Wednesday, June 4, 2025

දූෂණය දුරුකළ මිනිහෙක්

 



ඉග්නේෂස් අගාර්බි නයිජීරියාවේ මුදල් ඇමති ලෙස පත්කරනු ලැබූ විට යමක් කමක් ඇත්තෝ ද කිසිත් නැත්තෝ ද එය එතරම් ගණනකට නොගත්හ. කොයි දේ දිහාත් ඇදට බලනවුන් පෙන්වා දුන්නේ වසර දාහතක් තුළ පත්වූ දාහත්වෙනි මුදල් ඇමති ඔහු බවයි. 

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුනු ඉග්නේෂස්ගේ පළමු ප්‍රධාන ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ඔහු රටෙහි පවත්නා ආර්ථික ප්‍රශ්න හමුවේ පටි තදකරගන්නා ලෙස තම සහෝදර රටවැසියන්ට ආයාචනා කළ අතර සමාජයෙහි පවත්නා අල්ලස හා දූෂණය අවසන් කරන බවට ද පොරොන්දු විය. චෝදනාවලට ලක්නොවන අයට හැර වෙනත් කිසිවෙකුටත් රැකවරණයක් නෙසැලසෙන බවටත් ඔහු අනතුරු ඇඟවීය. ඔහුගේ මංගල කතාව ඔහු අවසන් කළේ "නයිජීරියාවේ කුණුවල පිරිසිදු කිරීමට මම කැපවී සිටිමි." යන වචන වලිනි. 

ඇමතිවරයාගේ මංගල කතාවේ බලපෑම කොතරම් ද යත් එම කතාව පිළිබඳ සඳහනක්වත් 'ලාගෝස් ටයිම්ස්' පුවත්පතෙහි පළනොවීය. බොහෝවිට කතුවරයාගේ ආකල්පය වන්නට ඇත්තේ මීට පෙර සිටි ඇමතිවරු දාසයදෙනාගේම කතා සම්පූර්ණයෙන්ම වාර්තා කළ බැවින් ඔහුගේ පාඨකයන් මේ කලිනුත් අහලා තියන කතාවමනේ යයි සිතන්නට ඉඩ ඇති බවයි. 

කෙසේ වුවද තමන් පිළිබඳව විශ්වාසයක් පළනොවීම ගැන පසුබට නොවූ ඉග්නේෂස් ඔහුට පැවරුනු කාර්යය ඉටුකිරීමට  ජවයෙන් හා දැඩි අධිෂ්ඨානයෙන් කැපවිය. පත්වීම ලැබ දින කිහිපයක් තුළදී ඔහු ආහාර අමාත්‍යාංයේ සුළු නිලධාරියෙකු ධාන්‍ය ආනයනය සම්බන්ධ කටයුත්තකදී ව්‍යාජ ලිපිලේඛන ඉදිරිපත්කිරීමේ චෝදනා මත සිරගත කෙරෙන තැනට වැඩ සැලැස්වීය. ඊලඟට ඉග්නේෂස්ගේ කොස්සෙන් අතුගෑවුනේ විනිමය නීති රෙගුලාසි කඩකිරීමේ වරදට හසුවූ ලෙබනන් ජාතික ව්‍යවසායකයෙකි. ඔහු නඩුවිභාගයකින් තොරවම පිටුවහල් කෙරිණි. ඉන් මාසයකට පසුව සිදුවූයේ පෞද්ගලික කුමන්ත්‍රණයකැයි ඉග්නේෂස්ට පවා සිතුන සිදුවීමකි. අල්ලස් ගැනීමේ චෝදනා මත පොලිස් ප්‍රධානියා අත්අඩංගුවට ගැනුනි. ජනතාව පසුගිය කාලයේ සිතා සිටියේ එය එම  තනතුරට ලැබෙන වරප්‍රසාදයක් ලෙස ය. මාස හතරකට පසුව පොලිස් ප්‍රධානියාට මාස දහඅටක සිරදඬුවමක් ලැබුන පසුව පළමු වතාවට නව මුදල් අමාත්‍යවරයාගේ නම ලාගෝස් ටයිම්ස් හී මුල් පිටුවෙහි පළවිය. නායකයෙතු මැද පිටුවෙහි සඳහන්කර තිබුනේ සෑම වරදකරුවෙකුම බියට පත්කරන අළුත් කොස්සක් "සුද්දකරන ඉග්නේෂස්" නමින් බිහිවී ඇති බව ය. අත්අඩංගුවට ගැනීම් එකක් පසුපස එකක් ලෙස සිදුවන විට ඉග්නේෂස් "මිස්ටර් ක්ලීන්" ලෙස කීර්තිමත් නාමයක් දිනාගත් අතර සමාජයෙහි පැතිරගිය පදනම් විරහිත කටතතාවලින් කියැවුනේ රාජ්‍ය නායක ජෙනරාල් ඔටෝබි පවා ඔහුගේම මුදල් අමාත්‍යවරයාගේ විමර්ශණවලට ලක්වී ඇති බවයි. 

