Monday, October 5, 2026

අසාධාරණ මරණයක්!

           


සරත් සෘතුවේ දවසක සාමාන්‍යයෙන් පෙනෙන්නට තිබෙන අහස දෙස බලා සිනහවක් පෑ ඇන්ඩෘෘ තම දෙපා බූට් සපත්තු තුළට රිංගවීය. සරත් සෘතුවේ ප්‍රසන්න උදෑසනක් උදාවී තිබූ මෙදින ඔහු තම මිතුරාගේ නිවස වෙත දුවන්නට සූදානම් වූවා පමණකි, පිටුපසින් දුබල කටහඬක හඬ ඔහුට ඇසින. 

"ඇන්ඩර්ස් . . . . අද ඔයාගේ අම්මගෙ උපන් දිනය. අමතක උනාද?"

ආපසු හැරුන ඇන්ඩෘෘ සීයා තමන් දෙසට ඇවිද එනු දැක නොරිස්සුම හඟවන හඬක් කටින් පිටකරමින්, "ඔව් මම දන්නවා සීයේ ඒ උනාට මට ඉස්සරලා ජොසී හම්බවෙලා එන්න ඕනෑ."යයි පැවසීය. 

"යනව නං ජැකට් එක ඇඳගෙන යන්න ඇන්ඩර්ස්." 

"අයියෝ සීයේ, මම ඇන්ඩර්ස් නෙමෙයි ඇන්ඩෘෘ! ඔයාට දැන් හැටහතයි. දැන් ඔයාගෙ මොලේ වැඩකරන්නෙ නෑ. අපරාදේ!"

"පුතේ ඇන්ඩෘෘ, හැදුන ළමයෙක් වගේ කතාකරන්න. හැමෝටම ආත්ම ගෞරවය කියලා එකක් තියනවා. ආ, මේ ජැකට්එක අරගෙන යන්න." 

එහෙත් සීයා ජැකට්ටුව දෙන්නටත් පෙර සීයාගේ විකාර අදහස් තවදුරටත් දරාගත නොහැකිව ඇන්ඩෘෘ ඈතට දුවගොස් තිබුණි. 

ඔහු ජොසීගේ නිවසට ලඟාවන විට ජොසී දොරකඩට වී ඇන්ඩෘෘ පිළිගැනීමට බලා සිටියේ කම්මුල් දිගේ නිහඬවම වැගිරෙන කඳුළු වැල් ද සමගිනි. 

ජොසී ඔහුට තේ බීමට කතාකොට ඇන්ඩෘෘගේ තේ කෝප්පයට තේ වත්කරද්දී, "ඇයි ජොසී ඔයා අඬන්නේ?"  ඇන්ඩෘෘගේ මුවින් පිටවිය. 

ජොසී  හිස සලමින් ඔහු දෙස බලා උණු තේ ඇගේ කෝප්පයට වත්කරගත්තාය.

"කියන්නකො මොකද වෙලා තියෙන්නෙ කියලා." ඇන්ඩෘෘ අනුකම්පාව පිරුන හඬින් ඇය ඇමතීය. 

නිහඬවම තේ කෝප්පය තොලගාන්නට වූ ජොසී තේ කෝප්පය පසෙක තබා  උගුර පෑදුවාය.

 "මේ . . . මේ . . . මගේ ආච්චි අම්මා පිලිකාවක් හැදිලා නැතිඋනා." 

"නැතිඋනා" යන වචනය ඇසෙත්ම ඇන්ඩෘෘ මහ හඬින් සිනාසෙන්නට විය. තම ආච්චි අම්මා මියගිය පුවත සිනා නගන්නට තරම් කරුණක් නොවූයෙන් ඇය කඩාපැන්නාය. 

"මොකද්ද ඒකෙ හිනාවෙන්න තියෙන්නේ?"

තම මුවෙහි රැඳී තිබූ තේ ස්වල්පයක් අතින්  පිසදැමූ ඇන්ඩෘෘ මුවින් පිටවන්නට ආ සිනහව යටපත් කරගෙන කතා කළේය. "ජොසී, ආච්චිලා, සීයලා කියන්නේ එහාට මෙහාට ගාට ගාට ඔයාගෙ වැඩ ඔක්කොම අවුල් කරලා එපාම කරවන මෝඩ ලොක්කො රැලක්." 

