Saturday, April 26, 2025

නමක් නැති මිනිහෙක්

 

බලාපොරොත්තු රහිත ලෙස හදිසියේ සිදුවන කම්පනයකින් තමන්ගේ මතකය නැතිව යාම හා ඒ නිසා මතුවන ගැටළු තුළින් කතාව විකාශනය කිරීම නිර්මාණකරුවන් අතර ජනප්‍රිය ශිල්පීය ක්‍රමයකි. මේ මගින් ත්‍රාසය, කුතුහළය මෙන්ම හාස්‍යය උපදවීම ද කළහැකි ය. නවකතාව, සිනමාව හා රූපවාහිනිය හරහා අපි  මෙවන් කතා වස්තූන් කොතෙකුත් දැක තිබේ. මෙය ද එවන් නවකතාවක පළමු පරිච්ඡේදයේ මුල් පිටු කිහිපයයි. ලේඛකයා Louis L'Amour ය. නවකතාව The Man Called Noon ය.   




කාට හෝ ඔහු මරාදමන්නට උවමනා වී තිබේ. 

මේ සිතුවිල්ල ඔහුගේ සිතට නැගුනේ ගොඩනැගිලි දෙකක් අතර පටු, අඳුරු තීරුවක අඳුරට දෑස් විවර වෙද්දීය. විරුද්ධ පස ගොඩනැගිල්ලේ බිත්තියක වූ චතුරශ්‍රාකාර ආලෝකයකට ඔහුගේ දෑස යොමු විය. ඒ දෙවෙනි තට්ටුවේ වූ ජනේලයකි. 

ඔහු වැටී තිබුනේ ඒ ජනේලයෙනි. 

මදකුදු නොසෙල්වී නිශ්චලව වැතිර සිටිමින් ඔහු චතුරශ්‍රාකාර ආලෝකය දෙස දෑස් දල්වා බලා සිටියේ ඔහුගේ ජීවිතය ඒ මත රැඳී පැවතුනාක් මෙනි. එසේ වුවද ජනේලයෙන් තවදුරටත් පලක් නොවන බවට වන හැඟීමක් ඔහුගේ මනසට කාන්දු වෙමින් පැවතිණ.

දැන් වැදගත් වන්නේ එක් දෙයකි. ඔහු මෙතැනින් පැනගත යුතුය. හැකිතාක් ඉක්මනින් බේරී පලා යා යුතුය.

ඔහුගේ හිස්කබලින් පුපුරුගැසෙන වේදනාවක්, මොලයෙන් උපදින සියළු සිතුවිලි නිශ්ක්‍රිය කරන තරම් වූ දැඩි තිගැස්මක් දැණින. සිතාගත නොහැකි කුමක්දෝ පෙළඹවිමකින් ඔහුගේ අත මුහුණ දෙසට එසවින. ක්ෂණිකව අත දිගේ ගිය වේදනාවක් සමගම ඔහු මුහුණ ස්පර්ශ කොට බැලීය. 

අතට හසුවූ මුහුණෙහි හැඩහුරුකම් කාට අයිතිදැයි සිතාගැනීමට ඔහුට නොහැකි විය. ඔහු පරිස්සමින් යන්තමට මෙන් හිස අතගා බැලීය. හිස්කබලෙහි බාගෙට කැටිගැසුන ලේ ද ගැඹුරු තුවාලයක් ද විය. අත ඊලඟට කමිසය වෙත ගමන්  කළේය. එය වැගිරුන ලේවලින් ගල්වී තිබුණි. 

කවුරුන් හෝ ඔහු මරාදමන්නට උත්සාහ කර තිබේ. ඔවුන් නැවතත් උත්සාහ කරනු ඇති බවත් ඔහු මරාදමන තෙක් ඒ උත්සාහය අත්නොහරිනු ඇති බවත් ඔහුට ස්ථිර ය. එම සිතුවිල්ල හැරෙන්නට වෙනත් කිසිවක් ඔහුගේ මතකයෙහි රැඳී නොතිබිණ. 