ඩොලර් මිලියන සියයකට වඩා වටිනාකමක් ඇති විදෙස් කොන්ත්‍රාත්තු අධීක්ෂණය කිරීම, ප්‍රතික්ෂේප කිරීම හා අනුමත කිරීම හුදෙක්ම ඉග්නේෂස් යටතට පත්ව තිබූ අතර රෙද්දේ තරමට ඇඳුම කපන බවට ඔහු වගබලාගත්තේය. මුල්‍ය පාලනයෙහි බලතල පැවතුනේ ඔහු අත බව පැවසීම අතිශයෝක්තියක් නොවීය. ඔහු විසින් ගන්නා ලද සෑම තීරණයක්ම සූක්ෂම ලෙස පරීක්ෂාවට භාජනය කළද අපවාදයක් නැගිය හැකි තැනක් දශමයකින් හෝ සොයාගැනීමට ඔහුගේ සතුරන්ට නොහැකි විය. මුදල් අමාත්‍යවරයා ලෙස දෙවන වසර ඇරඹෙද්දී  උග්‍ර විවේචකයන් පවා ඔහුගේ සාර්ථකත්වය පිළිගැනීමට මැළි නොවූහ. ජෙනරාල් ඔටෝබි නිල නොවන සාකච්ඡාවක් සඳහා ඉග්නේෂස් කැඳවීමට විශ්වාසයක් ඇතිකරගත්තේ මේ කාලයේදී ය. 

"ඉග්නේෂස්, මම මේ දැන් අළුත්ම අයවැය වාර්තාව කියවලා ඉවරඋනා විතරයි. රට අතින් කටට දාගන්න මට්ටමට වැටිලා තියෙද්දී විදේශීය සමාගම් අතරමැදි තැරැව්කාරයන්ට ගෙවන පගා හින්දා භාණ්ඩාගාරයට ඩොලර් මිලියන ගණනක් අහිමිවෙනවා කියන ඔබේ නිගමනය හරි භයානකයි.  මේ සල්ලි වැටෙන්නේ කාගේ සාක්කුවලට ද කියලා කියන්න පුළුවන්ද? මට දැනගන්න ඕනෑ එකම දේ ඒකයි." 

සිරුර සෘජුව තබාගෙන ඉඳගත් ඉග්නේෂස් රාජ්‍ය නායකයාගේ දෑස දෙස කෙළින් බැලීය. "මගේ සැකය තමයි ඔය සල්ලිවලින් වැඩි ප්‍රතිශතයක් නතරවෙන්නේ ස්විස් බැංකුවල පුද්ගලික ගිනුම්වල කියලා. ඒත් දැනට මට ඒක ඔප්පු කරන්න සාක්ෂි නෑ."

"එහෙම නම් මම ඔබට අවශ්‍ය සියළුම බලතල පවරනවා මේ ද්‍රෝහීන් හෙලිදරව් කරන්න අවශ්‍යයි කියලා ඔබට හිතෙන ඕනෑම ක්‍රියාමාර්ගයක් ගන්න. ඇමති මණ්ඩලයේ අතීතයේ හිටපු, දැන් ඉන්න සෑම සාමාජිකයෙක් ගැනම පරීක්ෂණ ආරම්භ කිරීමෙන් පටන්ගන්න. ඒ හැමකෙනෙක්ගෙම තනතුර මොකක් උනත්, මොන සම්බන්ධතා තිබුනත් බයවෙන්නත් එපා, යටවෙන්නත් එපා." 

