Friday, April 3, 2026

සිහිනයක් විකිණීමට තිබේ



 පරිච්ඡේදය 1 - නගරය

මට වයස අවුරුදු දහඅටක් වෙද්දී ආර්ජන්ටිනාවේ ඇන්දීස් කඳුවැටියේ වූ ලෙනාන් නම් කුඩා නගරයේ පදිංචියට ගියෙමි. ගල් අතුරා සැදුනු මේ නගරයේ මා බලාපොරොත්තු හැමදේම මා බලාපොරොත්තු වූවාටත් වඩා හොඳින් තිබුණි. 

හිමිදිරි උදයේ බසයෙන් පැමිණි ගමන මගේ මතකයට නැගේ. මීදුම යන්තමින් මැකී යන්නට පටන්ගෙන තිබුණි. ඒප්‍රනයක් හැඳගත් වයසක මිනිසෙක් ඔහුගේ බේකරියෙහි දොර ඇර පුටු එළියෙන් තබමින් සිටියේය. පිලිස්සූ අළුත් පාන්වල සුවඳ වීදියට ගලාගෙන ආවේය. කන්‍යා සොයුරියක් පල්ලම දිගේ බයිසිකලයෙන් පාවී ගියේ ඇගේ හිසෙහි වූ වේල්පොට සුලඟෙහි ලෙලදෙවමිනි. ඈ මා වෙත සිනාවක් පෑවේ මා නගරයට පිළිගැනීමට මෙනි. 

චිත්‍රශිල්පියෙකු වීමේ මගේ සිහිනය සැබෑ කරගැනීමට තිබූ ආසන්නතම නගරය වූයේ ලෙනාන් ය. එහි සෑහීමකට පත්විය හැකි තරමේ කලා පාසැලක් තිබුණි. මගේ වාසනාවක් නිසා හෝ මට දැක්වූ අනුග්‍රහයක් ලෙස හෝ පුරවැසියන්ගේ අධ්‍යාපනය ඉහල නැංවීම සඳහා සැකසුනු වැඩපිළිවෙළක කොටසක් යටතේ ප්‍රධානය කෙරුනු ශිෂ්‍යත්වයක් යටතේ එහි අධ්‍යාපනය ලබන්නට මට ආරාධනයක් ලැබුණි. 

එකළ මෝටර් රථ දක්නට නොලැබුනු තරම් ය. අප සෑමතැනකම ගියේ පා ගමනින් බැවින් නිතරම එකිනෙකා මුණගැසීමේ අවස්ථාව හිමිවිය. සති ගණනාවක් යනවිට මට දැනුනේ මා ද එහිම උපන්නෙකු ලෙස ය. බේකරි හිමියා මා ස්ථිර ගනුදෙනුකරුවෙකු ලෙස සලකා මට වට්ටමක් ලබාදෙන්නට ද පෙළඹිණ. 

හොඳ අසල්වැසියන් වීමෙන්, වීදි පිරිසිදුව තබාගැනීමෙන් හා චාම් එහෙත් තෘප්තිමත් ජීවිත ගතකිරීමෙන් වැසියෝ සතුටට පත්වූහ. අගනගරය මෙන් ධනයෙන් ආඪ්‍යව ඉහලට නැගෙන නගරයක් නොවූවත් ලෙනාන් අප හැම එකතුව සාර්ථකත්වය කරා යන පිරිපුන් නගරයක් ලෙසයි අපට දැනුනේ. 

එක් උදෑසනක කලා පන්තියට යාම සඳහා චතුරශ්‍රය හරහා කඩිනම් ගමනින් යද්දී බිම වැටී තිබූ ගුලි වූ කොල කැබැල්ලක් මගේ ඇසට ලක් විය. මම ඉතා සතුටින් එය අහුලා ගතිමි. ඒ වෙලාවේ මට පුංචිපහේ ආඩම්බරයක් ද දැනුන බව මතක ය. ඒ ලෙනාන් වෙනුවෙන් කළ මගේ පළමු යහපත් ක්‍රියාව එය වූ නිසා ය. ඒ ගැන සිතමින් අවට පරිසරය ගැන අවධානයෙන් නොසිටි මා කබායක් හා තොප්පියක් පැළඳ සිටි මිටි මිනිසෙකුගේ ඇඟේ හැපුනි. 

"සමාවෙන්න සර්." මම එසැනින් පැවසුවෙමි. 

ඔහුට සිනා පහළවිය. "හහ්, හහ්, හහ්, කලබල වෙන්න එපා පුතා, මමත් ඔයා කොලේ අහුලනවා දිහා බලාගෙන ආවා මිසක් කල්පනාවෙන් නෙමෙයිනේ හිටියේ." 

"මම මේක විසිකරන්නයි හැදුවේ." මම කිව්වෙමි.

"මට තේරුනා ඔබ එහෙම කරයි කියලා. ලෙනාන් නගරය වෙනුවෙන් මම ඔබට පෞද්ගලිකවම ස්තූති කරන්න කැමතියි." 

"ඒක ඒ තරම් දෙයක් නෙමෙයි. මම මේ නගරයට කැමතියි. ඒක තමයි  කරන්න ඕනැදේ."

"මම දන්නවා." ඔහු හිස සැලීය. "පුංචි දේවල්වලින් තමයි ලොකු  වෙනසක් ඇතිවෙන්නේ." 

