Glendon Swarthout නම් ලේඛකයා විසින් රචික The Shootist නම් වූ ප්‍රබන්ධය බටහිර ගොපළු නවකතා අතරට එක්වූ සම්භව්‍ය කෘතියක් ලෙස සැලකුම් ලබයි. එනිසා ම මේ කෘතිය පදනම් කරගෙන එනමින් ම සිනමා නිර්මාණයක් ද 1976දී බිහිවිය. එය සුප්‍රකට නළු John Wayne ගේ අවසන් විශිෂ්ට රංගනය ලෙස ද විස්තර කෙරේ.
කතාව ගොඩනැගෙන්නේ අවි හරඹයෙහි නිපුණයෙකු ලෙස කීර්තිමත් නමක් දිනූ ජේ. බී. බුක්ස් වටා ය. ඔහු මාරාන්තික පිලිකා රෝගයකට ගොදුරු වෙයි. වෛද්‍යවරයා පවසන ආකාරයට එය සුව කළ නොහැකි ය. සිය අවසන් කාලය ගතකිරීම සඳහා වෛද්‍යවරයා සිටින නගරය තෝරාගන්නා ඔහු ඔත්පලව දුක් නොවිඳ කෙසේ සිය අවසානය කරා යන්නේ දැයි කල්පනා කරමින් පසුවෙයි. ඒ අතර ඔහුගේ පැමිණීම ගැන දැනගන්නා විවිධ පුද්ගලයෝ ඔහුගේ කීර්තිය ඔස්සේ ඔහු සොයා එති. එවන් හමුවීමක් දැක්වෙන අවස්ථාවකි, මේ.
"බුක්ස් මහත්මයා, ජේ. බී. බුක්ස්, මට ඉතාම සතුටක් සහ ගෞරවයක් ඔබ මුණගැසීමට ලැබීම. මම ඩෑන් ඩොබ්කින්ස්. වැඩකරන්නේ 'ඩේලි හෙරල්ඩ්' පත්‍රයේ."
අතට අත දුන් ඔව්හු වාඩි වූහ.
"මම කලිනුත් කියපු විදියට බුක්ස් මහත්මයා, මේක කොහෙත්ම බලාපොරොත්තු නොවුන, කියන්න බැරි තරම් ගෞරවයක්. ස්තුතියි මාව මුණගැහෙන්න කැමති උනාට. බොහොමත්ම ස්තුතියි."
"ඩොබ්කින්ස් මහත්මයා, කොහොමද දැනගත්තෙ මම එල් පාසෝවල ඉන්නවා කියලා?"
"ඇයි, සර්. ඒක හැමෝම දන්න දෙයක්නේ. මාව විශ්වාස කරන්න, මේ වගේ ප්‍රවෘත්තියක් ලැව්ගින්නක් වගේ පැතිරෙන්නේ. අද උදේ අපි පත්තරේ දැම්මා ඔබ මෙහෙ සුවදායක ශීත දේශගුණය විඳිමින් රොජර්ස් මහත්මියගෙ නවාතැනේ නතරවෙලා ඉන්නවා කියලා. ඔබ ඒක දැක්කද?"
"නැහැ."
"විශ්වාස කරන්න, පළවෙනි පිටුවෙමයි දැම්මේ."
"මොකද්ද මගෙන් වෙන්න ඕනෑ?"
"මෙහෙමයි, සර්."
වයස විසිගණන්වල අග්ගිස්සෙහි සිටි ඩොබ්කින්ස් කෙසඟ දෙපා ද දිගු නහයක් ද කිබූ කහ පැහැති සපත්තු හා ඉරි වැටුන ඇඳුම් කට්ටලයකින් සැරසුන, නිරතුරුව චංචල වන උගුරු දණ්ඩක් ද තිබූ තරුණයෙකු විය. ඔහු වෙතින් සුවඳ විලවුන් හා ටැල්කම් පව්ඩර් සුවඳ හමා ආවේය.
"ඒ ගැන කතාකරන්න තමයි මම ආවේ බුක්ස් මහත්මයා. සර්, ඔබ සතුටට පත්වෙන්න ඕනෑ ජීවමානව සිටින එකම කීර්තිමත් වෙඩික්කරුවා ඔබ වීම ගැන."
