සතියක් කියන්නේ දිග කාලයක්, නැද්ද?
රික්ෂෝව උඩ පනිමින් ගමේ පාර දිගේ ඉදිරියට ඇදෙද්දී පාරෙහි තද මැටි මතුපිට යටට එබී සැදුනු රෝද පාරවල් ඔහුට දැකගත හැකි විය. "ගිය සතියේ මෙහෙට වැස්සද?" ඔහු රික්ෂෝකරුගෙන් විමසීය. "ඔව්." රික්ෂෝකරුගෙන් පිළිතුර ලැබිණි.
"හුඟක්?"
"ඔව්, හොඳටම. එක දිගට දවස් හතරක් නවතින්නැතුවම වැස්සා. ඊයෙත් පොද වැස්සක් වැටුනා. ඒ දවස් හතරේ මට හොඳට වැඩ තිබුණා. ඒත් ඊට පස්සේ මං ලෙඩින් වැටුනා. මේ අකාලෙට වහින වැස්සට දවස් හතරක් තෙමිලා කෙලින් ඉන්න කාටවත් බෑ. නැද්ද මං කියන්නේ? කාටවත් බෑ. අදයි මං හොඳවෙලා වැඩට ආවේ. කොචම්මාගෙ බෙහෙත හරිගියා. මිනිහ කිව්වා දවස් දෙකයි කියලා. හඑියටම දවස් දෙකයි තමා ගියේ. දැං මට හොඳයි. කොල්ලා හැදුනේ ඔබ . . . ." මුවට නැගුනු සිනාවත් සමග ගමනේ ඉතිරි කොටස ඔහු ඇහුම්කන් දෙමින් ගමනෙහි යෙදුනේය.
ගමනාන්තයට පැමිණ තම කුටියෙහි දොරගුල විවෘත කළ ඔහු හඬ නොනගා සුමටව කැරකුන අගුල ගැන සතුටට පත්විය. නගරයෙහි සතියක් ගතකළ ඔහුට දුම්රියෙහි හා රික්ෂෝවෙහි ගතකළ කාලය ඊට වඩා දිගු ලෙස දැනුනේ ඉන් ඔහු වෙහෙසට පත්ව සිටි නිසා ය. එනිසාම ඔහු නිදාගත්තේය. ඔහු නින්දට වැටුනේ පසුගිය සතියෙහි කුමක් සිදුවිනි දැයි නොදැන ය. සසුගිය සතියෙහි වැසි පතිතව තිබූ අතර වැස්සත් සමග සියල්ල තෙතබරිත වන අතර තෙතමනයත් සමග උන් එති.
අවදි වී පැයක් ඇතුළත ඔහුගේ කාමරය විසිරී ගිය කුඩා කඩදාසි කැබලිවලින් හා වාතයෙහි වූ තෙත් ගතිය නිසා ඒවාට ඇලී තිබූ දුහුවිල්ලෙන් පිරී පැවතිණ. මුල්ලකට වී සිටගත් ඔහු තමාගේ නිර්මාණය දෙස බැලීය. පසුගිය වසර කිහිපය මතකයට නගාගන්නට උත්සාහ දැරීය. ඒ කාලය තුළ වෙහෙස දරා කළ සියල්ල නැතිවී ගොසිනි. ගඩොලින් ගඩොල තබා ගොඩනැගූ, බිඳිය නොහැකි තරම් ශක්තිමත් යයි සිතූ බලකොටුව දුර්වල බලවේගයක් හමුවේ බිඳවැටී ඇත. මේ පිටිසරබද ගැමි පරිසරය වසර ගණනාවක් පුරා ඔහු තුළ හැදී වැඩුන සියල්ලට උත්තේජනයක් විය. එහෙත් අද ඔහුට එහි වූ එක් අනර්ථයක් දැකගත හැකි විය. ඔහු ආකර්ෂණය කරගත් දෙයම ඔහුගේ විනාශයට හේතු වී ඇත. වර්ෂාව පැමිණ ඇත.