 අපහසුවෙන් හිස හැරවූ ඔහු පළමුව එක් පැත්තක් ද දෙවනුව අනෙක් පැත්ත ද බැලීය. එක් පැත්තක ඝන අන්ධකාරයයි. අනෙක් පැත්තේ ආලෝකයකි. වීදියක් විමට පුළුවන. 

ගොඩනැගිලි පිටුපස අන්ධකාරයෙන් කුමක් හෝ සෙලවෙන බවක් ඔහුට දැණින. කුමක් හෝ දෙයක්, ඔහුගේ විනාශය අරමුණු කරගත් කවුරුන් හෝ සතුරෙක් අන්ධකාරය දිගේ ඇදී එයි. 

වෙර දරා නැගී සිටින්නට උත්සාහ කළ ඔහු විසිවී ගොස් පසුපස වූ ගොඩනැගිල්ලේ බිත්තියට හේත්තු වී නතර විය. ඔහු මොහොතක් එලෙසම සිටියේ යළිත් නැගිට සිටගන්නට වෑයමි කරමිනි. ඔහු ගැලවී යා යුතුය. කෙසේ හෝ පැනගත යුතුය. 

ඔහුගේ අතක් ඉන පෙදෙස ස්පර්ශ කළේය. පිස්තෝල කොපුවක් තිබුනද එහි කිසිවක් නොවීය. දනින් වැටුන ඔහු වටපිට අතගා බැලුව ද කිසිවක් සොයාගන්නට අපොහොසත් විය. ඔහුගේ අවිය උඩ කාමරයේ තිබෙනවා විය යුතුය. එය වැටෙන්නට හෝ ජනේලයෙන් ඔහු වැටෙද්දී කවුරුන් හෝ ගන්නට ඇත. 

අරමුණකින් තොරව ඔහු වීදිය දෙසට ඇදුනේය. පසෙක වූ ගොඩනැගිල්ල තුලින් ඔහුට සංගිත නාදයක්, නොපැහැදිළි කටහඬවල් හා යටපත් කළ සිනාහඬක් ඇසිණි. 

අඩමානයට අඩි තබමින් ආලෝකය දෙසට ආ ඔහු කළයුත්තක් සිතාගත නොහැකිව වම හා දකුණ දෙපසටම දෑස් යොමු කළේය. වීදිය පාළු ස්වභාවයක් ඉසිලීය. වේදනාවෙන් හා කම්පනයෙන් අඩපනව සිටි ඔහු තමා රැඳී සිටි ගොඩනැගිල්ල අසලින් ඉවත්ව දිගු අතට පාර හරහා ගොස් ගොඩනැගිලි අතර සෙවනැලිවලින් අඳුරුව තිබූ තැනක් දක්වා ගමන් කළේය. 

ඔහු ඇවිද ගියේ කොහේ යන්නේදැයි අරමුණක් ඇතිව නොවේ. තිබූ එකම අදහස මෙතැනින් පැනගැනීම ය. නගරයෙන් හැකිතාක් ඈතට යාම ය. ඔහු ඇවිද ආ පටු බිම්කඩ දෙපස වූ ගොඩනැගිලිවලට ඔබ්බෙන් තැනින් තැන විසිර තිබූ වැසිකිළි මෙන්ම ගවගාල් හා ඇතුලත ආලෝකයක් දිස්නොවූ පැල්පත් කිහිපයක් ද දැකගන්නට හැකි විය.  ඒ වන විට ඔහු ඇවිද යමින් සිටියේ උස්ව වැඩුනු තණකොළ යායක් මැදිනි. 

මදකට නැවතුන ඔහු ආපසු හැරී බැලීය. ලුහුබඳින කෙනෙක් පෙනෙන්නට නැත. එසේ නම් පසුපස හඹා එනු ඇතැයි ස්ථිරවම කියන්නේ කෙසේද?

