"හැමෝම කියනවා. එයා හරි දක්ෂයෙක් කියලා. ඒ වගේම හරි සැරයි කියලත් කියනවා." ඇය හා එකට වැඩ කරන ගුරුවරියක් පැවසුවාය.
එය සිදුවීමට බොහෝ ඉඩකඩ තිබූ දෙයක් විය. දැන් එය සිදුවී තිබේ. ඇගේ සුන්දර මුහුණ සුදුමැලි විය. ඇගේ පුළුල් කාලවර්ණ දෑසට තියුණු බැල්මක් නැගුනේය.
කාලය එළඹිවිට විනීත ඇඳුමින් සැරසී සිටි ගුරුවරු විවෘතව තිබූ ඔහුගේ කාමරයට එකා පසුපස එකා බැගින් තනි පේළියට ඇතුළු වූහ. තම මේසය පසුපස සිටගෙන ඔහු පැමිණි මිනිසුන් සා ගැහැණුන් පිළිගත්තේය. ඔහු මධ්‍යම ප්‍රමාණයේ උසින් යුත්, මදක් තරබාරු පෙනුමැති, රවුම් මුහුණක්, වකුටු වූ නහයක් හා පිටට නෙරා ආ ඇස් තිබූ පුද්ගලයෙක් විය. ඔහු දෙස බලන කෙනෙකුගේ ඇසට මුලින්ම හසුවන්නේ පෙණකැටිත් සමග ඉහල නැගුන දියරැල්ලක් මෙන් උඩට නෙරා ආ ඝන උඩු රැවුල ය. ඇය ඉදිරියට ගියේ ඔහුගේ පපුව දෙසට දෑස් යොමුකරගෙන ය. ඔහුගේ බැල්ම මගහරිමින් ඇය අත දිගුකළාය. ඇය කිවයුත්තේ කුමක්ද? අනෙක් අය කියූ දෙයම ද? කෙසේ වුවද වචනයකුදු නොදොඩා ඇය නිහඬ වූවාය. වචනයක්වත් කතා කළේ නැත. ඔහුගේ ඇස්වලින් කුමක් ඇඟවිනි දැයි ඇය සිතන්නට වූවාය. ඔහුගේ රළු අතින් ඇගේ අත සෙලවූ ඔහු "ස්තූතියි." යනුවෙන් ගොරෝසු හඬින් පැවසීය. උදාරම් ලෙස ආපසු හැරුන ඇය ඉවත්ව ගියාය.
යහපත් මානසික තත්ත්වයක නොසිටියත් එදින යෙදී තිබූ වැඩකටයුතු අතරතුර ඇයට ඇයගේ කරදර අමතක විය. "මිස්ට අද තරහ ගිහින්." ගැහැණු ළමුන් කිහිපදෙනෙක්ම පැවසූහ. පිරමිඩ් මාවත පටන්ගන්නා තැනම පිහිටි සිය නිවස වෙත පැමිණි ඇය ඇඳුම් මාරුකරගෙන මවත් සමග කෑමට ඉඳගත්තාය. ඇයගේ මුහුණ දෙස බැලූ මව, "අද වැඩ හොඳින් කෙරුනාද?" යි විමසුවාය.
"බද්‍රාන්, බද්‍රාන් බදාවි." ඇය කෙටියෙන් පැවසුවාය. "මතක ද එයාව? එයා අපේ විදුහල්පති හෑටියට පත්කරලා."
"ඇත්තටම!"
මොහොතක නිහඬතාවකින් පසුව "ඒකෙන් දැන් ඉතින් කොහෙත්ම වැඩක් නෑ. ඒක බොහොම පරණ අමතක වෙලා ගිය කතාවක්." යයි පැවසුවාය.