කොචම්මා කාමරයට ඇතුළුවන විට ඔහු මුල්ලට වී සිටගෙන සිටියේය. තම පාසැල් ගුරුවරයා දැකීමෙන් සතුටට පත්වුවද ගුරුවරයාගේ මුහුණෙහි තිබූ දොම්නස තේරුම් ගැනීමට නොහැකි වූ නිසා කොළුවා අවුල්සහගත බවට පත්ව සිටියේය. කාමරය තුළ තිබූ පෙනුම ඊටත් වඩා අඳුරුසහගත විය. කාමරයෙන් එළියට ආ ඔහු කොචම්මාට වැර යොදා කම්මුල් පහරක් එල්ල කොට, "පලයන් යන්න." යනුවෙන් මොරදුන්නේය.
කොචම්මාට දැනුන දරුණු වේදනාව ඔහුගේ මුහුණෙහි පිළිබි්ඹු නොවීය. දෑස් පිරී උතුරා ගියද ඔහු නොහැඬුවේය. ඔහු හැඬිය යුත්තේ ඇයි? පසුතැවිලි වන්නට තරම් කිසිදු වරදක් ඔහු අතින් සිදුවී නැත. ගුරුවරයාගේ අහේතුක ක්‍රියාව නිසා තම උගුරේ හිරවුන ඉකිය තදකරගෙන ඔහු සිටගත්වනම බලා සිටියේය.
ගුරුවරයා තම කෝපය කොචම්මා වෙත එල්ල කළේය.
"මම උඹට කිව්වා මම නැති වෙලාවේ මේ කාමරේ බලාගන්න කියලා."
"ඔව්." කොචම්මාගේ ප්‍රතිචාරය ද ක්ෂණික විය.
"ඒත් උඹ . . . ."
"මම අගුල්වලට තෙල් දැම්මා, බිම අතුගෑවා, ඇඳේ දූවිලි ගැසුවා, තව . ."
"එතකොට රාක්කේ!"
මහත්තයා මට කියලා තිබ්බේ රාක්කෙට අත තියන්න එපා කියලා.
"හොඳයි, දැන් පලයන්." තම වරද වටහාගත් ගුරුවරයා තොල්මැතිරීය.
කොචම්මා කාමරයෙන් පිටවිය. එහෙත් ඔහුගේ සිතෙහි දුකක් නොවීය.මීට පෙර ගුරුතුමා කම්මුල් පහරක් එල්ල කළ එකම අවස්ථාවේදී මෙන් මෙන් නොව මෙවර ඔහුට දැනුනේ ශාරීරික වේදනාවක් පමණි. සිතෙහි පශ්චාත්තාපයක් නොවීය. ගුරුතුමා සාධාරණ වූයේ නම් කම්මුලෙහි ඉතිරි වූ ඇඟිලි පහරවල් දකින විට ඔහුට කාරුණික වචනවලින් කතාකරන්නට පුළුවන්කම තිබුණි. එහෙත් ගුරුතුමා සාධාරණ නොවූ නිසා එදින දවස පුරාම ඔහුට ගුරුතුමාගෙන් කිසිදු දයාවක් නොලැබිණ. ඉතින් සිදුව තිබූ දෙය ගුරුතුමාගෙන් දැනගන්නට ඔහුට පසුදින උදය තෙක් සිටීමට සිදුවිය. "කොචම්මා, මගේ අත්පිටපත විනාශ වෙලා. අවුරුද්දක් පුරා මං දරපු වෙහෙස විනාශ වෙලා. මගේ නිර්මාණය විනාශ වෙලා."
