Thursday, January 11, 2024

පෙනෙන දේ හා නොදකින දේ

 ලෝක ප්‍රකට බ්‍රසීලියානු ලේඛක Paulo Coelho අප රටට ද අමුත්තෙක් නොවේ. ඒ නිසාම ඔහු ගැන හැඳින්වීම් ලිවීම අනවශ්‍යය. මේ ඔහුගේ Stories for Parents, Children and Grandchildren කෘතියෙන් උපුටාගත් කතා තුනකි. පොත කියවන විට තෝරාගත යුත්තේ කුමන කතා දැයි තීරණය කිරීම දුෂ්කර වුවද අවසානයේ මේ කතා තුන තෝරා ගතිමි. 

                                                                           (cartoon movement අනුග්‍රහයෙන්)

1. මතකයේ රැඳිය යුතු සැටි!

සීටා තාපසාරාමයේ අධිපති හිමියෝ දේශනාවක් සඳහා අනෙකුත් සහෝදර හිමිවරුන් කැඳවූහ. 

"ඔබ සියළුදෙනම අමතක කරනු ලබත්වා!" එතුමෝ පැවසූහ. 

"ඇයි එහෙම විය යුත්තේ?" එක් සහෝදරතුමෙක් විමසීය. "ඉන් අදහස් කෙරෙන්නේ පිහිටක් අවශ්‍ය අයට අපගේ ආදර්ශයෙන් යහපතක් නොවන බව ද?" 

"හැමදෙනාම සාධාරණව, සමානව ජීවත් වූ කාලයේ කවුරුවත් ආදර්ශමත් ජීවිත ගතකළ අය ගැන කිසිම අවධානයක් යොමුකළේ නෑ." තාපසාරාමාධිපතිතුමා පිළිතුරු දුන්නා. "හැමෝම තමන්ට හැකි පමණ හොඳික් වැඩ කළා. එසේ හැසිරීමෙන් තමන් කරන්නේ තමන්ගේ සහෝදරයාට යුතුකම් ඉටුකිරීම යයි කවුරුවත් හිතුවේ නෑ. ඔවුන් ඔවුන්ගේ අසල්වැසියාට ආදරය කළේ එය තමන්ගේ ජීවිතයේ කොටසක් ලෙස තේරුම්ගත් නිසයි. ඔවුන් ස්වභාවධර්මයේ නීතියකට අනුකූල උනා පමණයි. ඔවුන් තමන් සතු දේ බෙදාගත්තේ ඔවුන්ට රැගෙන යාමට අපහසු තරම් දේවල් එකතුවීම වළක්වා ගැනීමටයි. මක් නිසාද යත් ගමන්කිරීම මුළු ජීවිත කාලයක්ම පැවතුනා. ඔවුන් තමන් සතු දේ බෙදාහදා ගනිමින්, අනෙක් අයට බලපෑම් නොකරමින්, දෝෂාරෝපණය නොකරමින් එකට එකතු වී නිදහසේ ජීවත් උනා. ඒ නිසයි ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව කිසිම ආකාරයක වාර්තා දකින්නට නැත්තේ. ඔවුන් පිළිබඳ කතාන්දර ඉතිරි වී නැත්තේ. යහපත් ලෙස ජීවත්වීම කොතරම් සාමාන්‍ය දෙයක් ද යත් එසේ ජීවත්වන්නන් වර්ණනා කිරීමේ කිසිම අවශ්‍යතාවක් මතුවෙන්නැති  ඒ තත්ත්වයට දැන් ලඟාවන්නට අපටත් පුළුවන් නම්... ."


2. නිසි මිල ගෙවීම

නික්සිවන් තම හිතමිතුරන්ට සන්ධ්‍යා භෝජන සංග්‍රහයකට ආරාධනා කළා. ඔහු මිතුරන්ට පිළිගැන්වීම සඳහා  රසවත් මස් ව්‍යංජනයක් පිසිමින් සිටින අතරතුර හදිසියේම ගෙදර ලුණු නොමැති බව තේරුම් ගියා. 

නික්සිවන් පුතාට කතා කළා. 

"ගම දිහාට ගිහිල්ලා ලුණු ටිකක් අරන් එන්න. හැබැයි සාධාරණ මිලක් ගෙවන්න. ඕනවට වැඩියෙන් සල්ලි ගෙවන්නත් එපා, ඕනවට වඩා අඩුවෙන් ගෙවන්නත් එපා." 

ඔහුගේ  පුතා පුදුමයට පත්උනා. "තාත්තේ, මට තේරෙනවා ඇයි මම වැඩි මිලක් ගෙවන්න  හොඳ නැත්තේ කියලා. ඒත් කේවල් කරලා මිල අඩුකරගෙන සල්ලි ටිකක් ඉතිරිකර ගන්න පුළුවන් නම් මොකද්ද ඒකේ වැරැද්ද?" 