"ඔයා හරි නපුරුයි." ජොසී කෑගැසුවාය. "බලාගෙන ඉන්නකො ඔයාගේ සීයා මැරෙන කල්. එතකොට ඔයාටත් තේරෙයි කෙනෙක් නැති උනාම දැනෙන වේදනාව."

"අපොයි! මම ගණන් ගන්නෙ නෑ." ඇන්ඩෘෘ තිර හඬින් පැවසීය. රැගෙන ආ ගමන් මල්ල අතට ගෙන නැගී සිටි ඔහු, "මම යනවා යන්න. තේ එකට ස්තුතියි." යයි පිටව යමින් පැවසීය.

"පිස්සු ජොසී, එහෙම දෙයක්වත් සතුටෙන් සමරන්න දන්නෙ නෑ." තමාටම කියාගනිමින් ආපසු නිවෙස බලා යන ඇන්ඩෘෘ දෙස ජොසී කෝපයෙන් යුතුව බලා සිටියාය. 

කාලය වේගයෙන් ඉගිල ගියේ ඇන්ඩෘෘ උස, හීන්දෑරි, අවුරුදු දහතුනක යෞවනයෙකු බවට පත්කරමිනි. ගතවන වසරක් පාසාම දුර්වල වෙමින් සිටි ඔහුගේ සීයා දැන් වයස හැත්තෑ දෙකක මහල්ලෙකි.

ඇන්ඩෘෘගේ දාහතරවන උපන්දිනය ආසන්න වෙද්දී සීයාගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ඇති බවද ඔහුට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බවද මව පවසා සිටියාය. ඇය තම පුතාට මේ බව පවසද්දී කනස්සල්ලෙන් සිටි බව පෙනුන ද ඇන්ඩෘෘ නම් සිටියේ සතුටිනි. 

ඇන්ඩෘෘගේ උපන්දිනයට දින කිහිපයක් පමණක් තිබියදී අවාසනාව උදාවිය. ඇන්ඩෘෘගේ සීයා වයස හැත්තෑ දෙකක මහල්ලෙකු ලෙස ආරෝග්‍යශාලාවේදී මිය ගියේය. මව මුළු දිනයම වැළපෙමින් ගතකළ අතර පුදුමයකට මෙන් ඇන්ඩෘෘට ද වැළපෙන්නේ නැතිව සිටීමට නොහැකි විය. ඔවුහු අඬමින් ද සීයාගේ මරණය ගැන ශෝක වෙමින් ද එකිනෙකාට සමීපව සිටියහ. 

සීයාගේ අවමංගල්‍යයට සහභාගි වූ ඇන්ඩෘෘ කමාට ආදරය කළ සීයා භූමිදාන කරන්නට වෙලාව එළඹි විට ඔහුගේ මව දෙසට හැරුනේය.

"අම්මේ . . . ජීවිතය හරිම අසාධාරණයි." 

දෑසේ වූ කඳුළු හිරු එළියෙහි දිදුලද්දී අම්මා තම දරුවා දෙසට හැරුනාය. 

"මොකද්ද පුතේ අසාධාරණ?"

"මරණය!" 

මව මදක් පැකිළුනාය. ඇයට එය දැනුනේ දුෂ්කර ප්‍රශ්නයක් ලෙස ය. අවසන් කටයුතු නිමාවන තෙක් සිටින ලෙසත් පසුව ඇය ඒ ගැන කතා කරන බවත් අවසානයේ ඇය ඔහුට පැවසුවා ය. 

ආපසු නිවසට පැමිණි ඇන්ඩෘෘට මරණය කෙතරම් අසාධාරණ දැයි නොසිතා ඉන්නට නොහැකි විය. මරණය හිතුමතේ කිසිදු හේතුවක් නොමැතිව සීයා පවුල වෙතින් සදහටම පැහැරගෙන එහා ලෝකයට ගෙනගොස් ඇත. සමින් නිමැවුන අත්බෑගය පසෙක තැබූ මව කතාව ඇරඹුවාය. 

