ඉන්ද්රියයන් යළිත් ඔහුගේ පාලනය යටතට පැමිණ තිබේ. සැබැවින්ම ඒවාට සාමාන්‍ය ස්වභාවය ඉක්මවූ තියුණු හා පරීක්ෂාකාරී බවක් ලැබී තිබුණි. ඔහුගේ ඉන්ද්‍රීය පද්ධතියෙහි ඇති වූ භයානක කැළඹීම් ස්වභාවය
ඔහු දිය මතුපිටට පැමිණ තිබුනේ දියපහර ගලා යන පැත්තට මුහුණ ලා ය. මොහොතකින් ද්රශ්යමානයෙහි වූ ලෝකය ඔහු කේන්ද්‍රීය ලක්ෂ්‍ය කරගනිමින් වක්‍රාකාරව සෙමින් කැරකෙන්නාක් බඳු විය. පාලම, කොටුව, පාලම මත සිටි යුද සෙබළුන්, කපිතාන්, සැරයන්වරයා, යුද භටයින් දෙදෙන හා ඔහුගේ දණ්ඩනය ක්‍රියාත්මක කළ අළුගෝසුවන් දෙදෙන ඔහුගේ දෑස් ඉදිරියෙහි පහල විය. නිල් පැහැති අහස පසුබිමෙහි අඳුරු පැහැති ඡායා ලෙස දිස්වූ ඔවුහු කෑගසන්නටත් දෑත් එහා මෙහා වනමින් ඔහු දෙසට දිගුකරන්නටත් වූහ. කපිතාන් තම පිස්තෝලය එළියට ඇදගෙන සිටියත් වෙඩි තැබුවේ නැත. අනෙක් අය සිටියේ නිරායුධව ය. විශාල වී පෙනුනු ඔවුන්ගේ ඉරියව් අශෝභන මෙන්ම පිළිකුල් සහගත විය.
එක්වරම ඔහුට ඇසුන තියුනු ශබ්දයක් ද සමගින් ඔහුගේ හිසට අඟල් කිහිපයක් ඈතින් ජලය මත යමක් තදින් වැදී ඉන් ඉහිරුන ජල බිඳු ඔහුගේ මුහුණට ඉසිණ. දෙවන වරටත් ඇසුන හඬත් සමග ඔහු දුටුවේ නිල් පැහැති මද දුම් වලාවක් තුවක්කු කටින් විහිදෙන රයිෆලය උරහිසට තබාගත් මුර භටයෙකි. ජලයෙහි සිටි මිනිසාට රයිෆලයේ කුරුමාණම තුළින් තම ඇස වෙත එල්ල වී තිබූ පාලම මත සිටි මිනිසාගේ ඇස දැකගත හැකි විය. එය අළු පැහැයෙන් යුතු බව දුටු ඔහුට අළු පැහැ ඇස් ඇත්තන්ට යමක් ඉතා තියුණුව දැකගත හැකි බව හා ප්‍රකට ඉලක්කයට වෙඩි තබන්නන් සැමදෙනාටම පාහේ ඇත්තේ අළු පැහැ ඇස් බව කොහේ හෝ තැනක කියවූ බව ඔහුගේ මතකයට නැගින. එසේ වුවද මේ වෙඩික්කරුට වැරදී තිබුණි.
ප්රතිවිරුද්ධව කැරකුන දිය සුලියකට අසු වූ ෆාක්වාර් අඩක් ආපසු හැරුනෙන් නැවතත් බලකොටුවට විරුද්ධ පස ඉවුරෙහි තිබූ වනාන්තරය දෙසට මුහුණ පා සිටියේය. පැහැදිළි උස් හඬක් ඒකාකාරී ලෙස කෙරෙන ගායනාවක් මෙන් ඔහු පිටුපසින් පැනනැගී ජලතලය මත්තෙන් ඇදී ආවේ අනෙක් සියළු ශබ්ද මැඩපවත්වමිනි. ඔහුගේ කන්වල වැදී නද දෙමින් තිබූ ජල තරංග පවා ඊට යටපත් විය. හමුදා භටයෙකු නොවූවත් සන්සුන්බවින් යුතුව, ඇදෙන කටහඬින්, බරතබා වචන පිටකරමින් කරන කියවිල්ලෙහි ඇති බියකරු අරුත වටහා ගන්නට තරම් වාර ගණනක් ඔහු හමුදා කඳවුරුවල සැරිසරා තිබිණ. ගං ඉවුරෙහි රැඳී සිටි ලෙෆ්ටිනන්වරයා උදෑසන රාජකාරියට මැදිහත් වී ඇත. කටහඬ ඒකාකාරී, සන්සුන් විලාසයකින් උස් පහත් කරමින්, අනතුරක සේයාව අඟවමින්, මිනිසුන් නිහඬ, සන්සුන්බවට පත්කරමින්, කාල අන්තර නිවැරදිව තබාගනිමින්, කොතරම් හැඟීම් විරහිත හා අනුකම්පා රහිත ලෙස ඒ කුරිරු වදන් එළියට දමනු ලැබුවේද?