වේදනාවෙන් හිස්කබල හිරිවැටී පුපුරු ගසද්දී ඔහුට ඉදිරියටම ගමන් කළේය එක්වරම රතුපැහැ ආලෝකයක් කුඩාවට ඉදිරියෙන්  දිස්විය. එය ඉලක්ක කරගත් ඔහු ඒ දෙසට ඇවිද ගියේය. මොහොතකින් ඔහු රතු පැහැති ආලෝකය අසල ය. ඔහුගේ පය රේල් පාරෙහි සිල්පර කොටයක කෙළවරක ගැටින. 

ඔහුගේ වම්පසින් රේල් පීලි ඈත අන්ධකාරය තෙක් ඇදී නොපෙනී යයි. දකුණු පසින් එය කුඩා දුම්රිය ස්ථානයක් කරා ඇදී යයි. එදෙසට යන්නට තැබූ පය එසැනින් ආපසු ඇදගත්තේ නිසැකවම ඔහුගේ සතුරන් ඔහු සොයා එහි යන්නට ඇති ඉඩ  නිසා ය.

ඔහු එතැනම දෙපසට වැනෙමින් සිටගෙන කළයුත්තේ කුමක්දැයි සිතාගන්නට වෙර දැරීය. 

තමන් කවුද, කරන්නේ කුමක්ද යන්න ඔහු දැනසිටියේ නැත.

ඔහුගේ ඇඟිලි ඇඳසිටි ඇඳුම අතගාමින් ගමන් කළේය. කබාය උරහිස් අසලින් හිර ය. අත් ද මදක් කොට ය. එහෙත් එය වටිනා රෙද්දකින් මැසූ ඇඳුමකි. 

ඔහු ආපසු හැරී නගරය දෙස බැලීය. එය ඉතා කුඩා නගරයක් බව හැරෙන්නට වෙනත් කිසිවක් සිතාගැනීමට නොහැකි විය. වීදිය දිගට අශ්වයින් බැඳතැබීම සඳහා යොදාගන්නා වැටවල් ද ඒවා අසල බැඳ සිටි ගව රංචු පසුපස යාම සඳහා යොදාගන්නා පෝනියන් කිහිපදෙනෙකු ද දැකගත හැකි විය. එසේ නම් මෙය බටහිර පලාතේ නගරයක් විය යුතුය. 

දුම්රියක් පැමිණෙමින් තිබෙන බවත් ඔහු මෙතැනම රැඳුනොත් දුම්රියේ ආලෝක ධාරාවට ඔහු මෙතැන සිටිනු හසුවන බවත් ඔහුට වැටහුනේ දුම්රියේ නලාව දෙවැනි වරටත් හැඬවුන පසුව ය. ඔහු තණ පඳුරු අතරට පැනගත්තේ දුම්රිය අඳුර දෙබෑකරගෙන මතුවන්නට මොහොකතට පෙර ය. 

දුම්රියක් යනු ඔහුට ගැලවී යාමට මගකි. ගැලවී යාමට ලැබුනොත් ඔහුට සිදුවන්නට ඇත්තේ කුමක්ද, ඔහු කවුරුද, කුමක් නිසා ඔහු පසුපස ලුහුබැඳ එන්නේද? යන්න  නිරාකරණය කරගැනීමට ඉඩක් ලැබෙනු ඇත. 