"ලොකු නගරයකදී නම් කරන්න ඕනෑ නුවණක්කාර වැඩේ ඒක තමයි. ඒත් ඒකෙන් අපේ වගේ පුංචි ගමක් විනාශයට පත්වෙන්න පුළුවන්." 

මේ දෙන්නා අතර ඇතිවුන කතාබහ අහගෙන හිටපු අමුත්තන්ට ඕනැ උනා දැනගන්න හැකියාව තියනවනම් ඇයි ලාබෙට ලුණු මිලදී ගැනීම වැරදි කියලා. 

නික්සිවන් මෙහෙම උත්තර දුන්නා. "සාමාන්‍ය මිලට වඩා ලාබෙට ලුණු විකුනන්න මිනිහෙක් පෙළඹෙන එකම හේතුව තමයි ඔහුට මුදල් නැතිව තියන අමාරුව. කවුරුහරි ඒකෙන් වාසියක් ගන්නව නම් ඒක නිපදවන්න වෙහෙස මහන්සි වූ මිනිසා වැයකරන ලද ශ්‍රමයටත් ඔහු විසින් හෙලන ලද දහදියටත් අවමානයක් තමයි කරන්නේ." 

"ඒත් ඒ තරම් පුංචි දෙයකින් මුළු ගමක්ම විනාශවෙන්න ඉඩක් නැහැනේ." 

"ආරම්භයේදී අසාධාරණය ලෝකයේ හරි අඩුවෙන් තමයි තිබුනේ. ඒත් පසුව ආ හැමෝම තමන්ගේ කොටස ඊට එකතු කළේ ඒක වැදගැම්මකට නැති, කාටවත් දැනෙන්නේ නැති හරිම පුංචි දෙයක් කියලා හිතලා. ඒත් අන්තිමට අද අපි නතර වෙලා තියෙන්නේ කොහෙද කියලා බලන්න."


3. එකම අපරාධකාරයා 

බුද්ධිමත් රජෙකු වු වෙන්ග් රජතුමාට අවශ්‍ය උනා තමන්ගේ සිරගෙදර බලන්න.  ඉතින් ඔහු සිරගෙදරට ගිහිල්ලා සිරකරුවන්ගේ දුක්ගැනවිලිවලට සවන් දුන්නා. 

"මම අහිංසකයි." මිනීමැරුම් චෝදනාවකට ලක්වූ මිනිසෙක් කියා සිටියා. "මම මෙහාට එන්න එකම හේතුව තමයි මම මගේ බිරිඳ බිය ගන්වන්න උත්සාහ කරනකොට අහම්බෙන් ඇය මියයාම." 

"මට චෝදනා කළා මම අල්ලස් ගත්තා කියලා." තවකෙක් කියා සිටියා. "ඒත් මම කරන ලද එකම දේ ත්‍යාගයක් බාරගැනීම විතරයි." 

සෑම සිරකරුවෙක්ම වෙන්ග් රජතුමා ඉදිරියේ තමන්ගේ අහිංසක බව කියා පෑවා. ඒත් ඔවුන් අතර සිටි අවුරුදු විස්සක පමණ තරුණයෙන් මෙහෙම කියා සිටියා. 

"මම වැරදිකාරයෙක්. මම මගේ සහෝදරයාත් සමග සටනට ගිහිල්ලා ඔහුට තුවාල සිදුකළා. මට දඬුවම් කිරීම සාධාරණයි. මේ ස්ථානය මට ඉඩ ප්‍රස්තාව සලසා දී තිබෙනවා මවිසින් ඇතිකරන ලද වේදනාව ගැන මෙනෙහි කරන්න." 

"මේ අපරාධකරු සිරගෙදරින් වහාම ඉවත් කරනු!" වෙන්ග් රජතුමා කෑගැසුවා. "මොහු නිසා මෙහි සිටින මේ සියළුම අහිංසකයින් වරදට පෙළඹෙන්න පුළුවන්." 

      







 

3 comments:

  1. හොද කථා 3ක් තෝරා ගෙන තියෙනවා....

    ReplyDelete
  2. තුන්වෙනි එක පට්ට.
    මම Paulo Coelho ගේ නවකත දෙකක් කියවල තියනවා. දෙකම විශිෂ්ඨයි

    ReplyDelete

හුදෙකලා වූ දූපත් දෙකක අන්දරය

ඔබට විසඳාගත නොහැකි ගැටළුවකට මැදි වී ගොඩඑන්නට නොහැති වී ඇත්නම් කරන්නේ කුමක්ද? මෙයට නොයෙකුත් දෙනා විවිධාකාර වූ පිළිතුරු දෙන්නට පුළුවන. ජීවිතය ...