"ඒ වගේ රාජකාරියක් සාර්ථක වෙන්න නම් මට අවශ්‍යයි ඒ ගැන බලය පැවරෙන විශේෂ ලිපියක් ඔබේ අත්සනින් නිකුත් කෙරුන. ඒ වගේම මම විදෙස්ගත වන හැම අවස්ථාවකම පූර්ණ බලතල සහිත තානාපතිවරයෙකුගේ තත්ත්වය මට අවශ්‍යයි."

"ඔබේ අවශ්‍යතාව ඉටුවෙනවා ඇති."

"ස්තූතියි." යනුවෙන් පිළිවදන් දුන් ඉග්නේෂස් සාකච්ඡාව අවසන් වූයේය යන නිගමනයෙන් නැගී සිටියේය.

"ඔබට මේකත් අවශ්‍ය වෙයි." ඔවුන් දෙදෙන දොරටුව වෙත ඇවිද යන අතර රාජ්‍ය නායකයා ඉග්නේෂස් අත ස්වයංක්‍රීය පිස්තෝලයක් තැබීය. "මොකද මම අනුමාන කරනවා මේ වෙනකොට මට තරම්ම සතුරන් ප්‍රමාණයක් ඔබටත් ඇති කියලා." 

අකමැත්තෙන් මෙන් හමුදා නිලධරයා දුන් පිස්තෝලය අතට ගත් ඉග්නේෂස්  ඇසෙන නෑසෙන හඬින් ස්තූතියක් පළකරමින් එය සාක්කුවේ රුවාගත්තේය. 

මහ බැංකු අධිපතිවරයා දැනුවත්කිරීමකින් තොරව, ජ්‍යෙෂ්ඨ සිවිල් නිලධාරීන්ගේ බාදාකිරීමකින් තොරව දැඩි උද්‍යෝගයකින් යුතුව ඉග්නේෂස් තම නව කාර්යයෙහි නිරත විය. රාත්‍රී කාලයෙහි හුදෙකලාවම පර්යේෂණවල නිරත වූ ඔහු දිවා කාලයෙහි කිසිවෙකුත් සමග ඒ ගැන සාකච්ඡා නොකළේය. මාස තුනකට පසුව ඔහු වැඩ පෙන්වීමට සූදානම්ව සිටියේය. බොහෝ නයිජීරියානුවන් නිවාඩු ගතකිරීමට යොදාගන්නා අගෝස්තු මාසය ඇමතිවරයා කලින් සැලසුම් නොකළ විදෙස් සංචාරයක් සඳහා තෝරාගත්තේ ඔහු රටෙහි නොසිටීම කිසිවෙකුගේත් අවධානයට ලක් නොවනු පිණිස ය. 

ඔහුටත් ඔහුගේ බිරිඳ හා දරු දෙදෙනාටත් ඔර්ලැන්ඩෝ වෙත යන ගුවන්යානයක අසුන් වෙන්කරන ලෙසත් ඒ සඳහා ඔහුගේ පෞද්ගලික ගිනුමින් මුදල් වියදම් කරන ලෙසත් ඔහු තමාගේ ස්ථිර ලේකම්වරයාට දැනුම් දුන්නේය. 

එහි ලඟාවූ පසු පවුලේ සියළුදෙනා සඳහා දේශීය සංචාරකයින් සඳහා ඉදිකර තිබූ මැරියට් හෝටලයේ කාමර වෙන්කරගත් ඔහු කලින් කෙරුනු කිසිදු ඇඟවීමක් හෝ පැහැදිළි කිරීමකින් තොරව තමා රාජකාරි කටයුත්තක් සඳහා දින කිහිපයක් නිව්යෝර්ක් නුවර ගතකරන බවත් නිවාඩුවේ ඉතිරි කාලය ගතකිරීම සඳහා ආපසු පැමිණෙන බවත් තම බිරිඳට දැන්වීය. පසුදින උදෑසන පවුලේ සෙසූ අයට ඩිස්නිලන්තයේ අද්භූත රසය විඳින්නට ඉඩ සලසා ඔහු නිව්යෝර්ක් බලා ගුවන්ගත විය. ලගාර්ඩියා ගුවන් තොටුපලේ සිට කෙනඩි ගුවන්තොටුපල දක්වා වූ කෙටි දුර ටැක්සියකින් ගමන්කළ ඉග්නේෂස් එහිදී සිය ඇඳුම් පැළඳුම් මාරුකරගෙන  ජිනීවා බලා යාම සඳහා  ආපසු පැමිණිය හැකි සංචාරක ගුවන් ටිකට්පතක් මුදල් ගෙවා මිලදී ගෙන කිසිවෙකුගේත් අවධානයට ලක් නොවී  ස්විස්එයාර් ගුවන්යානයකට ගොඩවිය. 