අප  එකිනෙකාට ආචාර කරගත් පසු මුවග සිනාවක් රඳවාගෙනම මම දිවගියෙමි. 

සතියකට පසුව ඔහුගේ ඡායාරූපය ප්‍රාදේශීය පුවත්පතක තිබෙනු  මම දුටුවෙමි. ඒ ලෙනාන්වල ජනාදරයෙන් තේරී පත්වූ නගරාධිපති එන්රීක් අග්‍යුරේ ය.  ලිපිය ඔහු පිළිබඳ ගුණකථනයකි. යම්තම්  වයස පනස් හතක් වෙද්දී ඔහු හෘදයාබාදයකින් මියගොස් තිබිණ. ලිපියෙහි ඔහුගේ තරුණ වියෙහි ඔහු නගරයේ හොඳම පුවත්පත් බෙදන කොළුවා වී සිටි හැටි, ඔහු සෑම නමක්ම, පවුලක්ම, සෑම උවමනාවක්ම දැන සිටි හැටි විස්තර කර තිබුනේය. පාපන්දු පිටිය ගොඩනගන්නට, පල්ලියේ උත්සව සංවිධානය කරන්නට, අසල්වැසියන් සහයෝගයෙන් වැඩකරන්නන් බවට පත්කිරීමට ඔහුගේ සහය හිමි විය. කාගේත් ආදරය හිමි වී පරාර්ථයෙන් හා ජීවයෙන් පූර්ණව සිටි ඔහු දශක තුනක් නගරයේ නගරාධිපති ලෙස සේවය කර තිබුණි. මා මෙතරම් ආදරය කරන ලෙනාන් නගරය ලෙනාන් වූයේ ඔහු නිසා ය. 

පුවත්පත හකුලා දැමූ මට උගුරෙහි යමක් සිරඋනාක් මෙන් හැඟීමක් ඇතිවිය. අප එකිනෙකාගේ ඇඟෙහි හැප්පුන දිනයෙහි ඔහුට මා නමින් හඳුන්වාදීමට නොහැකිවීම ගැන කණගාටුවක් දැනින. එම කණගාටුව වඩාත් උග්‍ර වූයේ ලෙනාන් නගරයට එහි ආදර්ශමත් චරිතය අහිමිවීම නිසා ය. මගේ යට්සිතෙහි අසහනකාරී හැඟීමක් මතුවිය. නගරයේ හදවත හදිසියේම නතර විනි නම් දැන් එය ඉදිරියට ගෙන යන්නේ කවුරුන් ද? 

පරිච්ඡේදය 2 -  කඩතොළු

ඉන්පසුව එළඹි වසර කිහිපය තුළදී අධ්‍යයන කටයුතුවල මා ගිලීගිය අතර ඉලක්ක පසුපස හඹායාම සඳහා උපකාරී වූ කෝපිවලට පින්සිදු වන්නට නින්ද නොයාම මාගේ සමීපතම සඟයා බවට පත්විය. පාසැල මගේ ආධාරකය  විය. මට තිබූනේ එපමණකි. මා එහිම එල්බ ගතිමි.

මගේ අවධානය පාසැල වෙත කොතරම් යොමුව තිබුනේද යත් ලෙනාන් හී ඇතිවෙමින් තිබූ පුංචි පුංචි වෙනස්වීම් මා හට නොපෙනුන තරම් විය. එන් උදෑසනක චතුරශ්‍රය ආසන්නයෙහි කසළ දමන බඳුනක් පිරී ඉතිරී කුණු බිමට අල්ලා තිබූ ගල් මතට ද වැගිරී තිබෙනු දැකගත හැකි විය. මේ නගරයේ එය සිතාගත නොහැකි තරමේ අසාමාන්‍ය දර්ශණයක් විය. ඉන් දින කිහිපයකට පසුව මෝටර් රථයක් කිසිදු හේතුවක් නැතිව මහ හඬින් නලාව නාද කරමින් පල්ලමෙහි වේගයෙන් ධාවනය කළේ මඩ වතුර පහරකින් බේකරියේ ඉදිරි දොර අපිරිසිදු කරමිනි. එතැන සිටි අයෙක් කනස්සල්ලෙන් මෙන් කොඳුරනු ඇසින.

"මේ නගරය වෙනස්වීගෙන යන්නේ." 

සැබැවින්ම එය එසේම විය. 

පළමුවෙන්ම ආවේ ප්‍රදර්ශණාගාරයයි. එය වෙන්කොට තිබුනේ ධාවන තරගවල යෙදුනු මෝටර් රථ සඳහා ය. අපගේ සම්ප්‍රදායට හා සංස්කෘතියට ආගන්තුක දෙයක් වුවද මටත් මගේ  පාසැල් මිතුරන්ටත් එය මායාමය හැඟීමක් ගෙනදුන් පෙර නොදුටු දෙයක් විය. රතු පලස, දුහුවිලි බැඳුන කුසලාන හා කලු සුදු පැහැයෙන් මෝටර් රථ තරග පෙන්වන ප්‍රක්ෂේපණ යන්ත්‍ර අප සිත් තුළ මවාලූයේ සිනමා ශාලාවක පරිසරයකි. අපට එය සිහින දකින්නට තැනක් - ඕනෑම දෙයක් සිදුවිය හැකි තැනක් විය. තරග ධාවන ප්‍රදර්ශණය කළ ප්‍රක්ෂේපණ යන්ත්‍රවල අඩුවැඩි වෙමින් සැළුන ආලෝකය යට මා පළමුවරට ගැහැණු ළමයෙකු සිපගත්තේ මෙහිදී ය. 