"ජීවමාන?"
"තවමත් ජීවතුන් අතර සිටින."
"ආ, ඒකද?"
"අනිත් හැමදෙනෙක්ම මිය ගිහින්. කණගාටුයි කියන්න - හිකොක්, මාස්ටර්සන්, අර්ප්ස්, බිල් ටිල්ග්මන්, එින්ගෝ, හාඩින්, ඩොක් හොලිඩේ, සෑම් බාස්, රව්ඩි ජෝ ලෝව් - සේරම සුප්‍රකට නම්."
"ඒක ඇත්ත."
"යුගයක අවසානය. හිරු බැස යාම කියන්නත් පුළුවන්. බුක්ස් මහත්මයා, ඔබ තමයි ඉතිරිවෙලා ඉන්න එකම කෙනා. අපි ඒ ගැන ස්තුතිවන්ත වෙන්න ඕනෑ. මං අදහස් කළේ ඔබ මුලු රටේම ප්‍රසිද්ධ කෙනෙක්. මේ කතාව අද උදේ රටේ හැමතැනකටම ගියා. වැදගැම්මක් ඇති ඕනෑම දිනපතා පත්තරයක් ඒක පළකරාවි. ඒත් ඒකෙන් වෙන්නේ කුතුහළය ඇවිස්සෙන එක විතරයි. ඔවුන්ට තවත් වැඩියෙන් ඕන වෙයි. විශේෂයෙන් නැගෙනහිර පැත්තේ පත්තර. ඔබ වාගේ කීර්තිමත් පුද්ගලයෙක් එහේ මිනිස්සුන්ට වීරයෙක්. නිව්යෝර්ක්, බොස්ටන්. ෆිලඩෙල්ෆියා, වොෂිංටන් - මේ හැම තැනකම අපි යවන හැම වචනයක්ම පත්තරවල දායි. බුක්ස් මහත්මයා, අපි දෙන්නට එකතුවෙලා එල් පාසෝ මුළු රටේම ප්‍රසිද්ධ කරන්න පුළුවන්."
"ඩොබ්කින්ස් මහත්මයා, ඔබ තාමත් වටේ කැරකෙනවා විතරයි."
"ඔව් සර්, මෙහෙමයි සර්. මට ලොකු උවමනාවක් තියනවා අවසාන වෙඩික්කාරයා, ජෝන් බර්නාඩ් බුක්ස් ගැන ලිපි මාලාවක් කරන්න."
"මාලාවක්?"
"ඔව්, ඔබ කොපමණ කාලයක් අපිත් එක්ක ඉන්නවද?"
"එච්චර දිග කාලයක් නෙමෙයි."
"හොඳයි, මා ලඟ තියනවා ප්‍රශ්න ලැයිස්තුවක්." වාර්තාකරුවා කුඩා සටහන් පොතක් තම සාක්කුවෙන් එළියට ඇදගත්තේය. "මම ඒවා කලින් ලියාගෙන ආවා. අපිට අදම පටන්ගන්න පුළුවන්, මේ දැන්ම. හෙටත් හමුවෙලා දිගටම කරගෙන යන්න පුළුවන්."
"මොන වගේ ප්‍රශ්න ද?"
"ඉන්න බලන්න." ඩොබ්කින්ස් සටහන් පොත විවෘත කොට පැන්සලක් එළියට ගත්තේය. "ඔබත් දන්න විදියට බුක්ස් මහත්මයා, වෙඩික්කරුවන් ගැන ඕනැ තරම් බාල ගනයේ ප්‍රබන්ධ, ලාබ නවකතා, මිත්‍යා කතා, පට්ටපල් බොරු වගේ දේවල් තියනවා. මම හිතුවා නිවැරදි තොරතුරු එළියට දාන්න ඕනැ කියලා. ඇත්ත කතාව, සත්‍ය තොරතුරු - ඔබ ජීවතුන් අතර සිටින අතරතුර - ඔබට මොකක්වත් වෙන්න ඉස්සරලා. මං බලාපොරොත්තු වෙනවා එහෙම අනතුරක් නොවෙයි කියලා. ඒත් . . ."
