"කවුද කෙනෙක් ඇවිල්ල ඉන්නවා ඔබ හමුවෙන්න, බෙකම් කියලා කෙනෙක්."
බුක්ස් මුහුණෙහි සබන් පෙණ තවරමින් සිටියේය. "මොකටද මාව හම්බවෙන්න ඇවිත් තියෙන්නේ?"
"එයා කවුද කියලා මං කියන්නයි හැදුවේ. මම හොඳට දන්නවනෙ ඔබට තරහ යන හැටි ගැන. මට තාම මැවිල පේනවා අර වාර්තාකාර තරුණයා පඩිපෙළට උඩින් වීසිවෙලා ගිය හැටි."
"ඉතින්?"
"මිනිහා අවමංගල්‍ය කටයුතු කරන කෙනෙක්."
බුක්ස් බුරුසුව හා සබන් බඳුන පසෙක තබා ආපසු හැරී ඇය දෙස බැලුවේය.
"මේ නගරයේ තුන්දෙනෙක් ඉන්නවා. මෙයා තමා ප්‍රසිද්ධ ම එක්කෙනා. මට හිතෙනවා එයා ටිකක් ඕනැවට වැඩියි කියලා. අකමැති නම් කතා නොකර ඉන්න පුළුවන්."
ඔහු නැවතත් කණ්ණාඩියට ඔරවමින් සබන් තවරන්නට පටන් ගත්තේය. "ඊයෙ රෑ හිම වැටුනා." ඔහු පැවසීය.
"ඔව්, ඒ උනාට උදේ වෙනකොට දියවෙලා තිබ්බා." ඔහු සිතන අයුරු ඇයට ඇසෙන්නාක් මෙන් විය.
"ෂෙරිෆ් තිබිඩෝ කිව්වා රෑට ගේ පිටපැත්තේ මිනිහෙක් මුරට දානවා කියලා. එහෙම කරලද?"
"ඔව්, මිනිහා ගෙවත්තෙ උඩහටයි පහලටයි ඇවිදින එකයි කරන්නේ. වැඩි හරියක් කරන්නේ ගහකට හේත්තු වෙලා බලා ඉන්න එක. ඒකෙන් කොච්චර වැඩක් වෙනවද කියලා මට තේරෙන්නෙ නෑ."
"ඒක ඔබට කරදරයක් නම් මම තිබිඩෝට කියන්නම් අයින් කරන්න කියලා."
"නෑ, ඒකට කමක් නෑ."
ඔහු සබන් තැවරීම අවසන් කළේය.
"හරි, මිනිහව ඇතුළට එවන්න."
ඇය පසුබටව බලා සිටියාය.
"බය වෙන්න එපා. අපිට සුහදව කතාකරන්න පුළුවන්. මිනිහා එන්න ඇත්තෙ මට ස්තුතිකරන්න වෙන්න පුළුවන්."
"ඔබට ස්තුති කරන්න?"
පෙණ පිරුන ඔහුගේ මුහුණින් නැගුන සිනාව කර්කශ විය. "ඔහුගේ වෘත්තීය වෙනුවෙන්."
අමුත්තා කාමරයට ඇතුළුවෙද්දී ඔහු මුවහත බැලීමට මෙන් දැලිපිහියක් අත්ලෙහි අතුල්ලමින් සිටියේ යම් ඇඟවීමක් කිරීමට ද මෙනි. "එන්න ඇතුළට. වාඩිවෙන්න."
"ස්තූතියි." අත තිබූ දැලිපිහිය දුටු බෙකම් ලැබුන පිළිගැනීම ගැන සැකයෙන් සිටගත් වනම සිටියේය. "මම ගොඩවැදිලා යන්න ආපු එක ගැන අමනාපයක් නැතිව ඇති කියලා හිතනවා, බුක්ස් මහත්මයා. මම ඕනැවට වැඩිය කලින් ආවා කියලා හිතෙනව ද දන්නෙ නෑ."
"කොහෙත්ම නෑ. මම කැමතියි බිස්නස් කරන කෙනෙක් ඒ ගැන උනන්දුවෙන් වැඩ කරනවට."
කලු පැහැති ඇඳුමක් ඇඳ සිටියේ වුවද බෙකම් තරබාරු පෙනුමකින් යුත් ඌරෙකුගේ මෙන් පැතිරුන හකුපාඩාවලින් යුත් ශක්තිමත් පෙනුමකින් යුත් පුද්ගලයෙකු විය. ඔහුගේ චෛතසික ස්වභාවය හුරුව තිබුනේ දෙයාකාරයකට ක්‍රියා කිරීමට ය. එනම් කොයි මොහොතක හෝ සිදුවිය හැකි මරණය සඟවාලන උද්‍යෝගිමත්බව හා ජීවිතයේ අනියතබව පිළිබඳ හැඟීමෙන් මතුවන සන්සුන්බවයි. ඔහු මේ දෙකම වරින්වර පළඳින සපත්තු ජෝඩු දෙකක් මෙන් මාරු කළේ එවායින් උපරිම ප්‍රයෝජන ලබමිනි.