එතැන් සිට ගුරුතුමා නන්නන්තාරේ ඇවිදින්නෙක් බවට පත්විය. ඔහු තැනින් තැනට, කන්දෙන් කන්දට උන් විනාශ කර දමමින් ඇවිද්දේය. සන්ධ්‍යා කාලයේදී ඔහු ගමෙහි තිබූ පොකුණෙහි ගැට්ට මත වාඩිවී ජීවිත දෙස බලා සිටියේය. ඔහුට දැකගත හැකි වූයේ ජීවය උතුරා යන ජීවිත නොව ඒකාකාර, දියාරු ජීවිත ය. රාත්‍රියෙහි ඔහු නිදාගත්තේ ස්වල්ප වශයෙනි. ඔහුගේ කාමරයෙහි තිබූ මන්දාලෝකයක් විහිදූ විදුලි පහන සෑම විටම වාගේ දැල්වී තිබෙනු දැකගත හැකි විය. දිනපතාම කොචම්මා පැමිණ අවට පිරිසිදු කළත් ගුරුතුමා නිහඬවම සිටියේය. මාස ගණනාවක් යන තෙක් ඔහු කිසිවෙකුටත් ඉගැන්වූයේ නැත. හැමදෙනාම කනස්සල්ලට පත්ව සිටියත් කවුරුවත් කිසිවක් කීවේ නැත. ඔවුන් කුමක් කියන්නද? මේ පුද්ගලයා කිසිම දෙයක් නොගෙන අවුරුදු දෙකකටත් වැඩි කාලයක් ඔවුන්ගේ දරුවන්ට අකුරු කියාදී තිබේ. ඔහුට ඉතා පහසුවෙන් නගරයට ගොස් මහාචාර්යවරයෙකු ලෙස විශාල මුදලක් උපයාගන්නට ඉඩ තිබුනි. එහෙත් ඔහු ඉඳහිට ගම්වැසියන් සතුටින් ගෙනත්දෙන දෙයක් හැරෙන්නට වෙනත් කිසිම දෙයක් නැතිව නොමිලේම ඉගැන්වීම කරමින් මෙහි නතර විය. එමෙන්ම ඔහුගේ බැංකු ගිනුමේ ශේෂය හීන වී යනු හා ඔහුගේ අඹ හා කෙසෙල් ගොඩවල් වැඩිවෙනු සතුටින් බලා සිටියේය.
ගමට පාසැලක් තිබුන ද එයට ලඟාවීම සඳහා ඔරුවකින් ගඟ තරණය කළයුතු විය. ඒ හේතුවෙන් මව්වරු කුඩා දරුවන් පාසැල් නොයැවූ අතර ළමයින් වයසින් වැඩෙන විට පාසැල් යාමට ඇති උනන්දුව නැත්තටම නැතිව ගොස් තිබුනේ තමන්ට වඩා කුඩා ළමුන් සමග එකම පන්තියේ වාඩිවීමට තිබූ අකමැත්ත නිසා ය. අධ්‍යාපනය ලබාගත හැකි එකම මග ගුරුතුමා පමණක්ම වූ නිසා ගමට පාසැලත් ගුරුවරයාත් යන දෙකම වූයේ ඔහු ය. දැන් ඔහු රස්තියාදුකාරයෙකු වී සිටියි.
ඔහුගේ අත්පිටපත මුද්‍රණය කරන්නට ලැබුනා නම්, එයට ඔහු බලාපොරොත්තු වූ මුදල ලැබුනා නම් මොන විදියේ වෙනසක් වෙන්නට තිබුනේද! එම මුදලින් පාසැල් ගොඩනැගිල්ලක් හදන්නට ඉඩතිබුනි. ඔහුගේ සැලැස්ම වූයේ එයයි. දැන් එය සැලැස්මක් පමණක් විය. ඔහුගේ අත්පිටපත ඔවුන්ට අමෘතය විය. සතියක් ඇතුලත ඒ සියල්ල අවසානයකට පැමිණියේ වැස්ස නිසා ය. මේ ප්‍රදේශයට වැසි ලැබෙන්නට වලාකුළුම අවශ්‍ය නැත. අහසේ දිස්වන සුදු පුළුන් කැටියකට වුව හිම කුණාටුවක් ඇති කරන්නට පුළුවන. කාට කියන්න පුළුවන්ද?