ස්විස්ටර්ලන්තයේ වාණිජ අගනගරයට ලඟාවූ ඉග්නේෂස් අධික මුදලක් වැය කිරීමට තිබූ අකමැත්ත නිසා හෝ ප්‍රසිද්ධියට පත්වීම වළක්වා ගැනීමට අවශ්‍ය වූ නිසා හෝ අප්‍රකට හෝටලයක කාමරයක් වෙන්කරගෙන පැය අටක සුව නින්දක් ලැබීය. පසුදින උදෑසන ආහාර ගන්නා අතරතුර ඔහු නයිජීරියාවේ සිටියදී කරන ලද පර්යේෂණයෙන් පසුව සුපරීක්ෂාකාරීව සකස්කරගන්නා ලද බැංකුවල නම් ලැයිස්තුව අධ්‍යයනය කළේය. එහි තිබූ සෑම නමක්ම ඔහුගේම අත්අකුරින් පැහැදිළිව ලියාගත් ඒවා ය. ඉග්නේෂස් තීරණය කළේ හෝටලයේ නිදන කාමරයේ සිටම දැකගත හැකි ජර්බර් එටි සියායි බැංකුව වෙතින් පටන් ගැනීමට ය. එහි ගොඩනැගිල්ල පාචින් විදියේ හරි අඩකම පැතිර තිබුණි. දුරකතන ඇමතුමක් ගැනීමට පෙර ඔහු ආයතනයේ සහායක අමතා අංකයේ නිවැරදිබව තහවුරු කරගත්තේය. දහවල් දොළහට අමාත්‍යවරයා හමුවීමට සභාපතිවරයාගේ කැමැත්ත පළවිය.

පරණ වී හමගිය බ්‍රීෆ්කේස් එකක් අතින් ගත් ඉග්නේෂස් නියමිත වේලාවට මිනිත්තු කිහිපයකට පෙර බැංකුව වෙත පැමිණියේය. දැකුම්කළු අළු පැහැති ඇඳුම් කට්ටලයකින්, සුදු කමිසයකින් හා අළුපාට ටයි පටියකින් සැරසී ඉදිරිපස ශාලාවෙහි ඔහු පිළිගැනීමට බලා සිටි තරුණයාට සිතුනේ එය නයිජීරියානු ජාතිකයෙකුගෙන් බලාපොරොත්තු විය නොහැකි තරමේ අසාමාන්‍ය සිදුවීමක් බවයි. 

අමාත්‍යවරයාට හිස නමා ආචාර කළ ඔහු තමා සභාපතිවරයාගේ පෞද්ගලික සහකාරවරයා බව ද ඉග්නේෂස් සභාපතිවරයාගේ කාමරය වෙත කැඳවාගෙන යාමේ බලාපොරොත්තුවෙන් රැඳීසිටි බව ද දන්වා සිටියේය. තරුණ විධායක නිලධාරියා අමාත්‍යවරයා සෝපානයක් වෙත කැඳවාගෙන ගිය අතර එය එකොළොස්වන තට්ටුවට ලඟාවන තෙක් දෙදෙනා අතර එක වචනයකුදු හුවමාරු නොවීය. සභාපතිවරයාගේ කාමරයෙහි දොරට කෙරුනු මද තට්ටුකිරීමකට  "ඇතුළුවන්න" යනුවෙන් දැක්වුනු ප්‍රතිචාරයකට තරුණයා අවනත විය.

වාඩිවී සිටි මේසය අසලින් නැගී සිටි සභාපතිවරයා ඉදිරියට පැමිණියේ අමුත්තාට ආචාර කරනු පිණිස ය. සභාපතිවරයා ද අළු පැහැති ඇඳුම් කට්ටලයකින්, සුදු කමිසයකින් හා අළුපාට ටයි පටියකින් සැරසී සිටින බව ඉග්නේෂස්ගේ නෙතට ලක්විය. 