එහෙත් නොගැළපෙන දේ වැඩිවන්නට විය. අපගේ පැරණිම පල්ලියක් ඉදිරිපිට ඩෝනට් විකුණන ක්ෂණික ආහාර  අවන්හලක් විවෘත විය. එය දැනුනේ බලෙන් කඩාපාත්වීමක් නැතිනම් සැමදා නොවෙනස්ව එකලෙස පවතින තැනකට  කිසිදු වටිනාකමක් නැති බාල දෙයක් රිංගවීමක්  ලෙස ය. මිනිසුන් කුතුහළය නිසා ඩෝනට් රස බැලුව ද එය අපේ ජීවන රටාවේ කොටසක් නොවීය. අවන්හල ඉක්මනින්ම අභාවයට ගියේ නගරය අවලස්සන කරන කැළලක් ලෙස හිස් ගුහාවක් බඳු දෙයක් ඉතිරි කරමිනි. 

ඊලඟට ආවේ මෝටර රථ ය. මේවා ශක්තියෙන් හීන, ඉක්මනින් කැඩෙන. කිසිම කාර්මිකයෙකුට අළුත්වැඩියා කළ නොහැකි, අමතර කොටස් ද හොයාගත නොහැති බාල ආනයන විය. අතහැර දැමුණු පොරොන්දු මෙන් ජීවය සිඳීගිය වාහන චැසි එකින් එක පාරවල් අද්දර ගොඩගැසෙන්නට විය. 

වසර ගණනාවකට පසු මා ලෙනාන් නගරය වෙත ආකර්ශණය කරගත් කලාව ඉගැන්වූ පාසැල කළමනාකරණයේ දුබලතා විසින් ගිලගනු ලැබීය. මා ජීවත් වූ නේවාසිකාගාරය හෝටලයක් ඉදිකිරීම පිණිස කඩාදමන ලදී. එම හෝටලය කිසිදිනක නිම නොවූ අතර ඉතිරි වූයේ පලංචිවලින් හා දුහුවිල්ලෙන් පිරී නටබුන් වී ගිය කෑදරකමින් හුස්ම හිරකරවන බාගෙට හැදුන සිහිනයකි. 

එක් සන්ධ්‍යාවක නගරයේ චතුරශ්‍රයේදී මහලු වියෙහි වූ අයෙක් ඔහුගේ නිවෙස  ලියාපදිංචි කිරීමට නාගරික නොතාරිස් වෙත ගිය විට අලුතෙන් පනවා තිබූ ගාස්තුවක් ගැන තම මිතුරන් සමග  මැසිවිලි නගනු මට අසන්නට හැකි විය. එය ලෙනාන් හී ඔහු ජීවත්ව තිබූ ජීවිත කාලයෙහිම අසන්නට නොතිබූ දෙයකි. ඒ වචනවල ගැබ්ව තිබුනේ කලකිරුනු ස්වභාවයකි. ඔවුන් එය වගකීම ලෙස හැඳින්වුවද දැනුනේ කප්පමක් ලෙස ය. 

අග්‍යුරේ ගේ නායකත්වය අහිමි වූ පසුව අවස්ථාවාදීහු මතුවී නගරයේ දුර්වලකම්වලින් ප්‍රයෝජන ගනිමින් එකිනෙකා නගරයේ දර්ශණීය බවට උරුමකම් කියන්නට පටන්ගත්හ. කලෙක විශ්වාසයෙනුත් දයාවෙනුත් බැඳී සිටි ප්‍රජාව සැකයෙන් පිරී බිඳී විසිරී පහසුවෙන් අයුතු ප්‍රයෝජන ගැනීම්වලට ලක්වූහ. 

ලෙනාන් පැවතුනේ කෙසේ දැයි දැනසිටි අප වැනි බොහෝදෙනෙකුට දැනුනේ තමන් ආදරය කළ අයෙකු ටිකින් ටික, කෑල්ලෙන් කෑල්ල අහිමිවන බවකි. 

පරිච්ඡේදය 3 ගැලවුම්කරුවා

ලිනෝ මට හමුවන කාලයේ වයසින් අවුරුදු තිහ පසුවී සිටි මා ලිපිකරුවෙකු ලෙස වැඩකරමින් සිටියේ කලාව පිළිබඳ තිබූ ආකර්ෂණය  ඒ වන විට මා තුළින් ගිලිහී තිබූ බැවිණි. එසේ වුවද ලෙනාන් ගැන යන්තමින් මෙන් බලාපොරොත්තුවක් ඉතිරිව පැවතිණ. 

මා ප්‍රථම වරට ඔහු දුටුවේ අවන්හලකදී ය. ප්‍රීතිමත් හා ආකර්ෂණීය පෙනුමකින් යුතුව හිතමිතුරන් වටකරගෙන සිටි ඔහු බීම සඳහා මුදල් වියදම් කරමින් යාංහෑලි කියමින් එහි සිටි සියළු දෙනා හිනැස්සවීය. හොඳින් මදින ලද සුදු කොලරයක් සහිත කමිසයක් හැඳ හිසකෙස් මනාව පීරා සිටි ඔහු අවට සිටි සැමගේ අවධානයට ලක් විය. ඔහු පෙනීගියේ අප කුඩා නගරයට වඩා විශාල, වැදගත් කමින් පිරි තැනකට සුදුසු පුද්ගලයෙකු ලෙස ය. 

