ප්‍රබන්ධයට වඩා සැබෑවට සිදු වූ අකරතැබ්බ රසවත් ය. හාස්‍යය, ලජ්ජාව මෙන්ම නැවත මතක් කරන විට පොලව පලාගෙන යන්නට සිතෙන සිදුවීම් ද නැතුවා නොවේ. මේ කතා තුනම මා ගුරුවරයෙකු ලෙස සේවය කරද්දී අසන්නට ලැබුන සත්‍ය යයි පැවසුන සිදුවීම් ය.
1. එකල ගම්වල නාට්‍ය පෙන්වූයේ හුදෙක් විනෝදය, රසවින්දනය පදනම් කරගෙන ම නොවේ. ගමේ පන්සලට, සුබසාධක සමිතියට හෝ ක්‍රීඩා සමාජයට අරමුදල් සපයාගැනීම ද එහි ප්‍රධාන තැනක් ගත්තේය. නාට්‍යයක් පෙන්වීම සඳහා මුදල් ගෙවා නාට්‍ය කණ්ඩායමක සේවය ලබාගැනීම එක් ක්‍රමයකි. එසේ නැතිනම් ගමේම කලා ලැදි පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට වැඩය බාරදීම ය. මේ කියන සිද්ධිය උනේ ඒ දෙවන ක්‍රමයට සැලසුම් කරන ලද නාට්‍යයක ය. මේ කතාවේ එක් සිදුවීමක් වූයේ එක් පුද්ගලයෙකුට වෙඩිතබා මරණයට පත්කිරීමයි. නාට්‍යයෙහි නිෂ්පාදකවරයාට මේ ත්‍රාසජනක සිද්ධිය හැකිතාක් තාත්වික අයුරින් නිරූපනය කිරීමට අවශ්‍ය විය. සැබෑ තුවක්කුවක් මෙන් පෙනෙන සේ ලීයෙන් තුවක්කුවක් සෑදවීය. තුවක්කුව විතරක් ඇතෑ. සද්දෙත් ඕනැ නේ. ඒ සඳහා ද උපක්‍රමයක් විය. වෙඩි තබන මොහොතේම වේදිකාව පසුපස සිට රතිඤ්ඤයක් පත්තු කිරීම ඒ උපක්‍රමයයි.
දැන් නාට්‍යය පෙන්වන වෙලාවයි. වෙඩිතබන ජවනිකාව එළඹියේය. වෙඩිතබන චරිතය රඟන නළුවා තුවක්කුව එල්ල කලේය, දෙබස කිව්වේය. "මම උඹට වෙඩි තියනවා!" එහෙම කිව්වාට වැඩේ හරියටම හරිගියේ නැත. රතිඤ්ඤය පත්තු උනේ නැත! දැන් මොකද කරන්නේ? නළුවාට ස්ථානෝචිත ප්‍රඥාව පහල උනේය. ඔහු වහාම අළුතෙන් දෙබසක් හැදුවේය. "පළවෙනි වතාවට මම උඹට සමාව දෙනවා!" එතකොට රතිඤ්ඤය පත්තු නොවූ වැරැද්ද හදාගත හැකිය. එසේ සිතා අළුත් දෙබස කියන්නට කට ඇරියේය. "පළවෙනි වතාවට මම උඹට සමා . . ." කියන්න හම්බඋනේ එච්චරය. "ඩෝං!" ගා රතිඤ්ඤය පත්තු විය. දැන් මොකද කරන්නේ? තැනට සුදුසු නුවණ නැවතත් පිහිටට ආවේය. තවත් වරක් අළුතින් දෙබසක් හැදුනේය. ඒ මෙහෙමය. "නෑ, ඒත් දෙන්නෙ නෑ!"
දැන් ජවනිකාව මෙහෙම ය.
"මම උඹට වෙඩි තියනවා!"
? ? ? ? ? ? ? ? ? ? ? ? ?
:පළවෙනි වතාවට මම උඹට සමා . . ."
"ඩෝං !"
"නෑ, ඒත් දෙන්නෙ නෑ!"
ඊට පස්සේ මොකද උනේ කියලා මේක කියපු එකා කිව්වේ නැත.