"සුබ උදෑසනක්, අමාත්‍යතුමනි! එන්න, වාඩිවෙන්න." පැවසූ සභාපතිවරයා සුවපහසු අසුන්වලින් වටවී තිබූ මිටි වීදුරු මේසයක් වෙත ඉග්නේෂස්   කැඳවාගෙන ගියේය. "මම කෝපි ගේන්න කීවා අපි දෙන්නටම, ඔබේ අකමැත්තක් නැත්නම්." 

හිස වනා එය අනුමත කල ඉග්නේෂස් පැරණි වී කඩතොළුව ගිය බ්‍රීෆ්කේසය තමා වාඩි වූ පුටුව පසෙකින් බිම තබා දැවැන්ත වීදුරු තහඩු සවිකළ කවුළුව දෙස බැලීය. ගැහැණු ළමයෙකු ඔවුන් තිදෙනාටම කෝපිවලින් සංග්‍රහ කරද්දී ඔහු දැකුම්කලු වතුරමලෙහි අපූරු දර්ශණය පිළිබඳව සැහැල්ලු කතාබහක නියැලුනේය. 

තරුණිය කාමරයෙන් ඉවත්ව ගිය වහාම ඉග්නේෂස් තමා පැමිණි රාජකාරියට අවතීර්ණ විය. 

"මගේ රාජ්‍ය නායකයා මගෙන් ඉල්ලා සිටි ටිකක් අසාමාන්‍ය ඉල්ලීමකුත් සමගයි මම අද ඔබේ බැංකුවට ආවේ." සභාපතිවරයාගේ හෝ තරුණ සහයකයාගේ මුහුණෙහි විශ්මයක ඡායාවක්වත් පෙනෙන්නට නොවීය. "ඔබේ බැංකුවේ නයිජීරියානු පුරවැසියන් කීදෙනෙකුගේ ගිනුම් තියනවද කියලා සොයාගැනීමේ ගෞරවය ඔහු මට පවරලා තියනවා." 

මේ තොරතුරට සවන්දුන් සභාපතිවරයාගේ මුව විවර විය. "මට නිදහසක් නෑ හෙලිකරන්නට . . ." 

"මම කියලා ඉවරවෙනකල් ඉන්න." සිය පැහැපත් අත්ල ඔසවමින් ඇමතිවරයා පැවසීය. "පළමුවෙන්ම මම සහතික වෙනවා මම ආවේ මගේ රජයේ පූර්ණ බලතල සහිතවයි කියලා." තවත් වදනකුදු නොනගා ඉග්නේෂස් තම ඇතුළු සාක්කුවෙන් ලියුම් කවරයක් ජයග්‍රාහී ලීලාවෙන් එළියට ගෙන සභාපතිවරයා අතට පත්කළේය. ලිපිය එළියට ගත් සභාපතිවරයා අවධානයෙන් යුතුව එය කියවීය. 

කියවා අවසාන වූ පසුව බැංකුකරුවා තම උගුර පාදා කතාව ඇරඹීය. "මම දන්න විදියට මහත්මයා මේ ලියවිල්ලට අපේ රටේ වලංගුතාවයක් නෑ. ඇත්තටම මම මොහොතකටවත් සැකකරන්නෙ නෑ ඇමතිවරයෙක් හැටියටත් තානාපතිවරයෙක් හැටියටත් ඔබට ඔබගේ රාජ්‍ය නායකයාගේ පූර්ණ සහයෝගය තියනවා කියන එක ගැන. ඒත් ඒ නිසා මේ වගේ කාරනාවලදී බැංකුවේ රහස්‍යතාව පිළිබඳ නීතිරීති වෙනස්වෙන්නෙ නෑ. කුමන තත්ත්වයක් යටතේවත් ගිනුම් හිමියන්ගේ අවසරයක් නැතිව ඔවුන්ගේ නම් හෙලිදරව් කරන්නේ නැහැ. මට කණගාටුයි ඔබට උදව්කරන්න නොලැබීම ගැන. ඒත් මේවා තමයි බැංකුවේ මේ දක්වා තිබුණ ඉදිරියටත් තිබෙන නීති." සභාපතිවරයා නැගීසිටියේ සාකච්ඡාව එතැනින් නිමවී යයි සලකමිනි. එසේ වුවත් ඔහු "සුද්දකරන ඉග්නේෂස්"ගේ කේවල් කිරීමේ හැකියාව ගැන හරියට දැනගෙන සිටියේ නැත. 