මිතුරෙකුගෙන් ඔහු කවුරු දැයි විමසූ විට මට ඔහුගේ නම දැනගත හැකි විය. ලිනෝ ගාර්ෂියා නම් වූ ඔහු නගරයේ සිටි ධනවත් ගව පට්ටි හිමියෙකුගේ පුත්‍රයා විය. රටෙහි තිබූ හොඳම ඉංග්‍රීසි මාධ්‍ය විශ්වවිද්‍යාලයක නීතිය හදාරා සිටි ඔහු බොහෝ තැන් දැක බලාගෙන සිටි, බොහෝ අය සමග හොඳ සබඳතා තිබූ අයෙකු වූ අතර පැතිර තිබූ කටකතා වලට අනුව නගරය අතහැර පැමිණ තිබුනේ ලෙනාන් හී පදිංචියට ය. 

සාර්ථකත්වයේ සියළු සලකුණු ඔහු වෙතින් දිස්වුවද ඒ ප්‍රථම රාත්‍රියේ පවා ඔහු හැසිරෙන ස්වභාවය පෙනීගියේ පෙර කරන ලද පුහුණුවකට අනුව කරන්නක් ලෙස ය. ඔහුගේ සිනහව උවමනා වෙලාවට වඩා තත්පර බාගයක් කලින් නැගුනේය. මුවෙහි වූ මද සිනාව අවට සිටි ජනයාගේ අවධානය ගිලිහී ගිය සැනින් අතුරුදන් විය. එසේ වුවද කෙනෙකුට පහසුවෙන් යටපත් කරගත නොහැකි තරම් ආකර්ෂණයක් ඔහු කෙරෙන් දිස්විය. මා ද ඉන් මිදුනේ නොවේ. 

ඔහු හමුවීමට යාමට මම තීරණය කළෙමි. සමහර විට ඔහුගේ සුබවාදී දැක්ම මට ද බලපෑමක් කරන්නට ඉඩ තිබේ. මා පමණක් නොව දසත පැතිර යන විලවුන් සුවඳක් මෙන් ඔහු විසින් අවදිකළ බලාපොරොත්තුවේ හැඟීමෙහි එල්බගත් බොහෝ මිනිස්සු ඔහු වෙත ආකර්ෂණය වූහ. 

අවසානයේදී මවිසින්ම මා ඔහුට හඳුන්වා දුන් පසු යම් අදහසක් සිතෙහි පැළපදියම් වනු මට දැනින. මේ මිනිසා - මේ නවීන පිටස්තරයා, සමහරවිට ලෙනාන් නැවතත් පෙර පැවති තත්ත්වයට ගෙන එන පුද්ගලයා විය හැකිය. මේ අදහස මම ඔහුට ද හෙළිකළෙමි. ඔහුට අපගේ නගරාධිපති ලෙස පත්විය හැකි බව ද නගරයේ ගෞරවය යළි ඇතිකළ හැකි බව ද දශක ගණනාවකින් අප නගරයට ලැබෙන වඩාත්ම බලවත් පුද්ගලයා වීමට පවා ඔහුට ඉඩ ඇති බව ද මම කියාසිටියෙමි. 

බලය පිළිබඳව සඳහන් කළ විගස ඔහුගේ අවධානය තියුණු විය. වැදගැම්මක් නැති ආගිය තොරතුරු ලෙස ඇරඹි කතාබහක් මධ්‍යම රාත්‍රිය දක්වා ඇදී ගිය මොළයට වෙහෙසකර වූ ව්‍යායාමයක් බවට පත්විය. ඔහුගේ ඉරණම වී තිබුනේ ශ්‍රේෂ්ඨ පරිපාලකයෙකු වීම බව ඔහු පවසා සිටියේය. මම ඔහු විශ්වාස කළෙමි. ඒ ඔහුගේ වචනවල තිබූ විශ්වසනීයත්වය නිසා නොව මට විශ්වාස කිරීමට අවශ්‍ය වී තිබූ නිසා ය. ලෙනාන්වලට නැවත ජීවය ලබාදීමට හැකියාව ඇතැයි සිතුන නූල් පොටක තරම් වුව බලාපොරොත්තුවක හෝ එල්ලීමට තරම් වූ පීඩනයකට මා පත්ව සිටි නිසා ය. 

මැතිවරණ ව්‍යාපාරය ඇරඹෙත්ම අපි අපගේ උපරිමයෙන් එයට දායක උනෙමු. මට කළහැකි දේ මම ඔහු ඉදිරියෙහි තැබුවෙමි. ඒ මට තිබූ සබඳතා ය. මා ප්‍රදේශයේ මිනිසුන් දැනසිටි අතර මා මුල් බැසගෙන තිබුනේ මෙහි ය.  ඔහු ද ක්‍රියාකාරිකයෙකු ගෙන ආවේය. ඔහු කියා සිටියේ ඔහුගේ මුදල් පාලනය සඳහා කැඳවාගෙන ආ පැරණි මිතුරෙකු බව ය. වැඩි දිනක් යන්නට පෙර සෑම දෙයක් ගැනම මට කතාකිරීමට සිදුවූයේ ඔහු සමග ය. ඔහු නිලනොවන කාර්ය මණ්ඩළ ප්‍රධානියා බවට  පත්ව සිටියේය. මැතිවරණ ව්‍යපාරයේ විස්තර පිළිබඳව මා ලිනෝගෙන් කෙලින්ම විමසා සිටි විට සෑමවිටම කරන ලෙස ප්‍රසන්න ලෙස සිනා මුහුණක් පෙන්වා කිසිදු පිළිතුරක් නොදී ලිස්සා ගියේය. 

