Thursday, November 19, 2026

මරණීය දණ්ඩන

 

                                                (ඡායාරූප අනුග්‍රහය ChatGPT)

1862 වසන්ත සමයේදී ජෙනරාල් බියෙල්ගේ විශාල හමුදාව පසුව ජයග්‍රහණයෙන් අවසන් වූ ෂිලෝ හී හමුදා මෙහෙයුමට හැඩගැසෙමින් සිටියහ. ඔවුන්ගෙන් කොටසක් බටහිර වර්ජිනියාවේ කඳුකරයෙහි හා කෙන්ටකීවල කෙරුනු සටන්වල අත්දැකීම්වලින් සන්නද්ධව දුෂ්කර සේවා කාලයක රසය විඳ තිබුණ ද එය නුපුරුදු, නුපුහුණු හමුදාවක් විය.

යුද්ධය තවමත් යොවුන් වියට ළඟාවූවා පමණ ය. හමුදා සේවය එම යුගයේ තරුණ අමෙරිකානුවන් විසින් නිසි පරිදි තේරුම් නොගත් නව වෘත්තියක් වූයෙන් එහි සමහර අංග කිසිසේත්ම ඔවුනගේ රුචියට ගැළපුනේ නැත. ඉන් ප්‍රධාන තැනක් ගත්තේ විනයගරුක බවේ අත්‍යවශ්‍ය අංගයක් වූ යටහත්පහත් බවයි. සියළු මිනිසුන් උපදින්නේ සමානවය යන චිත්තාකර්ෂණීය දුර්මතය ළදරුවියේ සිටම සිතට කාවැදුන අයෙකුට ප්‍රශ්න නොනගා අධිකාරිත්වයට යටත් වීම පහසුවෙන් හුරුකරගත හැක්කක් නොවේ. නොමේරූ ළපටි වියේ සිටින, ස්වේච්ඡාවෙන් පැමිණි අමෙරිකානුවා මේ අතින් අන්තයටම ගොස් සිටියේය. බියෙල් යටතේ සිටි සොල්දාදුවෙකු වූ බෙනට් ස්ටෝරි ග්‍රීන් අතින් ඔහුගේ උසස් නිලධාරියා පහරකෑමේ අවිචාරාත්මක වරද සිදුවූයේ ඒ අනුව ය. යුද්ධයේ පසු අවධියකදී නම් ඔහු එසේ නොකරන්නට ඉඩ තිබිණ. සර් ඇන්ඩෘෘ ඇග්යුචීක්* මෙන් "හෙන ගහලා පලච්චදෙන්." යයි සිතන්නට ඉඩ තිබුනා නිසැක ය..එහෙත් තම මිලිටරි හුරුපුරුදු නිවැරදි කරගන්නට තිබූ ඉඩ ඔහුට අහිමි කරන ලදී. නිලධාරියාගේ පැමිණිල්ල මත වහාම අත්අඩංගුවට ගන්නා ලද ඔහු යුද්ධාධිකරණය හමුවට පමුණුවන ලදුව වෙඩි තබා මරණීය දණ්ඩනයට පමුණුවන්නට තීන්දු කරන ලදී.

"ඔබට තිබුනා මට ආපහු පහරදීලා ඒක අමතක කරලා දාන්න." වරදකරුවා වූ මිනිසා පැමිණිල්ල කළ සාක්ෂිකරුවාට පැවසීය. "එහෙම තමයි ඉස්කෝලෙ යනකොට, ඔබ නිකම්ම විල් ඩඩ්ලි වෙලා හිටපු කාලෙ මමත් ඔබට සම මට්ටමේ හිටපු කාලෙ ඔබ කරන්න පුරුදු වෙලා හිටියේ. කවුරුවත් දැක්කෙ නෑ මම ඔබට පහරදෙනවා. විනයට ඒ තරම් හානියක් වෙන්න කොහෙත්ම ඉඩක් තිබුනෙ නෑ." 

"බෙන් ග්‍රීන්, මටත් හිතෙනවා ඔබ හරි කියලා." ලෙෆ්ටිනන් පිළිතුරු දුන්නේය. "ඔබ මට සමාව දෙනවද? ඒකටයි මම ඔබ  හමුවෙන්න ආවේ." 

පිළිතුරක් නොවීය. මේ කතාබහ සිදුවූ මුර කුටියේ දොරින් හිස ඇතුලට දැමූ නිලධරයෙක් කතාකිරීමට ඉඩදුන් කාලය අවසන් බව පවසා සිටියේය. පසුදින උදෑසන ග්‍රීන් නම් හමුදා භටයා සේනාංකයේ සියලුමදෙනා ඉදිරිපිට ඔහුගේම මිතුරන්ගෙන් සැදි භට කණ්ඩායමක් විසින් වෙඩිතබා මරාදමන ලදී. 

