Sunday, August 24, 2025

පාලම මත දණ්ඩනය 2

    මා මෙම කෙටිකතාව පරිවර්තනය කරද්දී අදහස් කළේ කොටස් දෙකකින් එය ඉදිරිපත් කරන්නට ය. එහෙත් කතාවේ දීර්ඝබව සලකා එය කොටස් තුනකින් ඉදිරිපත් කරන්නට සිදුව ඇත. ඉන් මෙහි එන රසික පිරිසගේ බලාපොරොත්තු කඩවීමක් සිදු නොවනු ඇතැයි සිතමි. 

                          

(මෙම කෙටිකතාව පාදක කරගෙන නිපැයුනු කෙටි චිත්‍රපටයේ රූප රාමුවක්)
 

                                                  II

පේට්න් ෆාක්වාර් ඇලබාමාවේ කාගේත් ගෞරවයට පාත්‍ර වූ පැරණි පවුලකින් පැවත ආ යමක් කමක් තිබූ ගොවිපළ හිමිකරුවෙකි. වහල් හිමියෙකු වූ ඔහු අනෙකුත් වහල්හිමියන් මෙන්ම දේශපාලනඥයෙකු වූ අතර ස්වභාවයෙන්ම දැඩි බෙදුම්වාදියෙකු මෙන්ම දකුණේ අරගලයට දැඩිව සහය දැක්වූවෙකු ද විය.  මෙතැන්හිදී විස්තර කිරීමට අවශ්‍ය නොවන, අභිමානය පිළිබඳව වූ යම් යම් කරුණු කොරින්ත් හී ලැබූ පරාජයත් සමග අවසන් වූ අභාග්‍යසම්පන්න සංග්‍රාමයෙහි සටන් කල නිර්භීත හමුදාවෙහි සේවයට එක්වීමෙන් ඔහු වළක්වනු ලැබීය.  ඔහුගේ ශක්තිය විදහාපෑමට, සොල්දාදුවෙකුගේ කීර්තිමත් ජීවිතයට, විශිෂ්ටත්වයට පත්වීමට ලැබෙන අවස්ථාවට  ආශා කළ ඔහු අවමන්සහගත බැඳීම් වලින් කෝපයට පත්වූයේ යුධ සමයකදී සැමට ලැබෙන ඒ අවස්ථාව ඔහු වෙත ද පැමිණෙනු ඇතැයි ඔහු බලාපොරොත්තු විය. ඒ අතරතුර ඔහුට කළහැකිව තිබූ  සෑම දෙයක්ම කළ ඔහුට දකුණට ආධාර පිණිස කළ හැකි කිසිම දෙයක් නොවැදගත් යයි හැඟුනේ නැත. හදවතින් සොල්දාදුවෙකු වූ සාමාන්‍ය වැසියෙකුගේ හෘද සාක්ෂියට ගැළපුනේ නම් හා භක්තිමත් ලෙස මෙන්ම බොහෝ දුර නොසිතා ආදරයේදීත් යුද්ධයේදීත් සියල්ල සාධාරණය යන සැබැවින්ම අනුකම්පා විරහිත කියමන හා  යම් තරමකට හෝ එකඟ වුයේ නම් කිසිදු ක්‍රියාවක් ඔහුට අවදානම් කාර්යයක් වූයේ ද නැත.  

එක් සැඳෑවක ෆාක්වාර් තම බිරිඳ ද සමග ගෙවත්තට පිවිසෙන දොරටුව ආසන්නයේ තිබූ කුඩා බංකුවක වාඩි වී සිටියදී අළු පැහැ ඇඳුමින් සැරසුනු අශ්වාරෝහක සොල්දාදුවෙක් ගේට්ටුව අසලට පැමිණ බීමට ජලය ඉල්ලා සිටියේය. ෆාක්වාර් මහත්මිය සිය අතින්ම සොල්දාදුවාගේ ඉල්ලීම ඉටුකිරීමට ඉදිරිපත් විය. ඇය ජලය ගෙනඒම සඳහා සිටි තැනින් ඉවත්ව යද්දී දූවිලි වැකුනු ගතින් සිටි අශ්වාරෝහකයාට සමීප වූ ඇගේ සැමියා මහත් ඕනෑකමින් යුධ පෙරමුණ ගැන තොරතුරු විමසා සිටියේය. 