කෑම ගැනීමෙන් පසු ඇය අධ්‍යයන කටයුතු කරන කාමරයට ගියේ ළමයින්ගේ ලියන පොත් කිහිපයක හරි වැරදි බැලීමට පෙර මදක් විවේක ගැනීමට ය. ඔහුට ඇය සම්පූර්ණයෙන්ම අමතකව ගොස් තිබුණි. නෑ, සම්පූර්ණයෙන්ම නෙවෙයි. කෙසේ නම් ඔහු සම්පූර්ණයෙන්ම අමකත කරන්නද? ගණිතය පිළිබඳ පාඩම් කියාදීමට ඔහු මුලින්ම පැමිණෙද්දී ඇයට වයස අවුරුදු දාහතරකි. ඇත්තෙන්ම දාහතරකුත් නැති තරම් ය. ඔහු ඇයට වඩා වසර විසිපහකින් වැඩිමල් විය. ඒ ඇගේ පියාගේ වයසම ය. "එයාගේ පෙනුම නම් විකාරයක්, ඒත් කරුණු හොඳට පැහැදිළි කරලා දෙනවා." ඇය මව සමග කීවාය. "අපිට වැඩක් නෑ එයාගේ පෙනුම මොන වගේද කියලා. වැදගත්වෙන්නේ පැහැදිළි කරලා දෙන විදිහ." ඇගේ මව කියූවාය.
ඔහු සැහැල්ලු ගතිපැවතුම්වලින් යුතු පුද්ගලයෙකු විය. ඇයට ඔහු හා වැඩකිරීම පහසු වූ අතර ඔහුගේ දැනුමින් ප්‍රයෝජන ගත්තාය. එසේ නම් කෙසේ එය සිදුවිනි ද? තමාගේ ආරක්ෂාව ගැන වදවෙන්නට තරම් ඔහුගේ හැසිරීමේ වෙනසක් දකින්නට ඇයගේ අවිහිංසකත්වය ඇයට ඉඩක් දුන්නේ නැත. එක් දිනයක පියා නැන්දාත් සමග වෛද්‍ය සායනයකට ගිය නිසා ඇය හා නිදහසේ සිටින්නට ඔහුට හැකි විය. තම දෙවැනි පියා ලෙස සැලකුම් ලද පුද්ගලයෙකු ගැන ඇයට කිසිදු සැකයක් තිබුනේ නැත. එසේ නම් කෙසේ එය සිදුවිනි ද? ඈ තුළ ආදරයක් හෝ ආශාවක් ඇති නොවීම එය සිදුවිය. සිදුවූයේ කුමකුදැයි භීතියට පත් ඇය විමසූ විට ඔහු කියා සිටියේ, "බයවෙන්න, දුක්වෙන්න අවශ්‍ය නෑ. මේක ඔබ විතරක් දැනගෙන තිබුනාම ඇති. ඔබ නියමිත වයසට පත්උනාම මම විවාහ යෝජනාවක් ගේන්නම්." යනුවෙනි.
ඔහු ඔහුගේ පොරොන්දුව ඉටුකළ අතර ඇගේ අත ගැනීම සඳහා පැමිණියේය. ඒ වන විට ඇය මුහුණ පා සිටි දුක්ඛිත ඉරණමේ පරිමාව පිළිබඳ අවබෝධයක් ඇතිකරගැනීමට තරම් පරිණත බවක් ඇය ලබා සිටියාය. ඇය තුළ ඔහු කෙරෙහි ආදරයක් හෝ ගෞරවයක් නැති බවත් ඇයගේ සිහිනවලින් හා පරමාදර්ශී, චරිතවත් පුද්ගලයෙකු පිළිබඳ ඇය තුළ ගොඩනැගී තිබූ අදහස්වලින් ඔහුට දුරස්විය හැකිතාක් දුර ඔහු ඈත් වී ඇතිබව ද ඇය අවබෝධ කරගෙන සිටියාය. එහෙත් කළහැක්කේ කුමක්ද? අවුරුදු දෙකකට පෙර ඇගේ පියා මෙලොවින් සමුගෙන තිබුණි. මව මේ මිනිසාගේ බිය සැක නැතිකම ගැන විශ්මයට පත්වූවාය. කෙසේවුවද ඇය කියා සිටියේ "පුද්ගලික නිදහස ගැන ඔයාගෙ තියන බැඳීම ගැන මම දන්නවා. ඒ හින්දා තීරණයක් ගන්න එක මම ඔයාටම බාරදෙනවා." යනුවෙනි.