පැහැදිළිවම දැනුන පරිදි තම කටහඬෙහි සැර බාලකරමින් කතා කළ ඉග්නේෂස්, "මගේ රටේ නායකයා මට බලය පවරලා තියනවා මගේ රටත් ස්විට්සර්ලන්තයත් අතර ඉදිරියේදී සිදුවන සියළුම ගනුදෙනුවලදී අතරමැදියා විදියට ඔබේ බැංකුව තෝරාගැනීම සඳහා." යි පැවසීය. 

"ඔබ අප කෙරෙහි තබන විශ්වාසය අපට ගෞරවයක්. එහෙම උනත් අපේ ගනුදෙනුකරුවන්ගේ රහස්‍යභාවය ගැන අප දක්වන ආකල්පය එයින් වෙනස්වෙයි කියලා අදහසක් ඇතිකරගන්න එපා." යනුවෙන් සිටගෙන සිටිමින්ම පවසා සිටියේය. 

"එහෙම නම් ජර්බර් මහත්මයා මට කණගාටුවෙන් උනත් ඔබට දැනුම්දෙන්න සිදුවෙනවා අපගේ පුරවැසියන්ගේ තොරතුරු ඉල්ලා කරනලද ඉල්ලීමට ඔබ බැංකුව යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම පිළිබඳව දන්වා ස්විස් විදේශ සේවා කාර්යාලයට නිල නිවේදනයක් බාරදෙන ලෙස බර්න් නුවර සිටින අපේ තානාපතිවරයාට උපදෙස් දෙන බව." 

"ඔබ එවැනි පැමිණිල්ලක් කරන එක හොඳ දෙයක්, මහත්මයා. අපේ අමාත්‍යවරයා ඔබේ තානාපතිවරයාට ආචාරශීලී ලෙස රාජ්‍යතාන්ත්‍රිකව පැහැදිළි කරලා දෙයි එවැනි හෙලිකිරීම් කරන්න කියලා ඉල්ලීම් කරන්න බැරිබව."

"තත්ත්වය ඒක නම් මම අපේ  වෙළඳ ඇමතිවරයට උපදෙස් දෙනවා මේ නම් හෙලිදරව් කරන තෙක් ඉදිරියේදී ස්විස් ජාතිකයින් සමග නයිජීරියාවේ ඇරඹීමට නියමිත සියළුම ව්‍යාපාරික කටයුතු නවතා දමන ලෙස."

"ඒක ඔබේ කැමැත්තක්, ඇමතිතුමනි." සභාපතිවරයා චකිතයකින් තොරව පිළිතුරු දුන්නේය. 

 "ඒත් එක්කම අපට සිදුවෙයි ඔබේ රටවැසියන් නයිජීරියාව සමග ඇරඹීමට සාකච්ඡා කරමින් තිබෙන සෑම ව්‍යාපාරික කටයුත්තක්ම නැවත සලකාබලන්න. ඊට අමතරව මම පෞද්ගලිකවම මැදිහත් වෙනවා වන්දි ගෙවීම සඳහා වන කොන්දේසි කිසිවක් පිළිනොපදින බවට වගබලාගන්න." 

"ඔබට හිතෙන්නෙ නැද්ද එවැනි පියවරක් ගැනීමට ඔබ ඉක්මන් වෙනවා වැඩියි කියලා?" 

"හොඳට මතක තියාගන්න ජර්බර් මහත්මයා, එවැනි පියවරක් ගැනීම ගැන  මගේ කිසිම පසුතැවීමක් නෑ කියලා. මට අවශ්‍ය නම් ලැයිස්තුව හොයාගන්න ඔබේ බැංකුව දණගස්සන්න උනොත් මම ඒකටත් පසුබට වෙන්නේ නෑ." ඉග්නේෂස් පිළිතුරු දුන්නේය. 

"ඔබට හැකිදෙයක් කරන්න, ඇමතිතුමනි. ඒත් කුමන දෙයක් කළත් රහස්‍යභාවය පිළිබඳ බැංකුවේ ප්‍රතිපත්තියවත් ආකල්පයවත් වෙනස්වෙන්නෙ නෑ." සභාපතිවරයා පවසා සිටියේය. 