"යැංකි හමුදාව රේල් පාරවල් අළුත්වැඩියා කරලා තවත් ප්‍රහාරයකට සූදානම් වෙනවා. ඔවුන් අවුල් ක්‍රීක් පාලම ලඟට එනකල් ඇවිල්ලා ඒක හරිගස්සලා උතුරු ඉවුරේ දඬුවැටක් ඉදිකරලා තියනවා. අණදෙන නිලධාරියා නිකුත් කරපු නියෝගයක් හැමතැනකම අලවලා තියනවා. ඒකෙ තියනවා රේල්පාර, ඒකේ පාලම්, බිංගෙවල්, කෝච්චිවලට හානි කරන ඕනෑම සිවිල් වැසියෙක් ඒ මොහොතෙම එල්ලලා මරණවා කියලා. මම දැක්කා ඒ නියෝගය."

"අවුල් ක්‍රීක් පාලමට කොච්චර දුර ද?" 

"සැතපුම් තිහක් විතර." 

"පාලමෙන් මෙහා පැත්තෙ හමුදාවක් නැද්ද?" 

"හැතැප්ම බාගයක් විතර ඈතින් රේල්පාරෙ තියන මුරපොල විතරයි. පාලමේ මෙහා කෙළවරේ එක මුරභටයෙක් ඉන්නවා." 

"මිනිහෙකුට, එල්ලුම් ගහේ අවදානම ගන්න පුළුවන් සාමාන්‍ය වැසියෙකුට හමුදා මුරපොළ මගෑරලා සමහරවිට මුරභටයත් මැඩපවත්වාගන්න පුළුවන් උනොත්, මොනවද කරන්න පුළුවන්?" ෆාක්වාර් සිනහ මුහුණින් විමසීය. 

සොල්දාදුවා සිතාබැලීමට පෙළඹුනේය. "මාසයකට ඉස්සරලා මම ඔතැන හිටියා. මම දැක්කා ගිය ශීත සෘතුවේ ගංවතුරට ගහගෙන ආපු ලී දඬු විශාල ප්‍රමාණයක් පාලමේ කෙළවර ලී කණුවට හේත්තු වෙලා තියනවා. දැන් ඒවා වේලිලා තියෙන නිසා පිදුුරු වාගෙ ඇවිලෙයි." 

කාන්තාව මේ වනවිට වතුර ද ගෙන ආපසු ආවෙන් එය පානය කළ සොල්දාදුවා ආචාරශීලී ලෙස ඇයට ස්තූති කොට ඇයගේ ස්වාමියාට ද හිස නමා ආචාර කොට අසු දක්කාගෙන ඉවත්ව ගියේය. හෝරාවකට පසු රාත්‍රිය එළඹි පසුව ඔහු යළිත් ගොවිපළ පසුකර ඔහු පෙර පැමිණි උතුරු දිසාවටම ගියේය. ඔහු ෆෙඩරල් හමුදාවේ මුරභටයෙක් විය.                                                                      