"ප්‍රශ්න."
"හරි, හරි, හොඳයි, උදාහරණයක් විදියට අපි පටන්ගනිමු මුල ඉඳලම. ඔබේ තරුණ කාලය. මුලින්ම ඔබ ප්රචණ්ඩ ක්‍රියාවලට පෙළඹුන හේතුව."
"ඊලඟට."
"මේවා ප්‍රශ්න ම නෙමෙයි. මාතෘකා කියන්න පුළුවන්. ඊලඟට මට ඕනෑ ඔබේ වෘත්තිය ජීවිතය පිළිබඳ කරුණු ආවරණය කරන්න. සංඛ්‍යාමය තොරතුරු කියන්නත් පුළුවන්. ඔබ ද්වන්ධ සටන් කීයකට මුහුණ දීලා තියනවද, කීදෙනෙක් ඒවගෙ ගොදුරුවෙලා තියනවද කියලා."
බුක්ස් හිස සැලීය.
"වෙඩිතබන්නෙකුගේ මනසේ ස්වභාවය ගැඹුරින් අධ්‍යයනය කරන්න මට අවශ්‍ය වෙලා තියනවා.. මීට කලින් කවුරුවත් ඒ ගැන ගැඹුරින් හිතලා නෑ. ස්වයං ආරක්ෂාව පිළිබඳ හැඟීම කොතරම් වැදගත් ද? මිනීමරුවෙකුගේ සැබෑ චිත්ත ස්වභාවය කොයි වගේ ද? හැමෝම කියන විදියට ඔහු හුදෙකලා උන කෙනෙක් ද? වෙඩි තැබීමකට මුහුණ දෙන වෙලාවට ඔහු සන්සුන් ව සිටින කෙනෙක් ද? ස්වභාවයෙන් ම ඔහු ලේ පිපාසිතයෙක් ද? වැඩේ කරාට පස්සෙ ඒ ගැන මෙනෙහි කරනව ද? තමන්ටම දොස් පවරාගන්නවද? එහෙම නැත්නම්, මරණයත් සමග ජීවත්වෙලා තියන කාලය කොයි තරම් ද කියනව නම් අනිත් අයගේ මරණවලටත් තමන් වෙත ලඟාවිය හැකි මරණය පිළිබඳ හැඟීමටත් හුරු වෙලා ද?"
ඩොබ්කින්ස් නොසිතාම කතා කරමින් සිටියේය. වචනවල අලංකාරයෙන් වශී වී සිටි ඔහු තමාගේ අමුත්තා නැගී සිට ඇඳුම් අල්මාරිය දෙසට යන අයුරු නොදුටු බවක් දිස්විය. එය ආවරණය කර තිබූ තිරය පසෙකට කළ බුක්ස් ඇතුළට අත දැම්මේය.
"අවසාන වශයෙන් මම කැමතියි ඔබේ එක ද්වන්ධ සටනක් උදාහරණයක් හැටියට අරගෙන ඒක පියවරෙන් පියවර, උණ්ඩයෙන් උණ්ඩය විග්රහ කරන්න. ඊට පස්සෙ ඔබ අනතුරක් නොවී බේරුනහම ඔබට මොන වගේ හැඟීමක් ද දැනුනේ? ඔබේ සතුරා මාරාන්තික තුවාල ලබලා, ඇස් පිටට නෙරලා, අවසන් හුස්ම හෙලමින් සිටිනවා දකින විට මොන වගේ සිතුවිළි ද සිතට නැගුනේ? අවසන් හුස්ම හෙලන ගමන් ඔහු මොනවද කිව්වේ? ඔබ දුන්න පිළිතුර මොකද්ද? මොන තරම් අපූරු කූටප්රාප්තියක්ද? අපට පුළුවන් පාඨකයා ඇහැ අහකට ගන්නෙ . . . ."
වාක්‍යයේ ඉතිරි කොටස ඔහුගේ මුවෙහිම ගිලී ගියේය. දෑස් පිටට නෙරා ආවේය. ඔහුගේ ඇස් ඉදිරිපිට දිලිසෙමින් තිබුනේ පිස්තෝලයක කට ය.