"බුක්ස් මහත්මයා මං පිළිගන්නවා මට අහන්න ලැබුනා කියලා ඔබේ ශාරීරික තත්ත්වය පිළිබඳ යම් යම් කණගාටුදායක කරුණු කිහිපයක්. මා පැමිණියේ මගේ හදපත්ලෙන්ම නැගෙන කණගාටුව ප්‍රකාශ කරන්නයි."
බුක්ස් රැවුල බෑම ඇරඹීය.
"ඊටපස්සෙ?"
"ඊටපස්සෙ ඔබත් සමග යම්කිසි කාරණයක් සාකච්ඡා කරන්න. කළයුතුව තිබෙන යම් යම් සැලසුම් තිබෙනවා. ප්‍රායෝගිකව සිතන මිනිස්සු කල්ඇතිවම ඒවා කරනවා. අපි මැරෙන මිනිස්සුනෙ බුක්ස් මහත්මයා, අපි හැමකෙනෙක්ම. කල්පනාවෙන් වැඩ කළොත් අපි . . ."
"මොකද්ද ඔබේ යෝජනාව?"
"ඉතාමත් සරල ව්‍යාපාරික යෝජනාවක්, සර්. ඔබ ඉතාම ගරුකටයුතු, ප්‍රකට පුද්ගලයෙක්. අවමංගල්‍ය කටයුතු කරන්නා සතුටින් පැවසීය. ඔබේ අවමංගල්‍ය කටයුතු කිරීමෙන් මගේ අවමංගල්‍ය සේවාවේ විශිෂ්ඨත්වය තහවුරු වෙනවා. ඇත්තම කියනව නම් සල්ලි දීලවත් කරගන්න බැරි තරමේ ප්‍රචාරක කටයුත්තක්. ඒ නිසා මං කැමතියි ඔබ වෙනුවෙන් පිරිනමන්න වඩාත්ම විද්‍යාත්මකව කෙරෙන එම්බාම් එකක්, කුමන දේශගුණික හෝ භූගෝලීය සාධක යටතේවත් ශතවර්ෂයකට කිසිම හානියක් වෙන්නෙ නැති බවට සහතික කරන ලෝකඩ මිනීපෙට්ටියක්, මගේ හොඳම අවමංගල්‍ය රථය, ඔබේ කැමැත්තෙන් තෝරාගන්නා ඕනෑම පූජකවරයෙකුගේ සේවය, අවම වශයෙන් ශෝකවන්නන් දෙදෙනෙකුගේවත් සේවය, හොඳම කිරිගරුඬවලින් හදන සොහොන් කොතක්, ඔබේ තත්ත්වයට ගැලපෙන ස්ථානයක ඔබ කැමති ප්‍රමාණයේ බිම් කැබැල්ලක් සහ නිරන්තරයෙන් එය නඩත්තු කරන බවට සහතිකයක්."
"ගාස්තුව කීයද?"
"සම්පූර්ණයෙන්ම නොමිලේ, ඔබට ලැබෙන වරප්‍රසාදයක්."
"ඔබට කීයක් වියදම් කරන්න වෙනවද ඒ වෙනුවෙන්?"
"සමාවෙන්න ඕනෑ කියනවට. ඔබ විහිලු කරනවා වගේ. ඉතාම විශාල මුදලක් මට වැය වෙනවා. මම සහතික කරනවා . . . ."
"ඌරෙකුගෙ පුකේ තමයි තමුසේ ඕක කරන්නේ."
"මට තේරුනේ නෑ, සර්."
දැලිපිහිය නැවතූ බුක්ස් කණ්ණාඩියෙන් පෙනෙන අවමංගල්‍යකරුගේ පිළිබිඹුව දෙස බලා සිටියේය. එලෙසම අවමංගල්‍යකරු ද ඔහු ඉදිරියෙහි වූ අඩක් පෙණකැටි වලින් ද අඩක් තර්ජනාත්මක බවින් ද පිරුනු වෙඩික්කරුගේ මුහුණෙහි ඡායාවෙන් වශී වූ බවක් පෙනෙන්නට තිබුණි.
"බෙකම්, මෙන්න මේකයි තමුසේ කරන්නේ. හාඩින් මැරුනට පස්සෙ මිනිහට කරපු දේමයි. මම ඒ ගැන කියවලා තියනවා. තමුසෙ මාව ප්‍රදර්ශනයට තියලා බලන්න දෙයි මිනිස්සුන්ගෙන් ශත පණහයි, ළමයින්ගෙන් ශත දහයයි ගානෙ අය කරලා. මිනිස්සුන්ගේ උනන්දුව නැතිවෙලා ගියාට පස්සෙ මගේ දත්වලට අල්ලලා තියන රත්තරන් ගලවගෙන ගෝනි කඩමාල්ලක ඔතලා කොහේ හරි තියන වලකට දාලා පස් දාලා වහයි."
