Saturday, February 24, 2024

මැජික් පෙට්ටියේ පුදුම බලේ!

 


නව වසරක් උදා වී මාස දෙකකුත් හමාර වන්නට ඔන්න මෙන්න ය. වඩාත් දුෂ්කර වෙතැයි අපේක්ෂිත කාලයක් අභිමුව ඇල්මැරුන සුබපැතුම් ගලා යද්දී උණුසුමක් දැනෙන එකම මාතෘකාව නම් මැතිවරණයයි. මේ වසර මැතිවරණ වර්ෂයක් ලෙස අර්ථකතනය කර ඇති නිසයි ඒ. ඒත් සමගම කුණු සෝදන්නන්, රෙදි සෝදන්නන්, මෙන්ම පුනරුත්පත්තිය ලබන්නන් හා පිනුම් ගසන්නන් ද අඩු නැතිව රඟදෙනු පෙනේ. එහෙත් මේ සූදානම කාගේවත් කිසිම දෙයක් සේදීම නොව මෙවන් වකවානුවක නැරඹිය යුතු යයි සිතෙන සිනමා පටයක් ගැන කතා කිරීමටයි.

මේ සිනමා සිත්තම The Village of No Return ය. චීන චිත්‍රපටයකි. තිරගත වී ඇත්තේ 2017 වසරේදී ය. අයත්වන්නේ හාස්‍ය රසය මුසුකරන ලද මනඃකල්පිත (fantasy) ගනයට ය. එය IMDB වෙබ් අඩවියේ 6.1ක ජනප්‍රියත්වයක් පෙන්නුම් කරයි.

     පළමුව චිත්‍රපටයේ කතාසාරය දෙස සැකෙවින් බලමු. කතාවට පසුබිම් වන්නේ චීනයේ ඈත පලාතක දුෂ්කර ගම්මානයකි. ප්‍රේක්ෂක ඇස එයට යොමුවන විට ගමේ අලකලංචි ගොඩකි. අහම්බෙන් සිදුවන ගම්වැසියෙකුගේ මරණයේ සැකය යොමුවන්නේ ඔහුගේම බිරිඳ වෙතටයි. ඒ වස යෙදූ ආහාර දී ඔහුගේ මරණය සිදුකිරීමේ චෝදනාව පිටයි. මේ චෝදනාවට හේතු වන්නේ ඇය විවාහයට පෙර ගම් ප්‍රධානියාගේ පුත්‍රයා සමග ආදරයෙන් බැඳී සිටීමත්, එයට එරෙහිව නැගුන විරුද්ධතා මැද  ගමේ සිටි මෝඩ පහේ මිනිසෙකු හා විවාහ වීමට ඇයට සිදුවීමත්, තම පෙම්වතිය අහිමි වීමත් සමග ගමෙන් පිටව ගිය තරුණයා නැවත ගමට පැමිණෙන ආරංච්යත් ය. ගමේ සඟවා ඇතැයි පැවසෙන වටිනා වස්තුවක් සොයා ගම් වැදීමට සැරසෙන සොර කණ්ඩායමක් හා ගම හරහා ඉදිවීමට නියමිත යයි කියන දුම්රිය මගක් ද එයින් ගමට උදාවිය හැකි සශ්‍රීකත්වය ගැන බලාපොරොත්තුව ද ගම තුළ අවුල්ජාලයක් ඇති කරයි.

    මේ අවුල්ජාලයේ උච්චස්ථානය මැජික් පෙට්ටියක් ද සමගින් ගමට සේන්දු වන මන්තරකරුවෙකි. ඔහු සතු මැජික් පෙට්ටියේ බලය නම් එයට ඕනෑම කෙනෙකුගේ සිතෙහි ඇති දුක්, කරදර, පීඩාවන් අමතක කරලීමට ඇති හැකියාවයි. කියූ ලෙසින්ම ගමේ  සියළුම දෙනාගේ දුක්ඛ දෝමනස්ස සහමුලින්ම අමතක කරලීමට ඔහු සමත් වෙයි. ගමේ සියළු ගම්වැසියෝ සතුටින් පිනා යති. එහෙත් මේ සතුට වෙනුවෙන් ගෙවන්නට සිදුවන වන්දියකුත් තිබෙයි. එනම් ගම්වැසියනට තම ජීවිතයේ අතීතයේ සිදු වූ සියළුම දේවල් අමතක වෙයි. පෙර දිනයේ කෑමට ගත් ආහාර පවා ඔවුන්ගේ මතකයේ නැත. ගමෙහි වසන  වැසියන්ගේ සතුට කොතරම් ද යත් ඔවුහු තම ගමේ නායකයා ඉවත් කොට මන්තරකරුවා ගම් ප්‍රධානියා ලෙස පත්තර ගනිති. ඔහු තම ස්වාමියා මියගොස් වැන්දඹුවක්ව සිටින තරුණ කාන්තාව තම බිරිඳ බවට පත්කර ගනියි. ගමේ ප්‍රධානියා බවට පත් වූ දා සිට ඔහු තම වැසියන් මෙහෙයවන්නේ මුළු ගමම හාරා සගවා ඇතැයි පැවසෙන නිධානය සෙවීම සඳහාය. එහෙත් එයින් සිදුවන්නේ ගොවිතැන් කිරීමට කාලය නිධානය සෙවීමට ගතවීම නිසා ගම ආහාර හිඟයකට මුහුණ පෑමය. එය ගැටළුවක් නොවන්නේ පෙරදිනයේ කෑවේ මොනවාද යන්න පමණක් නොව කෑවාද නැද්ද යන්න පවා ඔවුන්ට අමතක වී ඇති  බැවිණි. 