                                                      III

පේට්න් ෆාක්වාර් පාලම තුළින් එක්වරම පහළට ඇද වැටෙද්දී සිහිසුන් බවට පත්වූයෙන් ඒ වන විටත් ඔහු දිස්වූයේ මියගිය අයෙකු සේය. මේ තත්ත්වයෙන්,  ඔහුට දැනුන ආකාරයට දීර්ඝ කාලයකට පසු,  ඔහු අවදි කරනු ලැබූයේ ගෙලට දැනුන දැඩි පීඩනයකුත් ඒ හා සමගම ඇතිවූ හුස්ම හිරකරන ස්වභාවයත් නිසා ඇති වූ වේදනාව ය. ගෙලෙහි සිට පහලට සිරුරෙහි හා අතපයෙහි ඇති සෑම මාංශ පේශියක් කරාම තියුණු, පීඩාකාරී වේදනා සංඥා රැසක් විදුලියක් ගමන් කරන්නාක් බඳුව විහිද ගියේය. මෙසේ දැනෙන වේදනාව සිරුරේ හොඳින් තෝරාගත් මාවත් දිගේ ක්ෂණිකව විහිදී  සිතාගත නොහැකි තරම් වේගවත් රටාවකින් ප්‍රහාර එල්ල කරන බවකි, ඔහුට දැනුනේ. එය දරාගත නොහැකි තරම් උණුසුමකින් ගත ගිනියම් කරමින් ලෙලදෙන ගිනිදළු මෙනි. ඔහුගේ හිස පිරී, හිරවී ඇතිිබව මිස වෙනත් කිසිම දැනීමක් නොවීය. මේ සංවේදනා චිත්තවේග වලින් තොර විය. සිතාබලා තීරණ ගැනීමේ හැකියාව ඒ වනවිටත් අක්‍රියව පැවතුණෙන් ඔහුට ශක්තිය තිබුනේ විඳීමට පමණි. විඳින්නට තිබුනේ වේදනාව ය. ඔහු චලනය වෙමින් සිටින බවට අවබෝධයක් තිබුණි. ඔහු ආලෝකමත් වූ වලා පටළයක එතී, භෞතිකව පවතින දෙයක් නොමැතිව, එතුළ ගිනි විහිදුවන හදවත පමණක් බවට පත්ව, සිතාගත නොහැකි තරම් වූ අර්ධ කවාකාර මාර්ගයක දැවැන්ත ඔරලෝසු බට්ටෙකු මෙන් පැද්දෙන්නට විය. එකෙනෙහිම, එක් බියකරු නිමේෂයකදී  ඔහු වටා වූ ආලෝකය ඉහලට නැගී ජලය මතට යමක් මහ හඬින් වැටෙන ශබ්දයක් ඇසිණ, දෙසවන් බිහිසුණු ඝර්ජනාවකින් පිරී ගියේය, සියල්ල සීතල අඳුරකට පෙරළිණ. සිතීමේ ශක්තිය ප්‍රකෘතිමත් විය. ලණුව කැඩී තමා දියපහරට ඇදවැටුනු බව ඔහුට අවබෝධ විය. තවදුරටත් ගෙල සිරකරගෙන සිටීමක් නොවීය. ගෙල වටා වූ තොණ්ඩුව ඒ වන විටත් හුස්ම සිරකර තිබූ බැවින් පෙනහළු තුළට ජලය ගලා ඒමක් නොවීය. ගංගාවක පතුලේ සිට එල්ලී මැරෙන්න! ඒ හැඟීම ඔහුට දැනුනේ විකාරයක් මෙනි. අඳුරෙහි ඔහුගේ දෑස් විවර වූ විට ඉහලින් ආලෝක ධාරාවක් පෙණින. එහෙත් ඒ ඈත දුරක, ළඟා විය නොහැකි තැනක ය. ඔහු සිටියේ තවමත් වතුරෙහි ගිලෙමින් සිටින බව හැඟුනේ ආලෝකය ටිකෙන් ටික අඩුවේගන ගොස් යන්තමින් පෙනෙන මන්දාලෝකයක් පමණක් ඉතිරි වූ බැවිණි. ඊළඟ මොහොතේ එය විශාල වෙමින් දීප්තියෙන් වැඩිවන්නට විය. ඔහු ජලය මතුපිට කරා ඉහල එමින් සිටි බව ඉන් ඔහු තේරුම්ගත්තේය. ඒ අවබෝධය සිතට ගෙන ආවේ අකමැත්තකි. මක් නිසාද යත් දැන් ඔහු සිටියේ මහත් අස්වැසිල්ලකින් බැවිනි. "එල්ලා දමනු ලැබීමෙන් පසු දියේ ගිලෙන්නට?" ඔහු සිතාබැලීය. "එය එතරම් නරක දෙයක් නොවේ. එහෙත් වෙඩි පහරකට ලක්වීමට මගේ කිසිම කැමැත්තක් නෑ. නෑ, මම වෙඩිකන්නෙ නෑ. ඒක සාධාරණ නෑ." 