එසේ වුවද මම හැකිතාක් වෙහෙස වී වැඩ කළෙමි. සහයෝගය ලබාගත හැකි අය සොයා ගියෙමි. උදව් ලබාගතිමි. චිත්‍ර පාසැලෙහි මගේ මිතුරෝ බැනර හා දැන්වීම මුද්‍රණය කර දුන්හ. කන්‍යා සොයුරියන්ගෙන් පත්‍රිකා බෙදාහරින ලෙස ඉල්ලා සිටියෙමි. තම සාප්පුවෙහි මැතිවරණ දැන්වීම් ප්‍රදර්ශණය කිරීමට බේකරිහිමියා පොළඹවාගතිමි. එපමණක් නොව පුනරුදයක් සංකේතවත් කරන බිතු කැටයමක් කිරීමට මා මිතුරු අන්ද්‍රේස්ට පැවරුවෙමි. ඉන් නිරූපනය වියයුතු දැක්ම මට පැහැදිළිව පෙනුනි. අතීතය දැවී යයි. නවයුගය අරුනෝදයක් සමග නැග එයි. හිරු එළියෙන් ප්‍රමුදිතව ලෙනාන් යළි උපදී. 

මා ගැන විශ්වාසය තැබූ වැඩිහිටියන් පරිත්‍යාග කිරීමට පොළඹවමින් පල්ලියේදී සම්මාදං වට්ටියක් අතිනත යැවීම පවා කළෙමි. 

මේ සියල්ල එසේ සිදුවෙත්දීත් මා අතේ දුරින් තබාගන්නට ලිනෝ  වගබලා ගත්තේය. සෑම කටයුත්තක්ම ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා හරහා කළයුතු විය. අන්ද්‍රේස්ගේ බිත්ති කැටයමට අරමුදල් ඉල්ලාසිටි අවස්ථාවේදී ඉන්වොයිසිය එවන ලෙසත් අවශ්‍ය පියවර ගනු ඇති බවත් මා වෙත දන්වනු ලැබීය.

එවකට මට නොතේරුන නමුදු ඔහු ක්‍රියාකළ ආකාරයෙහි කුමක්දෝ  නොපැහැදිළිබවක් දක්නට තිබුණි. ඔහු ලෙනාන් අළුතින් ගොඩනැගීම ගැන කතාකළත් අතෙහි කුණු ගාගන්නට අකමැති වූ, බලාපොරොත්තු අවදිකළ, එහෙත් තම සැබෑ අරමුණු සඟවාගත්, මිහිරි වචන හා මවාගත් සිනහව පිටුපස සැඟව සිටි මිනිසෙක් විය. 

උවමනාවටත් වඩා බලාපොරොත්තු පුරවාගෙන, ලෙනාන් හී වෙනස්වීම පිළිබඳ සිහිනයෙන් අන්ධ වී සිටි මට, මගේ ඇස් ඉදිරිපිටම සිදුවෙමින් තිබූනේ කුමක් දැයි දැකගත නොහැකි විය. 

 පරිච්ඡේදය 4 පාවාදීම

ලිනෝ අතිවිශිෂ්ඨ ලෙස ජය ලැබීය. නගරය උද්දාමයට පත්ව තිබුණි. මම ආඩම්බරයෙන් කුල්මත් වීමි. මොහොතකට එය විජයග්‍රහණයක් ලෙස දැණින. 

චතුරශ්‍රයෙහි බිතු සිතුවමක් ඇඳෙමින් තිබිණ. ඒ බලාපොරොත්තු සහගතව මවිසින් සැලසුම් කරන ලද මගේ බිතු සිතුවමයි. එහි ගිනිගෙන දැවෙන පැරණි වැඩ පිළිවෙළත් උදාවන අරුණෝදයක පෙරනිමිතිත් පිළිබිඹු විය. අන්ද්‍රේස්  තද පින්සල් පහරවල් කඩිසර ලෙස හසුරුවමින් තම කාර්යයෙහි නිරතව සිටියේය. අත දිගු කළ මම මගේ මහපටැඟිල්ල ඔබා තින්ත තැවරී තිබූ කැනක් බොඳ කළෙමි. එය තවමත් තෙත ය. මේ බාල තින්ත කල් නොපවතින බව චිත්‍ර ශිල්පියෙකු ලෙස ඒ වනවිටත් මම දැන සිටියෙමි. 

බස්රථ පැමිණ නවතා වටිනා ඇඳුමින් සැරසුන ආගන්තුකයින් ගොඩබෑහ. ඔවුහු ධනවත්, වැදගත් පෙනුමින් යුක්ත වූහ. අඩු වශයෙන් අපට වඩා වැදගත් පෙනුමින් යුතු වූහ. මා වැනි ප්‍රදේශවාසීන් ප්‍රධාන චතුරශ්‍රයෙන් ඉවත්කරන ලද අතර ආගන්තුකයෝ වයින්වලින් සංග්‍රහ කරනු ලදුව ඒවා තොලගාමින් පසුවූහ. 