කණ්ඩායම සූදානමින්! . . . ඉලක්කය ගනු!. . . වෙඩි තබනු!
ෆාක්වාර් කිමිදුනේය. හැකිතාක් ගැඹුරට කිමිදුනේය. නයගරා දියඇල්ලෙන් නැගෙන නාදය මෙන් ජලය ඔහුගේ සවන් තුළ ගිගුම් දුන්නේය. එසේ වුවත් වෙඩිපහරේ පිපුරුම් හඬ නොපැහැදිලි ලෙස ඔහුට ඇසුනි. නැවතත් දියෙන් උඩට මතු වූ ඔහුට දියෙහි එහා මෙහා පාවෙමින් යටට කිඳාබසිමින් තිබූ පැතලි හැඩයෙන් පෙනුන ලෝහ කැබලි දැකගත හැකි විය. ඉන් සමහරක් ඔහුගේ මුහුණේත් අත්වලත් වැදී ඉවතට විසිවී යටටම කිඳාබැස්සේය. එකක් ඔහුගේ කරපටියත් ගෙලත් අතර රැඳින. එය පීඩාවක් ගෙනදෙන තරමට රත්ව තිබුනෙන් ඔහු එය අල්ලා ඉවතට දැමීය.
හුස්ම ගැනීමට දඟලමින් ඔහු දියෙන් උඩට මතුවෙද්දී ඔහු බොහෝ වේලවක් දිය යට ගතකර ඇති බව ඔහුට වැටහිණ. පෙනීගිය ආකාරයට ඔහු දිය පහරේ පහලට ගසාගෙන විත් වඩාත් ආරක්ෂාකාරී තැනක සිටියේය. සොල්දාදුවෝ තුවක්කුවලට යළි උණ්ඩ පිරවීම අවසන් කරමින් සිටියහ. උණ්ඩ පිරවීමට යොදාගන්නා ලෝහමය කූරු තුවක්කු බටයෙන් ඉවතට ඇද ඒවා රඳවා තබන තව් තුළට යළි දමන විට කූරු සියල්ල ගුවනේ ලෙලදී හිරු එළියෙහි දිදුලන්නට විය. මුර භටයින් දෙදෙන දෙවරකට යළිත් වෙඩි තැබූව ද එය නිෂ්ඵල විය.
ඉලක්කයට ලක් වූ මිනිසා මේ සියල්ල දුටුවේ තම උරහිසට උඩිනි. ඒ වන විට ඔහු හැකි වෙර යොදා දිය දහරත් සමග පහළට පිහිනමින් සිටියේය. දෑත් දෙපා තරමටම ඔහුගේ මොළය ද කඩිසරව ක්‍රියාත්මක විය. සිතුවිළි පහළ වූයේ අකුණු සැරයක වේගයෙනි.
"නිලධරයා දෙවෙනි වර ඒ තීරණාත්මක වරද නොකරනු ඇති." ඔහු තර්කානුකූලව සිතා බැලීය. "වෙඩි මුරයක් ද එක වෙඩිල්ලක් මෙන්ම පහසුවෙන් මගහැරිය හැකිය. දැනටමත් ඔහු අණ දී ඇති කැමති ආකාරයට වෙඩි ප්‍රහාර එල්ල කිරීමට. දෙවියන් මා ගලවාගනිත්වා! මට ඒ සියල්ලෙන් බේරීගත නොහැකි වෙයි."
එක්වරම ඔහු තිගැස්මට පත්කරමින් ඔහුට යාර දෙකක් ඔබ්බෙන් ජලයෙහි ඇතිවූ කැළඹීමක් ද සමගින් වේගයෙන් ඇදී ආ හඬක් ආපසු බලකොටුව වෙත අවකාශය ඔස්සේ ඇදී ගියාක් මෙන් නෑසී ගොස් ගංගාව පතුලටම යන තෙක් කැළඹූ දැවැන්ත පිපුරුමක් ද සමගින් නිශ්චල විය.