කොචම්මා ඉතිහාස පාඩමේදී කියවූ 'කොලොම්බස්' නම් නම භූගෝල විද්‍යාවේදී කියවූ කැටි වලාකුළු යන තේරුම දෙන 'ක්‍යුමිලනිම්බස්' නම් වචනය සමග පටලවා ගත් සැටි මතක් විය. අසල තිබූ පඳුරක් නිසා ඉනවටක් වතුරේ බැසගෙන නාමින් හා සෙල්ලම් කරමින් සිටි කුඩාවුන්ට නොපෙනී සිටි ඔහුට මහ හඬින් සිනා පහල විය. තම ගුරුතුමා අහල පහල සිටින බව දැනගත් ළමෝ පොකුණෙන් ගොඩට විත් හෙළුවැල්ලෙන්ම හිස් හැරුන අත දිවගියහ. ඔහුගේ සමීපයෙන්ම සිටි කොචම්මාට ඔහු කම්මුලට ගසා තිබේ. ඔවුන්ට ඔහු කුමක් කරනු ඇත් දැයි කිවහැක්කේ කාටද?
එහෙත් කුමක් සිදුවුවත් කොචම්මා තම ගුරුතුමා සමග තරහවන්නේ නැත. පුරා අවුරුදු දෙකක් කොචම්මා ඔහුගේ ශිෂ්‍යයා විය. මුලින් නාහට නාහන දඩබ්බරයෙකු වූ ඔහුගේ නහර තුළ දැන් මිත්‍රත්වයේ සිහිල් දහරාවක් ගලා යයි. දැන් ඔහු වයසට වඩා මුහුකුරා ගිය අවුරුදු දහයක ළමයෙකි. ගුරුතුමා ඔහු දෙස අප්‍රසන්න හැඟීමකින් නොබැලුවත් තමා ඔහුගේ ප්‍රියතම ගෝලයා බව ඔහු දැන සිටියේය.
කොචම්මා පිළිබඳ සිතුවිල්ල ඔහුගේ හදවත සසල කළේය. පොතුණේ පියගැට මතින් නැගී සිටි ඔහු දෙපස වැවුනු ගස්වලින් සෙවන ලැබ තණකොළ වැවුනු පාර දිගේ ගෑටුවේය. තවදුරටත් ඔහුට අහස නොපෙනුනි. ඔහුගේ සිතෙහි වූ වලාකුළ විසිරී ගොස් එතැනින් කොචම්මා මතුවිය. අවුරුදු අටක් වයසැති කොචම්මා තම දොරකඩ මූත්‍රකොට අපිරිසුදු කළ ආකාරය ඔහුගේ මතකයට නැගින. අවුරුදු නමයේදී ඔහුගේ පියා වූ ගමේ වෙදරාළ මියගිය විට කඳුළක් හෝ නොහෙලා සිටි සැටි මතකයට නැගින. තම ගුරුතුමා දුරදිග නොබලා කම්මුලට ගැසූ විට කිසිදු මැසිවිල්ලක් නොනගා සිටි සැටි මතකයට නැගින. "ඔබතුමා මේ කොල්ලා කොච්චර හොඳ ළමයෙක් කළාද?" සැමදෙනම කියන්නේ එසේය.
ගුරුතුමා ආපසු පැමිණෙන විට කොචම්මා මීට බොහෝ කලකට පෙර ඔහුගේ ගුරුතුමා දුන් අමතර යතුරෙන් දොර අගුලු දමමින් සිටියේය. ඔහුගේ කාමරය පිරිසිදු කිරීමට ඉල්ලමින් කොචම්මා හඬතැලූ හැටි ඔහු සිහිකළේය. ආපසු හැරෙත්ම ගුරුතුමා දුටු කොචම්මා සිනාසුනේය. "මෙහෙ එන්න කොචම්මා." ගුරුතුමා පෙරැත්ත කළේය. ආදරයෙන් කරට අත දැමූ ඔහු කොචම්මා ඇතුලට කැඳවාගෙන ගොස් ඔහු නගරයෙන් ගෙනැවිත් තිබූ තරගයට වචන හදන පුවරුව දුන්නේය. ඔවුහු සන්ධ්‍යා භාගයේ ඉතිරිය එයින් ක්‍රීඩා කරන්නට ගතකළහ. ගුරුතුමා උවමනාවෙන්ම පැරදුන අතර කොචම්මා ඒ බව දැන සිටියේය.