මන්තරකාර පූජකයා දැනගෙන හිටියේ නෑ රහසක් වැඩි කාලයක් ගැහැණියකගෙන් සඟවා තබන්නට බැරිබව. මන්තරකරු නැති වෙලාවට ඔහුගේ බිරිඳ අර මැජික් පෙට්ටිය ක්‍රියාත්මක කරන හැටි අත්හදා බලනවා. ඇයට ඇයගේ මතකයෙන් කොටසක් ආපසු ලබාගන්න පුළුවන් වෙනවා. ඒ අතර ගම්වැසියන් බියෙන් සිටි සොර කණ්ඩායමේ ප්‍රහාරය ද ගමට එල්ල වෙනවා. එහෙත් ගමෙහි සිටින දක්ෂ සටන්කරුවෙකු ගේ මෙහෙයවීමෙන් ඔවුන් පලවාහරින්නට ගම්වැසියන් සමත් වෙනවා. ඒ අතර මැජික් පෙට්ටියේ රහස සොයාගත් මන්ත්‍රකරුගේ බිරිඳ වෙතින් ගම්වැසියන් තම මතකය ආපසු ලබාගන්නවා. හැබැයි එක මතකයක් විතරක් ඇය ඔවුන්ට ආපසු දෙන්නේ නෑ. ඒ තමයි ඇය මන්ත්‍රකරුගේ බිරිඳ වී සිටි බව. මන්ත්‍රකරුටත් දඬුවමක් ලැබෙනවා. ඒ තමයි ඔහුට ඔහුගේ මතකය අහිමි වීම. සතුටින් උද්දාමයට පත්වන ගැමියන් තමන්ගේ ගැලවුම්කාරිය ගමේ ප්‍රධානියා ලෙස පත්කර ගන්නවා විතරක් නෙමෙයි ඇය කියන විදියට ජීවත්වෙනවා. මන්ත්‍රකරුත් වහලෙක් මෙන් ඇයට සේවය කරනවා. ඉතින් බලාගෙන ගියාම ගම්වැසියන්ට කිසිම වෙනසක් වෙලා නෑ. ලස්සන මුහුණක් තියන ගම් ප්‍රධානියෙක් ලැබුනා විතරයි.

    ඉතින් මේ චිත්‍රපටිය බලපු මට හිතුනේ පසුගිය දශක කිහිපය තුල  සෑම අවුරුදු පහ හයකට සැරයක් මේ වගේ මැජික්කාරයින් කී දෙනෙක් අපේ ඔලුව උඩ මැජික් පෙට්ටි තියලා අපව ඒ අයට ඕනැ තැනට දක්කාගෙන ගියාද කියලයි. ඡන්ද එකක් නෙමෙයි දෙක තුනක්ම බලාපොරොත්තු වෙන මේ වසරේ ඡන්දපොළට යන්න ඉස්සරලා ඔලුව අතගාලා බැලුවොත් හොඳයි කියලා හිතෙනවා අපේ ඔලුගෙඩි උඩත් මතකය අමතක කරවන මැජික් පෙට්ටියක් තියනවද නැද්ද කියලා බලාගන්න.

    මේ පහතින් දීලා තියෙන්නේ චිත්‍රපටියේ ට්‍රෙිලර් එක. සම්පූර්ණ චිත්‍රපටියත් You tube එකේ තියනවා කැමති කෙනෙකුට බලන්න.




6 comments:

  1. හරි රසවත් කතාව.ස්තූතියි.චිත්‍රපටය හොයාගන බලන්නම්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මේ පැත්තට ආවට.

      Delete
  2. මරු කතාව තමයි. මැජික් කාරයන්ට අහුවෙන එක තමා අපි නිතරම කරන්නේ නේද

    ReplyDelete
    Replies
    1. චීනෙදි නම් නිකම්ම ෆැන්ටසියක් වෙන්නැති. අපට නම් අපේ දේශපාලනය මතක් කරනවා.

      Delete
  3. හුම්. සලරැව බලපුදාක මේ සටහන කියවන්නං. බලන්න කලියෙන් වැඩි විස්තර දැනගන්න අකමැති, කුතුහලය තියෙන්ට ඕන හන්ද

    ReplyDelete
    Replies
    1. මට කියන්න අවශ්‍යව තිබුනු දේ කියන්න කතා සාරාංශය නොකියා බැරි උනා.

      Delete

හුදෙකලා වූ දූපත් දෙකක අන්දරය

ඔබට විසඳාගත නොහැකි ගැටළුවකට මැදි වී ගොඩඑන්නට නොහැති වී ඇත්නම් කරන්නේ කුමක්ද? මෙයට නොයෙකුත් දෙනා විවිධාකාර වූ පිළිතුරු දෙන්නට පුළුවන. ජීවිතය ...