ඔහු මතින් ඉහල නැගි ජල ධාරාවක් ඔහු මතට වැටී ඔහු අන්ධ කරමින් ඔහුගේ හුස්ම හිර කළේය. කාලතුවක්කුව ද මේ ක්‍රීඩාවට එකතු වී තිබේ. කැලැත්තී ඔහු වටකර රැළි නැගූ ජලයෙහි පීඩාවෙන් මිදෙන්නට හිස සෙලවූ ඔහුට ඉලක්කයෙන් ඉවතට යොමු වූ උණ්ඩය ඔහු ඉදිරියෙන් ගුවනෙහි හ්ම් හඬ නගමින් පියඹා යනු ඇසිණි. ඒ සැනෙකින් එය ඔබ්බෙන් වූ කැළයෙහි අතු ඉති කඩා කුඩුකර දමන්නට සමත් විය.
"ආයෙත් නං ඒ වැඩේ කරන එකක් නෑ. ඊලඟ සැරේ ඒ ගොල්ල පොකුරු උණ්ඩ ප්‍රහාරයක් එවයි. තුවක්කුවට ඇහැ ගහගෙන ඉන්න ඕනෑ. දුම් පිටවෙන කොට මට දැනගන්න පුළුවන්. ශබ්දය ඇහෙනකොට ප්‍රමාද වැඩියි. ඒක ඇහෙන්නේ උණ්ඩය ගියාට පස්සෙ. ඒක හොඳ තුවක්කුවක්." ඔහු සිතීය.
එක්වරම ඔහුට තමා බඹරයක් මෙන් එකතැන රවුමට කරකැවෙනු දැනුනි. ජලය, ගං ඉවුරු, වනාන්තර, දැන් ඈතින් පෙනෙන පාලම, බලකොටුව හා මිනිසුන් සියල්ල එකට කැලැත්තී නොපැහැදිලිබවට පත්විය. සෑම දෙයක්ම හඳුනාගැනීමට තිබුනේ ඒවායේ වර්ණ පමණි; තිරස්ව පැතිරුන වෘත්තාකාර වර්ණ පදාස ගණනාවක් පමණි. දියසුළියකට අසුව භ්ර්රමණය වෙමින් සිටි ඔහු ඒ වේගයෙන්ම ඉදිරියට වීසිකර දමනු ලැබ කරකැවිල්ල සැදුනු ලෙඩෙකු මෙන් අන්දමන්ද වී ගියේය. එසේ ඔසවා වීසිකරනු ලැබූ ඔහු නතර වූයේ ගංගාවෙහි වම්පස දකුණු ඉවුරෙහි බොරලු පොළවක් මත නෙරාගිය ගොඩැල්ලක් පිටුපස ය. එය සතුරාගෙන් ඔහු සඟවාලීමට සමත් විය. ක්ෂණිකව සිදුවූ ඔහුගේ චලනයෙහි නැවතීමත් බොරලු පොලවෙහි වැදී එක් අතක ඇති වූ සීරීමත් නිසා පියවි තත්ත්වයට පැමිණි ඔහු සතුට දරාගත නොහැකිව කඳුළු වැගුරුවේය. සිය ඇඟිලි වැල්ලෙහි ඔබා අතට ගෙන සිරුර පුරා ඉසගත් ඔහු හඬ නගා ඒවාට තුති පුද කළේය. ඔහුට ඒවා පෙනුනේ දියමන්ති, රතුකැට හා මරකත මැණික් ලෙස ය. ඒවාට සමකල හැකි තරම් අලංකාරවත් තවත් දෙයක් ගැන ඔහුට සිතාගැනීමට නොහැකි විය. ගං ඉවුරෙහි වූ ගස් උද්‍යානයක සිටවූ දැවැන්ත ශාඛ විය. ඒවා එක්තරා පිළිවෙළකට සකස්කර තිබෙනු ඔහුට පෙණින. ඔහු ඒවායේ මල් සුවඳ ආඝ්රානය කළේය. ශාඛවල කඳන් අතර වූ ඉඩ තුළින් අමුතු රෝස පැහැ ආලෝකයක් ගලා ආවේය. ශාඛ අතු ඉති අතර හැමූ සුළඟ ඉයෝලියන් වීණාවක සංගීත රටා මැවීය. ගැලවී පලායාම නිමාවකට පත්කරන්නට අභිලාෂයක් ඔහු සිත තුළ තවදුරටත් නොවීය. යළිත් ග්‍රහණයට අසුවන තෙක් සිත වසඟ කරනසුලු මේ ස්ථානයේ රැඳී සිටීමේ තෘප්තිය විඳින්නට ඔහුට උවමනා විය.