සති කිහිපයකට පසුව බියෙල්ගේ හමුදා සේනාංකය එළඹෙමින් තිබූ දැඩි අන්ධකාරයත් කූණාටුවත් මැද ටෙනසි ගඟෙන් එතෙර කරවනු ලැබූයේ ග්‍රාන්ට්ගේ පරාජිත හමුදාවට සහය වනු පිණිස ය. සටනෙහි විනාශය මැදින් සේනාංකය අඟලින් අඟල ඉදිරියට ඇදුනේ තම පෙරමුණ යළි සකසාගැනීම සඳහා මදක් පසුපසට ගොස් සිටි සතුරා සිටි දිසාවට ය. වරින් වර කෙටූ විදුලිය නොවන්නට හාත්පසම අන්ධකාරයෙහි ගිලීගොස් තිබුණි. අකුණු පුපුරා නොගිය, එහි ගිගුම් හඬ නිසල වූ නිමේෂයන්හී මතුව ආ තුවාල ලැබූවන්ගේ කෙඳිරිලි හඬ මැදින්  එහෙ මෙහෙ දෙපා තබා යා යුතු පාර සොයාගනිමින්, අඳුරෙහි වැටී සිටියවුන්ගේ සිරුරුවල හැපෙමින් ඉදිරියට ඇදුන ඔවුන්ගේ ගමන මොහොතකටවත් නතර නොවීය. බොහෝ දෙනෙක් මියගොස් සිටි අතර එම මළසිරුරු ද ඒ අතර විය. 

හිමිදිරිය උදාවන බව අඟවන රැස් දහරක් යාන්තමින් නැගඑද්දී රංචුවක් ලෙස අපිළිවෙළින් ඉදිරියට ඇදුන සේනාංකය සටන් පෙරමුණක හැඩය ගන්නට මදකට නතර වී, පෙරමුණට යන ඉදිරි ආරක්ෂක භටයින් ඉදිරියට යැවූ පසු ගණන් ගැනීම සඳහා සෙබළුන් රැස්විය යුතු බවට වන දැන්වීම කරන ලදී. ලෙෆ්ටිනන් ඩඩ්ලිගේ සේනාංකයේ ජ්‍යෙෂ්ඨ සාජන්වරයා ඉදිරියට පැමිණ සෙබළුන්ගේ නම් අකාරාදී පිළිවෙළට කියන්නට පටන්ගත්තේය. ඔහු සතුව ලිඛිත ලේඛනයක් නොතිබුන නමුදු හොඳ මතකයක් තිබිණ. 'G' අකුර දක්වා වූ නම් ඔහු අතින් කියවෙද්දී එකිනෙකා තමන්ගේ නමට පිළිතුරු දුන්හ. 

"ගෝහම්."

"ඉන්නවා."

"ග්‍රේරොක්."

"ඉන්නවා." 

සාජන්ගේ නිවැරදි මතකය අභිබවා පුරුද්ද ඉස්මතු විය.

"ග්‍රීන්." 

"ඉන්නවා."

ප්‍රතිචාරය පැහැදිළි ය, නිරවුල් ය, වැරදීමට කිසිදු ඉඩක් නැත!

කණ්ඩායමේ ඉදිරි පෙළෙහි ඇති වූ  විදුලි සැරයක් වැදුනාක් බඳු තිගැස්මත්, කැළඹීමත් සිදුවීමෙහි විශ්මයජනක ස්වභාවයට සාක්ෂි දැරීය. සුදුමැලි පැහැයට හැරුනු සාජන් නම් කියවීම නතරකොට බලා සිටියේය. 

වහාම ඉදිරියට පැමිණ ඔහු පසෙකින් සිටගත් කැප්ටන්වරයා තියුණු ස්වරයෙන් විධානයක් දුන්නේය. 

"කතාකරනවා ඒ නම නැවතත්." 

පෙනෙන්නට තිබූ ආකාරයට නොදන්නා දෙය පිළිබඳව වන කුතුහලය යන ක්ෂේත්‍රයට පළමුවෙන්ම පිවිසියේ ආධ්‍යාත්මික පර්යේෂණ සංගමය නොවේ. 

"බෙනට් ග්‍රීන්!" 

"ඉන්නවා." 