ඇය පත්ව සිටි අවදානම් සහගත තත්ත්වය ඇය වටහාගෙන සිටියාය. ඇයට සිදුව තිබුනේ එකඟවන්නට හෝ සදාකාලයටම දොර වසාදමන්නට ය. උදාවී තිබුනේ ඇය පිළිකුල් කළ දෙයක් කරන්නට ඇයට බලකෙරෙන තත්ත්වයකි. රූමත්බවත් ධනවත්බවත් උරුමව තිබූ ඇය චරිතයේ නිර්මලබවට කියන තවත් නමක් ලෙස අභයියා හී සළකනු ලැබීය. එහෙත් දැන් ඇය හොඳින් අටවනු ලැබූ උගුලකට හසුව දඟලද්දී ඔහු කෑදර දෙනෙතින් ඇය දෙස බලා සිටියේය. ඔහුගේ ශක්තියට ඇය වෛර කළා සේම ඇයගේම දුර්වලබවට ද ඇය වෛර කරගත්තාය. ඇයගේ අවිහිංසකත්වය කිලිටි කිරීම එකකි. එහෙත් ඇය සිියල්ල පිළිබඳ අවබෝධයෙන් සිටියදී ඔහු ඇය මුහුණ දී සිටි ඉරණමින් වාසි ලබාගැනීමට හැකි තත්ත්වයක සිටීම තවත් එකකි. "ඔන්න මම මගේ පොරොන්දුව ඉෂ්ට කරලා තියනවා. ඒ ඔබට තියන ආදරය නිසයි." ඔහු කියා සිටියේ එසේය. "මම දන්නවා ඔබ ඉගෙනීමට තියන ආශාව. ඔබට පුළුවන් විද්‍යා විද්‍යාලයේ ඔබේ අධ්‍යයන කටයුතු සම්පූර්ණ කරන්න." ඔහු තවදුරටත් පැවසීය.
ඇයට දැනුනේ මීට පෙර කිසිදිනෙක ඇති නොවූ තරමේ කෝපයකි. අවලස්සනකම ප්‍රතික්ෂේප කළ අයුරින්ම ඇය බලහත්කාරය ද ප්‍රතික්ෂේප කළාය. විවාහය පරිත්‍යාග කිරීම ඇයට එතරම් දෙයක් නොවීය. ස්වාධීනව ජීවත්වීම ඇය සතුටින් බාරගත්තේ ආත්ම ගෞරවය ඇතිව තනිව වාසය කිරීම හුදෙකලාවීමක් නොවන නිසා ය. ඔහු ඇගේ ධනයට ද ඇස ගසාගෙන සිටි බව ඇයගේ වැටහීම විය. "කැමති නෑ." ඇගේ තීරණය ඇය සෘජුව මවට පවසා සිටියාය. "මට පුදුම ඔයා ඔය තීරණය මුලදිම නොගත්ත එක ගැන." මව පිළිතුරු දුන්නාය.
ගෙයින් පිටතදී ඇය යන මග හරස් කළ මේ මිනිසා "ඔබ කොහොමද ප්‍රතික්ෂේප කරන්නේ? තේරෙන්නැද්ද, ඒකෙන් අන්තිමේදී අත්වෙන ඉරණම මොකද්ද කියලා?" යනුවෙන් ප්‍රශ්න කර සිටියේය. ඔහු බලාපොරොත්තු නොවූ තරමේ කර්කශ බවකින් යුතුව ඇය පිළිතුරු දුන්නාය. "මට ඕනැ ඉරණමක් හොඳයි ඔහෙත් එක්ක විවාහ වෙනවට වැඩිය."
අධ්‍යයන කටයුතු නිමා කළ ඇයට කාලය ගතකරගැනීම සඳහා යමක් කළයුතු විය. එනිසා ඇය ගුරුවරියක ලෙස වැඩ කළාය. විවාහ වීම සඳහා අවස්ථා වරින් වර උදා වුවද ඇය ඒ සියල්ල පිටුදැක්කාය.
"කාවවත් ඔයාගෙ හිතට අල්ලන්නෙ නැද්ද?" මව විමසුවාය.
"මම දන්නවා මම කරන්නෙ මොකද්ද කියලා." ඇය මෘදු ලෙස පැවසුවාය.
"ඒත් කාලය ගතවෙලා යනවා."
"කාලය ඔහෙ ගතඋනාවෙ. මම සතුටින් ඉන්නේ."
ඊජිප්තු ලේඛක Naguib Mahfouzගේ The Answer is No කෙටිකතාවේ පරිවර්තනයකි.

No comments:
Post a Comment