"බුක්ස් මහත්මයා මම සහතික ---"
"මට සහතික වෙනවා? මොකද්ද ඒකෙන් ඇති වැඩේ, තමුසෙගෙ යකාට ගිය දියරවලින් මගේ නහර පිරුනට පස්සෙ? කවුද එහෙම කරනව කියලා වගබලා ගන්නේ?'
අවමංගල්‍යකරුවා සිය දෙපා මත ඇඹරුනේ මේ වෙලාවේ පැළඳ සිටිය යුත්තේ කුමන සපත්තු ජෝඩුව දැයි සිතාගත නොහැකිව ය.
දැලිපිහිය එසවූ බුක්ස් යළිත් රැවුල බෑම ඇරඹීය. "නෑ බෙකම්, මෙහෙමයි කෙරෙන්න ඕනෑ. මට තමුසෙ සහතික වෙන්න ඕනෑ මාව හොඳ තැනක වලදමන බවට. ඒක පසුවට. ඊට ඉස්සර මට තමුසෙට ලැබෙන ආදායමින් කොටසකුයි සොහොන් කොතකුයි ඕනෑ. දැන් අතට සල්ලි. සොහොන් කොත දවස් දෙකක් ඇතුළත ලැබෙන්න සලස්වන්න ඕනෑ. මට අවශ්‍ය හොඳ තත්ත්වයේ කුඩා ප්‍රමාණයේ එකක්. ඒකෙ කොටලා තියෙන්න ඕනැ - ජෝන් බර්නාර්ඩ් බුක්ස් - 1849 - 1901 කියලා. දේව දූතයෝ නෑ, වෙන වල්පල් නෑ. තේරුණාද?"
"මට නම් එහෙම වැඩ පිළිවෙළක් හරිම අප්‍රසන්නයි. ඒ කියන්නේ---"
"එහෙම නැත්නම් මම ඔබේ තරගකරුවන් එක්ක කතාකර ගන්නම්."
"ඔබ හරිම දරදඬු මිනිහෙක්, බුක්ස් මහත්මයා."
"දරදඬු නෙමෙයි, කල්පනාවෙන් වැඩකරන කියන එකයි හරි. මැරුන මිනිස්සුන්ට වඩා පණ තියන මිනිස්සු හොඳට කේවල් කරනවා." මුහුණ සෝදාගත් බුක්ස් තුවායකින් තෙත මාත්තු කළේය. "මට දැන් දෙන්න ඩොලර් පණහක්."
බෙකම් නාසයේ අග කොනිති ගැසුවේය. "ඒ ගාන හොඳටම වැඩියි. සොහොන් කොතක් දීලා පණහකුත් දුන්නහම මට ඉතිරිවෙන දෙයක් නෑ. මම ගණන් හදලා බැලුවා. මගේ අනුමානය නම් තුන්සියයකට වඩා මෘතශරීරය බලන්න එන්නෙ නෑ."
"තුන්සීයක්? ඔබ මාව අඩු තක්සේරුවකට දාලා කතාකරන්නේ."
"මං පිළිගන්නවා ඔබව මරන්න ඇවිල්ලා වෙඩි කාපු ෂූප්, නෝර්ටන් දෙන්නාගෙන් ලොකු සේවයක් උනා. ඔබට පුළුවන් නම් වෙඩිතියන්න තවත්---"
"මං බලන්නම් මොකද කරන්න පුළුවන් කියලා."
"මට දෙන්න පුළුවන් උපරිම ගාන තිහයි, සර්."
"හතළිහයි. ගිහිල්ලා පත්තරේ දැන්වීමක් දානවා."
"හොඳයි, හතළිහයි එහෙනම්."සුසුමක් හෙලූ බෙකම් තම පොකට්ටුව වෙත අත යවා විස්සේ නෝට්ටු දෙකක් ගෙන බුක්ස් අත තැබීය. "මම දැන්මම ගල් වඩුවට කියන්නම් කොතේ වැඩ පටන්ගන්න කියලා."
"දවස් දෙකක් ඇතුළත හරි ඊට ඉස්සෙල්ලා හරි. මට වැඩි කාලයක් නෑ."
පසුම්බිය යළිත් සාක්කුවේ රුවාගත් අවමංගල්‍යකරුවා ශෝකී විලාසයෙන් හිස සැලී ය. "මගේ හිතට හරි වේදනාවක් ඒක අහන්න ලැබීම, බුක්ස් මහත්මයා. හරිම කණගාටුයි."

No comments:
Post a Comment