එක්වරම සංගීතය නතර විය. ලිනෝ කඳු පන්තියක් පසුබිමෙහි වූ බැල්කනියක් මත පෙනී සිටියේය. ළමුන් උරහිස මත තබාගෙන කොඩි වනමින් සිටි මිනිස්සු ඔල්වරසන් නැගූහ. ඔවුන්ට මෙය ඉතිහාසගත සිදුවීමකි. 

එහෙත් කතාව කෙටි, නොගැළපෙන හිස් එකක් විය. ඔහු කතාවක් නොකළ තරම් ය. වයින් රස විඳිමින් සිටි පවුල්වලින් පැමිණි නීතිඥයෙක් ඒ වෙනුවට මයික්‍රෆෝනය අතර ගත්තේය. සිත්ගන්නා සුළු තැන්පත් හඬක් තිබූ ඔහු කතාකළේ ලෙනාන් ගැන නොව සාමය, සෞභාග්‍යය හා අපගේ ගෞරවනීය අමුත්තන් පිළිබඳව ය. 

එසේ වුවද ප්‍රදේශවාසීහු ඔල්වරසන් දෙමින් ද කියූ දෙය හරිහැටි නෑසුනත් විරාමයකට නැවැත් වූ තැන්හිදී අත්පුඩි ගසමින් ද උරෙන් උර ගැටෙමින් අවුවේ සිටගෙන සිටියහ. 

ගැටළුව මතුඋනේ ඊලඟට ය. ඒ තේරීපත් වූ නගරාධිපතිගේ වැටුප ය. සඳලුතලයෙහි සිටි පුද්ගලයා එය නිවේදනය කළේ මුහුණෙහි සිනාවක් ද රඳවාගෙන ය. "මාසයකට පෙසෝ දහදාස් හාරසීයයි." බස්වලින් පැමිණි පිරිස අතරින් මහා සිනාවක් පුපුරා ගියේය. චතුරශ්‍රය පුරා ඔවුන්ගේ සිනාව රැව් දුන්නේය. එහි තිබූ විහිළුව මට නොතේරුනි. මට නම් දැනුනේ එය හොඳ ගණනක් බව ය. වැඩිහිටියන් විසින් රසවිඳි රහසක අරුත තේරුම්ගත නොහැකි වූ කුඩා දරුවෙකු මෙන් මම අවුලට පත්උනෙමි. එහෙත් ලිනෝගේ මුහුණ රතු වෙනු මට පෙණින. ඔහුගේ නළල දිගේ දහදිය බිඳුවක් ගලාහැලුනේය. 

එදින සන්ධ්‍යාවෙහි මැතිවරණ කාර්යමණ්ඩලය පෞද්ගලික වයින් සාප්පුවකට කැඳවා තිබුණි. එය සැමරීමක් නොවීය. එය ඇරඹුමකි. ඉඩම්, තෙල්, වයින් හා නීතියෙහි හිමිකරුවන් වූ පවුල් ඔහු වටා රැස්ව සිටියහ. ඔවුහු බොරු වර්ණනාවලින් ඔහු නැහැවූහ. ඔහු කැපීපෙනෙන අයෙකු වන බව කීහ. කීර්තිමත් පුද්ගලයෙකු වන බව කීහ. එහෙත් පණිවුඩය පැහැදිළි ලෙස පෙනුනි. ඔහුට වැඩ කිරීමට සිදුවන්නේ ඔවුන්ගේ බහට අනුව ය.

"මොකක් කරයි කියලද හිතුවේ?" ඔවුන්ගෙන් අයෙක් ඇසීය. "ගෙදරින් එලවාගන්න ඕනැ හින්දා තාත්ත ඡන්දෙට සල්ලි වියදම් කරපු කොල්ලට ලොකුවට සෙල්ලම් කරන්න දෙයි කියලද?"

ඒ හා සමග නැගුන සිනහව කර්කශ, අනුකම්පා විරහිත එකක් විය. ලොකු, ලොකු මෝරු ඒ වන විටත් වටේ කරකැවෙමින් සිටියහ. 

පසුව ලිනෝ, ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානී හා මම මන්දිරය පිටුපස ඉඩ ඇති තැනකට ගියෙමු. සාක්කුවෙන් සිගරැට් පැකට්ටුවක් එළියට ගත් ලිනෝ ආයාසයකින් තොරව එකක් දල්වාගත්තේ ජීවිත කාලයම දුම් පානය කළ අයෙකුගේ හුරුව පෙන්වමිනි. එතැන සිටියේ පෝස්ටර්වල දක්නට සිටි ආදර්ශමත් මිනිසා නොව වෙනත් අයෙකි. ඔහුගේ සිතුවිළි දැඩි වී තිබිණ. 

"දහයක් වාගෙ දෙනවා හතරක් දහයට කඩලා." දෑස් ඈතට යොමුකරමින් තොල්මැතිරූ ඔහු තම කාර්ය මණ්ඩල ප්‍රධානියා වෙතට හැරුනේය. "මේ නගරය පාලනය කරන්න වෙන කවුරුහරි හොයාගන්නවා. පත්තරේ දැන්වීමක් දාන්න. මම එක දවසක්වත් මෙහෙ වැඩකරන්නෙ නෑ." 