"මහත්මයා, ඔබගේ ස්ථාවරය ඒක නම් මම අදම බර්න්වල තියන අපගේ තානාපති කාර්යාලය වසාදමන්න තානාපතිවරයාට උපදෙස් දෙනවා. ඒ වගේම ලාගෝස්වල සිටින ඔබගේ තානාපතිවරයා අප රට විසින් පිළිනොගන්නා පුද්ගලයෙකු බවට මම ප්‍රකාශයට පත්කරනවා." 

පළමු වතාවට සභාපතිවරයාගේ ඇහිබැම ඉහලට එසවිණ.

"ඒ විතරක් නෙමෙයි." ඉග්නේෂස් තම කතාව දිගටම කරගෙන ගියේය. "මම ලන්ඩන්වලදී පුවත්පත් සාකච්ඡාවක් තියලා ලෝකයේ පුවත්පත්වලට හෙලිකරනවා මගේ රාජ්‍ය නායකයාගේ අප්‍රසාදය මේ බැංකුවේ ක්‍රියාකලාපය පිළිබඳව. ඒ වගේ ප්‍රසිද්ධියක් ලැබුනට පස්සේ මට හොඳටම විශ්වාසයි ඔබගේ සමහර ගනුදෙනුකාරයෝ ඔවුන්ගේ ගිනුම් වහලා දායි. මෙච්චර කාලයක් මෙතැන සුරක්ෂිත තැනක් කියලා හිතාගෙන හිටපු තවත් සමහරු වෙනත් අතක් බලාගනියි." 

අමාත්‍යවරයා මද වේලාවක් බලා සිටියේය. එහෙත් සභාපතිවරයා කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීය. 

"එහෙමනම් මට කරන්න වෙනත් දෙයක් නෑ." යයි පැවසූ ඉග්නේෂස් තම අසුනින් නැගී සිටියේය. 

 අවසානයේ අමාත්‍යවරයා පිටව යාමට සූදානම් වන්නේය යන සිතුවිල්ලෙන්  සභාපතිවරයා තම අත දිගුකළ ද ඉග්නේෂස් තම කබායේ සාක්කුවට අත දමා කුඩා පිස්තෝලයක් එළියට ගනු දැන භීතියට පත්විය. නයිජීරියානු මුදල් අමාත්‍යවරයා ඉදිරියට පා තබා පිස්තෝලයේ කට සභාපතිවරයාගේ නළලට තබා තද කරද්දී ස්විස් බැංකුකරුවෝ දෙදෙන ගල්ගැසී බලා සිටියහ. 

"ජර්බර් මහත්මයා මට ඒ නම් අවශ්‍යයි. දැන් ඔබට වැටහෙනවා ඇති කිසිම දෙකින් මාව නවත්වන්න බෑ කියලා. ඔබ වහාම ඒ නම් මට දුන්නේ නැත්නම් මම ඔබේ මොළකෑලි එළියට එන්න වෙඩි තියනවා, තේරුනාද?" 

නළලත දහදිය බුබුලු නැගෙද්දී සභාපතිවරයා යන්තමට හිස සෙලවීය. "ඊලඟට අරයා."  අඩි කිහිපයක් ඈතින් සිටගෙන කිසිවක් කරකියගත නොහැකිව මුව ගොළුවී  සිටි තරුණ සහයකයා පෙන්වමින් ඉග්නේෂස් පැවසීය. 

"මේ බැංකුවේ ගිනුම් තියන සෑම නයිජීරියානුවෙකුගේම නම්ටික මට දෙන්න." තරුණ සහය නිලධරයා දෙස බලමින් ඉග්නේෂස් සන්සුන් ලෙස කීය. "නැත්නම් ඔබේ සභාපතිවරයාගේ මොළය මේ සිනිඳු කාර්පට්එක උඩ තියනවා බලාගන්න පුළුවන්. වහාම, ඇහුනද?" එවර ඉග්නේෂස්ගේ ස්වරය තර්ජනාත්මක විය. 

තරුණයා සභාපතිවරයා දෙස බැලීය. වෙව්ලමින් සිටි නමුදු ඔහුගේ වචන පැහැදිළි විය. "නෑ පියරේ, එපා." 

"හොඳයි." සහයක නිලධරයා කෙඳිරිලි හඬින් පිළිතුරු දුන්නේය. 