2. මේ ජාතියේ නාට්‍ය පෙන්වන විට පළමුවෙන්ම ගතයුතු පියවරක් වන්නේ අනුග්‍රාහකයෙකු සොයාගැනීමයි. මන්ද නාට්‍යයේ කටයුතු සඳහා වියදම් කිරීමට මුදල් නැත්නම් එතැනින් එහාට කිසිවක් සිදු නොවන නිසා ය. අද කාලයේ නම් අනුග්‍රාහකයාගේ ව්‍යාපාරයට වෙළඳ ප්‍රචාරයක් ලබාදීම සිරිත වුවත් එකළ ගම්වල සිටියේ ගමේ කඩේ මුදලාලි හෝ ගමේ ඉහල තනතුරක් දරණ ප්‍රභූවරයෙකි. එවිට සිදුවන්නේ සහ අනුග්‍රාහකයාගේ බලාපොරොත්තුව වන්නේ එදින ප්‍රධාන ආරාධිත අමුත්තා වී පහන දල්වා නිවේදකයාගෙන් කිහිපවරක් නම කියවාගෙන ඉදිරිපෙළ අසුනක වාඩි වී උජාරුවෙන් නාට්‍යය නැරඹීම ය. එහෙත් මේ කියන නාට්‍යයේ අනුග්‍රාහකයාට තිබුනේ වෙනම ආශාවකි. එනම්, නාට්‍යයේ චරිතයක් රඟපෑම ය. මෙයා දන්නා රඟපෑමක් නැතිබව නාට්‍ය කණ්ඩායමට වැටහුන ද ඒක කීවොත් වැඩේ හබක් වෙන්නේය. ඒ නිසා කොහොම හරි රඟපාන්නට දෙන්නට සිදුවන්නේය. පිළියමක් ලෙස නාට්‍ය පිටපතට තත්පර ගානක පුංචි චරිතයක් ඇතුළු කෙරිණ. ජවනිකාව මෙහෙම ය. මුදලාලි කෙනෙක් නිවසින් බැහැර යාමට සූදානම්ව ඉන බැඳි කළු මහත බඳ පටියේ පොකට්ටුව පරීක්ෂා කර බලා හාමිනේට කතාකොට, "ගෑනියෙ, මගෙ සල්ලි දියං." යයි පවසයි. ජවනිකාවත් එච්චර ය. රඟපෑමත් එච්චර ය. නාට්‍යයට හානියක් ද නැත. අනුග්‍රාහක ආයෝජකයා ද සතුටිනි. නිසි පරිදි කෙරුන පෙර පුහුණුවීම්වලින් පසු නාට්‍යය වේදිකාගත කරන දිනය එළඹියේය. නාට්‍යයද අපූරුවට ගලාගෙන ගොස් අදාළ ජවනිකාව ද එළඹියේය. මුදලාලි වේදිකාවට පිවිසියේය. නියමිත පරිදි පටියේ පොකට්ටුව බලා මුදල් නැතිබව දැන පසෙක සිටි හාමිනේට කතා කළේය. නියමිත දෙබස කිවිවේය. හැබැයි කිව්වේ මෙහෙම ය. "සැ . .සැ . . සෑනියෙ මගෙ ගැල්ලි දියං!"
3. මේක නාට්‍යයක් ගැන නොව සල්පිළක් ගැන ය. ඒ කාලයේ පොදු කටයුත්තකට අරමුදල් සපයාගැනීමට යොදාගත් කටයුත්තකි, සල්පිළ. අදත් එහි වෙනසක් නැතිබව අවට පන්සල්වලින් නැගෙන ශබ්දපූජාවලින් වටහාගත හැකි ය. මේ පල්පිළට මූලික උනේ අප පාසැලේ ලොකු ඉස්කෝල මහත්තයා ය. මෙහි එක් ජනප්‍රිය අංගයකි මලක නමත් කීම. මලක නමක් කොලයක ලියා සංවිධායක මණ්ඩලය අත තිබෙන අතර පැමිණ සිටින පිරිසට නියම කරගත් මුදලක් ගෙවා මලෙහි නම අනුමාන කොට කිව හැකි ය. නිවැරදිව නම කියන්නාට ත්‍යාගය හිමි වෙයි. මෙහිදී පහසුවෙන් නොකියවෙන මලක් කෝරාගැනීමට සංවිධායක මඩුල්ල වගබලාගන්නේ ක්‍රීඩාවේ අරමුණ මුදල් ඉපයීම නිසා ය. මලක නමක් සොයා එය ලියා තැබුවේ ද අප ලොකු ඉස්කෝල මහත්තයාමය. දැන් රුපියලක් ගෙවා වරින් වර එක් එක්කෙනා නොයෙකුත් මල් වර්ගවල නම් කියයි. සෑහෙන වෙලාවක් ගත උනේය. මලේ නම නොකියවුනේය. දැන්, දැන් රැස්ව සිටි පිරිස අතර සිටි තරුණයින් නොසන්සුන් වනු පෙනෙන්නට තිබුණි. මෙය අපේ ලොකු ඉස්කෝල මහත්තයාගේ ඇසට ද ලක්වීමට වැඩි වෙලාවක් ගතඋනේ නැත. කොල්ලෝ ටික මෙතැන වලියක් ඇද්දොත් සියල්ල හබක් වෙයි. නම ද කැත වෙයි. ලොකු ඉස්කෝල මහත්තයාගේ මොළයට නුවණක් පහළ විය. ඔහු වහාම තමාට හිතවත් කොල්ලෙක් ලඟට ගත්තේය. "කොල්ලො, උඹ රුපියලක් දීලා කියාපන් මලේ නම වැල්පෙනෙළ කියලා. තෑග්ගත් උඹට හම්බවෙයි." කියපු විදියටම වැඩේ කෙරුනේය. යන්නට ගිය වලිය ද එයින්ම යටපත් විය.

No comments:
Post a Comment