සිටගෙන සිටි තැනම ගල්ගැසුනත් මම තවමත් බලාපොරොත්තු අත්නොහැරියෙමි. "මොකද්ද ඒකෙ තේරුම? බලන්නකො කීයක් ගෙවනවද කියලා." 

නමාගෙන සාක්කුවේ රුවාගෙන සිටි කඩදාසිය ඔහු එළියට ඇදගත්තේය. එහි තිබූ ඉලක්කම් ඔහුට සරදම් කරන්නාක් මෙන් විය. දෙතොල‘තර වූ සිගරැට්ටුව ඉහළ පහළ යද්දී ඔහුගේ මුවින් සත්‍යය පිටවිය.

"ඒ කියන්නේ ඔහේ දණගහගෙන ඉද්දී මිනිස්සු දහදෙනෙක් පිටිපස්සෙන් ඇවිල්ලා වැඩේ කරනවා කියන එකයි. ඒක තමයි ඒකේ තේරුම. මේ පඩිය විහිලුවක්. මගේ කුස්සිය නඩත්තු කරන්නවත් ඒක මදි. ඔය පවුල්වල මිනිස්සු මගේ උරහිසට උඩින් එබීගෙන ඉඳිද්දී මට පෙසෝ එකක්වත් එහෙ මෙහෙ කරන්න වෙන්නෙ නෑ. මේ කුණුගොඩේ ඉන්න මට ඕනැකමක් නෑ. මුද්දර දිවේ අතුල්ලන්න මෙහෙ ඉන්න ක්ලාක්කෙනෙක් හොයාගන්න. මම යනවා හිම ක්‍රීඩාකරන්න." 

පෙරදී ඇසුන සිනාහඬ පෙරටත් වඩා හඬින් මෙවර දෝංකාර දෙමින් ඇසුනේ විහිළුවේ ඉලක්කය මා බවට පත්කරමිනි.  මුලසිටම මා බොළඳ ලෙස  වැඩකර ඇතිබව තහවුරු කරන්නට වෙනත් දෙයක් අවශ්‍ය නැත. ලිනෝ මෙහි පැමිණ තිබුනේ ලෙනාන් බේරාගන්නට නොවේ. ඔහු මුදල් ඉපයීම ම අරමුණු කරගෙන පැමිණි තවත් එක් අවස්ථාවාදියෙක් පමණි. එය පවා ඔහුට තරම් නොවන දෙයක් ලෙස ය ඔහු සිතුවේ. 

මගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය. හුස්ම ගැනීම පවා අපහසු තරම් විය. මට දැනුනේ මහා හිස්බවකි. මා වැඩකර තිබුනේ නගරයෙන් තුරන්කිරීමට මට අවශ්‍යව තිබූ දූෂණය වෙනුවෙන් ම ය. 

මා ආපසු චතුරශ්‍රය වෙත ගෑටුවේ බඩට වෙඩි පහරක් වැදුන පුද්ගලයෙකු මෙනි. බිම විසිරී තිබූ උත්සවයට ගෙනා වර්ණවත් කුඩා කොල කැබලි මගේ පයට පෑගුණි. ලෙනාන් හී දුප්පත්තු තවමත් තම විශ්වාසයෙහි එල්බීගෙන කොඩි වනමින් ඔල්වරසන් දෙමින් සිටියහ. 

ප්‍රදර්ශණාගාරයේ ප්‍රක්ෂේපන යන්ත්‍රවල තවමත් මෝටර් රථ ධාවන පෙන්වන පැරණි සිනමා පට ධාවනය වෙමින් තිබුනි. වරෙක සිදුවිය හැකියයි බලාපොරොත්තු වූ දෙය දැන් පෙනෙන්නේ විකාරයක් ලෙස ය, වැදගැම්මකට නැති දෙයක් වෙනුවෙන් තැබූ පූජාසනයක් නැතිනම් නිස්සාර දෙයක් වෙනුවෙන් ගොඩනැගුනු ස්මාරකයක් ලෙස ය. 

බස් රථ පිටත්ව යමින් තිබිණ. මගේ පෙම්වතිය මා පසුකොට ඇවිද ගියාය. ඇය ඒ වන විටත් අනෙක් මිනිසුන් වෙත සිනා පාමින් ආහාර දාමයේ වඩා ඉහළ තැනක් කරා යමින් සිටියාය. මිනිස්සු නව ක්‍රමයෙහි තමන්ට හිමිවිය යුතු තැන තහවුුරු කරගන්නට උපා යොදමින් සිටියහ.. 

බිතු කැටයමෙහි වැඩ නවතා පිටව යන ඇන්ද්‍රේස් මට මුණගැසිණ. "කොයි වෙලාවෙද මේක ඉවරකරන්න ආපහු එන්නෙ?" මම ඇසුවෙමි. 

ඔහු හිස සෙලවීය. "ආයෙ එන්නෙ නෑ. මේක නිකං පෙනුමට විතරයි." 