දුම්රිය ඔහු පසුකර ගොස් දුම්රිය ස්ථානයෙහි නැවතූ පසු ඔහු මහත් ඕනෑකමින් ඒ දෙස බැලීය. අඩු වශයෙන් බඩු ගෙනයන ගැල් තුනක් ඔහුට ආරාධනා කරන්නාක් මෙන් දොරවල් ඇරුන ගමන් තිබෙනු ඔහුගේ ඇසට අසුවිය. එසේ වුවද ලඟම තිබෙන ගැළට නැගගැනීමට හැකිවේදෝයි සිතෙන විටම වේගයෙන් එන අශ්වයින්ගේ කුර ගැටෙන හඬක් ඇසී තණ පඳුරු අතර ඔහු වැතිර සිටි ඉරියව්වෙන්ම සිට ආපසු හැරී බැලූ ඔහුට පෙනුනේ දුම්රිය දෙසට වේගයෙන් ආ අසරුවන් කණ්ඩායමක් දෙකට බෙදී දුම්රිය දෙපසින් යමින් සෑම මැදිරියක්ම, මැදිරි සම්බන්ධ වන තැන්වල ඇති සෑම හිඩැසක්ම, සෑම බම්පරයක්ම පරීක්ෂා කරන අයුරු ය. 

ඔහු හැකිතරමින් තවත් තණ පඳුරු අතරටම වැදුනේය. එසේ වුවත් ඔවුන් ලංවෙද්දී ඔවුන්ගේ කතා ශබ්ද ඔහුට ඇසිය හැකි විය. 

". . . කාලය නාස්ති කරනවා. මිනිහා අන්තිම අමාරුවෙන් හිටියේ. ඇඟ පුරාම ලේ. විසිවෙවී වැටි වැටී ගියේ. රේල්පාරට එනකල් එන්න කොහෙත්ම ඉඩක් නෑ.  මම නං කියන්නේ ටවුමේ කොහෙ හරි හැංගිලා නැත්නම් අර තියන තණගොල්ලේ වැටිලා පණ අදිනවා ඇති."

"අළුතෙන් ආපු එකෙක් උනත් අමාරුකාරයෙක්." 

"අළුත් එකෙක් ද කියලා නං සැකයි. බෙන් ජානිස්ට හොඳටම විශ්වාසයි වැදුනා කියලා. කවදාවත් අහලා තියනවද බෙන්ට වැරදුනා කියලා. මිනිහගේ හිස්කබල යකඩින් හදලා තියෙන්න ඕනෑ."  

"බලන්න දෙයක් නෑ. මිනිහා මැරිලා. නැත්නම් තාම පණ අදිනවා." 

ගාඩ් මැදිිරිය ලඟින් අශ්වයින් හරවාගත් ඔවුහු දුම්රිය පසෙකින් ආපසු යන්නට පටන් ගත්හ. 

ඔවුන් යාර දොළහක් පමණ ඉදිරියට ඇදෙනවාත් සමගම දුම්රියේ නලාව නාද විය. වහා නැගිටගත් ඔහු ලඟම තිබූ හිස් දුම්රිය මැදිරිය වෙත දුවන්නට පටන්ගත්තේය. එක් අසරුවෙක් අසු මත සිටිමින්ම ආපසු හැරී බලන්නට උත්සාහ කරන බව පෙනුනෙන් ඔහු දුවන පැත්ත වෙනස් කොට මැදිරියක පසුපස තිබූ ඉනිමගක එල්ලී මැදිරි අතර සැඟවුනේය. 

දුම්රිය මැදිරි ඉදිරියට ඇදී දුම්රිය ස්ථානයේ ආලෝකය ඔහු මත පතිතවන්නට තව ඉතිරිව තිබුනේ එක් මොහොතක් පමණි. ඉනිමග දිගේ උඩට ගිය ඔහු වහලට මත දිගාවී වැතිරී දෑත් දෙපසට දිගුකොට අල්ලාගෙන රැඳී සිටියේය. දුම්රිය ගැස්සී පනගැන්වී යළිත් ගැස්සී ක්‍රමයෙන් වේගය ගනිමින් ඉදිරියට ඇදෙන්නට විය. තවමත් ඔහු ගැහෙන හදවතින් යුතුව නිසලව වැතිර සිටියේය. දුම්රිය මැදිරිය තුළ කවුරුන් හෝ සිිටිනවාද? කවුලුව තුළින් ඔහු දකින්නට ඇතිද?  