ඊට පස්සේ මොකද උනේ කියන්න ගියොත් දිග වැඩි වෙනවා. ඒක වෙනත් කොටසකින් බලමු.

හුටා! මඳැයි හරිබරි ගැසී වාඩි වෙලා කියවන්න ගත්තා? පුදන කොටම කාපි යකා කිව්වලු. මොකද වුනේ?😋😮
ReplyDeleteතාක්ෂණික දෝෂයක් මතුඋනා. ඒක නිවැරදි උනාද බලන්න දාපු පොඩි කෑල්ලක්. දැන් කියවලා බලන්නකො.
Deleteදැන් හොඳයි. අනිත් කොටසත් කියවලාම ඉමු.🙏
Deleteපටන් ගැන්ම කදිමයි- විස්තරත් අගෙයි
ReplyDeleteචිත්ත රූප මාලාවක් හිතේ අඳියි
ඩොබ්කින්ස් මයා නං චුට්ටක් වාචාලයි
අවසානයේ 'මුක පූට්ටු' වුණා වගෙයි!
Litseeker, මොකක් හරි අවුලක්. මගේ බ්ලොග් රෝලේ ඔයාගේ අඩවියෙ පෙන්වන්නේ 'නොනිමි ගමන' නම් පෝස්ටුවක් පළ කර තිබෙන බවයි. ඒත් තියෙන්නේ මේ කතාව.
ReplyDeleteබ්ලොග් එක සින්ඩිවල අප්ඩේට් වෙන්නැති කේස් එකක ආවා. ඒක විසඳගන්න පොඩි පෝස්ට් එකක් දාලා ටෙස්ට් කරා. නිවැරදි බව පෙනුන නිසා මේක දැම්මා. තවමත් පෙන්වන්නේ පරණ නමින්.
Deleteමරණයක් නෙමෙයි මළ මිනීත් වෙන්දෙසිකරන කාලයක් දැන්. ඊළඟ කොටසින් බලමු වෙන්දේසියේ කොන්දේසිය
ReplyDeleteඅදටත් මේ මාධ්‍ය භාවිතය මෙහෙමම නේ.
Delete@Litseeker,
ReplyDeleteSwarthout ලියා තියෙන්නේ විවිධ වර්ගයේ නවකතා, adventure, western, historical වගේ. ඔහුගේ කෘති අතරින් බොහෝ දේ චිත්‍රපටවලටත් පරිවර්තනය වෙලා තියෙනවා.
ප්‍රසිද්ධ කෘති
i. The Shootist (ඔබ සඳහන් කළ එක)
ii. They Came to Cordura (චිත්‍රපටයක් වුනා – Gary Cooper starring)
iii. Where the Boys Are (1960s youth culture ගැන ප්‍රසිද්ධ novel එකක්)
ඔහුගේ writing style, Swarthoutගේ ලියන විදිහට, මානවීය ගැටලු (මරණය, ගෞරවය, භය), පරණ වටිනාකම් vs නව ලෝකය, ශක්තිමත්, ගැඹුරු චරිත etc. The Shootist වගේ කෘතිවල ඔහු ගැඹුරු, නිහතමානී philosophical touch එකක් එක්කරලා තියෙනවා, ඒ නිසා ඒවා simple western stories විතරක් නෙවෙයි. Glendon Swarthout විසින් රචිත The Shootist ප්‍රබන්ධය බටහිර ගොපළු (Western cowboy) නවකතා අතරට එක්වූ සම්භාව්‍ය කෘතියක් ලෙස සැලකේ. මෙම කෘතිය පදනම් කරගෙන 1976 දී එම නමින්ම චිත්‍රපටයක් බිහිවූ අතර, එය සුප්‍රකට නළු John Wayne ගේ අවසන් විශිෂ්ට රංගනය ලෙස ද ප්‍රසිද්ධියට පත්ව ඇත.
