙස නැවතත් බලා සෙමින් පැවසීය. 

"ඔහොම පොඩ්ඩක් ඉන්න. මට බෑ ඒක කරන්න. මම ඕනැනං ඩොලර් එකක්, එහෙමත් නැත්නම් මෙහෙ සල්ලි මොනවද, ෂිලිංවලින් ඔට්ටුවක් අල්ලන්නං". තරුණයා පැවසීය. 

කුඩා මිනිසා යළිත් තම අත දෙපසට වැනීය. "මං කියන එක අහන්න. අපි පොඩ්ඩක් විනෝද වෙමු. අපි ඔට්ටුවක් අල්ලමු. ඊලඟට මේ හෝටලේ තියන මගෙ කාමරේට යමු. එතන හුළඟින් බාධාවකුත් නෑ. මම ඔට්ටුවක් අල්ලනවා ඔයාගෙ ඔය මහ ලොකු ලයිටරේ එක සැරයක්වත් වරදින්නෙ නැතිව එකදිගට දහසැරයක් පත්තුකරන්න බෑ කියලා."

"ඔට්ටුයි, මං කියනවා පුළුවන් කියලා."  තරුණයා කියා සිටියේය.

"හොඳයි, එහෙනං හරිනෙ, අපි ඔට්ටුව අල්ලනවා, නේද?"

"සත්තකින්ම, මම ඩොලර් එකක් ඔට්ටු අල්ලනවා."

"නෑ, නෑ, මම ඔයාට ඉතාම ඉහල ඔට්ටුවක් දෙනවා. මම සල්ලි තියන මිනිහෙක්. ලෝබකං කරන්නැති සාධාරණ මිනිහෙක්. මං කියන එක අහන්න. මගේ කාරෙක කියනවා මේ  හෝටලයෙන් එළියෙ නවත්වලා, ඒක ඉතාම හොඳ කාර් එකක්. ඔබේ රටේ අමෙරිකන් කාර් එකක්, කැඩිලැක්-"

"හෝව්, හෝව්. විනාඩියක් ඉන්න." පුටුවේ පසුපසට බරවී හේත්තු වූ ඔහු හඬ නගා සිනාසුනේය. "මට ඒ වගේ වටින දෙයක් දාන්න බෑ. පිස්සු හැදෙන වැඩක්නේ." 

"කිසිම පිස්සුවක් නෑ. ඔබ එකදිගට එකසැරයක්වත් වරදින්නෙ නැතිව දහසැරයක් ලයිටරය පත්තු කළාම ඔබට කැඩිලැක් එක ලැබෙනවා. ඔබ මේ කැඩිලැක් එකට කැමතියිනෙ, නේද?"

"සත්තකින්ම, කැඩිලැක් එකක් තියනව නම් මං කැමතියි." තරුණයාගේ මුහුණෙහි තවමත් සිනහව රැඳී තිබුනේය. 

"එහෙම නං හරි. අපි ඔට්ටුව අල්ලනවා, මං කැඩිලැක් එක දානවා." 

"මම මොකද්ද දාන්නෙ?" 

කුඩා මිනිසා තවමත් පත්තු නොකළ සුරුට්ටුවේ රතු පැහැති පටිය ප්‍රවේශමින් ඉවත් කළේය. "යාළුවා, ඔබට ඔට්ටු අල්ලන්න බැරිතරම් දෙයක් මම ඉල්ලන්නෙ නෑ, තේරුනාද?" 

"එහෙම නම් මොකද්ද මම ඔට්ටු තියන්නේ?"

"මම ඔයාට ඒක ගොඩක් ලේසි කරන්නම්, හරිද?"

"හොඳයි, ලේසි දෙයක් කියන්නකෝ." 

"ඔබට දෙන්න පුළුවන් විදිහේ පුංචි දෙයක්. ඔබ ඔට්ටුවෙන් පැරදුනොත් ඔබට පාඩුවක් උනා කියලා දැනෙන්නෙ නැති දෙයක්, හරිද?" 

"මොන වගේ දෙයක්ද?" 

"සමහරවිට, මේ වගේ දෙයක්. ඔබේ වම් අතේ පුංචි ඇඟිල්ල." 

"මගේ මොකක්?" තරුණයාගේ සිනහව මැකී ගියේය. 

"ඔව්, ඇයි මොකද? ඔබ දිනනවා, ඔබ මගේ කාරෙක ගන්නවා, ඔබ පරදිනවා, මම ඔබේ ඇඟිල්ල ගන්නවා." 

"මට තේරෙන්නෙ නෑ. ඔබ කොහොමද මගේ ඇඟිල්ල ගන්නේ?" 

"මම ඒක කපලා වෙන්කර ගන්නවා."

"හෙනම ගහපං! ඒක මහ විකාර ඔට්ටුවක් නේ. මම කියන්නේ මම ඩොලර් එකක් ඔට්ටු අල්ලන්නං." 

පසුපසට බර වී හේත්තු වූ මිනිසා අත්ල උඩට සිටින සේ දෑත් දෙපසට විහිදවීය. උරහිස් අවඥාසහගත ලෙස යන්තමට හැකිළීය. "මදැයි කොළා, මට තේරෙන්නෙ නෑ. ඔබ කියනවා ඒක වරදින්නෙ නැතිව පත්තුවෙනවා කියලා. ඒත් ඔට්ටුව අල්ලන්නෙ නෑ. එහෙම නම් අපි ඒක අමතක කරලා දාමු, හරිද?"

                                                  * * *

 මෙයද ප්‍රකට ලේඛකයෙකුගේ කෙටිකතාවක පරිවර්තනයකි. සුපුරුදු පරිදි කියවන්නා වෙහෙසට පත් නොකරනු පිණිිස කොටස් දෙකකින් ඉදිරිපත් කිරීමට අදහස් කළෙමි. පළමු කොටස කියවා දෙවන කොටස කියවීමට අවස්ථාව එළඹෙන තෙක් මෙහි රචකයා කවුරුන් දැයි සිතාබලන්නට ඔබට අවස්ථාව තිබේ.   

   

1 comment:

  1. කතාව කොටස් කල එක හොඳා.
    රචකයා කවුරුන් දැයි සිතාබලන්නම් කතාව කියෙව්වට පස්සෙ.🤣

    ReplyDelete

දකුණෙන් ආ මිනිහෙක් - I

                                                                                          ( ඡායාරූපය අන්තර්ජාලය ඇසුරෙනි )                   ...