 "ඔබට කියන්න බෑ දියහැකි සෑම අවස්ථාවක්ම මම දුන්නේ නෑ කියලා." ඉග්නේෂස් පිස්තෝලයේ කොකා මෑනුවේය. සභාපතිවරයාගේ මුහුණ දිගේ දහදිය ගලාහැලෙන්නට විය. දැන්, දැන් පිස්තෝලයේ හඬ නැගෙතැයි බියෙන් තරුණයා තම දෑස් ඉවතට හරවාගත්තේය. 

"විශිෂ්ටයි." පැවසූ ඉග්නේෂස් පිස්තෝලය සභාපතිවරයාගේ හිසින් ඉවතට ගෙන ආපසු තම අසුන වෙත ගියේය. බැංකකරුවන් දෙදෙන තවමත් සිටියේ   කතාකරගත නොහැකිව වෙව්ලමිනි. 

අමාත්‍යවරයා තම පුටුව පසෙකින් තිබූ පරණ වී හමගිය බ්‍රීෆ්කේසය ගෙන වීදුරු මේසය මත තබා එහි අගුළු දෙපසට තල්ලුකොට පියන ඇරියේය. එතුළ පිළිවෙළට අසුරා තිබූ ඩොලර් සියයේ නෝට්ටු පේලි දෙස බැංකුකරුවෝ බලා සිටියේ දෑස් අයාගෙන ය. බ්‍රීෆ්කේසයේ සෑම අඟලක්ම පිරී පැවතිණ. බැලූ බැල්මට පෙනුන ආකාරයට එහි ඩොලර් පනස් ලක්ෂයක්වත් තිබෙන්නට ඉඩඇති බව  සභාපතිවරයාගේ අනුමානය විය. 

"මහත්මයා, මට කියන්න පුළුවන්ද ඔබේ බැංකුවේ ගිනුමක් විවෘත කරන්න අනුගමනය කරන්න ඕනැ ක්‍රියා පිළිවෙළ?"


                      

මෙය ප්‍රකට අමෙරිකානු ලේඛක ජෙෆ්රි ආර්චර්ගේ Clean Sweep Ignatius නම් කෙටිකතාවේ පරිවර්තනයකි. ඔහු විසින් ලියන ලද පොත්වල පිටපත් මිලියන 320 වඩා ලොව පුරා අලෙවි වී ඇති බව වාර්තා වේ. 

   



9 comments:

  1. +++++++++++++++💐
    දැන් බස්සො බුදියන හෝරාව. කියවලම ආයෙ එන්නම්

    ReplyDelete
  2. පාඩුවේ කියවල රිප්ලයි එකක් දාන්නම්කො

    ReplyDelete
  3. හා හා මරු කතාව

    ReplyDelete
  4. ඒ කියන්නෙ ඇමතියත් හොරෙක් කියල නේද? පුදුම වෙන්න දේකුත් නෑ, නයිජීරියන් නෙව?

    ReplyDelete
  5. ඇත්ත කතාවක් යැයි හිතලා කියෙව්වට
    මගෙම ඔළුව කා ගන්නට හිතුන මට
    ඒත් අපූරුයි කතාව 'වැදුණ' මට
    පරිවර්තනය මසුරං තැන්කියු ඔබට!

    ReplyDelete
  6. කියවද්දී යටිහිතින් හිතුනෙ ඇත්තම කතාවක් වෙන්ඩ කියල හිටං!. හුම්; මේ වගෙ ස්ටෝරි තියෙන මූවි එකක්වත් බලලා හිත සනසගන්න එක තමා අපට ඊළඟට තියෙන්නෙ 😩

    ReplyDelete
  7. oh shit, I thought its a true story. Anyway nice ending

    ReplyDelete
  8. කතාව කියවගෙන යද්දි හිතුණේ ඇත්ත එකක් කියලා. ෆිල්ම් එකක් වගේනේ මේ කතාව කියලා තව යාළුවෙකුට ෂෙයාර් කරන්නත් හදලා ඊට කලින් කියවලා ඉවර කළා. කතාව මරු. නයිජීරියානුවන් ඊටත් වඩා මරු.

    ReplyDelete
  9. මේක නැවතත් උඩට ආවා බ්ලොග් ලිස්ට් එකේ

    ReplyDelete