පසුදින සිට ඔහු නැවතත් ලියන්නට පටන් ගත්තේය. කොචම්මා මෙන් ඔහු ද කිසිවකින් සැලෙන්නේ නැත. කොචම්මා මෙන් ඔහු ද හඬන්නේ නැත. දැන් ඔහුගේ උත්තේජනය කොචම්මා ය. කොචම්මාගේ ගැහෙන හුස්මෙහි ජීවයෙන් පිරි ජීවිතයක් ඔහු දුටුවේය. එහි කිසිම දියාරුබවක් නොවීය. මෙවර ඔහු ප්‍රවේශමින් වඩාත් හොඳින් සූදානම් වන නිසා බියවීමට දෙයක් නැත. මෙවර ඔහු ලියන්නේ ඔහුට පමණක් වැදගත් වන නිර්මාණයක් නොව සෑම කාලයටම, සෑමදෙනාටම වැදගත්වන නිර්මාණයකි.
කාලය ගතවෙද්දී කොචම්මා තව තවත් බුද්ධියෙන් මුහුකුරා ගිය අතර ඔහුගේ අත්පිටපත ටිකෙන් ටික පිටු ගණනින් වැඩිවිය. ගමට පාසැලක් ලැබෙන්නට යන්නේය යන කසු කුසුව යළිත් ගම පුරා පැතිර ගියේය. ඔහු සිසුන්ට ඉගැන්වීමෙහි යෙදුන අතර ඔහු සන්තකයෙහි වූ අඹ හා කෙසෙල් ගොඩවල් ද වැඩිවිය. තවදුරටත් ඔහු නගරයට ගියේ නැත. ඒ කාලය ඔහු ලියන්නටත් කොචම්මා සමග වචන පුවරුවේ සෙල්ලම් කරන්නටත් ගතකළේය. තවදුරටත් ඔහු උවමනාවෙන් කොචම්මාට පැරදුනේ නැත. ඇත්තටම ඔහු කෙසේවත් පැරදුනේ නැත. ඔහු සැබැවින්ම කොචම්මාට පැරදුනේ ඔහුගේ අත්පිටපත සම්පූර්ණ වූ දිනයේ ය. ඔහුත් කොචම්මාත් දෙදෙනම සතුටට පත්වූහ.
මේ මුලු කාලය පුරාම වර්ෂාව තිබුනත් සිත කරදර කරගන්නට හේතුවක් නොවීය. ඔහුගේ අත්පිටපත තිබුනේ කොචම්මාගේ සුරක්ෂිත දෑතෙහි ය. සෑම දිනකම කොචම්මා බිම මෙන්ම පොත් රාක්කය ද පිරිසිදු කළේය. එබැවින් මෙවර ඔහු නගරයට යන විට අත්පිටපතෙහි ආරක්ෂාව පිළිබඳ සැකයක් ඔහු තුළ නොවීය. වැස්ස වැටෙද්දී වුවද කොචම්මා ඔහුගේ රාජකාරිය හරියට කරනු ඇත. සිතූ සේම ඔහු ආපසු එන විට අත්පිටපත සුරැකිව තිබිණ.
අඩනින්දේ විවේකයෙන් ඔහු අවදිවන විට ඔහුගේ නහයට යම් ගන්ධයක ඉව දැනින. වාතය තෙතබරිත වී තිබුණි. ඔහුට රාක්කය දෙස බැලුණි. කොචම්මා අත්පිටපතට මුර දාගෙන සිටියේය. මන්ද, වැස්සත් සමග තෙතමනය ද තෙතමනය සමග ඔහුගේ අපලය - වේයන් ද එන බැවිනි.
ඉන්දියානු ලේඛක අමිත් ෂන්කර් සාහාගේ With The Rain Comes The Damp නම් කෙටිකතාවේ පර්වර්තනයකි.

No comments:
Post a Comment