කිසිවක් වටහාගත නොහැකිව මා ගල්ගැසිණ. මා ආපසු හැරෙද්දී වැඩ නිම නොවූ බිතු කැටයම මා පිටුපසින් නැගී සිටියේය. වැහි බිඳු එක දෙක පතිත වන්නට පටන් ගත්තෙන් බිත්තිය දිගේ වැහි බින්දු රූරා වැටෙන්නට විය. තින්ත දිය වී ගලාගියේ වැළපෙන මුහුණක් දිගේ පහළට වැගිරෙන ඇහි පිහාටු මත ගැල්වූ ආලේපන මෙනි. මිනිසුන්ට ලැබී තිබුනේ එපමණ ය. වෙනසක් නොවේ, බලාපොරොත්තුවක් නොවේ. කිසිදිනෙක නිම නොවන බිතු කැටයමක් මත ගැල්වූ බාල තීන්ත ය. 

පාට වැසිදිය හා මුසු වෙද්දී ලෙනාන් හී මා දුටු පළමු හිමිදිරිය මට මතක් විය. මැකී යමින් තිබූ මීදුම, විවෘත කෙරෙමින් තිබූ බේකරිය, පල්ලම බසිමින් පාවී යන අතර කන්‍යා සොයුරිය දැක්වූ සිනහව මගේ මතකයට නැගින. ඒ වන විට අහිංසකබව සුරක්ෂිත යයි හැඟීමක් සිතෙහි තිබුනි. 

දැන් ඉතිරිව තිබෙන්නේ බිත්තිය දිගේ ගලාබසින තීන්ත මෙන් වූ ඡායාවක් පමණි. 

Jorge A. Morales නම් ලේඛකයාගේ A Dream for Sale කෙටිකතාවේ පරිවර්තනයකි.

   

11 comments:

  1. අහා! හා, මාස ගාණකට පස්සෙ ලියල තියෙන්නෙ, මදි නොකියන්නම? හොඳ පාටයි. දිග නිසා, ආයෙ එන්නම් කියවල ඉවර වුනහම.👌🙏

    ReplyDelete
  2. කතාවෙ මුල් හරිය ලස්සනයි. හුටා! බලාගෙන ගියාම, අලුත් නගරාධිපතියත් ට්‍රම්පුච්චා වගේ පට්ට වංචාකාරයෙක් නේද?

    ReplyDelete
    Replies
    1. කාටත් පොදු තේමාවක් නේද? අපිත් ඔය වාගේ ඡන්දෙ දීලා පස්සෙ විරවපට්ටං ගහගෙන ඉන්නේ! සරල සමාජයක් වානිජකරණය වීම හා ඊට මුහුණ දෙන අයගේ මානසිකත්වය තමයි.

      Delete
  3. පුනරුදයට ගහපු පොඩි හින්ට් එකක්ද මන්දා . ඕන ආණ්ඩුවකට බිස්නස් කාරයෝ අරගොල්ලෝ මේ ගොල්ලෝ ලංවෙනවා ඒක නැවත අනන් අමාරුයි . අහුවෙන එකයි නවත් වන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. එතරම් ප්‍රකට නැති ලතින් අමෙරිකානු ලේඛකයෙක් ලියූ කතාවක්. සැබෑව හා මුළාව අතර ගැටුම, බලාපොරොත්තු පවා වාණිජකරණය වීම වගේ තේමාවක් තමා මට පෙනෙන්නේ. අවශ්‍ය නම් අපටත් අදාළ කරගන්න පුළුවන්.

      Delete
  4. හොරු, බොරුකාරයන් වැඩියෙන් සිටින ලොවේ
    හොඳ හිත ඇත්තවුන් වැටෙනව අමාරුවේ
    එදත් අදත් මේ වැනි දේ යළි සිදුවේ
    බලයට එන්නෙ නුසුදුසු අයමද මෙලොවේ?

    ReplyDelete
    Replies
    1. අප තබාගන්නා බලාපොරොත්තු කෙතරම් යථා තත්ත්වයට කිට්ටු ද කියලත් හිතන්න වෙනවා.

      Delete
  5. ටිකක් දිග කෙටි කතාවක්. අවසානය හැමෝටම පොදුයි. බොරුව සහ රැවටිල්ල .එළියට පෙන්නන මුහුණට වඩා අතිශයින්ම වෙනස්.

    ReplyDelete
    Replies
    1. ලේඛකයා පෙන්වන තරම් ලිනෝ නරකද කියලත් හිතන්න පුළුවන්. ඔහු කෙලින්ම ඔහුගේ අදහස කියලා අයින් වෙනවා.

      Delete
  6. කතාව මරු!
    //පුංචි දේවල්වලින් තමයි ලොකු වෙනසක් ඇතිවෙන්නේ// - 🙌

    එල්ලෙන්න වැල් නැති උනාම පිදුරු ගහෙත් එල්ලෙන හදනව වගෙ වැඩක් තමයි කතානායකයට වුනෙ. අවංකකම, හිතහොඳකම හන්දා ඉතිං මේ වගේ දේවල් වෙනව වැඩි.

    ReplyDelete
  7. +++++++++++++++++++++++++++++++

    ReplyDelete

සිහිනයක් විකිණීමට තිබේ

  පරිච්ඡේදය 1 - නගරය මට වයස අවුරුදු දහඅටක් වෙද්දී ආර්ජන්ටිනාවේ ඇන්දීස් කඳුවැටියේ වූ ලෙනාන් නම් කුඩා නගරයේ පදිංචියට ගියෙමි. ගල් අතුරා සැදුනු ...