කතාවේ මූලික චරිතය වන්නේ අවි හරඹයේ අසලූ අභියසම අත්දැකීම් ඇති, ශූරයෙකු ලෙස කීර්තියට පත් වූ ජේ. බී. බුක්ස් (J. B. Books) ය. ජීවිත කාලය පුරාම ගිනිඅවි භාවිතයෙන් ජයග්‍රහණ ලබාගෙන, බිය හා ගෞරව දෙකම උපදිනා නාමයක් බවට පත්වූ ඔහු, අවසානයේ මාරාන්තික රෝගයකට ගොදුරු වී ඇති බව දැනගනී.
මරණය අනිවාර්ය ලෙස ළඟා වෙමින් තිබුණද, ස්වකීය ජීවිතය කැපී පෙනෙන ලෙස අවසන් කළ යුතු බව බුක්ස් බලාපොරොත්තු වේ. තමාගේ පවතින රෝගය හේතුවෙන් මැරෙන්නට වඩා, තමාගේම තේරීමෙන්, ගෞරවයෙන් යුතු ලෙස ජීවිතය අවසන් කර ගැනීමට උත්සාහ කිරීම ඔහුගේ අභිප්‍රාය වේ. එම නිසා, ඔහු තවත් එක් අවසන් සටනක් සඳහා සැලසුම් කරමින්, තම නාමයට සුදුසු අවසානයක් සෙවීමට යයි.
මෙම කෘතිය තුළින් විමර්ශනය කරන්නේ පරණ බටහිර යුගයේ අවසන් කාලයේ ගමන් මඟ, සෝභාව හා පුරාණ සමයේ පාඨයන් අතර ඇති සංවේදී ගැටුම්, මරණය, ගෞරවය, සහ මනුෂ්‍ය නිර්වීරතාව පිළිබඳ ගැඹුරු ආකාශනයකි.
ජේ. බී. බුක්ස්ගේ චරිතය හරහා “මනුෂ්‍යයා කෙසේ ජීවත් වූයේ ද?” යන්නට වඩා “ඔහු කෙසේ මරණය මුහුණ දිය යුතු ද?” යන්න ප්‍රශ්නයක් ලෙස ඉදිරිපත් කර නිසැක මරණයක් ඉස්සරහා තියෙන කෙනෙක්, ජීවිතේ පුරාවටම තමාගේ අවිවලින් අනෙක් අයගේ මරණය ළඟා කරපු මිනිහෙකුට, අන්තිමේ දවසේ තමන්ගේම මරණය මුහුණදෙන්න වෙන්නේ වෙනමම විදිහකට. ඒක බුක්ස්ටත් වෙනස් වෙන්නේ නෑ. හෙමින් හෙමින් පාවෙලා එන, වේදනාවෙන් පිරුණු මරණයක් ඉවසනවට වඩා, තමන් හදාගත්ත රෙපියුටේෂන් එකට ගැළපෙන අවසානයක් තෝරගන්න ඔහු තීරණය කරන්නේ ඒක නිසා.
ඇත්තටම මේක “shoot-out” එකක් ගැන story එකක් විතරක් නෙවෙයි.මේක යුගයක් අවසන් වෙන හැටි ගැන, gunfighterලාට තැනක් නැති වෙලා යන නව ලෝකයක් ගැන.
මේක මනුෂ්‍යයාගේ ගෞරවය කියන්නේ මොනවද කියලා අහන කතාවක්.
ඒත් ඒකටත් වඩා, “ජීවිතේ අවසානය කියන්නේ කොහොමද තෝරගන්නේ?” කියන ප්‍රශ්නයට දෙන නිහතමානී, කටුක උත්තරයක්.
ජේ. බී. බුක්ස්ගේ කතාව කියවද්දි, මට හිතෙන්නේ එක දෙයක්, කවුරු වුනත්, අවසානයේදි අපි හැමෝම මුහුණ දෙන සටන, වෙන කෙනෙකුට එරෙහිව නෙවෙයි… තමන්ටම එරෙහිව.
ස්තුතියි මේ විග්රහයට. මා කියවා තිබුනේ මේ නවකතාව පමණයි. ලේඛකයා ගැනත් තේමාව ගැනත් ගැඹුරු දැක්මක්.
ReplyDelete