සුළඟ කපාගෙන ගොස් ඔහුගේ හිසට ඉහලින් වූ අතුපතරෙහි සර සර හඬ නැගූ පොකුරු උණ්ඩ ඔහුගේ සිහිනයෙන් ඔහු අවදි කළේය. ව්‍යාකූලත්වයට පත් කාලතුවක්කුකරු අහම්බෙන් මෙන් ඔහුට සමුදීමේ වෙඩිල්ලක් පත්තුකර තිබේ. සැනෙකින් නැගී සිටගත් ඔහු වහ වහා බෑවුම් වූ ඉවුර දිගේ උඩට නැග කැලෑවට වැදුනේය.
ඉහල අහසේ රවුමට දිස්වූ හිරු මග සළකුණ ලෙස තබාගෙන ඔහු මුළු දවසේම ගමනෙහි යෙදුනේය. කැළය දිස්වූයේ අවසානයක් නැති තැනක් ලෙස ය. එය අවසාන වන තැනක් කොහේවත් දක්නට නොවීය. අඩු තරමින් ගස් කපන්නෙකු අතින් තැනුනු මාවතක් හෝ තිබුනේ නැත. මෙතරම් වනගත පෙදෙසක තමා ජීවත් වූ බවක් ඔහු දැන සිටියේ නැත. ඒ වැටහීමෙහි අද්භූත බියකරු බවක් ගැබ්ව තිබුනේය.
රාත්‍රිය එළඹෙත්ම ඔහු වෙහෙසට පත්ව, වේදනාවෙන් පුපුරු ගසන දෙපා වලින් ද හාමතින් ද අඩපනව සිටියේය. තම බිරිඳ හා දරුවන් පිළිබඳ සිතුවිල්ල ඔහු ඉදිරියටම යාමට පෙළඹවීය. අවසානයේ නිවැරදි දිසාවට ඔහු ගමන් කරන බව ඔහුට වැටහුන පාරකට ඔහු පිවිසියේය. එය නගරයේ දැකිය හැකි මාවතක් තරමටම පුළුල්ව හා සෘජුව පිහිටා තිබුනත් එහි කිසිවෙකුත් ගමන් කළ බවක් පෙනුනේ නැත. එය මායිමෙහි වගා බිම් කිසිත් තිබුනේ නැත. කොතැනකවත් වාසස්ථාන ද පෙනෙන්නට නොවීය. අඩු තරමින් මිනිසුන් වාසය කරන බවක් අඟවන බල්ලෙකුගේ බිරුම් හඬක් හෝ නැත. අඳුරු පැහැයෙන් උස්ව නැගී සිටි ගස් ඈත ක්ෂිතිජයේ තැනකදී නිමාවන බවක් පෙනුන පවුරක් පාර දෙපසම තනා තිබුනේ දුර දර්ශණයක් පෙනෙන සැටි පිළිබඳ පාඩමක තිබෙන රූ සටහනක් මෙනි. වනාන්තරය ඉඩ විවර කර තිබූ තැනින් ඉහල අහස බැලූ ඔහුට කලින් දැක නොතිබූ ලෙස අමුතු ආකාරයකට පොකුරු ගැසී තිබූ තරු රටා පිපුන මල් මෙන් දිදුලනු දක්නට ලැබිණ. ඒවා කිසියම් රහස් හා දුෂ්ට අරමුණක් සඳහා පෙළගස්වා තිබුන බව ඔහුට සහතික ය. පාර දෙපස තිබූ කැලය නොයෙකුත් ආකාරයේ හුදෙකලා ශබ්දවලින් පිරී පැවතුන අතර වරක් දෙවරක් නොව කිහිපවරක් ම ආගන්තුක භාෂාවකින් කෙරුනු මිමිණුම් හඬ පැහැදිලිවම අසන්නට ලැබුණි.
ගෙල පෙදෙසින් දරුණු වේදනාවක් දැනුනෙන් ඒ කරා අත යැවූ විට එය බියකරු ලෙස ඉදිමී තිබිණ. ලණුව විසින් ඇතිකරන ලද සීරුම් තුවාල නිසා ගෙල වටා කළු පැහැයෙන් රවුමක් සැදී තිබෙන බව ඔහු දැන සිටියේය. පිපාසයෙන් දිව ඉදිමී තිබූ අතර දත් අතරින් එය එළියට දමා සීතල වාතයට නිරාවරණය කිරීමෙන් එහි ගිනියම ඔහු සමනය කරගත්තේය. මිනිස් පා නොගැටුන මාවත කොතරම් අපූරුවට තණ පිඩළි වලින් වැසී තිබුනේද යත් ඔහුට තම පා පාරෙහි ගැටෙන බවක්වත් දැනුනේ නැත.