සෑම මුහුණක්ම සුපුරුදු කටහඬ ඇසුනු දෙසට හැරුණි. උසෙහි පිළිවෙළට අනුව ග්‍රීන් සිටගෙන සිටින්නට පුරුදුව සිටි තැනට දෙපසින් සිටි දෙදෙනා හැරී බැලූවිට දකින්නට ලැබුනේ එකිනෙකාගේ මුහුණු පමණ ය.

"තව සැරයක්." පසුබට නොවන පරීක්ෂකයාගෙන් නියෝගයක් ලැබිණ. නැවත වරක් මදක් ගැහෙන හඬකින් මරණයට පත් මිනිසාගේ නම කියවින. 

"බෙනට් ස්ටෝරි ග්‍රීන්." 

"ඉන්නවා!"

ඒ මොහොතේම ඉදිරියේ වූ සැහැල්ලු පාබල සෙබළ පෙළට ඔබ්බෙන් එක් රයිෆල් වෙඩිල්ලක හඬ ඇසිණ. ඒ හඬත් කැටුව මාරාන්තික සූ හඩක් නගමින් සෙබල පෙළ අතරින් ඇදී ගිය උණ්ඩයක් යමක ගැටෙන ශබ්දය කපිතාන්ගේ මුවින් පිටවූ, "මොකක්ද මේ යක්ෂ වැඩේ තේරුම?" යන කෑගැසීමට නැවතීමේ තිතක් තැබීය. 

පසුපස ස්ථානගතව සිටි ලෙෆ්ටිනන් ඩඩ්ලි සෙබළ පෙල පීරාගෙන ඉදිරියට පැමිණියේය. 

"ඒකෙ තේරුම මේකයි." ඇඳ සිටි කබාය දෙපසට ඇද ඔහුගේ පපුව මත පැතිරෙමින් තිබෙන බව පෙනුන තද රක්ත වර්ණ පැල්ලමක් පෙන්වමින් කීය. දණහිස්වල ශක්තිය දුබල වී අස්වාභාවික ඉරියව්වකින් බිම පතිත වූ ඔහු මරණයට පත්විය.

මද වේලාවකට පසුව ඉදිරි පෙරමුණෙහි ඒකරාශි වී සිටීම වෙනසකට ලක්කිරීම පිණිස සිටි තැනින් ඉවත්වීමට නියෝග ලැබූ රෙජිමේන්තුව යුද්ධය නමැති ක්‍රීඩාවෙහි කරනු ලැබූ යම් වැරදි ස්ථානගත කිරීමක් නිසා යළි ප්‍රහාරයකට ලක් නොවීය. එසේම හමුදාවෙහි මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශේෂඥ දැනුමක් ලබා ගත්තෙකු වූ බෙනට් ග්‍රීන් ද යළි කිසිදිනෙක එවැනි අවස්ථාවක සිය පෙනී සිටීම සළකුණු කරේ නැත. 

                              * * *

*සර් ඇන්ඩෘෘ ඇග්යුචීක් ෂේක්ස්පියර්ගේ Twelfth Night නාට්‍යයේ එන හාස්‍යජනක චරිතයකි. කතාවෙන් නිර්භීත බවක් පෙන්වුවද සැබැවින්ම බියගුලු, මෝඩ චරිතයකි. 

අම්බ්‍රෝස් බියර්ස්ගේ Two Military Executions නම් කෙටිකතාවේ පරිවර්තනයකි.  මේ ලේඛකයාගේම ගුවනින් ආ අසරුවා හා පාලම මත දණ්ඩනය යන කතා දෙක මා මීට පෙර ඉදිරිපත් කර ඇත. 

       


   


   


          







             

3 comments:

  1. අම්මපා හොල්මන් කතාවක්ම තමයි. හමුදා හොල්මන් කතාවක්. එක හුස්මට කියෙව්වා.හ්ම්... යුද්ධයට නාස්ති වූ ජීවිත.👌🤔

    ReplyDelete
    Replies
    1. වෙඩිපහර එන්නේ සතුරු පෙරමුණේ සිටයි. ඒ නිසා වෙඩි පහර සැකයි. එත් මරණයට පත් මිනිසාගේ ප්‍රතිචාරය සැකක් නෑ. රචකයා අපිට තිරණය ගන්න ඉඩ තියලා වගෙයි.

      Delete
    2. ඔව් ඒ සැකයත්, කතාවට අමුතු මානයක් එක් කරනවා.

      Delete

මරණීය දණ්ඩන

                                                  ( ඡායාරූප අනුග්‍රහය ChatGPT ) 1862 වසන්ත සමයේදී ජෙනරාල් බියෙල්ගේ විශාල හමුදාව පසුව ජයග්‍රහ...