"පුතේ, ඔයා පුංචි කාලෙ ඔයා සීයත් එක්ක ද වැඩිපුරම කාලය ගතකලේ?"

මදකට පසුබට වූ ඇන්ඩෘෘ ගලන සොටු දියර හා කඳුළු වලකාගන්නට වෙර දරමින්, "නෑ" යි පිළිතුරු දුන්නේය. 

"ඒක තමයි. නැතිවෙන්න ඉස්සර සීයත් එක්ක ඉන්න මරණය අපට හරිම කෙටි කාලයයි දුන්නේ කියල ද ඔයා හිතන්නේ?"

"ඔව්," ඇන්ඩෘෘ කිසිදු පැකිළීමක් නැතිව පැවසීය. 

,හරි උත්තරේ නම් නෑ කියන එකයි." මව පැවසුවාය. 

ඇන්ඩෘෘ ඇය දෙස බැලූයේ විශ්මයෙනි. 

"නැති වෙන්නෙ කොහොමද? මරණය හරිම අසාධාරණයි." 

"පුතේ මම කියන කල් ඉන්නකෝ! මෙහෙ බලන්න, ඔයා පුංචි කාලේ පුළුවන් තරම් සීයව මගාරින එකයි කළේ. සීය හරියට දුක් උනා. එයා ඔයාට ආදරෙයි, ඔයා එයාට ආදරේ නෑ. ඔයා වැඩි කාලයක් ගතකළේ ජොසී හරි ඔයාගෙ යාළුවෝ හරි එක්ක, සීයා එක්ක නෙමෙයි. සීයා නැතිවෙන්න ඉස්සරල දවසේ ඔයා මුළු දවසම එයත් එක්ක ගතකරන්නයි හැදුවේ. ඒත්, පැය විසිහතර මදි උනා, සීයත් එක්ක හිටපු කාලය කෙටි උනා, හරිද?"

ඇන්ඩෘෘට දෙන්නට පිළිතුරක් නැති විය. අම්මා හරි. 

"එතකොට මම සීයා ළඟ එච්චර ටික කාලයක් හිටපු එක ද වැරදි?"

"ඔව්" මව පිළිතුරු දුන්නේ හඬාවැටෙන අතරම ය. "ඔයා එයා ළඟින්ම ඉන්න පුරුදු වෙලා හිටිය නම් සීයත් එක්ක ගොඩක් කල් එකට හිටියා වගේ දැනෙන්න තිබුණා. අවුරුදු පහයි පැය විසිහතරයි අතර කාලයේ ලොකු වෙනසක් තියනවා, එහෙම නේද?" 

ඇන්ඩෘෘ හිස සැලීය. 

"ඉතින්, කියන්න තියෙන්නේ ඔයා ආදරය කරන අය ජීවත් වෙලා ඉන්නකොටම ඒ ගොල්ලත් එක්ක සතුටින් ඉන්න. ඒ අය නැතිඋනාට පස්සේ මොන දේ කළත් ආපහු ගන්න ගන්න බෑ. ඔයා ළඟ තියන වටිනාම දේ දුන්නත් ඒ අය ආපහු ගේන්න බෑ. ඒක තමයි ජීවිතය." 

Rachel නම් ලේඛිකාවගේ (?) Unfair Death නම් කෙටිකතාවේ පරිවර්තනයකි. ලේඛකයා ගැන වැඩිදුර තොරතුරු සඳහන් නොවේ. 

 

1 comment:

  1. අපි පොහෝ දෙනාට තියෙන දේ හි වටිනාකම දැනෙන්නෙ ඒ දේ නැති වුනාම. කටුක සත්‍යය එයයි... 💔

    ReplyDelete

අසාධාරණ මරණයක්!

            සරත් සෘතුවේ දවසක සාමාන්‍යයෙන් පෙනෙන්නට තිබෙන අහස දෙස බලා සිනහවක් පෑ ඇන්ඩෘෘ තම දෙපා බූට් සපත්තු තුළට රිංගවීය. සරත් සෘතුවේ ප්‍රසන්...