දුම්රියේ නලාව නාද විය. දුම්රිය මැදිරි පීලි මත ශබ්ද නගමින් ඉදිරියට ඇදෙමින් වේගය වැඩිකර ගන්නට විය. වහලය මත මුනින්තලාව වැතිර සිටිමින්ම හිස් දුම්රිය මැදිරියේ දොර කෙලින් සිටින තෙක් ඔහු ඉදිරියට බඩගෑවේය. 

ගැට්ටෙහි එල්ලී දොර තුළින් ඇතුලට පැනගන්නට ඔහුට හැකිවෙයිද? අතහැරුනහොත් ඔහු වැටෙන්නේ  දුම්රිය මගෙන් ඉවතට වුවත් බෙල්ල නොකැඩී බේරුනොත් ලෙහෙසියෙන්ම කකුලක් කැඩී යන්නට පුළුවන. දුම්රිය වේගයෙන් ඉදිරියට ඇදෙද්දී දුම්රිය නැවතුම්පොළේ ආලෝකය නොපෙනී ගියේය.  තව ටිකකින් දුම්රිය පරීක්ෂකයා මැදිරි පරීක්ෂා කරමින් දුම්රිය දිගේ එනු ඇත. 

මැදිරියේ වහල මතින් මදක් එසවී ඉදිරියට නැඹුරු වූ ඔහුට ඇතුළට එනසේ ආරාධනා කරන්නාක් බඳුව විවෘතව තිබූ දොර දිස්විය. වහලයේ තහඩු අතර වූ ඉඩට ඇඟිලි රිංගවා අල්ලාගත් ඔහු සිය සිරුර අනෙක් පැත්තට හරවා පළමුව එක් කකුලක් පහතට දමා ඊලඟට අනෙක් කකුලද පහළට හෙලා සිරුරේ සියළු බර ඇඟිලි තුඩු අගට දුන්නේය. දෙඅත් එකින් එක වහලයේ ගැට්ට වෙත මාරුකොට සිරුර ඇතුල්පැත්තට පද්දා දෙඅත් අතහැරියේය. ඔහු දුම්රිය මැදිරියේ බිම මත පතිතවිය. මොහොතක් එලෙසම වැතිර සිටි ඔහු අමාරුවෙන් හුස්ම ගත්තේය. දිගු වේලාවකට පසු නැගී සිටගත් ඔහු විසිවෙමින් දොර අසලට ගොස් එය පසෙකට හේත්තු වී දොරට ඔබ්බෙන් පෙනෙන රාත්‍රිය දෙසට දෑස යොමුකළේය. අහසෙහි තරු දිදුළමින් තිබිණ. සේජ් පඳුරු පිසිමින් හමා ආ මද සුළඟ සිසිල්බවක් ගෙනආවේය. ඔහු සිතන්නට උත්සාහ කළේය. ඔහු කවුරුන්ද? නීතියෙන් පලායන්නෙක්ද? නැතිනම් මේ මිනිසුන් ඔහු දන්නා කිසියම් රහසක් නිසා හෝ ඔහු සතුව පවත්නා කිසියම් දෙයක් නිසා හෝ මරාදමන්නට පසුපස හඹාඑන අපරාධකරුවන් පිරිසක් ද?