ආයාසයක් දරණ බවක් නොදැනුනත් අතෙහි මැණික් කටුවට දැනුනු තියුණු වේදනාව කියාපෑවේ ඔහු දෙඅත් නිදහස් කරගැනීමට උත්සාහ කරමින් සිටින බවයි. එම ප්‍රයත්නයට ඔහු අවධානය යොමු කළේ මැජික් කරුවෙකුගේ හපන්කම් දෙස අවසන් ප්‍රතිඵලය ගැන උනන්දුවකින් තොරව  බලා සිටින ප්‍රේක්ෂකයෙකු විලසිනි. මොන තරම් විශිෂ්ට උත්සාහයක් ද! කොයි තරම් අයෝමය ශක්තියක් ද! අහා! ඒක නම් කදිම ක්‍රියාවක්! ජය වේවා! ලණුව ගැලවී ගියේය. දෙපසට විහිදී සිරුර දෙපැත්තෙන් ඉහලට පාවී ආ ඔහුගේ දෙඅත් වැඩිවෙමින් තිබූ ආලෝකයෙන් නොපැහැදිලි ලෙස දිස්විය. පළමුව එක් අතක් ද දෙවනුව අනෙක ද ඔහුගේ ගෙල වටා වූ තොණ්ඩුව ඩැහැගනු ඔහු බලා සිටියේ පෙර නොවූ විරූ උනන්දුවකිනි. ඒවා ලණුව ඇද කඩා දමා පසෙකට දැම්මේ සැහැසි ආකාරයකිනි. එය ජලයේ චංචලබව ද සමග ඉහළ පහළ ගියේ දිය නයෙකු මෙනි. ආපහු දාන්න! ආපහු දාන්න! ඔහුට සිතුනේ මේ වචන ඔහු තම දෙඅත්වලට කෑගසා පැවසූවාක් මෙනි. ඒ තොණ්ඩුව ගෙලින් ඉවත්වනවාත් සමගම මේ තාක් අත්විඳි දරුණුම වේදනාව ඔහුට දැනුන බැවිනි. ගෙල පෙදෙස පුරා දරුණු කැක්කුමක් පැතිර ගියේය. මොළය ගිනිගෙන දැවෙන්නට විය. යාන්තමින් ගැහෙමින් තිබූ හදවත දිගු පිම්මක් පනිමින් කටින් එළියට පනින්නට තැත් කළේය. ඔහුගේ මුලු සිරුරම අඹරවා, කීතු, කීතු කර දමා, දරාගත නොහැකි වේදනාවකට බඳුන් කර තිබිණ. එහෙත් ඔහුගේ අකීකරු දෑත් ඔහු දුන් නියෝගය මායිම් කළේ නැත. ඒවා ජවාධික, වේගවත් පහර වලින් ජලය පහලට තල්ලු කරමින් ඔහුට ජලය මතුපිටට ඒමට සැලැස්වීය. හිස ජලයෙන් ඉහලට මතුවෙනු ඔහුට දැනින. දෑස් හිරු එළියෙන් නිලංකාර විය. පපුව ගැස්මක් ද සමගින් ප්‍රසාරණය විය. වේදනාවේ උච්චතම අවස්ථාවට ලඟා වූ ඔහුගේ පෙනහළු දැවැන්ත වායු ධාරාවකින් පිරීගිය අතර එසැනින් ඔහු එය යටිගිරියෙන් නැගුන වේදනාත්මක හඬක් ද සමගින් බැහැර කළේය.   


No comments:

Post a Comment

පාලම මත දණ්ඩනය 2

    මා මෙම කෙටිකතාව පරිවර්තනය කරද්දී අදහස් කළේ කොටස් දෙකකින් එය ඉදිරිපත් කරන්නට ය. එහෙත් කතාවේ දීර්ඝබව සලකා එය කොටස් තුනකින් ඉදිරිපත් කරන්නට...