කොතරම් වේදනාවෙන් පීඩිතව සිටියත් නිසැකවම ඇවිදින අතරතුර ඔහු නින්දට වැටී සිටියේය. මක් නිසාද යත් දැන් ඔහුට දක්නට ලැබෙන්නේ වෙනත් දර්ශණයක් බැවිනි. එසේ නැත්නම් පත්ව සිටි සිහිවිකලතාවකින් මිදුනා විය යුතුය. ඔහුගේම නිවසෙහි ගේට්ටුව ඉදිරිපිට ඔහු සිටගෙන සිටියි. සියල්ල ඔහු පිටව යනවිට පැවති විලසින්ම උදෑසන හිරු එළියෙහි අලංකාර ලෙස බබලමින් තිබේ. ඔහු මුළු රාත්‍රිය පුරාම ගමනෙහි යෙදෙන්නට ඇත. ගේට්ටුව තල්ලු කරගෙන සුදු පැහැති පුළුල් මාවත දිගේ ඉදිරියට එද්දී ඔහුට සුළඟේ සැලෙන කාන්තා ඇඳුම් දකින්නට ලැබෙයි. ඔහුගේ බිරිඳ නිවී සැනසුනු විලසින් හා ප්‍රිය උපදවන ප්රාණවත්බවකින් යුතුව ඔහු හමුවීම සඳහා ආලින්දයෙන් පහතට බසියි. වචනයෙන් කිව නොහැකි තරම් සතුට පිරි සිනහවකින් අසමාන ලාලිත්‍යයක් හා උදාර ලීලාවක් අඟවන ඇය පඩිපෙළ පාමුළ සිටගෙන බලා සිටියි. අහා! ඇය කොතරම් සුන්දර ද? දෙපසට විහිදුවාගත් දෙඅතින් යුතුව ඔහු ඉදිරියට පනියි. ඇය වැළඳගන්නට තැත් දරත්ම අනපේක්ෂිත, දරුණු පහරක් ඔහුගේ ගෙල පිටුපසට එල්ල වෙයි. කාලතුවක්කු උණ්ඩයක හඬ නගමින් දෑස් අන්ධ කරවන තරම් වූ ධවල ආලෝකයක් ඔහුගේ සිරුර පුරා ඇවිල යයි. අනතුරුව සියල්ල අඳුරෙහි හා නිශ්චලත්වයෙහි ගිලෙයි.
පේට්න් ෆාර්ක්වාර් මියගොසින් ය. ඔහුගේ සිරුර සිඳීගිය ගෙලින් යුතුව අවුල් ක්‍රීක් පාලමේ ලී රාමුවට යටින් සෙමින් දෙපසට පැද්දෙමින් තිබිණ.
* * *
හම්මේ මේක නං මදි නොකියන්න දිගට ලියලා. කියවලා ආයෙ කමෙන්ට් කරන්න එන්නම්. 👌
ReplyDeleteවෙන කඩන්න තැනක් තිබුනේ නෑ.
Deleteනෑ, නෑ මෙහෙම ලියලා දාපු එක තමයි හොඳ. කලින් කොටස ටිකක් කෙටියි කියල හිතුනා.
Deleteතවමත් ගැහෙයි අධිවේගෙන් මගෙ පපුව
ReplyDeleteදිගටම කියෙව්වේ හුස්මත් ගන්නැතුව
අනේ, ෆාක්වර් වැන්නන් අසරණව
බිලි වෙන්නේ කිමද බේරෙන්නේ නැතිව
මිනිස් වග ලොව සිටින තෙක්
Deleteඇසිය හැක එය යළි යළිත්!
අර ඔහු වෙඩික්කරුගේ අළු පාට ඇහැ දැක්කා කියන කොටස කියවන කොට මට සිතුනා , එහෙම වෙන්න බහ . මේක මානෝබ්රන්තියක් කියල . අගට යනකොට තරමක් දුරට ඒ නිගමනය හරි බව පෙනුන . පරිවර්තනය අගෙයි . කියන කතාවත් හිත විනීවිද යනවා. ලංකාවේ පැවති යුද්ධයට වගේම දැන් යන රුසිය උක්රෙන යුද්ධයටත් , පලස්තීන යුද්ධයටත් මම විරුද්ධ ඒකයි . මැරෙන මිනිසුන්
ReplyDelete,
මිනිස් වර්ගයා ලෝකයේ පවතින තාක් කල් ඒක නං වෙනස්වෙන එකක් නෑ.
Delete