පිරිහීගිය ශක්තියෙන් හා වෙහෙසකරබවින් පීඩිතව බිම ඉඳගත් ඔහු දුම්රිය මැදිරියේ බඳට හේත්තු විය. එහෙත් ඔහු නැවතත් ආපසු සිතාබැලීමට උත්සාහ කළේය. බෙන් ජානිෂ් . . . අඩු වශයෙන් ඔහුට එක නමක් ලැබී තිබේ. ඔහු ඝාතනය කිරීමට බෙන් ජානිෂ් එවා තිබේ. ජානිෂ් යනු සාමාන්‍යයෙන් වරද්දාගන්නා කෙනෙකු නොවේ. ඉන් කියැවෙන්නේ ජානිෂ් යනු තම ක්ෂේත්‍රයේ විශේෂ දක්ෂතා ඇත්තෙකු බව ය. ඔහු මීට පෙර ද මෙවන් ඝාතන කරන්නට ඇත. ඔවුන් ඔහු ගැන කතා කළේ ප්‍රකට නමක් දිනාගත් අයෙකු ලෙස ය. එනිසා බෙන් ජානිෂ් සොයාගන්නටත් එමගින් තමන් කවුරුදැයි දැනගැනීමත් එතරම් අසීරු දෙයක් නොවන්නට පුළුවන. 

එහෙත් බෙන් ජානිෂ් එවූයේ ඔහු මරාදැමීමට නම් එවූයේ කවුරුන් විසින් ද? 

ඔවුන් ඔහු ගැන කතා කළේ අළුතෙන් පැමිණියෙකු ලෙස ය. ඉන් ඇඟවෙන්නේ ඔහු බටහිර පෙදෙසට ආගන්තුකයෙකු බව ය. එසේ නම් ඔහු බටහිරට ආවේ ඇයි? එසේ පැමිණියේ කොහේ සිට ද? ඔහුට පවුලක් සිටී ද? ඔහු විවාහක ද අවිවාහක ද?

ඔහුට එක හෝඩුවාවක් තිබේ. බෙන් ජානිෂ් යනු කවුරුද, ඔහු සිටින්නේ කොහේදැයි සොයාගත යුතුය. 



ඊලඟට සිදුවන්නේ කුමක්දැයි දැනගැනීමට නම් මේ නවකතාව කියවන්නට සිදුවෙයි. නැතිනම් චිත්‍රපටය බලන්නට සිදුවෙයි.   

7 comments:

  1. පොත නං බැලෙන්නේ නැත මේ කපයේදී
    ෆිලුම බලන්නත් හිතුණා අවසනදී
    ඒත් මොටද ලියවෙයි 'දෙක' ඉදිරියෙදී
    හිත කියනවා 'එතකං ඉවසපං නිදි'

    ReplyDelete
    Replies
    1. හඳුන්වාදීමක් විතරයි කළේ. දිගටම පරිවර්තනය කරන්න අදහසක් නෑ.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. මේක නං ලස්සනට පරිවර්තනය කරල තියනවා, පණ පිහිටෙව්වා වගේ. ඒත් ඉදිරියෙදී, 'දෙක' ලියවෙන කතාවක් කියලා නැති නිසා ෆිලුම බලන්න ගත්තා.

    https://www.youtube.com/watch?v=0vybNAMfkaU

    ReplyDelete
    Replies
    1. Litseeker බකුසුතුමා දෙන්නටම ස්තුතියි. පෝස්ටුව හින්දා ෆිලුම බලන්නම හිතුණා. බස්සා මහත්තආ ගෙදරටම ගෙනත් දුන්නා... දැන් වෙලාව විතරයි හොයා ගන්න ඕනි.

      Delete
  4. පොත කියවන එක ෆිල්ම් එකට වඩා හොඳද ? මේ වගේ හොඳ විස්තරයක් තියෙනවද

    ReplyDelete
    Replies
    1. මමත් පොත විතරයි කියවලා තියෙන්නේ. ඒත් පොත කියෙව්වට පස්සේ පොතෙන් ලැබෙන රසය ෆිල්ම් එකෙන් ලැබෙයි කියලා හිතන්න අමාරුයි.

      Delete

නමක් නැති මිනිහෙක්

  බලාපොරොත්තු රහිත ලෙස හදිසියේ සිදුවන කම්පනයකින් තමන්ගේ මතකය නැතිව යාම හා ඒ නිසා මතුවන ගැටළු තුළින් කතාව විකාශනය කිරීම නිර්මාණකරුවන් අතර ජනප...